Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

SMART Phone App හරහා හෙළිවන අපේ පෞද්ගලික විස්තර

SMART Phone එක කියන්නේ අපිට එකිනෙකා එක්ක සන්නිවේදනය කරන්න, අපේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරගන්න, විනෝද වෙන්න වගේ දේවල්වලට පාවිච්චි කරන්න පුළුවන් උපාංගයක් කියලා අපි හිතුවට ඇත්තට ම අපි ගැන බොහෝ විස්තර අපේ SMART Phone එක දන්නවා. අපි ඉන්නේ කොහෙද, කතා කරන්නේ කා එක්ක ද, කොච්චර වෙලාවක් කතා කරනවද, අපේ පවුලේ අය කවුද, ළඟම මිතුරන් කවුද, අපි මුදල් වියදම් කරන්නේ මොන වගේ දේවල් වලට ද, අපේ පෞද්ගලික ගති සිරිත්/ පුරුදු මොනවගේ ඒවද… මේ වගේ අපි ගැන අපි හිතන්නෙවත් නැති තරම් ගොඩක් විස්තර අපි පාවිච්චි කරන SMART Phones දන්නවා. එහෙම ගොඩක් විස්තර දැනගන්න එක අපේ පැත්තෙන් හොඳ ද? නරක ද? මේ ලිපියෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ගැන.

App එකෙන් ලබාගන්න තොරතුරු මොනවාද?

SMART Phone එකට App එකක් install කරද්දි පරිශීලකයාගේ පෞද්ගලික දත්තවලට පිවිසීමට ඔහු අවසර ලබාදිය යුතුම යි. මේ අත්දැකීම අපි කාටත් තියෙනවා. ඒ වගේ ම ඒක ඉතාම යහපත් දෙයක්. App එක මඟින් මේ ලබාගන්න දත්ත හරහා වඩාත් කාර්යක්ෂම සේවාවක් පරිශීලකයන්ට ලබාදෙන්නට එයට හැකිවෙනවා. ඒ වගේ ම App එක වඩාත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙන්නත් මේ විදියට ලබාගන්න දත්ත පදනම් වෙනවා. උදාහරණයක් විදියට ඔබ ටැක්සි සේවාවන් ලබාදෙන App එකක් පාවිච්චි කරනවා නම්, ඔබ සිටිනා ස්ථානය අවට ඇති ටැක්සි රථ පිළිබඳ නිවැරදි තොරතුරු ඔබට ලබාදෙන්න App එක හරහා ඔබගේ GPS දත්තයන් භාවිතා කිරීම අත්‍යවශ්‍ය වන බව පැහැදිලි යි නේද?

ඔබ විසින් ඔබේ පෞද්ගලික තොරතුරු වෙත පිවිසෙන්න App එකට අවසර ලබාදුන්නට පස්සේ, App එක හරහා ලබාගන්නා තොරතුරුවලට සිදුවන්නේ කුමක්ද කියන දේ පිළිබඳ දැනුවත් ව සිටීම ඉතාම වැදගත් කියන එකයි අපේ අදහස. ඒ තොරතුරුවලින් ඊළඟට කරන්නේ මොකක්ද කියන දේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ App එකේ නිර්මාපකයන් අතේ යි. ඒ තොරතුරු හරහා පරිශීලකයන් හට වඩාත් හොඳ සේවාවක් ලබාදෙනවා ද, එහෙමත් නැතිනම් විවිධ වාණිජ අරමුණු වෙනුවෙන් වෙනත් පාර්ශවයන්ට ඒ තොරතුරු විකිණීම සිදුකරනවා ද කියන තීරණය App නිර්මාපකයන්ට ගන්නට පුළුවනි.

