Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Intel Core ප්‍රොසෙසරවල ඇති විශේෂ අකුරුවලින් කියවෙන්නේ මොනවාද?

ඩෙස්ක්ටොප් පරිගණකයක් එකලස් කිරීමට අලුතින් ප්‍රොසෙසරයක් මිල දී ගැනීමේ දී හෝ අලුතින් ලැප්ටොප් පරිගණකයක් මිල දී ගැනීමේ දී ප්‍රොසෙසරය ගැන ඔබේ අවධානය යොමු වී ඇති. නමුත්, ඒවායේ ඇති විවිධ අකුරු සහ ඉලක්කම් නිසා ඒ ගැන නිසි අවබෝධයක් ගැනීම අපහසු යි. ඔබ වෙනුවෙන් ඒ ගැන සවිස්තරව ආවරණය කරන්නට යි මේ උත්සාහය.

Core i5, i7 ආදී ලෙස දක්වන දෑ

“Core” යනු වෙළඳනාමයකි. “i9” යනු උප වෙළඳනාමයකි. (Roar/@thambaru)

ප්‍රොසෙසරයක Cores ගණන වැඩිවත්ම එහි හැකියාව වැඩි වේ. එනමුත්, Intel Core යනු හුදෙක් වෙළඳ සන්නාමයක් (brand) පමණි. මුල්කාලීන Pentium ප්‍රොසෙසරවලට සාපේක්ෂව ගත් කල Core ප්‍රොසෙසර වේගයෙන් ඉතා වැඩි වන අතර, Core iN ලෙස විවිධ අංකවලින් දක්වන්නේ එම වෙළඳ සන්නාමයේ තවත් උප සන්නාමයකි. i3/i5/i7 ආදී ලෙස ඇති ප්‍රොසෙසර එකිනෙක සසඳන කල වෙනස්කම් බොහොම දක්නට ලැබේ.

වැඩිදුර කියැවීමට: පරිගණක ප්‍රොසෙසරයක Cores ගණනින් අදහස් වන්නේ කුමක්ද?

එය මෙසේ පැහැදිලි කළ හැකිය. චොක්ලට් බිස්කට් සහ මාරි බිස්කට් සකසන පැණිරස කම්හලක් ගැන හිතන්න. “බිස්කට්” යනු Intel ආයතනයේ “Core” යන මූලික නිෂ්පාදනයකි. “චොක්ලට්” සහ “මාරි” යනු පිළිවෙලින් “i3” සහ “i5” වැනි ය. ඔවුන් මෙතෙක් පැවති තනි චොක්ලට් බිස්කට් වෙනුවට “ක්‍රීම් බිස්කට්” නමින් අලුත් බිස්කට් එකක් සකසන්නට තීරණය කරයි. ප්‍රොසෙසර්වලට අනුව එය i3 “Gen 2” වැනි ය. එය මුල් පෙළ වෙළඳනාමයේ තවත් උප මාදිලියකි.

HyperThreading, Clock speed සහ Integrated Graphics ආදිය අතින් ගත් කල i අගය වැඩිවත්ම සාපේක්ෂ ගුණාත්මක භාවයේ ඉහළතාවයන් දක්නට ලැබේ. සැලකිල්ලට ගත යුතු කරුණ නම්, i අගය මඟින් පමණක් ම ඉක්මන් තීරණයකට එළැඹීමට නොහැකි බව යි. ඒ පිළිබඳ සවිස්තරව අප පෙර ලිපියක කතා කර තිබේ. i3 8th Generation ප්‍රොසෙසරයකට සාපේක්ෂව i5 3rd Generation ප්‍රොසෙසරයක මිල සහ ජව බලය දැවැන්ත ලෙස අඩු ය. iN යනු හුදෙක් වෙළඳ නාමයකි.

Generation එක හඳුනාගන්නා ආකාරය

මුල් ඉලක්කම Gen එක වන අතර, ඉතිරිය SKU වේ. (Roar/@thambaru)

Intel ප්‍රොසෙසරවල Genration සඳහා අංක වෙනුවට Ubuntu හෝ අතීත Android ආකාරයට නාමකරණ පද්ධතියක් තිබේ. 2nd Gen සඳහා Sandy Bridge, 5th Gen සඳහා Broadwell, 9th Gen සඳහා Coffee Lake ආදී ලෙස ඒවාට නම් යොදා තිබේ. පෙර උදාහරණයේ දී අප පැහැදිලි කළ පරිදි, Generation යනු i3/i5/i7 ප්‍රොසෙසරයක් වැඩිදියුණු කළ නව පරම්පරාවකි. Gen අගය වැඩිවත්ම, හැකියාවන් හා මිල ද වැඩි වේ.

