Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමරිකාවේ මෘදුකාංගවල ග්‍රහණයෙන් මිදෙන්න යුරෝපයට පුළුවන් ද?

යුරෝපයේ ආරක්ෂාව ගැන අද වෙනකොට හැම පැත්තෙන්ම කතා වෙනවා. රුසියාව එන්න එන්නම බලවත් වීම සහ නොබියව කටයුතු කිරීම, වෙළඳාම ගැන සහ NATO වෙත මුදල් දායක කිරීම ගැන එක්සත් ජනපදයත් එක්ක ඇති වී තිබෙන ගැටලුව, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම, සරණාගතයන් නිසා රටවල් ගණනාවක ඇති වී තිබෙන දේශපාලනික ගැටළුව ආදිය නිසා යුරෝපීය හවුල අද වෙද්දි ඉන්නේ ප්‍රශ්න ගොඩක.

රුසියාවේ බලවත්කම යුරෝපයට ලොකු ගැටළුවක්. (deschide.md)

මේ දේවල් බොහෝමයක් ගැන විවෘතව කතා කෙරුණත්, අද යුරෝපයට එක්සත් ජනපදයේ ග්‍රහණයට නතු වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙන තවත් අංශයක් ගැන කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ තමයි හිමිකම් සහිත මෘදුකාංග හෙවත් Proprietary Software. මෙතැන දී ඔවුන්ගේ ප්‍රධානතම ප්‍රශ්නය වෙලා තියෙන්නේ Microsoft ආයතනය යි. කාර්යාල මෘදුකාංග නිර්මාණයේ ඉහළින්ම ඉන්න එම ආයතනයේ ඔෆිස් පැකේජ මෘදුකාංගත්, ඔවුන්ගේම තවත් සේවා ගණනාවකුත් යුරෝපයේ රටවල් ගණනාවක රාජ්‍ය කටයුතුවලට යොදා ගැනෙනවා. මේවායේ මූල කේත හෙවත් Source code සම්පූර්ණයෙන්ම රහසිගත නිසා ඒවායින් ලබා ගන්නා සමහර දත්ත ගැන කාටවත් දැනීමක් නැහැ. මේ ඉඩකඩ යොදාගෙන රහස් ඔත්තු බලන්නත් තියෙන හැකියාව අද වන විට යුරෝපයටම ගැටළුවක් වෙලා. යුරෝපය මේ මෘදුකාංගවලින් මිදෙන්න උත්සාහ ගන්නේ ඒ නිසයි. යුරෝපයේ මේ උත්සාහය දිහා දැන් අනෙක් රටවලුත් බලාගෙන ඉන්නවා.

Source code රහසිගත වීම නිසා Microsoft එකතු කරන දත්ත ගැන අවිශ්වාසය

අපි හැමෝම වගේ කාර්යාල වැඩ කටයුතුවලට පාවිච්චි කරන්නේ MS Office. (hrkgame.com)

ඔබ අපි කවුරුත් Microsoft ඔෆිස් පැකේජයේ ප්‍රධාන මෘදුකාංග තුන ඇති තරම් භාවිත කරලා තියෙනවා. යම් වාර්තාවක්, ලිපියක් සකස් කරන්න හැමෝම භාවිත කරන MS Word, කාර්යාලවල වැඩකරන අය දවස පුරාම පැතුරුම් පත් (spreadsheet) වැඩවලට පාවිච්චි කරන MS Excel, විවිධ දත්ත පිරිසකට ඉදිරිපත් කරන්න (presentation වලට) හැමෝම භාවිතයට ගන්න MS PowerPoint තමයි මේ තුන. පිළිවෙලින් මේවායේ දත්ත සුරැකුම් කරන docx, xlsx, pptx කියන ගොනු ආකෘති (file formats) අපිට කට පාඩම්.

නමුත් බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේවායේ දත්ත සුරකින විදිහ. උදාහරණයක් විදිහට ඔබ වචන 500ක විතර ලිපියක් Word වලින් නිර්මාණය කළා කියලා හිතන්න. මෙය rtf file එකක් විදිහට සුරැකුම් කිරීමේ දී යි, docx විදිහට සුරැකුම් කිරීමේ දී යි ඒ ලැබෙන file එකේ ප්‍රමාණයේ සැලකිය යුතු වෙනසක් තියෙනවා. Rtf වලට වඩා සංකීර්ණ දේවල් docx තුළින් සුරැකුම් කරන්න බැරි බව ඇත්ත. නමුත් බොහෝ විශේෂඥයන්ගේ අදහස docx වල අත්‍යවශ්‍ය නොවන වෙනත් දත්ත පවා ඇතුළත් වෙන්න පුළුවන් කියන එක යි. බයිට් විදිහට මේ දත්ත පවතින විදිහ බලාගන්න පුළුවන් Microsoft ආයතනයටම විතරක් නිසා මේ සැකය තවත් දරුණු වෙලා තියෙනවා.

