Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටින්ටින් පොත්වල දකින්න ලැබුණු ඇත්තම කාර් රථ 10ක්

චිත්‍ර කතාවක් වශයෙන් මෙන්ම කාටූන් එකක් වශයෙන් ද අප කාගේත් සිත් දිනාගත් TinTin කතා මාලාව ත්‍රාසය, කුතුහලය මෙන්ම ප්‍රහසනයෙන් ද මුසුවූවක්. ටින්ටින්, හැඩොක්, කැල්කියුලස් මෙන්ම චිත්‍ර කතාවේ කතා කරන්නට ද හැකියාව තිබුණු ස්නෝවි විවිධ රටවල සංස්කෘතීන් මෙන්ම අභ්‍යවකාශ තරණය පිළිබඳව ද අපේ ළමා සිත් පෝෂණය කළා. කතාව පමණක් න‍ොවෙයි, තේමා ගීතය ඇහෙද්දිත් ඇඟ කිළිපොළා යනවා! කියවන්න පටන් ගන්න කලින් ඒකත් අහලාම ඉන්න.

ටින්ටින් චිත්‍ර කතාවල සැඟවී තිබුණු දෙයක් තිබෙනවා. ඒ තමයි, එහි යොදාගත් කාර් රථ, බස්, ගිනි නිවන රථ, ගුවන් යානා බොහොමයක් හුදෙක් මන:කල්පිත ඒවා නොවීම යි. එලෙස දකින්නට ඇති කාර් රථ කිහිපයක් ගැන අපි දැන් සොයා බලමු.

ටැපියෝකා සතු වූ රුසියාවේ නිපැයුණු ZIL 114

හැඩොක්ට දුම්කොළ ගැනීමට නැවැත්වූ අවස්ථාව

ටැපියෝකාපොලිස්හි ජෙනරල් ටැපියෝකා තමාව බලයෙන් පහ කිරීම සඳහා වූ සැලසුමකට සම්බන්ධ ලිපි ගොනු ඇති බව පවසමින් බියංකා කැස්ටෆියුරි අත්අඩංගුවට ගන්නා ඔහු රූපවාහිනිය හරහා ටින්ටින්, කැල්කියුලස් සහ කැප්ටන් හැඩොක් ද‍ මෙයට සම්බන්ධ බවට චෝදනා කරනවා. ඔහු ෆැසිසිස්ට් වාදියෙකැ යි ටින්ටින් එය ගණන් නොගන්නා නමුත් සුපුරුදු පරිදි තම කේන්තිය පාලනය කර ගත නොහැකි හැඩොක් එරටට නොයන බවට ගිගුම් දෙනවා. නමුත් කන් නොඇසෙන කැල්කියුලස් හිතන්නේ කැප්ටන් එරටට යනවායැ යි කී බව යි! අවසානයේ එහි ගිය කැප්ටන් සහ කැල්කියුලස් කැමරා මඟින් නිරීක්ෂණයට ලක් වෙනවා. හැඩොක්ට දුම්කොළ ගන්නට ඕනෑ වූ විට ඒ වෙනුවෙන් පොලිස් බල ඇණියක් ද යොදවනවා. අන්න ඒ ගමනේදී එයාජේ තෝරා ගන්නේ ZIL 114 කාර් රථය යි.

ඇමරිකාව හා රුසියාව අතර පැවති සීතල යුද්ධයේ උච්චතම කාලවකවානුව වූ 1970 කාලයේ රචිත මෙම ‘ටින්ටින් සහ පිකාරෝස්’ පොතේ දී එයාජේ දුෂ්ට චරිතයකට රුසියානු කාර් රථයක් යෙදීම අහඹුවක් නොවෙයි.

ZIL 114 කාර් රථය (flickr.com)

සැවෝදි ඉමීනි ලිඛාකොවා (Zavod Imeni Likhachova – ZIL) නමැති රුසියානු ආයතනයේ 1968 සිට 1977 දක්වා නිපැයුණු මෙම කාරය රාජ්‍ය නිලධාරීන්ගේ භාවිතයට ගැණුනා. එය වායු සමීකරණ, Power steering, විද්‍යුත් දොරවල් සහ දොරගුළු, සන්නාහ ආලේපයන්ගෙන් සමන්විත වුණා. ලෙදර් සහ ලී තහඩු වලින් අභ්‍යන්තරය සකසා තිබූ අතර ඇතැම්වා දේශපාලන හේතු මත විවෘත කළ හැකි වහලක් යොදා තැනුනේ හමුදා පෙළපාලි ආදියේ දී ආචාර කරමින් ගමන් කළ හැකි වීමට යි.