ප්‍රොසෙසරයක ඇති අකුරු-ඉලක්කම් අතරින් ඉතාම පහසුවෙන් එය අයත් Gen එක හඳුනාගන්නට හැකියාව තිබේ. iNවලට පසුව එන ඉලක්කම හෝ ඉලක්කම් දෙක Gen එක නිරූපණය කරයි.

උදාහරණයක් ලෙස, Intel Core i7-3520M යන ප්‍රොසෙසරය ගනිමු. එහි “i7-”ට පසුව ඇති පළමු ඉලක්කම වන්නේ 3 ය. එනම්, මෙය 3rd Gen ප්‍රොසෙසරයකි. Intel Core i3-8100 හි Gen එක 8 ය. එතකොට Intel Core i5-10210U කුමක් විය හැකි ද? ඔව්, එය 10th Gen එකක්.

ඉන් අනතුරුව ඇති ඉලක්කම්වලින් දක්වන්නේ SKU හෙවත් තොග තැබුම් ඒකකයකි. එය පාරිභෝගික අපට එතරම් වැදගත් නොවේ.

උපසර්ග ඉංග්‍රීසි අකුරු

අමතරව ඇති අකුර/ අකුරු 2 විශේෂ හැකියාවන් දක්වයි (Roar/@thambaru)

SKU අංකවලට පසුව ඇත්තේ ප්‍රොසෙසරයේ විශේෂ හැකියාවන් දක්වන තනි අකුරක් හෝ අකුරු දෙකකි. එය ප්‍රොසෙසරය වඩාත් ගැළපෙන උපාංගය, විදුලි බල භාවිතය, රත්වීම, ග්‍රැෆික් හැකියාව ආදී බොහෝ කරුණු රැසක් දක්වන බැවින්, සලකා බැලිය යුතු අත්‍යවශ්‍ය අංගයක් වේ.

K යනු, Unlocked හෙවත් CPU එක Overclock කිරීමට ඉඩ සලසා ඇති බව යි. CPU එක Tweak කිරීමට කැමති අය මේ ගැන සලකා බැලිය යුතු අතර, නූතන බොහෝ ප්‍රොසෙසරවල Turbo හැකියාවන් ඇති බැවින් Hz අගය අවශ්‍ය අවස්ථාවල දී පමණක් ඉහළ අගයක් වෙත ළඟා වන නිසා (ලැප්ටොප් සඳහා) බැටරි බලය ද ඉතිරි වන බැවින් සෑම කෙනෙක්ටම මෙය අවශ්‍ය නොවනු ඇත. උදා: Intel Core i9-9900K

H යනු, High Performance Graphics හෙවත් ප්‍රොසෙසරය තුළින්ම ලැබෙන Onboard හෝ Integrated VGA එක ඉහළ හැකියාවන්ගෙන් යුතු බව යි. වෙනම ග්‍රැෆික් කාඩ් එකක් භාවිතා ‍කරන්නට තීරණය නොකළ අවස්ථාවක දී හෝ එවැන්නක් යෙදිය නොහැකි උපාංග සඳහා මෙය යොදා ගැනේ. උදා: Intel Core i3-7100H

Q යනු, Quad Core හෙවත් ඉහළ හැකියාවන්ගෙන් යුතු බව යි.

මේ අකුරු දෙකක් එක්කොට, HK හෝ HQ ලෙස යෙදූ Intel Core i7-7820HK, Intel Core i7-7920HQ වැනි ප්‍රොසෙසර ද ඇති අතර ඉන්, හැකියාවන් දෙකක් එක්තැන් කළ බව දැක්වේ.

U යනු, Ultra Low Power හෙවත් ලැප්ටොප්වල බැටරි බලය ඉතිරි කිරීමට දායක වන බව යි. උදා: Intel Core i5-8250U

Y යනු, Extremely Low Power හෙවත් ඉතා අඩු විදුලි බලයකින් ක්‍රියාත්මක වෙමින් ලැප්ටොප්වල බැටරි බලය වැඩි වශයෙන් ඉතිරි කිරීමට දායක වන බව යි.

