Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බජට් ෆෝන් වලටත් Android Go සමඟ Oreo ගෙන එයි

කාලය ගතවත්ම මුදල්වල අගය වැඩි වෙනවා වගේම පරිගණක තාක්ෂණයේ ඉලක්කම්නුත් ඉහළ යනවා. ඒ කාලේ Windows 98වල අවම පද්ධති අවශ්‍යතාව වූයේ 500MB සහ 16MB රැම් එකක් වුණත් අද වන විට කිසිම මෙහෙයුම් පද්ධතියක් අනෙකුත් සරල වැඩ එක්ක වුණත් ගිගාබයිට් 4ක රැම් එකකින් දුවන්න පුළුවන් වෙන්නේ බොහොම අමාරුවෙන්. මේ ආකාරයට දුරකතන මෙහෙයුම් පද්ධතීනුත් ඉහළට යද්දී ඒවායේ යොදා ගැනෙන පද්ධති අවශ්‍යතා ප්‍රමාණය ඉහළ යන්නේ ඒ වෙනුවෙන් කැපවන දෘඪාංග සමඟ දුරකතනවල මිලත් ඉහළ යමිනුයි.

අපි, ඉන්දියාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල්වල මිනිස්සු බොහොම දුක් මහන්සියෙන් එකතු කරගත් සොච්චමෙන් රුපියල් තිස්දාහක් විතර අමාරුවෙන් හොයාගෙන ෆෝන් එකක් ගත්තත්, ඒක දවස් දෙකක් යද්දීම අප්ඩේට් හතර පහක් ඇවිදින් හොඳටම ස්ලෝ වෙලා යනවා.‍ මේ නිසා ලොකු ගාණක් දීලා ස්මාර්ට් ෆෝන් එකක් ගත්තාට ඊට වඩා රුපියල් තුන්දාහකට විතර ගත හැකි නම්බර්පෑඩ් සහිත ෆීචර් ෆෝන් එකක් ගත්තා නම් හොඳයි කියලා නොහිතෙන එක පුදුමයක් නොවෙයි. නමුත් මේ දැවැන්ත, දැවෙන ප්‍රශ්නයට විසඳුමක් ගූග්ල් සමාගම විසින් හඳුන්වාදී තිබෙනවා. ඒ කියන්නේ අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් වෙළුම බජට් ෆෝන් වල වුවත් ධාවනය කළ හැකි ආකාරයේ විසඳුමක් ඔවුන් දෙසැම්බර් 6 වැනිදා එළි දැක්වූවා.

ලෝකයේ වැඩි ඉල්ලීම වෙනුවෙන්

phandroid.com

අපි හැමෝම හිතාගෙන ඉන්නේ ඇමරිකාව තමයි ලෝකයේ බලවත්ම රට කියලා. නමුත් මේ වන විට ආසියාතිකරය ඇමරිකාවට ද අභියෝගයක්ව තිබෙනවා. ජනගහනයේ අධික බව රටකට අවාසියක් සේ බැලු බැල්මට පෙනුනත් නිෂ්පාදන ක්‍රියාවලියකදී වැඩිම පාරිභෝගික ප්‍රජාවක් සිටින ප්‍රදේශයන්ට ව්‍යාපාර අංශය නිතැතින්ම නතු වෙනවා. “කොළඹට කිරි – ගමට කැකිරි” යන කතාවත් මේ වගේ දෙයක්. කොළඹ කියන්නේ මාර්ග, බස්, දුම්රිය, වෙළඳපොළ සහ සෑම පළාතකම ජනතාව වැඩිපුර ගැවසෙන නිසා සෑම අංශයකම සන්ධිස්ථානයක් බවට පත්ව තිබෙනවා. එම නිසා සියළු යටිතල පහසුකම් එයට ලබාදිය යුතු අතර, ව්‍යාපාරිකයන් ද තමන්ගේ සම්පත් ලබාගැනීමේ පහසුව, කුඩා ප්‍රදේශයකින් වැඩි පාරිභෝගික පිරිසකට ළඟාවීම ආදී දේවල් කරණ කොට ගෙන එම ප්‍රදේශයම තෝරා ගන්නවා. ඒ හරහා නිතැතින්ම එය සුරපුරයක් බවට පැමිණෙනවා.