මීටර් 6ක් පමණ දිග, මීටර් 2ක් පළල සහ මීටර් 1.5ක් උසින් යුතු ZIL 114 කාරයේ රෝද හතරටම ඩිස්ක් ‍බ්‍රේක් තිබූ අතර හෑන්ඩ්බ්‍රේක් එක පවා පෙඩලයකින් ක්‍රියාත්මක කළ යුතු වුණා. 1971, 1974, 1975 සහ 1976 වසරවල දැඩි සහ වැඩිම පළලකින් යුත් කාර් රථය ලෙස මෙය ගිනස් පොතට ද ඇතුලත් වූවක්.

ටින් ටින්ට කොංගෝවේ දී ගත් Ford Model T

කාරයේ වැදී සුන්බුන් බවට පත් වන්නේ දුම්රියයි

කොංගෝවේ සැරිසැරිම සඳහා සගයෙක් සහ කාරයක් සොයන ටින් ටින්ට ‘කොකෝ’ තරුණයා සහ Ford Model T කාර් රථය හමු වෙනවා. ඔහු වාහනයෙන් රේල් පාරක් පසු කරමින් සිටිය දී වාහනයේ බඳ රේල් පාර මත රැ‍ඳ‍ෙනවා. රෝද නිදහසේ කැරකෙමින් වාහනය සිරවී තිබිය දීම දුම්රියක් පැමිණෙනවා. එය ජීවිතයේ අවසානය යැයි ටින්ටින් බියවන නමුත් වාහනයේ වැදී සුන්බුන් බවට පත් වන්නේ දුම්රිය යි! අවසානයේ ටින් ටින් මගීන් ද සහිත කෝච්චිය ඊළඟ නැවතුමට ඇදගෙන යන්නේත් තම Ford Model T කාරයේ ආධාරයෙනුයි.

Ford Model T රථය (hemmings.com)

1908 සිට 1927 දක්වා නිපැයුණු මෙම කාරය අශ්වබල 20කින් යුතු, කොටස් මාරු කළ හැකි එනම්, එන්ජිමේ සිලින්ඩර පවා ඉතා පහසුවෙන් නඩත්තු කළ හැකි, වේග දෙකකින් යුත් ගියර් පද්ධතියකින් සමන්විත වුණා. පෙට්‍රල්, භූමිතෙල් හෝ එතනොල්වලින් ධාවනය කළ හැකි වූ මෙහි ඉදිරිපස අසුන යට ගැලුම් 10ක තෙල් ටැංකියක් තිබුණා. එහි සිට එන්ජිමට තෙල් ලබා දුන්නේ ගුරුත්වයේ බලයෙනුයි.

පැ.කි.මී. 72ක උපරිම වේගයක් තිබූ Ford Model T රථයේ ඇක්සලේටරය සුක්කානමටම යොදා තිබූ අතර ක්ලච් පැඩලයක් තිබුණේ නැහැ. ඉදිරි ගියරවලට වඩා රිවර්ස් ගියරයට දැඩි ශක්තියක් තිබූ නිසා අමාරු කඳු නැගීමේදී පසුපසට ගමන් කිරීම පහසුවක් වුණා. 