APP එකෙන් ලබාගන්න තොරතුරු වෙන අය අතට යන්නේ කොහොමද?

fieldguide.gizmodo.com

බොහොමයක් Mobile Apps නිර්මාණය කරලා තියෙන්නේ විවිධාකාර මෘදුකාංග ආයතන සහ මෘදුකාංග ඉංජිනේරුවන් විසින් ඊට පෙර නිර්මාණය කරලා තියෙන source codes උපකාර කරගෙන යි. මේ විදියට භාවිතා කරන source codesවලට කියන තාක්ෂණික නම තමයි code libraries. මේ libraries හරහා App එක භාවිතා කරන්නන්ගේ තොරතුරු, උදාහරණයක් විදියට පරිශීලකයා විසින් එදිනෙදා සිදුකරන දේවල් පිළිබඳ තොරතුරු, සමාජ ජාල තුළ දී සිදුකරන ක්‍රියාවන් පිළිබඳ තොරතුරු වගේ දේවල් ලබාගන්න පුළුවනි. මේ නිසා අලුතෙන් App එකක් නිර්මාණය කරන පුද්ගලයෙක්ට පරිශීලක තොරතුරු ලබාගන්න අවශ්‍ය කරන මෘදුකාංග අලුතෙන්ම නිර්මාණය නොකර වෙනත් අය විසින් නිර්මාණය කර ඇති libraries භාවිතා කිරීමෙන් ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවනි.

මේ විදියට පරිශීලකයන්ගෙන් ලබාගන්නා තොරතුරු, App එක නිර්මාණයේ දී භාවිතා කරපු libraries නිර්මාණය කරපු මෘදුකාංග ආයතනය වෙත හෝ ඒ අදාළ පුද්ගලයන් වෙත යැවීමත් Code libraries හරහා සිදුවෙනවා. මේ ලැබෙන තොරතුරු හරහා පරිශීලකයාගේ ඩිජිටල් අනුරුවක් නිර්මාණය කිරීම මහ අමාරු දෙයක් නෙමේ. උදාහරණයක් විදියට මෙහෙම හිතමු. ඔබගේ SMART Phone එකේ තියෙන එක App එකකට ඔබ අවසර ලබා දී තිබෙනවා ඔබේ GPS දත්ත පරිශීලනය කරන්න. Phone එකේ තියෙන වෙනත් App එකකට අවසර දී තිබෙනවා ඔබගේ SMART Phone එකේ කැමරාව, මයික්‍රොෆෝනය සහ ලබාගත් ඡායාරූප පරිශීලනය කරන්න. මේ අවසරයන් දෙක මූලික වශයෙන් එකිනෙකට සම්බන්ධයක් නැති App දෙකකට ලබාදුන්න අවසරයන් බව බැලු බැල්මට පේනවා. නමුත් මේ App දෙකම භාවිතා කරන්නේ එකම libraries නම්, ඒ libraries නිර්මාණය කළ අයට හැකියාවක් තියෙනවා ඔබගේ තොරතුරු හරහා ඩිජිටල් අනුරුවක් නිර්මාණය කරගන්නට. අපි හිතනවාට වඩා තත්ත්වය බැරෑරුම් බව දැන් පැහැදිලි යි නේද?

SMART Phone එක පාවිච්චි කරමින් ඔබ සිදුකරන ක්‍රියාවන් හරහා, උදාහරණ කීපයකින් කිව්වොතින් ඔබ නිතර නරඹන දේවල්, මිල දී ගන්නා භාණ්ඩ හෝ සේවාවන්, යන එන තැන්, සෞඛ්‍ය පිළිබඳ විස්තර තොරතුරු, සමාජ ජාල ඔස්සේ සිදුකරන දේවල් යනා දී මෙකී නොකී බොහෝ දේවල් හරහා නිර්මාණය කළ ඔබගේ ඩිජිටල් අනුරුව ඉහළම ඉල්ලුම්කරුට විකිණීම ඉතා ම ලාබදායක වැඩක් සහ වර්තමානයේ අතත්‍ය අවකාශයේ ඉහළින්ම සිදුවෙන ව්‍යාපාරයක්. මේ ඩිජිටල් අනුරුව සෑදීමට අවශ්‍ය කරන දත්ත සහ තොරතුරු තොග වශයෙන් ඔබේ SMART Phone App හරහා ලබාගැනීම ඒ App නිර්මාපකයන් චිසින් දවසේ පැය 24 පුරා ම සිදුකරනවා.

