Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Huawei සමාගම 2019 වෙත ගෙන එන MateBook 14

Macbookවලට තරගකාරීත්වයක් දෙන Huawei සමාගම තම නවතම Matebook 14 හඳුන්වා දෙනවා. පසුගිය වසරේ MWC 2018 දී හඳුන්වාදුන් Huawei MateBook X Pro පරිගණකය බොහෝ දෙනෙකුගේ සිත්ගත් අගනා පෙනුමකින් යුතු වූවා. මේ වසර සඳහා එළිදැක්වූ Matebook 14 සතුව U ශ්‍රේණියේ ප්‍රොසෙසරයක්, වැඩි SSD ධාරිතාවක් ඇතුළු තවත් විශේෂාංග රැසක් එක් කර තිබෙනවා.

සිහින් දාර සහිත තිරයක්

මුහුණත 90%ක් විහිදුනු තිරය (notebookcheck.net)

බොහෝ ලැප්ටොප්වල, (Macbookවල පවා) තිරය වටා ඝනකම් දාර තිබෙන නිසා තිරය ඉතා කුඩාව පිහිටනවා. Matebook 14 සතුව මිලිමීටර් 4.9ක් තරම් දාරය සිහින් වනතුරු තිරය විහිදුවා ඇති නිසා වඩාත් පිරුණු ස්වභාවයක් සමග ඉහළ රූපමය අත්දැකීම් ලැබෙනවා. පහළ දාරයේ Huawei ලෝගෝව යොදා ඇති අතර අනෙක්වාට සාපේක්ෂව එම දාරය මහතින් යුතු යි. මුහුණතට සාපේක්ෂව තිරයේ විහිදීම 90%ක් වන අතර, 3:2 aspect ratio එකකින් සමන්විත යි.

IPS තිරය අඟල් 14ක QHD (2,160 x 1,440) තිර විභේදනයකින් යුතු යි. මෙහි Touch screen පහසුකම ද සහිත මාදිලියක් ද තිබෙනවා. එහි Screenshot එකක් ගන්නට අවශ්‍ය වූ විට කළ යුත්තේ ඇඟිලි තුනක් ඉහළ සිට පහළට swipe කිරීම යි. අසව් වඩාත් සවිමත්ව ඇති නිසා Touch කරද්දී ලැප්ටොප් පියන එහා මෙහා වීම ඉතාම අවම යි.

Eye protection mode එකක් ලැබෙන නිසා දිගු කාලයක් තිරය දෙස බලා සිටීමේ දී ඇතිවන අපහසුතාවන් මඟහැරෙනවා. තිර දීප්ත අගය 300 nits වන නිසා එය වෙළඳපොළ ඇති වෙනත් නිෂ්පාදනවලට සාපේක්ෂව දීප්තිමත් නොවන නමුත් 100% sRGB හැකියාවන් නිසා වඩාත් හොඳ වර්ණ අත්දැකීමක් ගෙන එනවා.

සැකැස්ම

Power බොත්තම මත ඇඟිලි සලකුණු සංවේදකයක් (top10radar.com)

ලෝහමය සැකැස්ම සමග මෙය මුදලට සරිලන පෙනුමක් ගෙන එනවා. තිරයේ සිට කීබෝඩ් එක දක්වා ඇති දුර අවම වන අතර Fingerprint sensor එකක් ද සහිත Power බොත්තම දකුණු පසින් යොදා තිබෙනවා. කීබෝඩ් එක යටින් දෑත් තබා ගැනීමට වැඩි ඉඩකඩක් තිබෙන නිසා ප්‍රමාණයෙන් විශාල අත්ලක් තිබෙන කෙනෙක්ට වුවත් පහසුවෙන් දෑත නිදහස් කරගත හැකියි. විශාල ප්‍රමාණයේ Trackpad එක හරිමැදින් නමුත් දකුණු පසට මඳක් බරව යොදා තිබෙනවා. එහි මතුපිට වීදුරු ආලේපිත යි.

අවම ports ප්‍රමාණයක් (mlstatic.com)

USB A ports දෙකක් (එකක් 3.0 සහ අනෙක 2.0), ආරෝපණයට සහ දත්ත හුවමාරුවට (DisplayPort) සැකසූ USB C 3.1 port එකක්, HDMI සහ 3.5mm headphone jack එකක් මෙහි අඩංගුයි. වැඩි මිල, සැහැල්ලු පරිගණකවල මෙලෙස අඩු port ගණනක්, RJ45 jack සහ DVD writer ආදිය අඩංගු නොකිරීම සාමාන්‍ය යි. අවාසනාවකට මෙහි MicroSD slot එකක් ද නැහැ. බර කිලෝ ග්‍රෑම් 1.49ක් වන අතර ඝනකම සෙන්ටිමීටර් 1.6ක් පමණ නිසා මනා පෙනුමක් සහ ඉතාම පහසුවෙන් රැගෙන යාමට හැකි වෙනවා.

