Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘ChatGPT-4’ ක්ෂේත්‍ර ගණනාවක ඉදිරි ගමන වෙනස් කරයි ද?

දිනෙන් දින දියුණු වන තාක්ෂණය සමඟ මිනිස් ශ්‍රමය අවශ්‍ය වූ බොහෝ කාර්යයන් ස්වයංක්‍රීය ව කරගැනීමට මේ වන විට අවස්ථාව ලැබී තිබේ. එහි ධනාත්මක මෙන් ම සෘණාත්මක ප්‍රතිපල ගණනාවක් ඇත. එවැනි තාක්ෂණික ක්‍රමවේද නිසා විශාල පිරිසකගේ රැකියා අහිමි වීම සහ විවිධ ක්ෂේත්‍රයන්හි ගුණාත්මක බව බිඳ වැටීම වැනි අහිතකර ප්‍රතිපල ඇති විය හැක.

කෘත්‍රිම බුද්ධිය මගින් ක්‍රියාත්මක වන මෘදුකාංග නිෂ්පාදනය කරන අමෙරිකානු සමාගමක් වන ‘OpenAI’, සිය නවත ම මෘදුකාංගය වන ‘ChatGPT’ හඳුන්වා දී මාස හතරක් පමණ ගත වී තිබේ. මෙම මෘදුකාංගයට ඉතා කෙටි, නමුත් පැහැදිලි ඉඟි කිහිපයක් ලබාදීමෙන් විස්තරාත්මක රචනාවක්, ලිපියක් හෝ වෙනත් එවැනි යමක් කෘත්‍රිම බුද්ධිය මගින් ලියා ගැනීමට පරිශීලකයන්ට අවස්ථාව ලැබේ.

‘ChatGPT’ මෘදුකාංගය භාවිතා කර මිනිත්තුවක් වැනි කාලයක් ඇතුළත යමක් ලියවා ගත හැක – www.techwithsid.online

විශාල කතාබහක්

හඳුන්වා දී මාස හතරක් වැනි ඉතා සුළු කාලයක් වුවත්, මෙම මෘදුකාංගය ලොව පුරා ඇති කළ කතාබහ නම් සුළුපටු නොවේ. මීට පෙර යම්කිසි මාතෘකාවක් ඔස්සේ සවිස්තරාත්මක යමක් ලියා ගැනීමට අවශ්‍ය වූ විට සිය කාලය වැය කර හෝ වෙනත් අයකුට මුදල් ගෙවා එය සිදු කරගැනීමට අපට සිදු විය. කෙසේ වෙතත් ‘ChatGPT’ මෘදුකාංගය භාවිත කර මිනිත්තුවක් වැනි කාලයක් ඇතුළත අදාළ කටයුත්ත සිදු කර ගත හැකි වනු ඇත.

මෙම මෘදුකාංගය ලෝකයේ ඉදිරි ගමන වෙනස් කරන එකක් වනු ඇතැයි බොහෝ දෙනෙක් අනුමාන කරති. ඊට හේතුව මීට පෙර මිනිස් ශ්‍රමය යොදාගෙන සහ දිර්ඝකාලීන ඉගැන්වීම් සහ පුහුණුවීම්වලින් අනතුරුව සිදු කළ කාර්යයක් මේ හරහා ක්ෂණිකව සිදු කරගත හැකි වීම යි. එහි ප්‍රතිපලයක් ලෙස බොහෝ දෙනකුට රැකියා අවස්ථා අහිමි වී, ලොව පුරා අධ්‍යාපන ආයතනවලට ද විශාල බලපෑමක් එල්ල වනු ඇතැයි අනුමාන කෙරේ.

මෙම මෘදුකාංගය ලෝකයේ ඉදිරි ගමන වෙනස් කරන එකක් වනු ඇතැයි බොහෝ දෙනෙක් අනුමාන කරති – www.linkedin.com

මොකක්ද මේ ChatGPT-4?

‘ChatGPT’ යෙදවුම පිළිබඳ ව විශාල කතාබහක් ඇති වී ඇති පසුබිමක ඊටත් ඔබ්බට යන පහසුකම්වලින් සමන්විත ‘ChatGPT-4’ මෘදුකාංගය හඳුන්වා දීමට ‘OpenAI’ සමාගම පසුගිය දා කටයුතු කළේ ය. මුලින් හඳුන්වා දුන් මෘදුකාංගයේ තිබූ යම් යම් අඩුපාඩු ද හඳුනාගෙන වඩාත් පුළුල්ව සහ නිවැරදිව ක්‍රියාත්මක වන ආකාරයෙන් මෙම නවතම මාදිලියේ මෘදුකාංගය නිර්මාණය කර ඇති බව ‘OpenAI’ සමාගම කියයි.