මේකේ තියෙන භයානක ම කරුණ තමයි, App එක පරිශීලනය කරන කෙනා කිසිසේත් ම තමන්ගේ ඩිජිටල් අනුරුවක් හැදෙන බව සහ තමන් අලෙවිකරණ උපාංගයක් විදියට පාවිච්චි වෙන බව දන්නේ නැති වීම. App නිර්මාණය කරන ආයතන හෝ පුද්ගලයන් තමන් ඒ වෙනුවෙන් භාවිතා කරන Code libraries මොනවද කියලා ප්‍රකාශ කරන්නේ නැහැ. ඇත්තම කතාව ඔවුන් එහෙම ප්‍රකාශ කරන්න අවශ්‍යත් නැහැ. නීතිමය වශයෙන් තමන් භාවිතා කරන දේවල් හෙළිකළ යුතු යි යනුවෙන් නියමයක් නැහැ. නමුත් මේ ක්‍රියාවලියේ යම්කිසි වරදක් තියෙන බව නම් පැහැදිලි යි නේද?

App එකෙන් ලබාගන්න තොරතුරු ආරක්ෂිත ව තියෙනවද?

slate.com

SMART Phone App එක හරහා ලබාගන්න දත්ත සහ තොරතුරු ආරක්ෂිත ව තියෙනවද කියන ප්‍රශ්නෙත් මේ එක්කම පැන නැගෙන බොහොම විශාල ගැටලුවක්. පසුගිය අවුරුදු කීපය පුරා ම ඒ වගේ ගැටලු බොහෝ ප්‍රමාණයක් ලෝකය පුරා යම් යම් ස්ථානවලින් වාර්තා වුණා. විශේෂයෙන් ම පරිශීලකයන්ගේ දත්ත විශාල වශයෙන් අනවසරයෙන් ලබාගත් අවස්ථා ගැනත් පසුගිය කාලයේ සුලබ ව දකින්න ලැබුණ ප්‍රවෘත්තියක්. මේ ආකාරයේ සිදුවීමක දී පරිශීලකයාට සිදුවෙන අගතිය වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද?

මේ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේ මොනවාද?

popsci.com

1. App එකේ Settings වෙනස් කරන්න

අපි පාවිච්චි කරන Appවලට ලබා දීලා තියෙන අවසරයන් දිහා බැලුවොත්, සමහර Appවල ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය නොවන අවසරයනුත් අපි විසින් ලබා දීලා තියෙන බව දකින්න පුළුවනි.

ඔබේ Android දුරකථනයේ Settings → App → Permissions යොමුව තුළිනුත්, iPhone එකකින් නම් Settings → Privacy යොමුව තුළිනුත් ගිහින් ඔබට ඒ අවසරයන් ලබාදීම/ නොදීම සිදුකරන්න පුළුවනි.

App එකක් භාවිතා නොකරන අවස්ථාවේ දී ඒ App එකට Geo Location, Gallery, Contacts වගේ අතිශය පෞද්ගලික දත්ත සහ Microphone, Camera වැනි උපාංග භාවිතා නොකිරීමට අවසර ලබාදීම සිදුකිරීම ඉතා වැදගත්. මේ නිසා ඔබේ SMART Phone එකේ බැටරි බලයත් වෙනදාට වඩා ඉතිරි වෙන බව ඔබට අත්දකින්නට හැකි වේවි.

2. App එකේ Privacy Policy එක හොඳින් කියවන්න

අපි බොහෝ දෙනෙක් ඒ තරම් තැකුවේ නැති වුණාට, Privacy Policy (පරිශීලක පෞද්ගලිකත්ව ආරක්ෂණ ප්‍රතිපත්තිය) ප්‍රකාශනය ඉතාම වැදගත් ලියවිල්ලක්. App එක හරහා ලබාගන්නා දත්ත සහ තොරතුරුවලින් ඔවුන් සිදුකරන්නේ කුමක්ද, ඒවා යම් යම් අරමුණු වෙනුවෙන් තෙවන පාර්ශවයන්ට විකිණීම හෝ පැවරීම සිදුකරනවා ද, කිසිවෙකු හෝ අනවසරයෙන් පරිශීලක දත්ත සොරාගත්තෝතින් පරිශීලකයාගේ ආරක්ෂාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග වගේ ඉතා ම වැදගත් කරුණු සියල්ල ම සඳහන් වෙන්නේ මේ ලේඛනයෙයි. මේ ලියවිල්ල කියවන එක බොහෝ දෙනෙක් සිදුකරන ක්‍රියාවක් නම් නෙමෙයි. නමුත් App එක හරහා ඔබගේ දත්ත සහ තොරතුරුවලට යම් අකටයුත්තක් සිදුවෙන බව හැඟෙනවා නම්, නීතියේ සරණ පැතීමට ඔබට ඉදිරිපත් කළ හැකි වටිනාකමින් ඉහළම ලියවිල්ලක් තමයි Privacy Policy ප්‍රකාශනය.