තත්ත්වයේ භයානකකම සහ Microsoft ආයතනයේ අදහස්

යුරෝපයේ Microsoft මූලස්ථානයක් (pcrevue.sk)

අවශ්‍යය නම් අපි සුරැකුම් කරන docx, xlsx, pptx වගේ file හරහා අපේ පරිගණක ගැන, එහි තිබෙන වෙනත් දත්තයන් ගැන රහසිගත තොරතුරු වුණත් පිටතට ගන්න බැරි කිසිම හේතුවක් නැති බව තමයි පෙනෙන්නේ. අපි වෙන කෙනෙකුට අපි හදපු ඒ වගේ file එකක් යැව්වාම අවශ්‍යය නම් ඒ file එක විවෘත කරලා සාමාන්‍යයෙන් දකින්න නොලැබෙන අමතර කරුණුත් දැනගන්න Microsoft ආයතනයට හෝ ඇමරිකානු රහස් ඔත්තු අංශවලට හැකියාවක් ඇති බව මෙයින් හැඟවෙනවා. අපි වගේ සාමාන්‍ය අයගේ පරිගණක ඔවුන්ට වැදගත් නොවුණත්, අතිශය වැදගත් රහස් ලිපි ගොනු එහෙ මෙහෙ යවනකොට මේ වගේ ආරක්ෂක හිඩැසක් තියෙන එක යුරෝපයට දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා. සාමාන්‍යයෙන් ඇමරිකාව එක්ක තියෙන සම්බන්ධතාව ගැන ගැටළුවක් නැතත් ඔවුන්ට තමන්ගේ රහස් ලබා ගන්න හැකියාව තියෙන එක ගැන සාමාන්‍ය යුරෝපීය ජනතාවගෙන් පවා බොහෝ දෙනෙක් දැන් ඉන්නේ ටිකක් බියෙන්.

කොහොම නමුත් Microsoft ආයතනය නම් මේ කතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කියන්නේ තමන් ඒ දත්ත සුරැකුම් කරන විදිහ ව්‍යාපාරික රහසක් විදිහට තබා ගත්තත් ඒවා තුළ අපි හදන file එකට අවශ්‍ය දේවල් හැර වෙනත් කිසිවක් අඩංගු නැහැ කියන එක යි. නමුත් ඔවුන්ගේ ව්‍යාපාරික මාදිලිය නිසාම එය ඔප්පු කර පෙන්වන්න ඔවුන්ට ක්‍රමයක් නැහැ. අවිශ්වාස නම් භාවිත කරන්න එපා කියන එක තමයි ඔවුන් අවසාන වශයෙන් කියන්නේ.

Open Source විකල්පයක් නැද්ද?

දැනට ජනප්‍රිය විකල්ප කාර්යාල මෘදුකාංග පැකේජ දෙකක් තිබෙනවා. (computerbild.de)

ඉතින් ඒවාට සමු දීලා වෙනත් මෘදුකාංග භාවිතයට ගන්න බැරි ද? ඇත්තටම එහෙම බැරිකමක් නැහැ. Microsoft ආයතනයේ මෘදුකාංග භාවිත නොකරන්න ඇත්තටම හේතු ඕන තරම්. බොහෝ වෙලාවට ඒවායේ විවිධ තාක්ෂණික ගැටළුම බොහොම යි. ඒ විතරක් නෙවෙයි, අපේ රටේ බහුතරයක් crack කරලා භාවිතයට ගත්තාට මේ මෘදුකාංග නීත්‍යානුකූලව ලබා ගන්නවා නම් විශාල මුදලක් ගෙවන්නත් අවශ්‍ය යි. ආරක්ෂාව ගැනත් ගැටළුවක් තියෙන නිසාම ඒවා අයින් කරලා විකල්පයක් හොයා ගන්න කාලේ හරි.

විවෘත මූලාශ්‍ර (Open Source) කාර්යාල මෘදුකාංග බොහොමයක් දැනටමත් තිබෙනවා. අපි යම් ප්‍රසිද්ධියක් තියෙන Libre Office උදාහරණයකට ගනිමු. බොහෝ අවස්ථාවල කරපු පර්යේෂණවලින් MS Office හරහා කරගන්න සාමාන්‍ය වැඩකටයුතු ඕනෑම එකක් Libre Office හරහාත් කරගත හැකි බව ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම එය ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ. Open Source නිසා ඕනෑම කෙනෙකුට පරීක්ෂා කරලා බලලා එකතු කරන දත්ත දැන ගන්නත් පුළුවන්. ඒක හැම අතින්ම හොඳයි කියලා තමයි පෙනෙන්න තියෙන්නේ.