S යනු, අඩු බලයක් සහ අඩු හැකියාවන් ඇති ප්‍රොසෙසර වන අතර තවදුරටත් අඩු කළ ඒවා T අකුරින් දැක්වේ. උදා: Intel Core i9-9900T සහ Intel Core i9-9900KS

විශේෂ අකුරු දෙකක් සහිත අවස්ථාවක් (Roar/@thambaru)

F යනු, ග්‍රැෆික් හැකියාවන් නොමැති හෝ ඉතාම අඩු ප්‍රොසෙසර වේ. මේවා බොහෝ විට වෙනත් විශේෂ හැකියාවක් සමග පැමිණේ. උදාහරණයක් ලෙස Intel Core i9-9900KF ප්‍රොසෙසරය සතුව ඉහත කී K විශේෂාංගයන් ද තිබේ.

R යනු, ඉහළ ග්‍රැෆික් හැකියාවන්ගෙන් සපිරි ඒවා යි. උදා: Intel Core i7-5775R

G යනු, අමතර ග්‍රැෆික් හැකියාවන්ගෙන් යුතු ඒවා යි. උදාහරණයක් ලෙස Intel Core i7-8705G සතුව Intel HD Graphicsවලට අමතරව මොනිටර 6ක් සබැඳීමට අවකාශ සලසන Radeon RX Vega M GL Graphics ද තිබේ.

M යනු, ලැප්ටොප් ආදියේ අඩංගු වන මොබයිල් ප්‍රොසෙසර වේ. සාපේක්ෂව අඩු හැකියාවන් සමග බැටරි බලය ඉතිරි කිරීම මෙහි කාර්යභාර්යය වේ. රත්වීම ද අඩු ය.

X අකුරින් Extreme හෙවත් උපරිම හැකියාවන් දක්වන බව කියැ වේ.

Atom, Celeron ප්‍රොසෙසර සඳහා

Atom ප්‍රොසෙසරවල අංක 3ක් යෙදේ (Roar/@thambaru)

Intel Core ප්‍රොසෙසර නිෂ්පාදනවලට අමතරව Intel සමාගම සතුව Atom, Celeron සහ පැරණි Pentium ප්‍රොසෙසර තිබේ. මේවා Intel Core ප්‍රොසෙසරවලට සාපේක්ෂව හැකියාවෙන් ඉතා අඩු වන අතර, අංක යෙදීම ද වෙනස් ය. අකුරු ඉතා ස්වල්ප වශයෙන් අඩංගු වේ. 

Atom ප්‍රොසෙසර සඳහා අංක 3ක් පමණක් හෝ N අකුර සමග යෙදීම ‍සිදු වේ. N අකුරින් Notebook ප්‍රොසෙසරයක් යන වග දක්වන අතර, අංකය වැඩි වන තරමට හැකියාවන් ද වැඩි ය. අන්තර්ජාලය සහිත මොබයිල් උපාංග සඳහා Z අකුර යොදා ගැනේ.

Pentium ප්‍රොසෙසර සඳහා අංක 4ක් යොදා ගැ‍නේ. අංකිත අගය ඉහළ යත්ම Cache, Clock speed ආදිය වැඩි වන අතර හැකියාවෙන් ඉහළ ප්‍රොසෙසරයක් බව හැඟ වේ. E අකුර යොදා ඇති විට විදුලි බලය ආරක්ෂා කරන බව කියැ වේ.

Celeron ප්‍රොසෙසරවල අංක 3/5ක් හෝ අකුරක් සමග අංක 4ක් යෙදේ (Roar/@thambaru)

Celeron ප්‍රොසෙසර සඳහා අංක 3ක් හෝ 5ක් භාවිතා වේ. අකුරක් ඇති විට අංක 4ක් යොදා ගැනේ. මෙහි ද අංකය වැඩිවත් ම හැකියාවෙන් වැඩි ප්‍රොසෙසරයක් බව හැඟ වේ.

මේ තොරතුරුවලින් ඔබට දැන් ප්‍රොසෙසර මාදිලි අංකයක් දුටු වහා ‍ප්‍රොසෙසරය ගැන සියලු විස්තර දැනගන්නට හැකියාව තිබෙනවා. ඉතින්, ඔබේ පරිගණකය සතු ප්‍රොසෙසර අංකය Comment කර, එහි අංක සහ අකුරු අනුව ඔබ එහි Gen එක, හැකියාවන් අවබෝධ කරගත් ආකාරයත් කියන්න.

කවරය: Roar/@thambaru

මූලාශ්‍රයයන්:

  • intel.com
  • howtogeek.com
  • itechtics.com
  • pcmag.com
  • cybrary.it

Related Articles