නමුත් කණගාටුවට කරුණ වන්නේ ශ්‍රී ලංකාව තුළ පරිශීලකයන් මිලියන ගණනින් භාවිතා කරනා ප්‍රධාන පෙළේ දේශීය App සඳහාවත් මේ ආකාරයේ Privacy Policy ප්‍රකාශනයන් ඔවුන් විසින් එළිදක්වා නොතිබීම යි. තමන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳ අගයන පරිශීලකයන්ගේ අයිතිවාසිකම් මේ හරහා දැඩි ලෙස වාරණයකට ලක් කර තිබෙන බව තමයි අපේ නම් අදහස.

3. ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන App පාවිච්චි කරන්න

පරිශීලකයන්ගේ දත්ත සහ තොරතුරු වාණිජ අරමුණු වෙනුවෙන් තමන් විසින් ම භාවිතා කිරීම හෝ තෙවන පාර්ශවයන්ට ලබාදීම සිදු නොකරන ආයතනයන් බොහෝ දෙනෙක් සිටිනවා. ඒ ආකාර App භාවිතයට යොමුවීමත් මේ සඳහා විසඳුමක් විදියට දක්වන්න පුළුවනි. උදාහරණයක් විදියට DuckDuckGo search engine app එක ඔබගේ දත්ත එකතු කිරීම, ගබඩා කර තබාගැනීම, හෝ වෙනත් අයට ලබාදීම සිදුනොකරන බව පැහැදිලි ලෙස ම ප්‍රකාශ කර සිටිනවා. මේ වගේ අපේ දත්ත සහ තොරතුරු වෙනත් පාර්ශවයන්ට ලබා නොදෙන ආයතන මඟින් ලබාදෙන සේවාවන් භාවිතා කිරීමත් එක විකල්පයක්.

4. Social Media App සඳහා එන තෙවන පාර්ශවීය App භාවිතා කිරීමෙන් වළකින්න

ගිය ආත්මේ ඔබගේ රැකියාව කුමක්ද, මේ ආත්මේ ඔබගේ අත ගන්නේ කවුද, ඔබගේ පෙනුම සමාන වන්නේ කුමන හොලිවුඩ් නළුවාට ද/ නිළියට ද වශයෙන් Social Media හරහා ක්‍රියාත්මක වන විවිධාකාර App ඔබ අනන්ත දැක ඇති. මේ App හරහා සිදුවෙන කිසි යහපතක් නැති නමුත් අපි ඒ App එකක් භාවිතා කිරීම නිසා ඒ App එක හරහා අපේ Social Media දත්ත සහ තොරතුරුත් වෙනත් පාර්ශවයන් අතට බොහොම පහසුවෙන් පත්වෙන්නට පුළුවනි. ඔබත් පෞද්ගලිකත්වය ගැන වද වෙනවා නම්, ඒ ආකාරයේ අනවශ්‍ය App භාවිතයෙන් මුළුමනින්ම තුරන් වෙන්න කියන එක යි අපේ නිර්දේශය.

මේ ඩිජිටල් ලෝකය ඇතුළෙදි තමන්ගේ පෞද්ගලිකත්වය 100%ක් ආරක්ෂා කරගෙන ජීවත් වෙන එක සිදුකරන්න බොහොම අමාරු වැඩක්. නමුත් තමන්ගේ පෞද්ගලිකත්වය බොහෝ වශයෙන් ආරක්ෂා කරගන්න පුළුවන් ක්‍රියාමාර්ගයන් පිළිපැදීමෙන් ඔබට බොහෝ ප්‍රතිලාභ ලැබෙන බවත් මතක තබාගෙන ම SMART Phone එකක් පාවිච්චි කරන එක වැදගත්.

වැඩිදුර කියවන්න,

මෙතනින්

මෙතනින්

මෙතනින්

Related Articles