නමුත් ප්‍රයෝගික ගැටළු බොහොමයි. ඇත්තටම MS Office වල කළ හැකි සියල්ලම Libre Office වලින් කරන්න බැහැ. ඒ වගේම ඊටම ආවේණික file වර්ග MS Office තුළින් විවෘත කිරීමේ සහය තියෙන්නෙත් තරමක් අඩුවෙන්. Docx, xlsx, pptx වගේ ඒවා Libre Office විවෘත කිරීමේදීත් යම් අවස්ථාවල ගැටළු ඇති වෙනවා. මේ නිසා දැනටමත් තියෙන file පහසුවෙන් යළි සකස් කිරීම රාජ්‍ය ආයතනවලට විශාල ගැටළුවක් වෙලා. හැමෝම ළඟ Libre Office නැති නිසා මේ මාරුවීම ඇත්තටම අපහසු එකක්. මීට වඩා කුඩා මට්ටමේ මෘදුකාංගවලට මේ ගැටලුව තවත් වැඩිපුර බලපානවා.

Google සමාගමේ අන්තර්ජාල ආශ්‍රිත කාර්යාල මෘදුකාංගවලට (උදා Google docs, Google sheets, Google slides වගේ) හොඳ පෙළඹවීමක් තිබුණත් රාජ්‍ය රහස් පිළිබඳ කටයුතුවල දී Google ගැන Microsoft තරමටවත් විශ්වාස කරන්න යුරෝපය අකමැති බවක් පෙනෙනවා.

යුරෝපයේම හදන Office පැකේජයක්?

SAP වැනි ප්‍රබල මෘදුකාංග සමාගම් දැනටමත් යුරෝපය සතුයි. (cbronline.com)

මෙයට විසඳුමක් විදිහට තමයි යුරෝපයේදීම, තමන්ටම අවශ්‍ය විදිහට සකස් කරන මෘදුකාංග පැකේජයක් යොදා ගන්න ඔවුන් උත්සාහ කරන්නේ. Open Source වෙනුවට තමන්ගේම Closed Source මෘදුකාංග පැකේජ සකස් කරන එක ගැනත් කතාබහක් ඇති වෙලා තියෙනවා. යුරෝපයේ පවතින තාක්ෂණික දැනුමත් එක්ක මෙය ඉතාම පහසුවෙන් කළ හැකි දෙයක් බවටත් කිසිම කිසිම සැකයක් නැහැ.

කොහොම වුණත් ප්‍රායෝගිකව මේකත් ඒ තරම් පහසු නැහැ. මෙයට කලිනුත් මේ වගේම උත්සාහයක් ගත්තා වුණත් එය සාර්ථක වුණේ නැහැ. අලුත් මෘදුකාංගවලට මාරු වෙන්න, අලුතෙන් පුහුණු වෙන්න තියෙන අපහසුව, දැනටමත් මිල අධික Microsoft license හිමි අය එය ඉවත් කර තවත් මිලක් ගෙවා අලුත් මෘදුකාංග භාවිතයට තියෙන අකමැත්ත ආදිය එයට හේතු වුණා කියලයි කියවුණේ. නමුත් එය අසාර්ථක කරවන්න යුරෝපයේ රාජ්‍ය අංශයේ කටයුතුවලින් පමණක් වාර්ෂිකව යූරෝ බිලියන ගණනක් උපයන Microsoft ආයතනයත්, තමන්ට පවතින ආරක්ෂක ක්‍රමෝපායක් වැසී යාමේ ඉඩකඩ නිසා ඇමරිකානු රජයත් යම් රහසිගත වැඩ කොටසක් ඉටු කළා කියලත් චෝදනාවක් තියෙනවා.

දැන් පවතින වාතාවරණයත් එක්ක ඇමරිකාවේ ග්‍රහණයෙන් මිදෙන්න යුරෝපයට අලුත් පෙළඹවීමක් පවතින නිසා මෙවර සමහර විට මේ වෙනස්කම කරන්න යුරෝපයට හැකියාවක් ලැබේවි.

ඇමරිකාවේ සෙවනැල්ලෙන් මිදෙන්න යුරෝපයේ අලුත් පිබිදීමක් තිබෙනවා. (nineoclock.ro)

අනෙක් රටවලටත් තමන්ගේ රාජ්‍ය කටයුතුවල දී Microsoft ග්‍රහණයෙන් ඉවත්වෙන්න මේක යම් තල්ලුවක් වේවි. ඔබ හිතන්නේ අපේ රටේත් මෙය කරන්න අවශ්‍යය වේවි ද?

Related Articles