Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බොත්තම් නැති HTC U12+ දුරකතනය

2018 වසර notch එක සහිත දුරකතන සඳහා වෙන් වෙද්දී තායිවානයේ HTC සමාගම විසින් සම්ප්‍රදායෙන් ඔබ්බට යමින් ඔවුන්ගේ පෙර ආ U11 දුරකතනයේ ද දකින්නට ලැබුණු විශේෂාංගයක් වඩාත් වෙනස් ආකාරයකට යොදා ගනිමින් ඉහළ පෙළේ දුරකතනයක් වන HTC U12+ දුරකතනය හඳුන්වා දී තිබෙනවා. එහි බොත්තම් නොමැති අතර තිරය ඉහළ කට්ටයක් ද දකින්නට නැහැ. අපි බලමු මේ දුරකතනයේ අනෙකුත් විශේෂාංග කොහොමද කියලා.

බාහිර පෙනුම සහ සැලැස්ම

pocket-lint.com

තිරය මත කට්ටයක් නැතත්, ඉහළ මහත දාරයක් සහ ඊට වඩා මඳක් වැඩි පහළ දාරයක් මෙම U12+ දුරකතනයේ දකින්නට ලැබෙනවා. සෙරමික් කළු පැහැය, සිළු (flame) රතු පැහැය මෙන්ම වෙනත් දුරකතනවල දකින්නට නොමැති පාරදෘෂ්‍ය නිල් පැහැයෙන් ද මෙය නිකුත් වන අතර නිල් පැහැති මාදිලියේ දුරකතනය පසුපස අභ්‍යන්තර කොටස් මඳ වශයෙන් දැක ගැනීමට හැකි තරම් පාරදෘෂ්‍ය බවින් යුක්තයි. පසුපස කැමරා දෙකක් දුරකතනයේ ඉහළට වන්නට මැදින් සිරස්ව ඇති අතර ඊට යටින් ෆ්ලෑෂරය සහ ඇඟිලි සලකුණු සංවේදකය පිළිවෙළින් තිබෙනවා. පසුපස මධ්‍යයට පහළින් hTC ලාංඡනය දකින්නට ලැබෙනවා.

2 (insighttrending.com)

දුරකතනය යට පැත්තෙහි USB Type-C පෝට් එකක්, එක් පසෙක ස්පීකරය සහ අනෙක් පස මයික්‍රොෆෝන සිදුර අඩංගු වෙනවා. දුරකතනයේ ඉහළ ද මයික්‍රොෆෝනයක් ඇති අතර වටේ දාරයේ වම් පස සිම්පත් කවුළුවත්, දකුණුපස power සහ ශබ්ද පාලක බොත්තම් තිබෙනවා. නමුත් සැබැවින්ම ඒවා බොත්තම් නොව, හුදෙක් නෙරීම් පමණයි. දුරකතනය ඉදිරිපස (තිරය පැත්තේ) ඉහළ දාරයේ ඉදිරිපස කැමරා දෙකත්, ස්පීකරය සහ සංවේදක ඇති අතර පහළ දාරයත් සම්පූර්ණයෙන්ම හිස්ව පවතිනවා.

දෙපසින් තෙරපිය හැකි විශේෂාංගය

htc.com

hTC සමාගමේ U11 දුරකතනයෙන් මුල්වරට දකින්නට ලැබුණු විශේෂාංගයක් වන දුරකතනය දෙපසින් තෙරපන විට Google Assistant හෝ Alexa වැනි සහායකයෙක් සක්‍රීය කිරීමේ හැකියාව වඩාත් දියුණු කොට මෙම දුරකතනයේද යොදා තිබෙනවා. Edge Sense 2.0 ලෙස නම් කර ඇති මෙම විශේෂාංගයෙන් දුරකතනය තනි අතින් අල්වා ගෙන සිටියදී දාරයට දෙවරක් අතින් තට්ටු කළොත් (පීඩනයක් යෙදුවොත්) දුරකතන තිරය කුඩාවී තනි අතින් පාවිච්චි කළ හැකි ආකාරයට සැකසෙනවා. වම් හෝ දකුණුපසින් ඔබ පීඩනය යොදන පැත්තට ඒ අනුව තිරය කුඩා වී ළං වන නිසා තනි අතින් ඉතා පහසුවෙන් දුරකතනය භාවිත කිරීමේ හැකියාව ලැබෙන අතර තිරය නොමැති ස්ථානයක් ටැප් කළ විට නැවතත් තිරය පෙර තිබූ ආකාරයට පත් වෙනවා.

