Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තවත් වරක් අපි අතරට එන Instant Cameraවල අපූරු තාක්ෂණය

ඡායාරූප විතරක් නෙවෙයි, වීඩියෝ එකක් ගැනීම පවා අද හරිම පහසු දෙයක් බවට පත්වෙලා. නමුත් දශක කිහිපයකට කලින් තිබුණේ මීට සම්පූර්ණයෙන් ම වෙනස් තත්ත්වයක්. ෆොටෝ 36ක විතර ෆිල්ම් රෝල් එකක් කඩෙන් අරගෙන ඇවිත් කැමරාවට දාලා තමයි ෆොටෝ එකක් ගන්නේ. ෆොටෝ එක ගත්තා ම ඒක හරියට වැදිලා ද කියලා බලන්න වෙන්නේ ස්ටූඩියෝ එකකට, තවත් විදිහකින් කිව්වොත් කලර් ලැබ් එකකට දීලා ඒවා ප්‍රින්ට් කර ගත්තාට පස්සේ තමයි. කැමරාවේ කාචය හරහා වැරදිලා ඇඟිල්ලක් වැදිලා තියෙන එක මේ නිසා හරි ම සුලබ අත්දැකීමක් වුණා.

photos ගෙනත් බලනකොට තමයි අැඟිල්ලට වැහිලා කියලා දන්නෙ (mikeeckan.com)

ඉතින් මේ වගේ තත්ත්වයක දී ආපු “එසැණ කැමරා”, එහෙමත් නැතිනම් instant camera අතිශයින් ජනප්‍රිය වුණේ ඇයි කියලා තේරුම් ගන්න අපහසු නැහැ. කොහෙවත් යන්නේ නැතිව තමන් ගත්ත ඡායාරූපය තත්පර කිහිපයක් ඇතුළත දැකගන්න අවස්ථාව ලබා දුන්නු මේ කැමරා වැඩි දෙනෙක් හැඳින්වූවේ ඒවා බිහි කළ Polaroid ආයතනයේ නමින්. අද කාලේ විහිළුවක් වගේ පෙනුණත් මේ අපූරු තාක්ෂණය අද වන විට ආයෙත් බොහෝ දෙනාගේ ආදරය දිනා ගනිමින් තිබෙන නිසා ඒ ගැන ටිකක් හොයලා බලන්න අපි හිතුවා.

instant camera එකක විශේෂත්වය?

ෆිල්ම් එකක් කියලා අද බොහෝ විට කියන්නේ චිත්‍රපටයකට වුණත් මෙතැන දී අදහස් වෙන්නේ එහි මුල්ම අදහස වන ඡායාරූප සටහන් වන පටල කියන එක යි. සිංහලෙන් මෙය හඳුන්වන්නේ සේයා පටලයක් කියල යි.

ෆිල්ම් රෝල් එකක් (precision-camera.com)

ඕනෑම කැමරාවක කාච සහ සමහරවිට ප්‍රිස්ම හා දර්පණ භාවිතයෙන් යම් පෘෂ්ඨයක් මතට රූපය ලබා ගන්නා බව නම් ගොඩදෙනෙක් දන්නවා. මෙතැන දී ඩිජිටල් කැමරාවක නම් රූපය ලැබෙන්නේ ආලෝක සංවේදකයක් මතට යි. නමුත් ෆිල්ම් දමන කැමරාවක නම් ඒ ෆිල්ම් එක මතට මේ රූපය වැටෙනවා. ඇතුළත සම්පූර්ණයෙන්ම අඳුරු ව තියෙද්දී තත්පරයෙන් ඉතා කුඩා පංගුවක කාලයක් මේ ෆිල්ම් එක කාච හරහා ලැබෙන ආලෝකයට නිරාවරණය වෙනවා. ඊට පස්සේ නැවත ආලෝකයට නිරාවරණය වෙන්න නොදී (මෙය කරන්නේ නැවත ෆිල්ම් රෝල තුළට එතීම මඟින්) කලර් ලැබ් එකකට ගිහින් ෆිල්ම් රෝල් එක දෙන්න ඕන. එතකොට එයාලා ඒක ඡායාරූප බවට පත් කරලා අපට භාර දෙනවා.