ගූග්ල් සමාගමට වූයේත් මේ ටිකමයි. ගූග්ල් සමාගමේ වත්මන් විධායක නිලධාරී සුන්දාර් පිචායි ඉන්දීය ජාතිකයෙක් වුවත් ඊටත් වඩා ඔවුන්ට බලපෑ කරුණක් වූයේ ඇමරිකාවටත් වඩා වැඩි ප්‍රමාණයක පරිශීලක සංඛ්‍යාවක් ඉන්දියාවෙන් ගොඩ නැගීමයි. ඇන්ඩ්‍රොයිඩ් සතුව මේ වන විට බිලියන 2ක පරිශීලකයන් පිරිසක් එක්රොක්ව සිටිය ද ඉන් වැඩිම ප්‍රමාණයකට හිමිකම් කියන්නේ ඉන්දියාවයි. නමුත් මේ වැඩි පරිශීලක පිරිසට ඇමරිකාවේ අයට තරම් වත්කමක් නැහැ. බොහොම සුළු මුදලකට ලබාගත් දුරකතනයකින් තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් හැකි පමණින් පිරිමසා ගන්නා ඔවුන්ට වැඩි යමක් දී තවත් වැඩි පිරිසක් තමන්ගේ පාරිභෝගයන් බවට පත් කරගන්නට ගූග්ල් සමාගම සූක්ෂ්ම වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි නූතන ඇන්ඩ්‍රොයිඩ් වෙළුම වන Oreo සඳහා Go නමින් වෙළුමක් එක් කළේ. මෙම තීරණය පිළිබඳව මේ වසරේ පැවැත්වුණු ගූග්ල් සංවර්ධක සමුළුවේදී ද ඔවුන් දැනුම් දෙනු ලැබුවා..

Oreoහි ම සංක්ෂිප්තයක්

9to5google.com

ඇන්ඩ්‍රොයිඩ් 8.0 ඕරියෝ වෙළුම එලෙසින්ම පවත්වාගෙන යමින් එය මත පදනම්වූ අතුරු වෙළුමක් ලෙස Android Go හඳුන්වාදෙනු ලබනවා. මෙහි මූලික අරමුණ වන්නේ 512MB සිට 1GB රැම් ධාරිතාවයක් සහිත අඩු මිල දුරකතනවල ධාවනය විය හැකි ආකාරයේ මෙහෙයුම් පද්ධතියක් ගෙන ඒමයි. එහි ප්‍රධාන කොටස් තුනක් තිබෙනවා:

මෙහෙයුම් පද්ධතිය

අඩුමිල සහ පැරණි දුරකතනවල රැම් එකේ අඩුබව හැරුණාම තිබෙන තවත් ගැටළුවක් තමයි එහි අභ්‍යන්තර ධාරිතාවේ ද අඩුකම. මේ නිසා ඇප්ස් ස්ථාපනය කිරීමෙන් සහ මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන වීමෙන් අභ්‍යන්තර ධාරිතාව ඉතා ඉක්මණින් පිරී යන නිසා වැඩක් කරගැනීමට ඉඩක් ඉතිරි වන්නේ නැහැ. මේ නිසා ඉතා අවම රැම් බලයක් මෙන්ම අඩු අභ්‍යන්තර ධාරිතාවක් භාවිත කරමින් ධාවනය වන ආකාරයට Android Oreo Go edition මෙහෙයුම් පද්ධතිය සකසා තිබෙනවා.

ගූග්ල් යෙදුම්

9to5google.com

ෆේස්බුක් සමාගම ඔවුන්ගේ බරින් වැඩි ෆේස්බුක් සහ මැසෙන්ජර් ඇප් දෙක තිබියදී ඒ වෙනුවට අඩුබල දුරකතනවල ද ධාවනය විය හැකි ආකාරයේ, විශේෂාංග අවම කරන ලද Lite ඇප්ස් හඳුන්වාදුන්නා. ඒ අනුව ගූග්ල් සමාගමේ ඇප්ස් සඳහා ද මෙතැන් පටන් Google Go, Google Assistant Go, YouTube Go, Google Maps Go, Gmail Go ආදී වශයෙන් අවබල යෙදුම් පැමිණෙන්නේ සුපුරුදු Chrome, Gboard ආදියේ ද විශේෂිත වෙළුම් Oreo Go වෙත අඩංගු කරමිනුයි. මේවා හරහා අභ්‍යන්තර ධාරිතාව, රැම් ධාරිතාව ඇතුළු පද්ධති හැකියාවන් ඉතා අවම වශයෙන් භාවිත කරන අතර අන්තර්ජාල ඩේටා භාවිතය පවා අවම වන ආකාරයෙන් සකසා තිබෙනවා.

