Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2018 වසරේ හොඳම 3D මුද්‍රක යන්ත්‍ර 6ක්

සාමාන්‍ය InkJet ආදී ප්‍රින්ටර්වලින් ලබා ගත හැක්කේ ද්විමාන කඩදාසියක් මත මැවෙන චිත්‍රයක් වුවත්, ත්‍රිමාන මුද්‍රකයකින් අපට එදිනෙදා අවශ්‍ය උපකරණ, සෙල්ලම් බඩු ආදිය අපිට ම කැමති පරිදි සකසා ගන්නට පුළුවන්. මේ තාක්ෂණය දියුණු වුණු කාලයක දී වෙනත් රටකින් භාණ්ඩ එනකම් බලාගෙන ඉන්නේ නැතිව ම, ඕඩර් කරපු දේ ප්‍රින්ටරයෙන් ක්ෂණික ව ලබාගන්නට අවස්ථාව සැලසේවි. එතරම් අනාගතයකට පෙර, අත්හදා බැලීම්වලට ප්‍රිය කරන අයට වඩාත් ගැළපෙන 3D මුද්‍රක ගැන යි මේ ලැයිස්තුව.

ඕනෑම දේකට ඔට්ටු MakerBot Replicator+

Replicator+ තුළ ගොඩනැඟෙන ගොඩනැඟිලි ආකෘතියක් (amazon.com)

MakerBot සමාගමේ පෙර ආ නිෂ්පාදනය වූ MakerBot Replicator ත්‍රිමාන මුද්‍රකය වැඩි වර්ධනය කරමින් Replicator+ වෙළඳපොළට පැමිණෙනවා. එය පෙර ප්‍රින්ටරයට වඩා වේගයෙන් වැඩියි වගේ ම ශබ්දයෙන් ද අඩු යි. සැලැස්මෙන් හා ආරක්ෂාවෙන් ඉහළ මට්ටමක සිටින මෙය මඳක් මිලෙන් නම් ඉහළ යි. Fused Deposition Modeling (FDM) හෙවත් මුද්‍රණ අමුද්‍රව්‍යය (ප්ලාස්ටික් වැනි) උණු කර, ලේයර් වශයෙන් යොදමින් මුද්‍රණය කිරීමේ ක්‍රමවේදය මෙහි භාවිතා වෙනවා. අමුද්‍රව්‍යය ලෙස පාවිච්චි කරන්නේ 1.75mm polylactic acid (PLA) filament එකකුයි. PLA කියන්නේ ජෛව (ක්ෂුද්‍රජීවී වියෝජනයට ලක් කළ හැකි) ප්ලාස්ටික් විශේෂයක්. මිල දැරිය හැකි නම්, ත්‍රිමාන මුද්‍රණයට ප්‍රිය කරන අයට නිවසේ දී වුවත් පාවිච්චි කළ හැකි තරම් පහසුකම් මෙය සතු යි.

මිලෙන් අඩු XYZprinting da Vinci Mini

පරිගණකයකට සබඳමින් (ytimg.com)

Fused Filament Fabrication (FFF) හෙවත් පෙර කී Replicator+ ප්‍රින්ටරයේ ඇති FDM ලෙස හඳුන්වන මුද්‍රණ ක්‍රමවේදය ම මෙහි ද භාවිතා වෙනවා. කිලෝ 10ක බරකින් යුත් මෙම මුද්‍රණ යන්ත්‍රයේ මිල අනෙක්වාට සාපේක්ෂ ව බොහොම අඩු යි. එනිසා අඩු මිල ත්‍රිමාන මුද්‍රකයක් සොයන කෙනෙක්ට මෙය හොඳ තෝරාගැනීමක් බවට පත් වෙනවා. භාවිතයට පහසු මෙය, හැකියාවන්ගෙන් නොඅඩු බව නිසා ත්‍රිමාන මුද්‍රිත භාණ්ඩවල ගුණාත්මකභාවයට හානියක් නැහැ. මුද්‍රකයට යෙදවූ අඩු මිල නිසා භාණ්ඩය ද අඩු මිලකට ලබා දෙන්නට හැකියාව ලැබෙනවා. මුද්‍රකයේ ප්‍රමාණය ද කුඩා නිසා ඕනෑම ඉඩකඩක කරදරයක් නැතිව රැඳෙනවා.

ත්‍රිමාන මුද්‍රණය අරඹන අයට M3D Micro 3D Printer

ත්‍රිමාන මුද්‍රණ ක්ෂේත්‍රයට පිවිසෙන අයෙක්ට වඩාත් සුදුසු මෙම මුද්‍රකය වඩාත් ගැළපෙනවා. FFF තාක්ෂණය ම මෙහි භාවිතා වන අතර, මයික්‍රෝන 50 සිට 350 දක්වා මෙහි resolution එක විහිද යනවා. මුද්‍රණය කරන දේවල්වල ගුණාත්මක බව මඳක් අඩු නමුත් මිල අඩු බව, ප්‍රමාණයෙන් කුඩා බව, සහ හොඳ පෙනුමකින් යුතු වීම මෙහි ඇති විශේෂ ලක්ෂණ වෙනවා. නිවසේ වුණත් තබාගෙන එදිනෙදා අවශ්‍ය වන කුඩා – කුඩා දේවල් ඔබට ම print කරගන්න ඉන් අවස්ථාව ලැබෙනවා. ක්‍ර්‍රියාකිරීමේ දී නැඟෙන ශබ්දය ද ඉතා අඩු යි. එනිසා ඔබේ පළමු 3D ප්‍රින්ටරය ලෙස අත්හදා බැලීම් කරන්නට මෙය වඩාත් උචිත යි.