මේ කලර් ලැබ් එකේ වැඩේ සම්පූර්ණයෙන් ම කරන්න instant camera සඳහා ලැබෙන ෆිල්ම්වලට හැකියාව තිබෙනවා. මේ නිසා ෆොටෝ එක අරගෙන කාලයකට පස්සේ ලැබෙනවා වෙනුවට ඒ වෙලාවේම ෆොටෝ එක ලැබෙනවා කියන අදහස අනුව තමයි instant camera කියන නම ලැබුණේ. කොහොම වුණත් අද අපි පාවිච්චි කරන ඩිජිටල් කැමරා නම් හැම එකක් ම  instant camera කියලා හිතන්න පුළුවන්.

ආලෝකය ෆිල්ම් එක මත රූපයක් වෙන හැටි

ෆිල්ම් දමන කැමරාවක අැතුළු කොටස්. (pinterest.com)

කාච එකලස හරහා ඉතා කුඩා කාලයකට ලැබෙන ආලෝක රටාව ෆිල්ම් එක මත සුරැකුම් කරගන්නේ රසායනික ක්‍රියාවලියක් හරහා යි. මෙහි දී ආලෝකයට ඉතා ම සංවේදී සංයෝග වර්ග (බොහෝ විට රිදී ලෝහයේ හේලයිඩ් මිශ්‍රණ) යොදාගැනෙනවා. ආලෝකය වැටීමත් එක්ක ම මේවා ප්‍රතික්‍රියා කරන අතර එය සිදුවෙන්නේ වැටෙන ආලෝකයේ දීප්තිය අනුව යි. ප්‍රතික්‍රියාවෙන් ලැබෙන ලෝහමය රිදී අංශු මඟින් අදාළ තැන්වල ආලෝකය පහළට ගමන් කිරීම නතර කර දමනවා.

කළු සුදු වෙනුවට වර්ණ ඡායාරූපයක් ලබා ගන්නකොට මේ වෙනුවෙන් සුවිශේෂී ස්ථර තුනක් පවතිනවා. මෙහි දී එක් එක් ස්ථරය සංවේදී වන්නේ ප්‍රධාන වර්ණ තුන වන නිල් රතු සහ කොළවලින් එකකට පමණයි. ඉහළින්ම ඇති නිල් පැහැයට සංවේදී සංයෝගයේ ප්‍රතික්‍රියා සිදුවන්නේ නිල් පැහැය ඇති විට පමණයි. එවිට ඊට යටින් ඇති කහ පැහැති ඩයි ස්තරය මත නිල් ආලෝක රටාව සටහන් වෙනවා. ඉන්පසු ව ඇති කොළ පැහැයට සංවේදී ස්ථරයේත්, යටින්ම ඇති රතු පැහැයට සංවේදී ස්ථරයේත් මේ අනුව ලැබෙන ආලෝක රටාවන්වල වර්ණය හා දීප්තිය අනුව ප්‍රතික්‍රියා සිදු වී ඊට පහතින් ඇති ප්‍රතිවිරුද්ධ වර්ණ ඩයි ස්ථර මත සටහන් වෙනවා.

කලර් ලැබ් එකකින් කරන වැඩේ

ෆොටෝ රීල් එක අාලෝකයට නිරාවරණය නොවෙන්න රතු පැහැ අාලෝකය තමයි එ්වා develop කරන තැන භාවිත වෙන්නේ. (scgrahamfoto.com)

මේ විදිහට ඉතා කෙටි කාලයකට නිරාවරණය වෙන ෆිල්ම් එක නැවත ආලෝකයට නිරාවරණය නොවීම ආපසු ෆිල්ම් රෝල් එක ඇතුළට ඔතා ගැනෙනවා. මෙය කැමරාව මඟින් ම සිදු කරගන්න පුළුවන්. ඉන් පස්සේ තමයි කලර් ලැබ් එකට භාර දෙන්නේ.

කලර් ලැබ් එකේ දී ක්‍රම ගණනාවකට රූපය ගොඩනැගීම හෙවත් develop කිරීම සිදුකෙරුණත් මූලධර්මය නම් එකම යි. මෙහි දී සම්පූර්ණ අඳුරේ විවිධ රසායනික සංයෝග භාවිතයෙන් අතිරේක සිල්වර් හේලයිඩ් සෝදා හැරීමත්, ඩයි ස්ථර ස්ථාවර කිරීමත් සිදුකෙරෙනවා. මෙය අවසන් කිරීමෙන් පසු ව ප්‍රතිවිරුද්ධ වර්ණවලින් සැදුම්ලත්, අපි නෙගටිව් එක කියා හඳුන්වන ෆිල්ම් එක ලබා ගන්න පුළුවන්. මෙය ආලෝකයට නිරාවරණය කළාට වෙනසක් සිදු වෙන්නේ නැහැ.

