අන්තර්ජාලයේ සැරිසරන අපි සිය දහස් ගණනින් වෙබ් අඩවි, සේවාවන් ඔස්සේ යමින් රිසිසේ අන්තර්ජාලය රස විඳිනවා. අලුතින් දේවල් ඉගෙන ගන්න search කරලා වෙබ් අඩවි සොයාගන්න, ලිපි කියවන්න, කම්මැලි හිතුණාම කතාකරන පූසන්ගේ සහ හිනාවෙන එළුවන්ගේ පිස්සු වීඩියෝ බලන්න, චිත්‍රපට හෝ ටීවී සීරීස් බලන්න, යාළුවෝ කරන කියන දේවල් දකින්න සමාජ ජාල වෙබ් අඩවිවල සැරිසරන්න බොහොම කැමතියි. නමුත් එක්වරම මේ සියල්ල සඳහා සීමා වාරණ යෙදීමක්, අමතර ගෙවීමක් කිරීමට සිදුවුවහොත්? මේ දිනවල ඇමරිකාවේ මෙවන් තත්ත්වයක් ගැන කතා වෙනවා.
අතරමැදියා බලවත්
අන්තර්ජාලයේ සැරිසරන්න අපිට අනිවාර්යයෙන්ම අන්තර්ජාල සේවා සපයන්නෙකු අවශ්‍ය වෙනවා. ඔවුන් හරහා තමයි අපි සහ වෙබ් අඩවි අතර සම්බන්ධතාව ඇති වන්නේ. ඒ අනුව අප සහ වෙබ් සේවාවෙහි අතරමැදියා බවට පත්වන්නේ අපට අන්තර්ජාල සේවා සපයන්නා සහ එම සේවාවට අන්තර්ජාල සේවාවන් සපයන ආයතන ද්විත්වයයි. මූලික වශයෙන් ඊට මුල් වන්නේ දෙකක් වගේ. නමුත් රටවල් හරහා දුර රටක ඇති සර්වරයක් වෙත සම්බන්ධතාව ඇති වීමේ දී ඊට වඩා මැදිහත්කරුවන් පිරිසක් සහභාගී විය හැකියි.
අන්තර්ජාලය අද වන විට අපට මූලික අවශ්‍යතාවයක් බවට පත් වෙලා. විනාඩියක්වත් ෆෝන් එක බිම තියලා ඉන්න හිතෙන්නේ නැහැ, එය වයිබ්‍රේට් වෙලා නෝටිෆිකේෂන් එනවා සහ ඇතැම් අවස්ථා වලදී එනවා වගේ හිතිලා ෆෝන් එක අතට ගන්න හිතෙනවා. හැබැයි ඊට පස්සේ විනාඩි කිහිපයකින් බලද්දී අපි ට්විටර්, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප්නුත් බලලා යූටියුබ් එකත් ඕපන් කරගෙනයි ඉන්නේ. ඒ තරමටම අපිට ඒවා, එනම් අන්තර්ජාලය නැතිව ඉන්නට බැරි වෙලා තිබෙනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු කෙනෙක් අතේ සල්ලි නැත්නම් සොරකම් කරන්න, මිනී මරන්න යොමු වෙනවා වගේ අපේ අයත් හොරෙන් හරි සල්ලි අරගෙන හරි ඩේටා කාඩ් එකක් ගන්න තමයි කල්පනා කරන්නේ. මෙවන් තත්ත්වයක් යටතේ මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන්ට කිසිම පැකිලීමකින් තොරව මිල ඉහළ දමන්නට හැකියාව ලැබෙනවා. අවශ්‍යතාවයේ දැඩි බව නිසා අපි, අන්තර්ජාල පිපාසිතයන්, මුලදී බැණ වැදී පසුව ඔවුන් කියන කියන මුදලක් ගෙවන්නට හිත හදාගන්නවා. දැනට අපට තිබෙන්නේ මුදල් පිළිබඳ ගැටළුවක් වුවත් අන්තර්ගතයන්ගේ සීමා කිරීම් ගැන සිතන්නටවත් අප කරදර වන්නේ නැහැ.
අතරමැදියාට කළ හැකි දේවල්
අන්තර්ජාල සේවා සපයන්නාට අතරමැදියා වශයෙන් ඔබ කරන කියන දේවල්, පිවිසෙන වෙබ් අඩවි, සහ වේලාවල් ආදී සෑම දෙයක්ම දැකබලා ගන්නට පුළුවන්. ඉතින් හදිසියේවත් ඔබේ අසල්වැසියා අන්තර්ජාල සම්පාදකයෙක් වුණොත් ඔබ කරන කියන හැමදේම ගැන කැළෑ පත්තරයක් ගම පුරා නොමිලේම අලවා දේවි. ඉතින් මෙසේ හැමදේම බලන්නට අවස්ථාව තිබෙන නිසා ඔවුන්ගේ පාරිභෝගිකයන් වැඩිපුරම පිවිසෙන සේවාවන් දැකගන්නට ඔවුන්ට හැකියාව ලැබෙන අතර ඉන් එවන් සේවාවන් සඳහා පිවිසෙනවා නම් වැඩි මුදලක් ගෙවිය යුතු බව කියා ආර්ථික වාසි ලබා ගැනීමක්, හරියටම කිව්වොත් කප්පම් ගැනීමක් කරන්නට ද පුළුවන්. උදාහරණයක් වශයෙන් ෆේස්බුක් සහ යූටියුබ් ස්ලෝ කරනවාය, එය වේගවත් කරගන්නට නම් දිනකට රුපියල් 10ක් වැඩිපුර ගෙවිය යුතුය කියා කීවොත් කල් ගතවද්දී එයට අවනත නොවන්නේ කීයෙන් කී දෙනාද?