බියංකා කැස්ටෆියුරි ගමන් කළ La Salle 350 Limousine 1934

කාරය සවිස්තරව ඇඳ තිබෙනවා

ටින්ටින් කතා මලාව වෙත එකම, කැපී පෙනෙන, ප්‍රධාන කාන්තා චරිතය වන වීදුරු බි‍ඳින්නට තරම් උස් (සහ කැප්ටන්ට පෙන්නන්නට බැරි) කටහඬකින් ගී ගැයිය හැකි බියංකා කැස්ටෆියුරි හඳුන්වා දෙනු ලබන්නේ ‘ඔටාකා රජුගේ සෙංකෝලය’ හි දී යි. එම කථාවේ, ඇලම්බික් මහාචාර්යයවරයා සමග (ඇත්තටම, ඔහුගේ නිවුන් සහෝදරයා සමග) ගුවන් යානයකින් යන ටින්ටින් ව සිල්වඩේවියාවේ අගනුවර වන ක්ලෝව්හි දී පහළට හෙළනවා. ඔහු පණ බේරාගෙන පොලීසියට ගිය ද විස්කිටොට්ස් කැප්ටන්වරයා ඒ ඔත්තුව සොරුන්ට ලබා දෙනවා. ඉන් බේරීමට පැන යද්දී වාසනාවකට ටින්ටින්ට බියංකා ගමන් ගනිමින් සිටි La Salle 350 ලිමොසින් රථය හමු වෙනවා.

La Salle 350 ලිමොසින් රථය (pinimg.com)

ඇමරිකාවේ වාහන නිෂ්පාදකයකු වන General Motors හි Cadillac සුඛෝපබෝගී වාහනයක් වන මෙය ගුවන් යානයක මුහුණැතිව වායුගතික විද්‍යාවන් හොඳින් යොදාගෙන සකසා තිබෙනවා. 1927 සිට 1940 දක්වා සැකසුණු මෙහි ඇති සිලින්ඩර් 8ක එන්ජිම 3,700 rpm හි දී 95 BHP අගයක් (BHP යනු බල හානි රහිත අශ්ව බලය යි) ලබා දෙනවා. වේග තුනක ගියර් සහිත මෙහි එන්ජිමේ වාතය පිට වීමට බොනට් එක දෙපස රවුම් කවුළු කපා තිබීම විශේෂ ලක්ෂණයක්. ටින්ටින් පොත්වල ඇත්තේ මේ රථයම බව සපථ කිරීමට එය සාක්ෂි දරනවා. මෙය දොර 2 coupe රථයක් හා convertible එකක් ලෙස, දොර 4 සෙඩාන් සහ ලිමොසින් ලෙසත් නිපැයුණා. මෙහි වීදුරුවල සවිමත් බව කියාපාන්නට මෙන් බියංකා රථය තුළ සිට ගයන ගීය නිසා ඒවා පුපුරා නොයන බව දැක ටින් ටින් පුදුම වෙනවා.

ටින්ටින්ව පැහැරගත් Jaguar Mark X

නූතන වෙළුමේ ඇති රතු පැහැ රථය

කළු දිවයිනේ සුලමුල සෙවීමට මුල පිරීම සඳහා ඊස්ට්ඩවුන් වෙත Ford Zephyr ටැක්සියකින් ගමන් ගනිමින් සිටින ටින්ටින්ව අපරාධකාරයන් දෙදෙනෙක් විසින් පැහැරගන්නේ මෙරූන් පාටැති Jaguar Mark X රථයකින් (1938 මුල් වෙළුමේ ඇත්තේ කළු පැහැති Humber Snipe 1936 රථයක්).

Jaguar Mark X රථයක් (wikimedia.org)

1961 සිට 1970 දක්වා නිපැයුණු මෙම කාර් රථ මෙකල රෝල්ස් රොයිස් රථයක් මෙන් වටිනාකමට පාත්‍ර වූ වාහනයක්. මෙහි කැබින් එක, ඩෑෂ්බෝඩ් එක ද ඇතුළුව ලීවලින් අලංකාරව සකසා තිබෙනවා. කිලෝ ග්‍රෑම් 1900ක් තරම් බර මෙම කාරය පණ ගැන්වෙන්නේ සිලින්ඩර් 6ක 3,781 cc එන්ජිමකින්. 5,500 rpm හි 265 BHP අගයක ජවයක් ඊට ජනනය කළ හැකියි. ගියර් 4ක වේග පද්ධතියක් මෙය සතු වූ අතර පැ.කි.මී. 192-195 තරම් වේගයකට ළඟාවිය හැකි වුණා. මීටර් 5ක් දිග, මීටර් 2ක් පළල සහ මීටර් 1.3ක් උස මෙම කාර් රථ පසුකාලීනව වායු සමීකරණ සහ ශබ්ද ප්‍රතිරෝධී වීදුරු යොදා සැකසුණා.