ඉන්පසු ව මෙහි පවතින වර්ණවල ප්‍රතිවිරුද්ධ වර්ණවලින් මුද්‍රණය කරාම සැබෑ ලෝකයේ වර්ණය ලබා ගන්න පුළුවන්. ඒ විදිහට මුද්‍රණය කෙරුණු රූප තමයි මීට කාලයකට ඉහත දී ජනප්‍රිය ව තිබුණේ.

මේ සේරම ෆිල්ම් එකක් ඇතුළේ දී ම කරන ක්‍රමයක් හැදූ ලෑන්ඩ් සහ Polaroid

Polaroid SX 70 වර්ගයේ Instant Camera එකක්. (pola-rent.com)

ඉතින් මේ කියපු වැඩ සේරම කරලා ෆොටෝ එකක් ලබා ගන්න බොහෝ කාලයක් යනවා වෙනුවට ගත් සැණින් ම ෆොටෝ එක ගොඩනගන්න ක්‍රමයක් මුලින්ම සොයාගත්තේ එඩ්වර්ඩ් එච්. ලෑන්ඩ් නම් පුද්ගලයෙක්. ඔහු මේ අදහස එ් කාලයේ කැමරා නිෂ්පාදනයේ ඉදිරියෙන් ම හිටපු කොඩැක් සමාගමට ඉදිරිපත් කළා. නමුත් ඔවුන් එය ඒ තරම් වැදගත් දෙයක් කියලා සැලකුවේ නැහැ. ඒ නිසා ලෑන්ඩ් තනිව ම ඒ විදිහේ කැමරා නිපදවන්න පටන් ගත්තා. මේ කැමරා නිකුත් වුණේ Polaroid වෙළඳ නාමය යටතේ යි.

නමුත් ඒවා මොන තරම් ජනප්‍රිය වුණා ද කියනවා නම් ඉතා ම කෙටි කලෙක දී ඒවා අනුකරණය කරමින් මුලින් තමන්ට ලැබුණු අවස්ථාව නොගත් කොඩැක් සමාගමත් කැමරා හදන්න ගත්තා. එයට එරෙහිව නඩු පවරා විශාල වන්දියක් ලබා ගන්නත් ලෑන්ඩ් සමත් වුණා. ඒ විතරක් නෙවෙයි,  instant camera හඳුන්වන්න වැඩි දෙනා භාවිත කරන නාමය බවටත් Polaroid නිසැකයෙන් ම පත් වුණා. මේ නිසා අදටත් බොහෝ දෙනා instant camera හඳුන්වන්නේ polaroid camera කියලයි.

ෆිල්ම් එක ඇතුළේ දී ම සියල්ල ම සිදුවන විදිහ

instant ෆිල්ම් එකක ස්ථර. (scienceabc.com)

මේවායේ සාමාන්‍ය ෆිල්ම් එකකට අමතර ව ඇසිඩ් ස්ථරය, රූප ස්ථරය, කාල පමා කරන ස්ථරය වැනි ස්ථර කිහිපයක් ම පවතිනවා. ෆොටෝ එකේ රාමුවේ තිබෙන කුඩා ප්‍රතිකාරක පැකට්ටුවක් ෆොටෝ එක ගැනීමත් එක්ක පිටතට එන විට තෙරපීම හරහා ෆොටෝ එක පුරාම විසිරී යනවා. (මෙය සිදු වන්නේ ප්ලාස්ටික් ස්ථරයට යටින් නිසා පිටතට විවෘත වෙන්නේ නැහැ.) මෙහි මිශ්‍ර කර ඇති පාරාන්ධ ද්‍රව්‍යවලින් (opacifiers) ඡායාරූපයට තවදුරටත් ආලෝකය ඇතුළු වෙන එක වහා ම වළක්වා දමනවා. ප්‍රතිකාරකය ෆොටෝ එකේ ස්ථර හරහා පහළට ගමන් කරමින් දැනටමත් ස්ථරවල රසායනික වෙනස්කම්වලට ලක් වෙලා තියෙන ස්ථාන ගොඩනගන්න (develop කරන්න) පටන් ගන්නවා. ඒත් එක්ක ම අනෙක් ස්ථාන හරහා යටින් තියෙන ඩයි ස්ථර දිය වී ඉහළ තිබෙන රූප ස්ථරයට පැමිණ රූපය නිර්මාණය කරනවා. (රූපය හැදෙන්නේ තැන් තැන්වලින් පමණක් වර්ණ තුන ඉහළට පැමිණීම නිසා යි.)

