Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොනවාද මේ Object Storage සහ Block Storage කියන්නේ?

පරිශීලක දත්ත සමඟ කටයුතු කරන වෙබ් අඩවි සහ සේවාවන් සඳහා වේගවත් සහ කාර්යක්ෂම දත්ත ගබඩා කිරීමේ ක්‍රමවේදයන් අවශ්‍ය වෙනවා. ඡායාරූප, වීඩියෝ, ලිපිගොනු ආදී දත්තවල ප්‍රමාණය කුඩා වුවත් විශාල වුවත් ගුණාත්මක සේවයක් ලබාදීම සඳහා සහ කාර්යක්ෂමව එම දත්ත හුවමාරු කිරීම සේවය සපයන වෙබ් අඩවිවල සහ මෘදුකාංග නිර්මාණකරුවන් ගේ වගකීමක් වෙනවා. සාමාන්‍ය වෙබ් අඩවියකට වඩා පරිශීලක දත්ත වැඩි වශයෙන් භාවිත කරන සේවාවන්; උදාහරණ වශයෙන් Facebook, Google Drive ආදී සේවාවන් වටිනා පරිශීලක දත්ත ගබඩා කරගනු ලබන අතර ඒවා නිසියාකාරව සංස්කරණය නොකළහොත් ඔවුන්ගේ සම්පූර්ණ සේවාවම බිඳ වැටීම පමණක් නොව පරිශීලකයන්ගේ විශ්වාසය බිඳ වැටීමත්, ඒ හරහා සම්පූර්ණ සමාගමේ ආර්ථිකය බිඳ වැටීමත් සිදු වෙනවා. එනිසා හුදෙක් කිසියම් ස්ථානයක හෝ පුද්ගලයෙකුගේ විස්තර දක්වන වෙබ් අඩවියකට වඩා මේ ආකාරයේ සේවාවල වගකීම ඉතා ඉහළ වෙනවා.

සංකීර්ණ පද්ධතිවල ගොනුවක් හුදෙක් එක් සර්වරයක විතරක් තැන්පත් කිරීමේ කාලය දැන් අවසන් වෙලා ගොඩක් කල්. ඉතින් මෙසේ සර්වරයක සිට ක්ලයන්ට් (බොහෝ විට බ්‍රවුසරය හෝ දුරකථන ඇප්) වෙත සහ ඇතැම්විට සර්වර් දෙකක් අතර දත්ත හුවමාරු කිරීම සඳහා භාවිත වන ක්‍රමවේදයන් දෙකක් පිළිබඳවයි මේ ලිපිය හරහා අපි ඔබව දැනුවත් කරන්නේ.

Block storage

pctechguide.com

අප බොහෝ දෙනෙක් දන්නා ගොනු ගබඩා කිරීමේ ක්‍රමවේදය මේ නමින් හැඳින්වෙනවා. ඔබගේ hard disk එකේ ගබඩා කර තිබෙනවා වගේ සාම්ප්‍රදායික, කොටස් කරන ලද දත්ත ප්‍රමාණයක් ජාලය හරහා භාවිතයට ලබා දීම මෙහිදී සිදුවෙනවා. මෙම සේවා සපයන්නන් ඔබේ අවශ්‍යතාවය අනුව විවිධ ප්‍රමාණයේ දත්ත ගබඩා කිරීමේ කොටස් ඔබේ පද්ධතිය වෙත සපයා දෙනු ලබනවා.

එහිදී එය සාමාන්‍ය ඩිස්කයක් ලෙස භාවිත වන අතර ඔබට අවශ්‍ය පද්ධති ගොනු ආකාරයකින් එය format කිරීමටත්, ඔබේ ගොනු එයට ඇතුළත් කිරීමටත්, එහි දත්ත ගබඩා වන පරිදි දත්ත පාදක සැකසුම් සකස් කිරීමටත් මෙහිදී ඔබට ඉඩ සැලසෙනවා. මේ ආකාරයේ ජාලගත කරන ලද දත්ත ගබඩා කැබලිවල ඊට විශේෂිත වූ වාසි කිහිපයක් තිබෙනවා.

  • උපස්ථ කිරීමක දී ඔබට පෙර තිබූ ගොනු ඒ ආකාරයෙන්ම නැවතත් ප්‍රතිස්ථාපනය කරන්නට පුළුවන්.
  • කාලානුරූපව ඔබගේ ගබඩා කිරීමේ අවශ්‍යතාවයන් ඉහළ යනවිට මෙම ගබඩා කිරීමේ ක්‍රමවේදයේ ප්‍රමාණයන් ද ඉහළ නැංවිය හැකියි.
  • පද්ධති දෙකක් අතර කැබලි ආකාරයේ ගබඩා උපාංග මාරු කිරීම ද පහසු යි.

මේ අනුව මූලික ආකාරයේ ඕනෑම වෙබ් අඩවියකට හෝ සේවාවකට මේ වර්ගයේ දත්ත ගබඩා කිරීමේ ක්‍රමවේදය ගැලපෙන අතර එහි ඇතැම් අවාසි ද තිබෙනවා.