මෙහි Chat යන කොටසින් අදහස් වන්නේ පරිශීලකයන්ට සම්බන්ධ විය හැකි පරිගණක අතුරු මුහුණතක් යන්න යි. GPT-4 යනු “generative pretrained transformer 4” යන්නෙහි කෙටි යෙදුම යි. තවත් ආකාරයකට කියතොත් මෙය යම්කිසි පුද්ගලයකු විමසන ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් සවිස්තරාත්මක ලිපියක් උත්පාදනය කළ හැකි, ඒ සඳහා උපයෝගී වන සුවිශාල තොරතුරු ප්‍රමාණයක් සහිත ‘ChatGPT’ මෘදුකාංගයේ සිව්වන පුනරාවර්තනය වේ.

Open AI සමාගමේ මූලස්ථානය – www.wikipedia.org

සුවිශේෂී බව

මෙම මෘදුකාංගය මීට පෙර හඳුන්වා දුන් ‘ChatGPT’ මෘදුකාංග සමඟ සැසඳීමේ දී සුවිශේෂී වන්නේ කෙසේ ද යන්න පිළිබඳව මේ වන විට කතාබහක් ඇති වී තිබේ. මුල් මෘදුකාංගය භාවිත කළ බොහෝ දෙනෙක් එහි ඇති යම් යම් සීමාසහ වෙනත් ගැටලුකාරී තත්ත්ව පිළිබඳ ව අදහස් පළ කර තිබේ. පරිශීලකයන් විමසන සමහර දෑ සඳහා නිවැරදි නොවන පිළිතුරු ලබාදීම සහ සමහර අවස්ථාවල යම්කිසි පාර්ශවයකට පක්ෂපාත වන ආකාරයේ පිළිතුරු ලබා දීම පිළිබඳ ව ‘ChatGPT’ යෙදවුමට විවේචන එල්ල විය.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් මාස ගණනාවක් තිස්සේ සිදු කළ අධ්‍යයනයක ප්‍රතිපලයක් ලෙස ‘ChatGPT-4’ හඳුන්වා දී ඇත. මීට පෙර ක්‍රියාත්මක වූ මෘදුකාංගය කෙටි සහ සමහර අවස්ථාවල දෝෂ සහිත තොරතුරු ලබා දුන්නත් ‘ChatGPT-4’ හරහා වඩාත් නිවැරදි සහ නිර්මාණාත්මක තොරතුරු ලබාගත හැකි බව සමාගම පවසා ඇත. මෙම මෘදුකාංගය භාවිත කරන බොහෝ දෙනෙක් පවසා ඇත්තේ මීට පෙර ඔවුන් භාවිත කළ ‘ChatGPT’ මෘදුකාංගයට වඩා මෙම මෘදුකාංගය පිළිබඳ ව විශ්වාසය තැබිය හැකි බව යි.

‘ChatGPT සහ ChatGPT-4 සිදු කළ කාර්යයන් දෙකක වෙනස -www.coingenius.com

කළ හැකි වෙනත් දෑ

වචන භාවිතයෙන් ලබා දෙන ඉඟිවලට අමතරව ඡායාරූප මත පදනම්ව තොරතුරු ලබාදීමට ද මෙම මෘදුකාංගයට හැක. යම්කිසි ඡායාරූපයක් මෘදුකාංගයට ඇතුළත් කළ පසු ඒ පිළිබඳව විශ්ලේෂණය කර වාර්තාවක් සකස් කිරීමට ඇති හැකියාව බොහෝ දෙනෙක් පුදුමයට පත් කර ඇත. වචන සහ ඡායාරූපවලට අමතරව වීඩියෝ පට විශ්ලේෂණය කිරීමට හැකි වන ආකාරයෙන් මෘදුකාංගය තවදුරටත් සංවර්ධනය කිරීම පිළිබඳව අදාළ සමාගමේ අවධානය මේ වන විට යොමු වී තිබේ.

‘ChatGPT’ මෘදුකාංගයට මෙන් ම ‘ChatGPT-4’ මෘදුකාංගයට ද කාලීන සිදුවීම් පිළිබඳ තොරතුරු ලබා දීමට ඇත්තේ තරමක් දුර්වල හැකියාවකි. ඊට හේතුව මෙම මෘදුකාංග සකස් කිරීමේ දී යොදා ගෙන ඇත්තේ 2021 වසරට පෙර පැවති තොරතුරු වීම යි. ඊට අමතර ව යම් යම් කරුණු සම්බන්ධයෙන් පක්ෂග්‍රාහී වීම වැනි තවත් ගැටලු කිහිපයක් මෙම මෘදුකාංගය ආශ්‍රිත ව හඳුනාගෙන ඇති බවත්, ඒවා නිවැරදි කිරීමට උත්සහ කරමින් සිටින බවත් ‘OpenAI’ සමාගම පසුගියදා සඳහන් කළේ ය.