විශේෂිත Play Store එකක්

අඩුබල මෙහෙයුම් පද්ධතියකට සහ දුරකතනයකට අඩුබල යෙදුම් ස්ථාපකයක් අනිවාර්යයෙන් අවශ්‍යයි. එම නිසාම Play Store එකත් මඳක් අවබල කොට තිබෙන්නේ පහසුකම් බොහොමයක් එලෙසින්ම පවත්වා ගන්නා අතරතුරේදී යි. මෙහි ඇති විශේෂත්වයක් නම්, අප සෙවීම් සිදුකරන විට උපාංගයට ගැලපෙන ආකාරයේ අවබල යෙදුම් විශේෂණය කොට පෙන්වමින් ඒවා භාවිතයට පරිශීලකයා උනන්දු කරවීමයි. මේ නිසා ඉතා පහසුවෙන් දුරකතනයට වඩාත් උචිත ආකාරයේ සැහැල්ලු යෙදුම් තෝරාගන්නට අවස්ථාව උදා වෙනවා.

ඩේටා රකින Datally

මෙම මෙහෙයුම් පද්ධතියට සමගාමීව දුරකතනයේ භාවිත වන මොබයිල් ඩේටා ප්‍රමාණය මිනිය හැකි ඩේටැලි (Datally) නමින් ඇප් එකක් ද කරළියට පිවිසියා. මෙයට ලබා දෙන ලද කාල ප්‍රාන්තරයක් තුළ එය සක්‍රීය කළ විට අපේ මොබයිල් ඩේටා වැයවන ප්‍රමාණ්‍ය අවප්‍රමාණ කර දෙන්නට මෙන්ම වැයවූ දත්ත ප්‍රමාණය ද අපට සජීවීව පෙන්වන්නට එය සැදී පැහැදී සිටිනවා. ඔබට මෙම යෙදුම ඔබේ දුරකතනයටත් මෙම සබැඳිය හරහා බාගත කරගත හැකියි.

ආරක්ෂාව සහතිකයි

androidauthority.net

මෙහෙයුම් පද්ධතියේ හැකියාවන් අවබල කළාට ගූග්ල් සමාගම ඉන් ඔබගේ දත්තවල ආරක්ෂාවට හානියක් වන්නට නම් කිසිසේත් ඉඩ තබා නැහැ. මේ වන විට Play Store හරහා ක්‍රියාත්මක වන Google Play Protect සේවාව හරහා ඔබ ස්ථාපනය කරනු ලබන සියළුම යෙදුම් වෛරස සහ අනවසර ක්‍රියාකාරීත්වයන් සඳහා ඉන් ස්වයංක්‍රීයව පරීක්ෂා කරනු ලබන අතර Go මෙහෙයුම් පද්ධතියේද මෙය අඩංගු කරමින් ඔබ තෙවන පාර්ශවීයව ස්ථාපනය කරන යෙදුම් පවා පරීක්ෂා කරමින් හොඳ ආරක්ෂාවක් ලබා දෙන්නට සමර්ථ වෙනවා.

ඉතින් මේ ආකාරයට ඔබේ පැරණි දුරකතනය හෝ හැකියාවෙන් අඩු බජට් දුරකතනය ද ඉවතලනවා වෙනුවට මෙම මෙහෙයුම් පද්ධතිය යොදා ගනිමින් එහි පෙරටත් වඩා හොඳට ප්‍රයෝජන ගන්නට හැකියාව ලැබෙනවා. ඒ හරහා කාලය ගතවත්ම දැනට තිබෙන දුරකතනය අත් හරිනවා වෙනුවට තවත් වැඩි කාලයක් එයම භාවිත කරමින් සාක්කුවට වාසි සලසා ගන්නට අපට හැකියාව ලැබෙනවා.

කවරයේ ඡායාරූපය: techook.com

Related Articles