  • වරකට එක් සර්වරයකට පමණක් දත්ත සීමා වෙනවා.
  • ගබඩා කරන ලද දේවල්වලට අදාල අතිරේක දත්ත, එනම් ඒවා ගබඩා කරන ලද දිනය, පුද්ගලයා සහ සේවාව වැනි දේවල් හැරුණුකොට ඔබගේ සේවාවට අදාලව එහි අඩංගු විය යුතු විවිධාකාර තොරතුරු: උදාහරණයක් වශයෙන් එම ගොනුව දැකිය යුත්තේ සේවාව භාවිත කරන වෙනත් කුමන පරිශීලකයන්ට ද පෞද්ගලිකත්ව දත්ත මෙහි අඩංගු කිරීමට හැකියාවක් නැහැ. ඒ සඳහා ඔබට වෙනම දත්ත පාදක වැනි ක්‍රමවේදයන් භාවිත කරන්නට සිදු වෙනවා.
  • ඔබ භාවිත කළත් නොකළත් මුළු දත්ත ගබඩා කිරීමේ කොටසටම ඔබට මුදල් ගෙවන්නට සිදුවෙනවා.
  • මෙහි අඩංගු දත්ත ඔබට භාවිත කිරීමට හැකි වන්නේ ධාවනය වන සර්වරයකින් පමණයි.
  • ගොනු වර්ගය තීරණය කිරීම, ගොනුවේ වෙළුම් පාලනය කිරීම, උපස්ථ කිරීම ආදී කටයුතු සඳහා කොටස් ආකාරයේ දත්ත පද්ධතිවලට විශේෂිත පරිබාහිර මෘදුකාංග අවශ්‍ය වෙනවා.

ඔබට ඔබේ සර්වරයේ ඇති ගොනු පරිගණකයේ ඇති ආකාරයටම දැක ගැනීමට අවශ්‍ය නම් සහ සාම්ප්‍රදායික දත්ත පාදක ක්‍රමවේදයන් සමඟ රැඳෙන මෘදුකාංගයක් හෝ සේවාවක් සපයනවා නම් මේ ආකාරයේ දත්ත ගබඩා කිරීමේ ක්‍රමවේදයක් ඔබට අවශ්‍ය වෙනවා. නමුත් සේවාවේ සංකීර්ණ බව සහ භාවිත කරන ප්‍රමාණයට පමණක් ගෙවීම වැනි අවශ්‍යතාවයන් හමුවේ ඔබට මීට වඩා සැලසුම්ගත දත්ත ගබඩා කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා.

Object storage

signiant.com

මෙම ක්‍රමයේදී යොමු කරන ලද ගොනු කොටස් වශයෙන් ගබඩා කරගන්නවා වෙනුවට ඒවා ව්‍යූහගත නොකර ගබඩා කරනු ලබන අතර එම ගොනු සහ එම ගොනුවලට අදාල අනෙකුත් විස්තර HTTP API හෙවත් වෙබ් අඩවියකින් හෝ app එකකින් යවනු ලබන පණිවිඩයකට අදාළව දත්ත ගෙන්වා ගැනෙනවා. මෙම දත්ත කොටස් කර හෝ කිසියම් ක්‍රමවේදයකට අදාළව ව්‍යුහගත කර නැති අතර ඒවා කොටුකරන ලද ගබඩාවක තැන්පත් කරනවා වෙනුවට ජාලය තුළ විවිධ ස්ථානවල ගබඩා කරනු ලබනවා. දත්ත ගෙන්වා ගැනීමේදී ද හුදෙක් ගොනුව වෙනුවට මෙහිදී ඊට අදාළ අනෙකුත් විවිධාකාර විස්තර ද ගෙන්වා ගන්නට හැකියාව ලැබෙනවා.

මෙහි ඇති භාවිතයේ පහසුව නිසා මෘදුකාංග සංවර්ධකයන්ට ඉතා හොඳ අත්දැකීමක් ලැබෙන අතර එය භාවිත කිරීම නිසා පද්ධති කාර්යක්ෂමතාවය ද ඉහළ යනවා. මේවා හුදෙක් HTTP request මත පමණක් යැපෙන පොදු ක්‍රියාදාමයක් නිසාත්, දැනට භාවිත වන බොහෝ පරිගණක භාෂාවන්ට libraries සහ wrappers බිහිව තිබෙන නිසාත් එම සේවාවන් භාවිතය මෘදුකාංග සංවර්ධකයන්ට තවදුරටත් පහසු වී තිබෙනවා. උදාහරණයක් වශයෙන් HTTPහි PUT ආකාරයේ සබඳතාවක් හරහා ගබඩා කරන ලද දත්තයක් නැවත GET සබඳතාවක් හරහා නැවත ගෙන්වා ගන්නට පුළුවන්.