ටින්ටින්ව පැහැරගත් Graham Special Six 1935

විවිධ පැති හොඳින් නිරූපිතයි

‘ටින්ටින් ඇමරිකාවට යයි’ (TinTin in America) කතාවේදී දුෂ්ටයන් සහ අපරාධකරුවන්ගෙන් පිරුණු චිකාගෝවට පිවිසෙනවාත් සමගම ටින්ටින් පැහැරගැනීමකට ලක් වෙනවා. ඉන් පැනගෙන අපරාධකරුවන් පිරිසක් අල්වා ගත්ත ද ඔවුන් ගෙනයාමට පොලීසියේ මුවාවෙන් ඔහුව රැගෙන යන්නට ‍අපරාධකරුවන් පිරිසක් එන්නේ කොළ පැහැති Graham Special Six 1935 රථයකිනුයි. මෙම රථය දිවා කාලයේ මෙන්ම පසුව ටින්ටින් මුහුදට දමන්නට ගිය අවස්ථාවේ රාත්‍රී ජවනිකාවක දී ද දකින්නට ලැබෙනවා.

දැන්වීමක නිරූපිත ඡායාරූපයක් (pinimg.com)

 

ඇමරිකානු Graham-Paige සමාගමේ නිපැයුණු මෙය දොර 4 සහ අසුන් පේළි දෙකකින් යුත් කාරයක්. චිත්‍ර කතාවේ නම් ආසන පේළි තුනක හිඳගෙන ඉන්න ආකාරය දකින්නට ලැබෙනවා. සිලින්ඩර් 6ක එන්ජිමක්, අශ්වබල 90ක් සහ හයිඩ්‍රොලික් බ්‍රේක් සහිත මෙය දිගු දුර රැලි ධාවනය සඳහා යොදා ගැණුනා. බොනට් එක විවෘත වන්නේ පියන් දෙකක් ලෙස ඉහළට එසවීමෙනුයි. රෝද පැතිරුම (wheel base) අඟල් 120ක් වෙනවා.

බොබී ස්මයිල්ස් පැන ගිය Bugatti Type 37

තනි කොටුවක විස්මයාවහ ජවනිකාවක්

‘ටින්ටින් ඇමරිකාවට යයි’ පොතේ දුෂ්ට චරිතයක් වන බොබී ස්මයිල්ස් නායකයා ඇතුළු සොරමුල පොලීසියට සම්පූර්ණයෙන්ම අල්වා දුන් බවට ටින්ටින් (සහ අපත්) සතුටින් සිටින වෙලාවේ එක්වරම රතු පැහැති Bugatti Type 37 රථයකින් බොබී පැනයන ආකාරය දක්වනවා. පොත පුරාවටම මෙම රථය දකින්නට ඇත්තේ මේ කොටුවේ පමණයි.

අද ලොව වේගවත්ම කාර් රථ වන Veyron, Chiron වැනි කාර් රථවල නිෂ්පාදකයා වන බුගාටි සමාගමේ වඩාත් සාර්ථක රේසිං කාර් එකක්වූයේ Bugatti Type 37 රථයයි. තරග 351ක් සහ වාර්තා 47ක් තැබූ මෙම රථය 1926 දී Grand Prix ලෝක ශුරයා බවට ද පත්වුණා.

නිල් පැහැ රථයක් (ft.com)

දිගු බොනට් එක මෙහි විශේෂ ලක්ෂණයක් වන අතර වාහනයේ සම්පූර්ණ දිග මීටර් මීටර් 3.6 යි. රේසිං කාර් එකක් වශයෙන් තනි පුද්ගලයෙක්ට පමණක් පැදිය හැකි එහි පළල මීටර් 1.3ක් වුණා. 6,000 rpm අගයක් සහ අශ්ව බල 90ක් මෙය සතු වුණා. 

ටින්ටින් වැරදීමකින් සොයාගත් Hotchkiss Type V

ටින්ටින් අංක තහඩුව හඳුනාගැනීමට උත්සාහ කරමින්

අරුම්බයා පිළිමය (The Broken Ear) කතාවේදී කාර් රථයක් ටින්ටින්ව මාර්ග අනතුරකට ලක්කර පලායන්නට උත්සාහ කරනවා. එහි වාහන අංකය අසල සිටි අයෙක් මතක තබාගෙන ඔහුට කියන නමුත් ඔහුව හැප්පීමට උත්සාහ කළ Renault Celtaquatre රථය වෙනුවට ඔහුට දකින්නට ලැබෙන්නේ වයසක දෙපළක් සතු Hotchkiss Type V කාර් රථය යි.