අමුතු යතුරුපුවරුව සහ කැමරාව

වෙනස් layout එකකින් යුත් කීබෝඩ් එකක් (notebookcheck.net)

Matebook 14 පරිගණකයේ කීබෝඩ් එකෙහි යතුරු සැකැස්ම ටිකක් අමුතු පෙනුමක් ගන්නවා. ESC යතුරට පසු F1 සිට F12 දක්වා ගොස් Del බොත්තමෙන් එය අවසන් වෙනවා. Backspace, Shift, Enter යතුරුවල නම අකුරින් සඳහන් කර නැහැ. වම්පස Shift බොත්තම ඉතාම කුඩා, සාමාන්‍ය යතුරක ප්‍රමාණයටම යොදා ඇති අතර දකුණු පස Shift යතුරට අනවශ්‍ය දිගක් ලබා දී තිබෙනවා. එනිසා මේ කීබෝඩ් එකට හුරුවන්නට ටිකක් කල් ගත විය හැකියි. දකුණු අතින් Shift Key එක පාවිච්චි කරන කෙනෙක්ට නම් ගැටළුවක් වන එකක් නැහැ. Right click කිරීමට Key එකක් ද ලබා දී නැහැ. සාමාන්‍යයෙන් Enter යතුරට ඉහළින් යොදන Separator (|) සහ Backslash () යතුර මෙහි වම්පස Shift එක සමග යොදා තිබීම විකාරරූපී යි. නමුත් කීබෝඩ් එක backlit නිසා රාත්‍රියේ භාවිතය ද පහසු යි.

F6 සහ F7 අතර අමතර යතුරක් යොදා එහි කැමරාව සඟවා තිබෙනවා. පසුගිය වසරේ ආ Matebook 13 සහ Huawei MateBook X Pro සතුව ද මෙම සැකැස්ම දකින්නට තිබුණා. වෙනත් ලැප්ටොප්වල මෙන් කැමරාව නිරාවරණය වී තිබීම හරහා හැකර්වරුන් එය සක්‍රීය කොට ඔත්තු බැලීම වැළැක්වීමට මෙලෙස කීබෝඩ් එකෙහි සඟවා තිබෙනවා.

මෙලෙස ඉතා පහතින් කැමරාව තැබුවාම වීඩියෝ ඇමතුම්වල දී අපේ නහය තුළින් ඉස්මොළය පවා දැකගන්නට ඇමතුමේ අනෙක් පස සිටින කෙනාට සිදුවන නිසා මෙය ගැටළු සහගත යි. ‘තිරයේ විශාල බව සහ තුනී දාර’ යන වාසිය ගැන සැලකූ විට, නිතර වීඩියෝ ඇමතුම් නොගන්නා කෙනෙක්ට මෙය ගැටළුවක් වන්නේ නැහැ. මෙම කැමරාව 720p තිර විභේදනයක් ඇති 1MP සංවේදකයක් නිසා (නාස් කුහරයේ) වඩාත් හොඳ දසුන් ගෙන එනවා.

පද්ධති වි‍ශේෂාංග

OneHop File sharing විශේෂාංගය සමග දුරකතනයෙන් පරිගණකයට ගොනු ලබා දීම පහසුයි (saudigazette.com.sa)

Intel Core i5 8265U හෝ i7-8565U ලෙස මාදිලි දෙකකින් සහ 2GB NVIDIA GeForce MX150 ග්‍රැෆික් කාඩ් එකක් සමග ද මෙය ලබාගත හැකියි. එයට 8GB සිට 16GB RAM ධාරිතාවත්, 256GB සිට 512GB දක්වා වූ (PCI-e X4) SSD ධාරිතාවත් එක්වූ විට බරසාර ග්‍රැෆික්ස් කටයුතු මෙන්ම පරිගණක ක්‍රීඩාවලටත් අපූර්ව අත්දැකීමක් ලබාගත හැකි වෙනවා. Crysis 3, Mortal Combat XL, The Witcher 3, Fallout 4, Resident Evil 7 සහ උපරිම සැකසුම් යොදා PUBG වැනි ගේම් රැසකට මෙය වඩාත් ‍හොඳින් මුහුණ දෙනවා.

Dolby Atmos ශබ්ද මාධූර්යයන් ගෙන එන මෙහි ස්පීකර චැසිය යට පැත්තෙහි යොදා තිබෙනවා. මේසය මත තබා භාවිතයේ දී ඉන් අපහසුතා ඇතිවිය හැකියි. මෙහි ඇති මයික්‍රොෆෝන 4ක පද්ධතිය වඩාත් සංවේදීව මීටර් 4ක දුරක් දක්වා ඇතිවන බාහිර ශබ්ද අතහැර ඔබේ කටහඬ ග්‍රහණය කරගන්නා බැවින් Cortana වැනි සේවාවන් භාවිතය වඩාත් පහසු වෙනවා.

ඉහළ පෙනුම (eastday.com)

Li-Po බැටරිය විනාඩි 15ක ආරෝපණයකින් පසු පැය 3ක් දක්වා පාවිච්චි කළ හැකි වන අතර, පූර්ණ ආරෝපණයකින් පැය 15ක් (1080p සහ 150 nits brightness යටතේ) එක දිගට වීඩියෝ නරඹන්නට හැකියි. එනම්, සාමාන්‍ය භාවිතයේ දී දිනක් පමණ පාවිච්චියට ප්‍රමාණවත් බැටරි බලයක් මෙය ගෙන එනවා. Bluetooth මවුස් එකක්, Docking station එකක් සහ Huawei backpack එකක් ද නොමිලේ ලබා දීම විශේෂත්වයක්.

Touch screen එකක්, Intel Core i7 CPU, 16GB RAM, සහ 512GB SSD එකක් සහිත මාදිලිය අන්තර්ජාල වෙළඳපොළෙහි $1690 හෙවත් රු. ලක්ෂ 3ක් පමණ වෙනවා.

කවරය: futurecdn.net

Related Articles