ඡායාරූප මත පදනම්ව තොරතුරු ලබාදීමට මෙම මෘදුකාංගයට හැකියාව ඇත/ www.techcrunch.com

භාවිත කළ හැක්කේ කාටද?

මෙම මෘදුකාංගය භාවිත කිරීම සම්බන්ධයෙන් සමහර රටවල සහ කලාපවල යම් යම් සීමා පනවා ඇත. එවැනි සීමා නොමැති රටවල අමෙරිකානු ඩොලර් 20ක මාසික ගෙවීමක් සිදු කර ‘ChatGPT Plus’ මෘදුකාංගයේ ග්‍රාහකයන් බවට පත් වූ පුද්ගලයන්ට මෙම නව මෘදුකාංගය භාවිත කළ හැක.

මේ වන විට මයික්‍රොසොෆ්ට් සමාගම, මෙම මෘදුකාංගය සංවර්ධනය කිරීම සඳහා ‘OpenAI’ සමාගම වෙත ඩොලර් බිලියන 10 ක් ලබා දීමට කැමැත්ත පළ කර තිබේ. තවත් සමාගම් ගණනාවක් එහි කොටස්කරුවන් වීමට මඟ බලමින් සිටිති. ඊට අමතර ව ගූගල් සහ අලිබබා වැනි සමාගම් ගණනාවක් මෙවැනි මෘදුකාංග නිර්මාණය කිරීම පිළිබඳ ව අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ.

‘ChatGPT-4’ භාවිතයෙන් සිදු කළ හැකි දෑ – collegevidya.com

අහිතකර ප්‍රතිපල?

මෙම මෘදුකාංගය හේතුවෙන් නුදුරේදී විශාල පිරිසකගේ රැකියා අහිමි වී යනු ඇති බවට බොහෝ දෙනෙක් මත පළ කර තිබේ. ඊට හේතුව මීට පෙර මිනිසා සිදු කළ තොරතුරු එක්රැස් කිරීම සහ ඒවා විස්තර කිරීම වැනි බොහෝ කාර්යයන් මෙම මෘදුකාංගය හරහා කරගැනීමට බොහෝ දෙනෙක් පෙලඹීම ඒ අනුමානයට හේතුව යි. ඒ හේතුවෙන් ලිපි ලිවීම, විවිධ වාර්තා සකස් කිරීම සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ පර්යේෂණ වාර්තා සකස් කිරීම වැනි කටයුතු සිය ආදායම් මාර්ගය කරගත් බොහෝ දෙනෙක් අහිතකර ප්‍රතිවිපාකවලට ඉදිරියේ දී මුහුණ දෙනු ඇත.

නොව මෙම මෘදුකාංගය භාවිතයෙන් ඉතා පහසුවෙන් සහ කෙටි වෙලාවක් තුළ ඕනෑම තොරතුරක් එක්රැස් කර ඒ පිළිබඳව සවිස්තරාත්මක වාර්තා සකස් කරගත හැකි වීම අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල අහිතකර බලපෑමක් එල්ල කරනු ඇතැයි ඇතැමුන්ගේ අදහස ය. උදාහරණයක් ලෙස පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් මෙම මෘදුකාංගය භාවිතා කර ඔවුන්ගේ ඇගයීම් සහ වෙනත් පර්යේෂණ වාර්තා වැනි දෑ සකස් කිරීමට පෙලඹීමෙන් ඔවුන් ලබා ගන්නා අධ්‍යාපන සුදුසුකම්වල ගුණාත්මක බව පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වනු ඇත.

ඇති විය හැකි අහිතකර බලපෑම් – www.firstpost.com

කවරයේ ඡායාරූපය - 'ChatGPT' යෙදවුම පිළිබඳව විශාල කතාබහක් ඇති වී ඇති පසුබිමක ඊටත් ඔබ්බට යන පහසුකම්වලින් සමන්විත 'ChatGPT-4' මෘදුකාංගය හඳුන්වා දීමට 'OpenAI' සමාගම පසුගියදා කටයුතු කළේය - www.citimuzik.com
මූලාශ්‍ර :
www.times.com
www.openai.com
www.aljazeera.com
www.CNN.com

Related Articles