Hotchkiss Type V රථය (thetransportjournal.com)

ස්වයංක්‍රීය ගිනි අවි පවා සැකසූ ප්‍රංශ සමාගමක් වන Hotchkiss යනු වාහන අමතර කොටස් සකසමින් සිට ක්‍රමානුකූලව වාහන නිෂ්පාදනය වෙත එක්වූ ආයතනයක්. පැරණි අශ්ව කරත්තවල පෙනුමට සමානව සකසා ඇති මෙහි පසුපස ආසන වෙනම සකසා තිබෙනවා. රියදුරු ආසනය පිටතට නිරාවරණයවී තිබෙනවා. පසුපස රෝද වලින් ධාවනය වන වාහනයක් වන මෙහි තාක්ෂණය Hotchkiss ආයතනය විසින්ම නිපදවන ලද්දක්. 1910 දී නිපැයුණු මෙම රථය සිලින්ඩර් හයක පෙට්‍රල් එන්ජිමක් දරනවා. එය ජලයෙන් සිසිලනය කෙරෙනවා. වේග හතරක ගියර් පද්ධතියක් ඇති Hotchkiss Type V රථය 40 – 50 BHP ප්‍රමාණයකට හිමිකම් කියනවා.

ටින්ටින් තමාවම මානසික රෝහල් ගත කරගත් Lincoln Model L 1926

කොටු දෙකක දිගින් යුත් ජවනිකාවක් ‍මේ කාරයට වෙන්වුණා

පාරාවන්ගේ අභිරහස කතාවේ විශේෂ කොට දක්වන ලද කොටුවකට ගොනුවන කාර් රථයක් බවට Lincoln Model L පත්වුණා. ආචාර්ය සාකොෆගූස් සමග පා‍රාවෝ සොහොනකට පිවිසෙන ටින්ටින් අපරාධ කල්ලියකට හසු වෙනවා. ටින්ටින් දිවි ගලවාගෙන මැද පෙරදිග හරහා ඉන්දියාවට ගුවන් යානයකින් පතිත වෙනවා. එහිදී ඔහුට සාකොෆගූස් යළි හමුවෙතත් ඔහුගේ සිහි විකල වී පවතිනවා. ඔහුව මානසික රෝහලකට රැගෙන යාම සඳහා ටින්ටින් යොදාගන්නේ Lincoln Model L කාරය යි.

Lincoln Model L රථයක් (conceptcarz.com)

Lincoln Motor Company සමාගමේ ප්‍රථම කාරය වූ මෙය පසුව සුප්‍රසිද්ධ Ford සමාගමට අයත් වුණා. සුඛෝපබෝගී රථයක් ලෙස එය 1917 සිට 1930 දක්වා නිපැයුණු අතර ඇමරිකාව, මැද පෙරදිග සහ චීනයේ අලෙවි වූවා. අශ්වබල 81ක්, වේග තුනක ගියර් පද්ධතියක් සහ පැ.කි.මී. 112ක වේගයක් මෙය සතු වුණා. 

ඔටුන්න හිමි කුමාරයා බේරාගත් Alfa Romeo P3

ටින්ටින් සිතන්නේ තවමත් තොම්සන්ලා වාහන‍යේ සිටින බවයි

පාරාවන්ගේ අභිරහස කතාවේ දකින්නට ලැබෙන තවත් රථයක් වන Alfa Romeo P3 ටින්ටින් මේ පදවාගෙන යන්නේ ගයිපජාමා හි ඔටුන්න හිමි කුමරයා පැහැරගත් අයව අල්වා ගන්නට යි. මැජික් ලණුවක නැගී, රාජයිජාහ් රසායන ද්‍රව්‍යය කැවූ ඊතලවලින් විදින පුද්ගලයෙක් පසුපස ගොස්, පොල් ගසක අභ්‍යන්තරයේ රහස් කාමරයක සිටින කුමන්ත්‍රණකරුවන් පිරිසක් පොලීසියට අල්වා දුන් අවස්ථාවේ එම පුද්ගලයා තවකෙකු සමග ඔටුන්න හිමි කුමාරයා පැහැරගෙන පටු කඳු සහිත පාරක ගමන් කරද්දී ටින්ටින් වේගයෙන් ඔවුන්ව ලුහුබැඳ යනවා. ටින්ටින් කෙතරම් වේගයෙන් ආරම්භය ගත්තා ද කියනවා නම්, පසුපස සිටි තොම්සන් දෙපළ එතැනම වාහනයෙන් ඉවතට ඇද වැටෙනවා!