තරගකාරී වෙබ් අඩවිවලටත් මෙහි වාසියක් ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ස්නැප්චැට් හෝ වයිබර් එකෙන් රටක අන්තර්ජාල සේවා සපයන්නන් සමඟ ගිවිසුමකට එළඹුණොත් වට්ස්ඇප් ස්ලෝ කරන්න, එයාලාට වේගය වැඩි කරන්න කියලා එයාලාට වැඩිපුර පරිශීලක පිරිසක් තමන් වෙත ඇද බැඳ ගන්නට හැකියාව ලැබෙනවා. අන්තර්ජාල සේවා සපයන්නාට වුවත් ඔවුන් සමඟ තරගවදින අනෙකුත් සමාගම්වල වෙබ් අඩවිවලට පිවිසීම වාරණය කිරීම සහ ඔවුන්ගේ වෙබ් අඩවියේ සැරිසැරීමට, ඇප්ස් පාවිච්චි කිරීමට දත්ත නොමිලේ ලබා දීමක් වැනි යමක් කිරීමෙන් ව්‍යාපාරික වාසි සලසා ගන්නට ද හැකියි. මෙවන් සිද්ධියක් ඇමරිකාවේ Madison River Communications ආයතනය විසින් කර තිබුණා. ඒ තමන්ගේ ප්‍රතිවාදී ටෙල්කො සමාගමක්වූ Vonage ආයතනයේ වෙබ් සේවාවන් වෙත පිවිසීමට තම සේවාව හරහා ඉඩ ලබා නොදීමෙනුයි. නමුත් එයට ඔවුන්ට ඇ.ඩො. 15,000ක දඩයක් නියම කෙරුණා.
ඒ අනුව අන්තර්ජාල වාරණයන් පැනවීම හරහා අතරමැදියාටත්, සේවාව සපයන්නාටත් වාසි ලබා ගන්නට පුළුවන්.
ඇමරිකාවේ තත්ත්වය
ඔබාමා සමයේ එනම් 2015දී ඇති කරන ලද නීති ප්‍රතිපත්තීන්ට අනුව සෑම අන්තර්ජාල සේවා සම්පාදකයෙක්ම කෙනෙකුගේ නිදහස් අන්තර්ජාල භාවිත අයිතිය තහවුරු කළ යුතු අතර වේගයන් වෙනස් කිරීමක් හෝ එවන් බාධකයක් යොදා වැඩිපුර අයකර ගැනීමක් සිදු නොකළ යුතුයි. නමුත් ට්‍රම්ප් රජය යටතේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති විසින්ම පත් කරන ලද රාජ්‍ය සන්නිවේදන කොමිසමේ (FCC) සභාපති අජිත් පායි විසින් පෙන්වා දෙන ආකාරයට මෙසේ අන්තර්ජාල නිදහස අවුරාලීම හරහා නව ව්‍යාපාර ක්‍රමවේද සහ ආයෝජන අවස්ථා උදාවන බවයි. ඒ අනුව ඔවුන් ජනමත විචාරණ සහ ඡන්දයන් පවත්වමින් සිටින නමුදු බහුතර බලය හරහා ඔවුන්ට වැඩි වාසියක් අත්වන බවයි බ්ලූම්බර්ග් පෙන්වා දෙන්නේ.
Net neutrality යන්න අරුත් ගන්වා තිබෙන්නේ එය අන්තර්ජාල සේවා සපයන් විසින් සෑම කෙනෙක්ටම අන්තර්ජාලයේ සෑම දත්තයක්ම පරිශීලකයා, අන්තර්ගතය, උපාංගය, යෙදුම හෝ වර්ගය අනුව වෙන් නොකොට, සමානව සෑම කෙනෙක්ටම දිය යුතු බවයි. ඒ අනුව නීති විරෝධී නොවන සෑම සේවාවකටම පිවිසුම් අවසර, වේග පාලනයක් හෝ විශේෂ මිල අයකිරීමක් සිදු කරන්නට ඔවුන්නට අවස්ථාවක් නැහැ. අනෙක, ලොව හැම කෙනෙක්ගේම අපේක්ෂාව වන්නේ තමන්ට යන්නට අවශ්‍ය වෙබ් අඩවියකට කිසිදු බාධාවකින් තොරව පිවිසීමට හැකියාව ලබා ගැනීමයි. එහිදී කිසියම් ආකාරයකින් වාරණයක් පැණවෙනවා නම් ඔවුන් එම සේවාවෙන් තෘප්තිමත් වන්නේ නැහැ. නමුත්, සේවාව ලබා ගැනීමට ඇති අත්‍යාවශ්‍ය බව නිසාම වැඩි වේගයක් වෙනුවෙන් වැඩි මුදලක් වැය කරන්නට කැමති පිරිසකුත් බිහිවී නොසිටීවි යැයි සිතීමත් අපහසුයි. කොහොම නමුත්, මෙලෙස වාරණය කිරීම සම්මත වුවහොත් එලෙස වාරණය නොකරන සේවාවක් බවට පත් වෙමින් වෙනම පාරිභෝගික පිරිසක් ඇද බැඳ ගන්නට අවස්ථාවක් වුවත් තවත් ටෙල්කො එකකට අවස්ථාව ලැබෙනවා.
ඉතින් ලංකාවේ මේ වගේ දෙයක් වුණොත් ඔබ මොකද කරන්නේ?
කවරයේ ඡායාරූපය: al-akhbar.com