Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගූගල් බලයෙන් මැද පන්තියට සුපිරි අත්දැකිමක් Mi A1

පහත පද පෙළ නන්දා මාලිනිය විසින් වියෝදුක අලලා ගයන ගීයක් වුවත් අලුතින්ම එන ඉහල මට්ටමේ ස්මාට්ෆෝන් එකක් ගැන සිහින මවන අයත් මෙය හෝ එහි අදහස ඉඳහිට වත් සිහිකරනවාට සැක නැහැ.

නෙලාගන්න බෑ මගේ අත දිග නෑ

අනේ ඒත් තව මල් පිපියන්

කෝටි ගණන් තව මල් පිපියන්

අලුතින් සුපිරි ස්මාට්ෆෝන් එකක් වෙළඳපොලට නිකුත් වුණාම ඒ ගැන සොයා බලන්න හුරු වුණු අපි බොහෝමයක් දෙනාට “අනේ ඒක මටත් ගන්න තිබුණා නම්” කියලා හිතෙනවා. අපිට ඒ අලුත් ඉහල මට්ටමේ ස්මාට්ෆෝන් එකක් ගන්නට වත්කමක් නැති වුවත් ඒවගේ තවත් ෆෝන් දකින්නට ලැබේවා කියලා තමයි අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ. දුප්පත් ඇපල් ලෝලියෙක් නම් අලුත් අයිෆෝන් 8 රිලිස් වුනාම අයි ෆෝන් 5 එකක් හරි ගන්න පුලුවන් කියලා හිත හදාගන්නවා. සැම්සුන් නම් එස් 8 ආවට පස්සෙ එස් සෙවන් කෑල්ලක් සෙකන් හෑන්ඩ් හරි අපිට ගන්න පුලුවනි කියලා සැම්සුන් ලැදි අය සැනසෙනවා. දැන් තරුණ පරම්පරාව යෞවනයේ සිටියදී සහ පාසැල් යන අවධියේ පුවත්පත් දැන්විම් වල තිබෙන කුඩා ෆෝන් ගැන එදා බැලුවේ කෙළ හලමින්.

අලුත් පහසුකමක් පැමිණි විගස ඒ ෆෝන් එකේ විස්තර බලන්නේ පුදුමාකාර උනන්දුවකින්. කාලයක් ගත වෙලා ඒ අය රැකියා කරන්නට ආවත්, ලෝකයේ තිබෙන ඉහළම මට්ටමේ ස්මාට්ෆෝන් මිලදී ගන්නට හැකියාව ලැබෙන්නේ එහෙමත් කෙනෙකුට පමණයි. අද මට්ටමින් ගතහොත් හොඳම ඉහල මට්ටමේ ජංගම ජංගම දුරකථනයක් රුපියල් ලක්ෂයකටත් මඳක් වැඩි මිලක් වෙනවා.

ඇන්ඩ්‍රොයිඩ් වන්

Mi A1 හි කැමරාව පිළිබද දැන්වීමක් (mi.com)

ඇන්ඩ්‍රොයිඩ් වන් කියන්නේ ආන්න ඒ වගේ හොඳම ෆෝන් එක ගන්න බැරි  මැද පන්තියේ මිනිස්සුන්ට පාවිච්චි කරන්න ෆෝන් නිකුත් කරන්න ආපු ව්‍යාපෘතියක්. අපේ ලංකාවේ වගේම ඉන්දියාවේ, වියට්නාමයේ, ඉන්දුනීසියාවේ, පිලිපීනයේ, රුසියාවේ බහුතරයක් ජනයාට ලැබෙන මාසික වේතනය ඇමරිකානු ඩොලර් 250කටත් අඩුයි. එවිට ඒ ජනතාවට ඉහල මට්ටමේ සුපිරි ෆෝන් එකක් මිලදී ගන්නට ඇමරිකානු ඩොලර් හත්අටසීයක් වියදම් කරන්නට හැකියාවක් නැහැ. ඒ උනත් ඒ ජනතාවට අතට හරියන ගානට සුපිරි ෆෝන් ලබාදෙන්ට ගූගල් කට්ටිය ඇන්ඩ්‍රොයිඩ් වන් (Android One)  ෆෝන් මාලාව නිකුත් කර තිබෙනවා.

