Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වීඩියෝවලට ප්‍රිය ඔබ වෙනුවෙන් ෆේස්බුක් වෙතින් ආ Facebook Watch

ෆේස්බුක් එකේ ආරම්භය සනිටුහන් වුණේ අකුරුවලින්. කාලයක් යද්දී ටයිම්ලයින් එකේ වැඩිපුර දකින්න ලැබුණේ පින්තූර. ඒ එක්ක ම අකුරුවලින් දාපු පෝස්ට් බැලෙන්නේ ම නැති තරම් වුණු නිසා ම පසුබිම් වර්ණයක් එක්ක status දාන්න පුළුවන් වන විශේෂාංගයක් ආවා. අන්තර්ජාලයේ දියුණුවත් සමග ම දැන් එළඹ තිබෙන්නේ වීඩියෝ යුගය යි. අකුරු කියවනවාට, පින්තූර බලනවාට වඩා අපි දැන් කැමති වීඩියෝ බලන්න යි. 3D සහ VR අනාගත අදියර ලෙස තබාගෙන සිටිමින් ෆේස්බුක් සමාගම අපේ දැනට තිබෙන වීඩියෝ නැරඹීමේ ආශාව සන්සිඳුවන්නට Video ටැබ් එකක් දැන් ෆේස්බුක් ඇප් එකට පැමිණ තිබෙනවා.

විඩියෝ නැරඹීම් 14 ගුණයකින් වැඩිවෙලා

වීඩියෝ වෙනුවෙන් ම වෙන් කළ නව ප්‍රදේශයක් (newsroom.fb.com)

මීට මාස කිහිපයකට කලින් තිබුණු Explore Feed එක මතක ද? පේජ්වලින් පළ කරන සියලුම දේවල් සාමාන්‍ය News feed එකෙන් ඉවත් කරලා ෆේස්බුක් විසින් ඒ සියල්ල වෙන ම ටැබ් එකකට යොමු කළා. ඔවුන් එය හරහා බලාපොරොත්තු වුණේ පරිශීලකයන් විසින් පළ කරන දේවල්වලට වැඩි අවධානයක් ලබාදීම නමුත්, එම විශේෂාංගය නිසා Pages පවත්වාගෙන යන අය දැඩි අසීරුතාවකට පත් වුණා. Sponsored හෙවත් වෙළඳ දැන්වීමක් ලෙස පළ නොකළොත් ඔවුන් පළ කරන දේවල් feed එකේ පෙන්නුවේ නැහැ. එයට එල්ල වූ බලවත් අප්‍රසාදය නිසා ම මේ වසරේ පෙබරවාරි මස අවසන් වනවාත් එක්ක ම වගේ එය ඉවත් කරනු ලැබුවා.

අත්හදා බැලීම සඳහා මෙයට වසරකට පමණ පෙර සිට ම Facebook Watch විශේෂාංගය ඇමරිකාවට ලබා දී තිබුණා. රූපවාහිනී වැඩසටහන්, රූපලාවණ්‍යය, ක්‍රීඩාවන්, තිරය පිටුපස සිදුවීම් වැනි විවිධ වර්ගවල වීඩියෝ නරඹන්නට ඒ සමග පරිශීලකයන්ට අවස්ථාව ලැබුණා. ඡායාරූප ඇල්බම්වලට සීමා වී තිබුණු ෆේස්බුක් අන්තර්ගතයෙන් වෙන් කරන ලද කොටසක් ඒ අනුව වීඩියෝ වෙනුවෙන් වෙන් කෙරුණා. නව විශේෂාංගයත් සමග එතෙක් පැවති වීඩියෝ නැරඹුම් කාලය 14 ගුණයකින් වැඩි වූ බව ෆේස්බුක් කියනවා.

වීඩියෝ නිර්මාණකරුවන්ට නව තෝතැන්නක්

Vlog කරන අයට වාසි රැසක් (recombu.com)

ලොව අලුත් ම ඉදිරිපත් කිරීමේ රැල්ල වන්නේ, වීඩියෝ බ්ලොග් හෙවත් Vlog කිරීම යි. හැම කෙනෙක් ම අතේ දැන් ස්මාර්ට් දුරකථන තිබෙන නිසා ඉස්සර වගේ හොඳ කැමරා ඉදිරිපිට සිට කරන වෘත්තීමය මට්ටමේ නිර්මාණ වෙනුවට නවමු ආකාරවලින් යුත් දේවල් බිහි වෙනවා. රඟපාන්න තව යාළුවන් නැත්නම් තමන්ම චරිත සියල්ලට ම පෙනී සිටිනවා. රූපලාවණ්‍ය, ටෙක්, ආහාර පිසීම වගේ විවිධ අංශයන්ට දක්ෂතා දක්වන අයත් තමන්ගේ දැනුම බෙදාගන්න නිතැතින් ම යොමු වී තිබෙනවා. එනිසා ග්‍රන්ථකරණයෙන් ජනප්‍රසාදයට පත් වූ මාර්ටින් වික්‍රමසිංහ වැන්නන් ඒ යුගයටත්, වර්තමාන යුගයේ දී ව්ලොග්වලින් ප්‍රසිද්ධ වන අය මහා වීඩියෝ-කතුවරුන් බවටත් පත්වීම වළක්වාලන්නට බැහැ. එය කලියුගයේ නව්‍යකරණය යි.