Auto rotate සක්‍රීය කළ විට සාමාන්‍ය දුරකතනයක සිදුවන්නේ දුරකතනය හරවන පැත්ත අනුව තිරය හැරීමයි. නමුත් මෙම දුරකතනයේ එය කොතරම් ඇල කළත්, ඔබ දුරකතනයේ පළල පැත්තෙන් දෙපසින් අල්ලාගන්නා තෙක් තිරය හැරීම සිදුවන්නේ නැතිවීම බොහොම පහසුවක්. එසේම දුරකතනය අතේ තබාගෙන සිටියදී තිරය dim වීම සාමාන්‍ය දුරකතනයක තිබෙන ගැටළුවක් නමුත් මෙහි ඇති පීඩන සංවේදක වලට දුරකතනය අතේ ඇති බව හඳුනාගත හැකි නිසා භාවිතා කරද්දී තිරය නිවීමක් සිදු වන්නේ නැහැ.

බොත්තම් ක්‍රියාකාරීත්වය

techguide.com.au

බොත්තම් ක්‍රියා කරන්නේ ද පීඩන සංවේදකයේ සහායෙනුයි. ඒවා තද කරද්දී haptic feedback හෙවත් වයිබ්‍රේට් වීමකින් තද කරන ලද බව දැනුම් දෙනවා. නමුත් iPhone 8 හි හෝම් යතුර තරම් මෙය සාර්ථක නැහැ. iPhone 8හි හෝම් යතුරත් හුදෙක් කවුළුවක් පමණක් නමුත් එය මත පීඩනය යෙදීමේදී එයට වහාම පහළින් ඇති haptic feedback එකකුයි ලැබෙන්නේ. U12+ දුරකතනයේ ඒ වෙනුවට සාමාන්‍ය වයිබ්‍රේටරයම පාවිච්චි වන නිසා එය බොත්තම ඔබනවාක් වැනි හැඟීමක් ගෙන දෙන්නේ නැහැ. මේ නිසා එවන් හැඟීමක් බලාපොරොත්තු වන කෙනෙක්ට පුරුදු වන තෙක් ටිකක් අපහසුතාවක් දැනෙන්නට පුළුවන්.

තිරය

droid-life.com

දෙපස දාර ඉතා තුනී, 3D වීදුරුවක් සහ 18:9 තිර පැතිරුමක් ඇති මෙහි දාරයන් U11 දුරකතනයටත් වඩා 2mmකින් අඩුයි. Super LCD6 තිරයකින් බලගන්වා ඇති මෙය අඟල් 6ක තිරයකින් යුක්ත වන අතර අඟලකට ඇති පික්සල් ගණන (ppi) 537ක් පමණ වෙනවා. යූටියුබ් වීඩියෝ සඳහා HDR 10 සහාය දැක්වීම සහ DCI-P3 ultra wide වර්ණ සංයෝජනයන්ගෙන් මෙය යුතු නිසා මෙන්ම notch එකකින් තොර නිසා සුපැහැදිලි දසුන් හා හොඳ වර්ණයන් සහිත තිර අත්දැකීමක් ලැබෙනවා. තිර විභේදනය අනුව එය Quad HD+ තිරයක්.