ඇන්ඩ්‍රොයිඩ් වන් වල අවශ්‍යතාවය

ෆෝන් එකක් මිලදී ගෙන කරන වැඩකටයුතු වුනත් මිනිසුන්ගේ ආදායම සහ සමාජ තත්වයන් අනුව වෙනස් වෙනවා. ඉන්දියාවේ අපේ වැනි රටවල තවමත් මිනිසුන් බණ, පිරිත්, යාතිකා, ආගමික දේවල් වලට සවන් දෙනවා. අපිට බණ පිරිත් යාතිකා වැනි දේවල් අයිටියුන් වලින් ගන්නට බැහැ. ඒවා ඔන්ලයින් යූටියුබ් වලින් අහන්නත් බැහැ. එතකොට අපි කරන දේ තමයි මෙමරි කාඩ් එකක ඒවා සහ සිංදු දාගෙන ඒවා රසවිදින එක. නමුත් බටහිර සමාජයේදී එවැනි මෙමරි කාඩ් භාවිතයකට වඩා මිනිසුන් ඔන්ලයින් ම ගීත සහ විඩියෝ මිලදී ගන්නවා. ඇතැම්විට සිංහල ගීත පවා අයිටියුන් වැනි ඉහල මට්ටමේ ඇප්ලිකේෂන් වල භාවිතා වුණත් අපි බොහෝ දෙනෙක්ට ඩේටා කැපීම ප්‍රශ්ණයක්.  ඒ වගේම අමතර මිලක් සිංදුවලට මීඩියාවලට ගෙවන්නට සිදුවුනොත් ඒකත් අපිට වැඩි බරක්. ඒ නිසා අපේ වැනි මට්ටමේ රටවල ඔන්ලයින් වගේම ඕෆ්ලයින් මට්ටමේ තිබියදීත් ෆෝන් එකකින් වැඩ කිඩ ලබාගන්න පුලුවන් වීම වැදගත් සාධකයක් වෙනවා.

  • අඩු ඩේටා සිග්නල් පසුබිම්වලදී ඩේටා වැඩිමනක් වැය නොවන විදියට භාවිතා කරන්න හැකිවීම,
  • මෙමරි කාඩ් ඩුවල් සිම් පහසුකම් තිබීම,
  • හෙඩ් ෆෝන් ගහන්න පුලුවන් වීම.
  • හොද මට්ටමේ කැමරාවක් තිබීම.
  • කල්පැවැත්ම වැඩිවීම
  • බැටරි ආයුකාලය වැඩිවීම

අපි වැනි රටවල ජනයාගේ ස්මාට්ෆෝන්  අවශ්‍යතා සලකා තමයි මෙම ඇන්ඩ්‍රොයිඩ් වන් කියන පසුබිම නිර්මාණය වන්නේ. එහිදී ගූගල් සමාගමෙන් නිරන්තරයෙන් අලුත්වන නවතම ගූගල් අත්දැකීම සහ ගූගල් සේවාවන් මැද මට්ටමේ පාරිභෝගිකයින් පිරිසට බෙදාහැරීම ගූගල් වන් වල තවත් අරමුණක් වුනා.

Mi A1

2017 වර්ශයේ දෙවන කාර්තුවේදී Mi  සමාගම කෝටි 2.3ක ජංගම දුරකථන නිකුත් කොට තිබෙනවා. මෙය ලෝකයේ ස්මාට්ෆෝන් වෙළදපොලෙන් සියයට 6.4ක අගයකි. වර්තමාන චීන ස්මාට්ෆෝන් වෙළඳපොල තුළ හුවාවේ සහ ඔපෝ ජංගම දුරකථන; Mi හි වෙළදපොල කොටස කෙරෙහි අභියෝග එල්ල කළත් Mi සමාගමේ නිපදවෙන ස්මාට්ෆෝන් ප්‍රමාණය නම් සෑම මසකදීම වැඩිවනු මිස අඩුවීමක් නම් සිදුවූයේ නැහැ. ඉන්දියානු වෙළදපොල තුලට Mi එකතු විමත් සමගම මිලෙන් අඩු වැඩි බලයක් සහිත ස්මාට්ෆෝන් ලබාදීම නිසා Mi ෆෝන් ඉන්දියානු වෙළඳපොල ආක්‍රමණය කළා. ඒ ඔස්සේ 2017 මුල් කාර්තුවේදි ස්මාට්ෆෝන් මිලියන 4ක් පමණ ඉන්දියානු වෙළඳපොලට නිකුත් කරන ලද Mi සමාගම ඉන්දියාවේදී සැම්සුන් නමට පමණක් දෙවනි වූ ජංගම දුරකථන නාමය බවට පත් වුණා.

(අන්තර්ගත පහසුකම් http://www.mi.com/in/mi-a1/) Mi A1 වැඩ කිඩ

හාඩ්වෙයාර් අතින් ගත් කළ MI A1 මි සමාගමේම චීනයේ නිකුත් වූ Mi 5x ජංගම දුරකථනයට සෑම අතින්ම සමානයි. එහෙත් චීනයේ නිකුත් වූ ජංගම දුරකථනය නිකුත් වූයේ MiUi යන චීන හැඩහුරුකම සහිත මි ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය සමග. එහෙත් අලුත්ම නමකින් නිකුත්වුණු MI A1 නැවුම් ඇන්ඩ්‍රොයිඩ් (Stock Android) අත්දැකීම සහිත ෆෝන් එකක් වෙනවා.