වැඩිදුර කියැවීමට: Vlogging සහ ව්ලොග් කරන හැටි

ෆේස්බුක් විසින් තමන්ගේ වීඩියෝවලින් මුදල් සොයන්නට ක්‍රමයකුත් ගෙන එනවා. එය Ad breaks ලෙස නම් කර තිබෙනවා. මේ සබැඳියෙන් ඔබට ඒ වෙත join වෙන්න පුළුවන්. ගත වූ දින 60 තුළ තමන්ගේ වීඩියෝවලට විනාඩියක views තිබෙනවා නම් සහ Page එකේ Followers සංඛ්‍යාව 10,000ට වැඩි නම් පමණයි මෙම වෙළඳ දැන්වීම් ලබාගන්න හැකි වෙන්නේ. YouTubeවල වීඩියෝ දෙකක් අතරමැද ඇඩ්ස් ගියත්, මෙය හරහා වීඩියෝව මැද දීම ඇඩ්ස් පෙන්වීම ද සිදුවනවා.

ඔබ කැමති වීඩියෝ හැමතැන ම

අගක් නොමැති වීඩියෝ යෝජනා (firstmotion-international.com)

ෆේස්බුක් මගින් feed එකට වීඩියෝ තෝරාදීම සඳහා අපි වැඩිපුර ම නරඹන ආකාරයේ වීඩියෝ වර්ග අඩංගු කරනවා. විශේෂිත page එකක වීඩියෝ අපි නොවරදවා නරඹනවා නම් page එක like කර නැතත්, ඒවා නිරතුරු ව feed එකට එක් වෙනවා. ඉන් අනතුරුව ඊට වඩාත් සමාන වීඩියෝ පෙළගැස්වෙනවා. මෑතක දී එක්වුණු තවත් විශේෂාංගයක් තමයි, වීඩියෝ එකක් බැලුවාට පස්සේ ඉබේම පහළට scroll වෙලා තවත් ඒ ආකාරයේ ම වීඩියෝවක් පෙන්වීම. ඒ අතර Sponsored ලෙස පළ කළ වීඩියෝ ද අන්තර්ගත වෙනවා. එය හරියට වීඩියෝ නරඹමින් ම අප කාලය ගත කරවීමට කරන පෙළඹවීමක් වැනි යි. ඒ පසුපස යන විට සම්පූර්ණයෙන් අනෙකුත් ඡායාරූප සහ අකුරු සහිත postවලින් මිදී කුඩා වීඩියෝ කාමරයක අප ව තනිකරලනවා. එහි අතුරුඵලයක් ලෙසින් මෙම නව ටැබ් එක පැමිණියා ද විය හැකියි.

දැන් news feed එක තුළත්, Popular Across Facebook ලෙස අපේ මිතුරන්, ප්‍රදේශයේ අය සහ අපි කැමති ආකාරයේ වීඩියෝ යන සංකලනයෙන් යුතු ව තෝරාගත් වීඩියෝ යෝජනා ගෙන එනවා. එය YouTube සතු Recommended Videos විශේෂාංගයට බෙහෙවින් සමාන යි.

YouTubeවලට බඩේ පාර වදීවි ද?

දුරකථනයෙන් පමණක් නොව පරිගණකයෙන් පිවිසෙන්නටත් පුළුවන් (pmc.com)

ෆේස්බුක් සමාගමේ මූලික අරමුණ පරිශීලකයා තම වෙබ් අඩවියෙන් බැහැර ව, වෙනත් වෙබ් අඩවියකට යාමට තිබෙන අවශ්‍යතාවන් අවම කිරීම යි. චැට් කිරීම, ඡායාරූප බෙදාගැනීම, Forum වෙනුවට Facebook groups, Blog වෙනුවට Instant Articles, අන්තර්ජාල වෙළඳසැල් වෙනුවට නුදුරේදී ම ෆේස්බුක් හරහා ම භාණ්ඩ මිල දී ගැනීමේ හැකියාව ආදී ලෙස අපේ මූලික අන්තර්ජාල අවශ්‍යතාවන් සියල්ල ම ෆේස්බුක් හරහා දැන් සපිරෙනවා. වීඩියෝ බලන්නට YouTube යන්නට ඕනත් නැහැ දැන් ෆේස්බුක් එකෙන් ම වීඩියෝ බැලීමට අප ව යොමු කරන හින්දා.

වැඩිදුර කියැවීමට: YouTube වීඩියෝ හරහා අනුග්‍රාහක දැන්වීම් පෙන්විය හැකි ක්‍රම

Facebook watch සේවාවෙන් වඩාත් උචිත, අපේ කැමැත්තට ගැළපෙන වීඩියෝ තෝරාදීම සිදුවෙනවා. ඒ වීඩියෝ බලද්දී වෙළඳ දැන්වීම් පෙන්වා pageවලට මුදල් සොයාගන්නට අවස්ථාව දෙනවා. හුදෙක් වීඩියෝ බැලීමෙන් ඔබ්බට යමින් ඡන්ද පළකිරීම් (polls), අසන ප්‍රශ්නයකට උත්තරය තේරීම වැනි Live වීඩියෝ වැඩසටහන් හරහා සජීවී ව ප්‍රතිචාර දක්වන්නට ද Facebook watch අවස්ථාව සලසන නිසා, තරග පවා සජීවී වීඩියෝ හරහා සංවිධානය කරන්නට අවස්ථාව ලැබීම නවමු අත්දැකීමක්. ඒ අනුව බලද්දී YouTube වගේ ම පමණක් නොව එය අභිබවා යන්නට දැනටමත් ෆේස්බුක් විසින් පිඹුරුපත් සකසා අවසන්. ඔබත් YouTube අතහැර Facebook වීඩියෝවලට බහුතරය වෙනුවෙන් මාරු වේවි ද?

 

කවරය: feedough.com

Related Articles