මූලික මට්ටමේ LulzBot Mini

3D printing ගැන අත්හදා බැලීම් කරන්නට ලොකු වියදමක් දරා ප්‍රින්ටරයක් ගත යුතු වන්නේ නැහැ. ක්ෂේත්‍රයට උනන්දු කෙනෙක්ට අඩු මුදලකට ගත හැකි මෙය සැලසුමෙන් ම මූලික මට්ටමේ තිබෙන බව පෙනී යනවා. මෙහි මුද්‍රණ වේගය ඉතා අඩු යි සහ ශබ්දය ටිකක් වැඩි යි. ඉතා සරලව ගොඩනඟා ඇති මෙය, කිලෝග්‍රෑම් 11.3ක බරකින් යුක්ත යි. මයික්‍රෝන 50 සිට 500 දක්වා විහිද යන resolution එකක් තිබෙනවා. FDM තාක්ෂණය සමග ත්‍රිමාන මුද්‍රණය සිදුවන ආකාරය හොඳින් නරඹන්නට අවස්ථාව ලබාදෙන LulzBot Mini මුද්‍රකය භාවිතයට ද ඉතාම පහසු යි. Open source ආකාරයට හාඩ්වෙයා සකසා ඇති නිසා කොටසකට හානි වුවහොත්, යළි එය ලබාගන්නට වෙළඳපොළ ඕනෑ තරම් විවිධ නිෂ්පාදකයන්ගේ කොටස් තිබෙනවා. අවශ්‍ය නම් ඔබට අවැසි පරිදි වෙනස්කම් කරගන්නටත් පුළුවන්.

වීදුරු පෙට්ටියක් බඳු FlashForge Creator Pro 2017

නිවැරදි බවින් ඉහළ යි (amazon.com)

මාළු ටැංකියක් මෙන් ඉදිරිපස ආවරණය තුළින් අභ්‍යන්තරයේ සිදුවන මුද්‍රණ කටයුත්ත දෙස බලා සිටින්නට හැකි මෙය ද, FDM තාක්ෂණයෙන් යුත් ප්‍රින්ටරයක්. ලේයරයක Resolution එක 100 සිට 500 ක්වා පැතිරෙනවා. මධ්‍යස්ථ මිල මට්ටමක පවතින මෙම මුද්‍රකය ඉතා හොඳ මුද්‍රණ පිටපත් ලබා දෙනවා. වඩාත් නිරවද්‍ය ආකෘති මේ හරහා සකසා ගන්නට ඒ අනුව හැකියාව ලැබෙනවා. වෘත්තීමය වශයෙන් ත්‍රිමාන කටයුතු ආරම්භ කරන්නෙකුට යොදාගත හැකි මෙය මූලික මට්ටමේ ප්‍රින්ටරයකට වඩා වැඩි ගුණාත්මක බවකින් යුක්ත ව ක්‍රියාත්මක වෙනවා. ගැටළුවකට ඇත්තේ මඳක් ශබ්දයෙන් වැඩි බව යි.

වර්ණ තුනකින් මුද්‍රණය කළ හැකි CubePro Trio

පියන විවෘත කළ හැකියි (idig3dprinting.co.uk)

බොහෝ ත්‍රිමාන මුද්‍රක යන්ත්‍ර තනි වර්ණයකට පමණක් සීමා වෙනවා. ඇතැම්වා වර්ණ දෙකකින් යුතු අතර, මෙම CubePro Trio ප්‍රින්ටරය වර්ණ තුනකින් නිර්මාණකරණයේ යෙදෙන්නට අවස්ථාව සලසා දෙනවා. එහෙමත් නැත්නම්, අමුද්‍රව්‍ය වර්ග තුනකින් එකවර මුද්‍රණය කරන්නට පුළුවන්. ආකෘති සකසන්නන්ට සහ ඉංජිනේරුවන්ට වඩාත් ඵලදායී මෙම මුද්‍රකය මයික්‍රෝන 70 සිට 100 දක්වා පරාසයක resolution එකක් දරනවා. බරින් කිලෝග්‍රෑම් 71ක් වනවා. භාවිතයට පහසු බව සහ හොඳ බාහිර පෙනුමකින් යුතු මෙය කාර්යාල කාමරයට නව අරුතක් ගෙන එනවා. අනෙක්වාට සාපේක්ෂ ව මිල අඩු නමුත්, වර්ණ තුනකින් යුත් මාදිලි හමුවේ මෙය දැරිය හැකි මුදලක උපාංගයක් ලෙස සලකන්නට පුළුවන්. මන්ද, මෙහි මුද්‍රණ පිටපත්වල ගුණාත්මක බව සාපේක්ෂ ව අඩු යි.

ඔබ ත්‍රිමාන මුද්‍රකයක් ගත්තොත් මුලින්ම print කර බලන්නේ මොකක්ද?

කවරය: rdmag.com

Related Articles