කැමරාව – මි ඒ 1 හි කැමරා දෙකක් තිබේ. මි සමාගමේ සුපිරිතම නිමැවුම වන මි 6 හි කැමරා තාක්ෂණය අනුසාරයෙන් නිපදවා ඇති මෙම කැමරාවේ සිදුරු දෙක මගින් ළග ඇති වස්තුන් සහ දුර ඇති වස්තුන් මනාව හඳුනාගන්නා අතර සිදුරු දෙක මගින්ම ආලෝක දත්ත වැඩිපුර ලබාගනිමින් කදිම ඡායාරූප ලබා දේ.

නිමාව – සුපිරි ජංගම දුරකථන පරිදිම සම්පූර්ණ ලෝහමය නිමාවක් ඇති මෙම මි වඩාත් ඇපල් අයිෆෝන් හි හැඩහුරුකමට ආසන්න හැඩයකින් නිමවා තිබේ.

සුපිරි බලය – ක්වාල්කම් ස්මාට්ෆෝන් චිප්සෙට් සමාගමේ මැද මට්ටමේ ස්නැප්ඩ්‍රැගන් 625 චිප් සෙට් එක ඇතුලත් මෙම දුරකථනය තුලින් සුපිරි ෆෝනයක පරිද්දෙන්ම වැඩකටයුතු රාශියක් එකවර කරගැනීමේ හැකියාව ඇත.

මතකය – රැම් එක ගිගාබයිට්  4කි, රොම් එක හෙවත් ඉන්ටර්නල් මෙමරිය ගිගාබයිට් 64කි. තවද අවැසි නම් මෙමරිකාඩ් සම්බන්ධ කරගන්නටද හැකියාව තිබේ.

බැටරි සහ ක්වික් චාජ් – බැටරි බලය මිලි ඇම්පියර් පැය 3000කි. එනම් දිනක කාලයක් කිසි කරදරයකින් තොරව තදට වැඩගත හැකිය. ඉක්මනින්ම චාජ් වන පහසුව ඇති හෙයින් ෆෝන් එකෙහි බලයෙන් 50%ක්  පැය බාගයක් තුල ආරෝපනය වේ.

ඩිස්ප්ලේ – Full HD අඟල් 5.5ක තිරයක් ඇති හෙයින් වීඩියෝ දර්ශන මනාව නෙතට හසුකර ගත හැකිය.

ඔරිජිනල් ගූගල් – මෙය ගූගල් සමාගම සමග එකතුවී එන නිමැවුමක් හෙයින් ඔරිජිනල් ගූගල් මෘදුකාංග පහස ලබාගැනීමටද හැකියාව ලැබේ.

අපිට ගන්න බැරිද?

මෙවැනි සුපිරි පහසුකම් ඇති මෙම ෆෝනය ඉන්දියාවේ විකුණනු ලබන්නේ ෆ්ලිප්කාර්ට්, ස්නැප්ඩීල්, ඇමසන් ඉන්ඩියා ආදී ඔන්ලයින් විකුණුම් ක්‍රමවලට පමණි. මි සමාගම චීනයේදී වුව මූලිකවම ස්මාට්ෆෝන් වෙළඳපොල පවත්වාගෙන ගියේ ඔන්ලයින් විකුණුම් ක්‍රියාවලියකට වේ. ඒ තුලින් ඉහල මට්ටමේ ස්මාට්ෆෝන් අඩු මිලට ලබාදිය හැකි බව ඔවුන්ගේ අදහස වේ. මි ෆෝනය ඉන්දියාවේදී රු 15000කි. අලි එක්ස්ප්‍රස් හි එය ඇමරිකානු ඩොලර් 230-250ක අගයකට මිල නියම වී තිබේ. ඉහල පැලැන්තියේ ජංගම දුරකථනයක පහස පහසු මිලට අත උඩට ලබාදෙන මි ඒ1 තවමත් ලංකාවේ වෙළඳපොලට නම් පැමිණ නැත. එහෙත් ගූගල් බලයෙන් සවිමත් මි A1 නුදුරු අනාගයේදී ලංකාවේ ජංගම දුරකථන අලෙවිසැල් වලින්ද ලබාගැනීමට හැකි වෙනු ඇත.

කවරයේ ඡායාරූපය: Droid Life

Related Articles