සේවාවේ ක්‍රමවේදයන් අනුව හෝ අප විසින් සකසන සැකසුම් අනුව මෙම දත්තයන් අන්තර්ජාලය හරහා සබැඳි භාවිත කරමින් බෙදා ගැනීමට ඉඩ ලබා දිය යුතුද නැද්ද යන්න ද තීරණය කරන්නට පුළුවන්. මේ නිසා කිසියම් ගොනුවක් සෘජුව වෙනත් වෙබ් අඩවියකින් භාවිත කිරීම නැවැත්වීමට අවශ්‍ය නම් එය සඳහා මේ හරහා මහත් පිටිවහලක් ලැබෙනවා. මෙවන් සේවාවකට උඩුගත කරනු ලබන ගොනුවල ප්‍රමාණය අනුව පමණක් මුදල් ගෙවීමට සිදුවන අතර ඇතැම් සේවාවන් විසින් එම ගොනු හුවමාරු කිරීම සඳහාත්, එය සිදු කරන ප්‍රමාණය අනුවත් අය කිරීම සිදු කරනවා. කුඩා ප්‍රමාණයේ සංවර්ධකයන්ට මෙය ඉතා හොඳ අවස්ථාවක්. ඉතා විශාල ප්‍රමාණයක Host එකක් වැඩි මිලක් ගෙවා ලබා ගන්නවා වෙනුවට සහ තමන්ගේ සේවාව තුළ භාවිත විය හැකි ගොනු ප්‍රමාණය මෙතෙකැයි අනුමාන කරන්නට නොහැකි නම් මෙවන් සේවාවක් භාවිතයෙන් වාසි රැසක් සලසා ගන්නට පුළුවන්.

  • සියලුම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිවලට සහ වැඩිපුර භාවිත වන පරිගණක භාෂාවන් හරහා භාවිත කළ හැකි Libraries බිහිවී තිබෙනවා.
  • ඔබ භාවිත කරන ප්‍රමාණය සඳහා පමණක් මුදල් ගෙවන්න පුළුවන්.
  • ඔබේ පද්ධති ගොනු සහිත සර්වරයේ ම මෙම ගුණ අඩංගු නොවන නිසා එහි වේගය ඉහළ යනවා මෙන්ම ඉඩ වැය වන්නේ ද නැහැ.
  • ගොනුව සමඟම ඊට අදාල අනෙකුත් විශාල ප්‍රමාණයක දත්ත අඩංගු කළ හැකි නිසා දත්ත පාදක සමග ඔට්ටු වෙමින් ඔබගේ මෘදුකාංගය සංකීර්ණ කර ගත යුතු වන්නේ නැහැ.

මෙම ආකාරයේ ගබඩාවන් සෑම මෘදුකාංගයක් හෝ සේවාවක් සඳහා ම ගැලපෙන්නේ නැහැ. මේ එවන් අවාසි කිහිපයක්.

  • ඔබට සාම්ප්‍රදායික දත්ත පාදකයක් මේ හරහා ප්‍රතිස්ථාපනය කරන්නට බැහැ. විශේෂයෙන් පද්ධතියක මූලික මට්ටමේ දත්ත සැකසීමේදී ඊට අදාළ දත්ත ඉතා වේගයෙන් අවශ්‍ය වන නිසා මෙවන් සේවාවක් භාවිතා කළොත් ඊට ගතවන කාලය ඉහල යන්නට පුළුවන්.
  • මෙම ආකාරයේ ගොනුවක් වෙනස් කිරීමට අවශ්‍ය වුවහොත් කුඩා කොටසක් පමණක් සිදු කරන්නට නොහැකි අතර ඒ සඳහා සම්පූර්ණ ගොනුව ම උකහා එය වෙනස්කර නැවත සම්පූර්ණ ගොනුව ම යොමු කිරීමට සිදුවෙනවා. උදාහරණයක් වශයෙන් පෙළ ලේඛයක අවසානයට එක් පේලිය පමණක් එක් කරනවා නම් ඔබට මුළු ගොනුවම ප්‍රථමයෙන් ලබාගන්නට සිදුවෙනවා
  • කොටස් කරන ලද දත්ත ගබඩාවක මෙන් එනම් ඔබේ පරිගණකයේ ඇති ගොනු ඔබ බලන ආකාරයට මෙම ආකාරයේ ගබඩා කිරීමක ගොනු දැක ගන්නට බැහැ.

ඒ අනුව ඔබ සාමාන්‍ය ආකාරයේ වෙබ් අඩවියක් පවත්වාගෙන යනවා නම් බ්ලොක් ස්ටෝරේජ් එකකුත්, ඔබේ වෙබ් අඩවියේ ඡායාරූප හෝ වෙනත් ආකාරයේ ගුණ විශාල ප්‍රමාණයක් තිබෙනවා නම් ඒවා ගබඩා කිරීමට සහ ඔබගේ සේවාවට පිවිසෙන පරිශීලකයන්ට දත්ත ගබඩා කිරීමට අවස්ථාව සලසා දෙනවා නම් ඔබ්ජෙක්ට් ස්ටෝරේජ් එකත් ගැලපෙන බව දැන් ඔබට වැටහෙනවා ඇති. ඔබට hosting ගැන තවදුරටත් විස්තර දැන ගන්නට අවශ්‍ය නම් අපගේ පෙර ලිපියෙන් ඒ ගැන වැඩිදුර දැනගන්න පුළුවන්.

කවරයේ ඡායාරූපය: digitalocean.com

Related Articles