Alfa Romeo P3 Tipo B රථයක් ධාවනයේ යෙදෙමින් (flickr.com)

ඉතාලියානු Fiat සමූහයේ නිෂ්පාදනයක් වන Alfa Romeo කාර් රථ අද අප දකින Ferrari කාර් සහ එම අශ්වයා සහිත ලාංඡනයට මුල පිරුවා. කාර් රේස් සඳහා සුවිශේෂීවූ ආයතනයක් වශයෙන් විතාරියෝ යෑනෝ (Vittorio Jano) අතින් P3 රථය විශේෂයෙන්ම නිපැයුණේ 1932 Grand Prix තරගාවලිය සඳහායි. එහි මූලික තරග 5කින් ජය ලබන්නට ඊට හැකිවුණා. සිලින්ඩර 8ක 2654 cc එන්ජිමක් ඇති මෙය අශ්වබල 215කින් යුතු වූවා. වේග හතරක ගියර් සමග පැ.කි.මී. 224ක වේගයක් එයට ලද හැකි වුණා. රේසිං වෙනුවෙන්ම සකසන ලද නිසා තනි අසුනකින් සමන්විත වුණා (යන්තම් වාඩිවී සිටි තොම්සන්ලා ඇදවැටුණු එක අහම්බයක් නොවෙයි). කාරයේ බර කි.ග්‍රෑ. 700ක් වූ අතර 1935 වනතුරු නිපැයුණා.

හුදෙක් පාරේ තිබූ මන:කල්පිත වාහනයක් නොවූ Mercedes Benz 220

හැඩොක් මුළු නගරයම අවුල් කළා

ටින්ටින් කථා මාලාව තුළ සත්‍ය කාර් රථ හිතාමතාම යොදාගත් බව හොඳින් සනිටුහන් වන සාධකයක් වන්නේ ‘ටිබෙට් දේශයට ගිය ටින්ටින්’ කතාවේ මහමඟ ජවනිකාවකුයි. ටින්ටින් තම මිත්‍ර ‘චෑං’ සොයාගෙන (හචෑං!) නේපාලයට ආ ගම‍නේදී කැප්ටන් හැඩොක් ගොනෙකුගේ පිටට නගිනවා. ගොනා පාර පුරා දුවන්නට පටන් ගන්නා අතර, පාරේ ගමන්ගත් කොළ පැහැති Benz 220 රථයක් ඉදිරියේ ඇති කාරයේ ගැටෙනු දකින්නට ලැබෙනවා. එසේම මෙහි ඇති නිල් පැහැති කාරය Austin Cambridge A50 එකක්.

Benz 220 රථයක් (bringatrailer.com)

Mercedes Benz 220 රථ මාදිලි කීපයකින් නිකුත් වූ අතර මෙහි දකින්නට ඇත්තේ W187 සුඛෝපබෝගී කාරයයි. දෙවෙන ලෝක යුද්ධයෙන් පසු සැකසුණු මෙහි පෙනුම Benz S170 කාරයට සමාන වුණේ බෝම්බ වලින් සුරැකී තිබුණේ එහි කොටස් නිසා යි. සිලින්ඩර් 6ක 2,195 cc එන්ජිමක්, වේග හතරක ගියර් පද්ධතියක්, පැ.කි.මී. 135 වේගයක්, 70 BHP අගයක් Benz 220 සතුවුණා. බර කි.ග්‍රෑ. 1,690 වූ මෙය 1951 සිට 1955 දක්වා නිපැයුණා. 

ටින්ටින් කතා මාලාව තුළ ඔබ හඳුනාගත් වෙනත් කාර් වර්ග මොනවා ද?

මූලාශ්‍ර:
thetransportjournal.com
ටින් ටින් චිත්‍ර කථා පොත් පෙළ

කවරය: nyt.com

Related Articles