කැමරා

akamaized.net

U12+ සතු පසුපස කැමරාවලින් එකක්, 12MP wide-angle වන අතර f/1.75 කාචයක් සහ ඡායාරූපයක් ගැනීමේදී අත හෙල්ලුණත් එය නිවැරදි කරන OIS තාක්ෂණයෙන් සමන්විත වෙනවා. අනෙක් පසුපස කැමරාව මෙගා පික්සල් 16ක telephoto f/2.6 කාචයක් වන අතර එයට 2x optical zoom හැකියාවක් තිබෙනවා. PRO ආකාරයෙන් ඡායාරූපය ගත හැකි මෙයට DSLR කැමරාවල මෙන් RAW ෆෝමැට් එකෙන් ද ඡායාරූප save කළ හැකියි.

ඉදිරිපස කැමරා දෙක මෙගා පික්සල් 8ක් සහ කාචය f/2.0 වෙමින් Face Unlock සඳහා ද සහාය වන අතර එහි focus කිරීම් ලේසර් තාක්ෂණය හරහා සිදු වෙනවා.

චිත්‍රපට සඳහා IMDb මෙන් ඡායාරූප සඳහා rating ලබාදෙන dxomark වෙබ් අඩවිය විසින් මෙම දුරකතනයේ ඡායාරූප හැකියාවට ලකුණු 103ක් ලබා දෙනවා.

අනෙකුත් හැකියාවන්

ihned.cz

Qualcomm Snapdragon 845 ප්‍රොසෙසරයකින් බල ගන්වා ඇති U12+ දුරකතනය Octa-core වන අතර GPU එක Adreno 630 වන්නේ ගිගාබයිට් 6ක රැම් ධාරිතාවක් ද සමඟයි. අභ්‍යන්තර ධාරිතාව 64GB සහ 128GB ලෙස මාදිලි දෙකකින් යුතු අතර LTE සහිත සිම්පත් දෙකෙන් එක කවුළුවක් මෙමරි කාඩ්පත ලෙස පාවිච්චි කළ හැකි වෙනවා. දැමිය හැකි මතකපතෙහි උපරිම ප්‍රමාණය 400GB වන නිසා තනි සිම්පතක් පාවිච්චි කරන කෙනෙක්ට 64GB මාදිලිය හොඳටම ප්‍රමාණවත්. දැනට මෙය Android 8.0 Oreo ධාවනය කරන අතර Android P නිකුත්වූ වහා එම යාවත්කාලීනය ලබනු ඇති.

htc.com

HTC සමාගමේ audio පද්ධතියක් වන BoomSound Hi-Fi මෙහි හොඳ ශබ්ද සුසංයෝගයක් ලබා දෙන්නේ මුහුණත ඉහළ ස්පීකරයෙහිද සහාය ලබා ගනිමින්. හෙඩ්සෙට් එකත් HTC USonic නමැති ඔවුන්ගේම විශේෂිත ශබ්ද හැකියාවන්ගෙන් යුත් එකක්. එයට බාහිර ශබ්දවලට අනුකූලව Noise cancel කිරීමට හැකියාව තිබෙනවා. නමුත් අවාසනාවකට මෙහි 3.5mm ජැක් එකක් නම් නැහැ.

බ්ලූටූත් 5.0, NFC සහ ත්වරණමානය (accelerometer), gyro, proximity, මාලිමාව යන සංවේදකයන්ගෙන් යුතු මෙය Quick Charge 3.0 තාක්ෂණයෙන් විනාඩි 35කදී 50%ක ආරෝපණයක් ලබාගත හැකි නමුත් රැහැන් රහිත ආරෝපණ හැකියාවක් නැහැ. 3500 mAh බැටරිය දිනක් භාවිත කරන්නට හොඳින් ප්‍රමාණවත් වෙනවා. IP68 අගයක් ඇති මෙය ජලයට සහ දූවිලි වලට ද ප්‍රතිරෝධී වෙනවා. මෙය $799 හෙවත් රුපියල් එක් ලක්ෂ විස් හත්දහසකට පමණ (රු. 1,27,000.00) HTC වෙබ් අඩවියෙහි මිලකර තිබෙනවා.

කවරයේ ඡායාරූපය: mobilesyrup.com

Related Articles