ඉන්පසු ව ඉහළ තිබෙන ඇසිඩ් හෙවත් අම්ල ස්ථරය පහළට කාන්දු වී ප්‍රතිකාරකයේ තිබුණු පාරාන්ධ ද්‍රව්‍ය දිය කර දමමින් රූපය පිටතට විවෘත කරනවා. කාලය පමා කිරීමේ ස්ථරය තිබෙන්නේ ඩයි වර්ග ඉහළට පැමිණ රූපය ගොඩනගන තුරු ඇසිඩ් පහළට කාන්දු වීම වළක්වන්න යි. මොකද ඩයි ඉහළට පැමිණෙන්න පෙර පාරාන්ධ ද්‍රව්‍ය දිය වුණොත් යටින් තිබෙන ස්ථර නැවත ආලෝකයට නිරාවරණය වෙන්න පුළුවන්.

අපි instant camera එකක ෆොටෝ එකක් අතට අරගෙන බලාගෙන ඉන්නකොට මැජික් එකෙන් වගේ රූපය මතුවෙනවා පෙනෙන්නේ මේ විදිහට පාරාන්ධ ද්‍රව්‍ය දිය වී යාමත් එක්ක යි. මේ සම්පූර්ණ සිද්ධිය ම ප්‍රතික්‍රීයක විසිරී යාමෙන් ආරම්භ වෙලා තත්පර 60-90 වගේ කාලයක් තුළ අලංකාර ෆොටෝ එකක් අපිට ලබා දෙනවා. මෙය අතීතයේ දී ලොකු ජනප්‍රියත්වයකට හේතු වුණ බව පුදුමයක් නෙවෙයි. ඇති තරම් සංචාරයේ යෙදෙමින් ඒ මොහොතේ ම ෆොටෝ අරගෙන බලන්න තිබුණු හැකියාව බොහෝ දෙනෙකුට ලොකු ප්‍රයෝජනයක් ගෙන දුන්නා.

ආපහු ඒවි ද?

2017 වර්ෂයේ දී නිකුත් කරන ලද instax කැමරා පෙළ. (fotoindia.com)

Instant camera නිෂ්පාදනයේ දැවැන්තයන් වූ Polaroid ආයතනය 2008 දී තෙවන වරටත් බංකොලොත්භාවය ප්‍රකාශ කරලා මේ වර්ගයේ ෆිල්ම් නිපදවීම නවතා දැමුවා. කොහොම නමුත් මෑතක සිට මේ ෆිල්ම්වලට අලුත් වෙළඳපොළක් නිර්මාණය වෙන්න පටන් අරන්. මේක වසර කිහිපයක ඉඳලා හැම දෙයක්ම ආපහු පරණ ක්‍රමයටම කරන්න ඇති වෙලා තියෙන ප්‍රවණතාවයේ හෙවත් Retro trend එකේ ම කොටසක් බව යි වැඩි දෙනෙක්ගේ අදහස. කොහොම නමුත් මේ නිසා ම දැන් Instax ඇතුළු වෙළඳ නාම ගණනාවක් යටතේ Instant camera සහ ඒවාට දමන ෆිල්ම් වෙළඳපොළට එන්න පටන් අරන්. මේ නිසා අතීතයේ සිට තමන්ගේ ආදරණීය Instant camera එක ළඟ තබාගෙන සිටි අයටත් එයින් ප්‍රයෝජනයක් ගන්න අවස්ථාව ලැබිලා.

අපෙන් අමතක වෙලා ගිය තවත් සුන්දර තාක්ෂණයක් ආපසු පැමිණෙන එක එයට ආදරය කළ අයටත්, එයට අලුතෙන් ම එක්වෙමින් සිටින තරුණ පරපුරටත් හොඳ අවස්ථාවක් වේවි.

කවරයේ රූපය : thegadgetflow.com

Related Articles