Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Vlogging අරඹන අයට: YouTubeහි ජනප්‍රියතම වීඩියෝ වර්ග

Bloggingවලට වඩා දැන් Vlogging හෙවත් වීඩියෝ හරහා තොරතුරු ඉදිරිපත් කිරීම ජනප්‍රිය ක්‍රමවේදයක් ව පත්වෙමින් යනවා. අන්තර්ජාලයේ බහුල බව මෙන්ම අකුරුවලට වඩා වීඩියෝ එකකින් පහසුවෙන් හා ඉක්මණින් යමක් නැරඹීමට සමාජය නැඹුරුව සිටිනවා. අාසාවට Vlogging කරන අය මෙන්ම පසුකාලීන ව හෝ රැකියාවක් වශයෙන් එය තෝරාගන්නා අයට තමන්ගේ මූලික පියවර තබද්දී වඩාත්ම ලෝක අවධානය ලැබෙන්නේ කුමන ආකාරයේ වීඩියෝවලටදැ යි දැනගෙන සිටීම වැදගත් වෙනවා. එවිට, අවශ්‍ය නම් තනි ආකාරයේ වීඩියෝවලට ම channel එක සීමා නොකර විවිධත්වයක් ඇති කරන්නටත් පුළුවන්.

YouTube එකේ වැඩිපුර ම බලපු වීඩියෝ වර්ගය වන්නේ සංගීතමය ඒවා යි. ඒ හැරුණාම ඉන් දෙවැනි ව ඇති අනෙකුත් වීඩියෝ වර්ග පහතින් දැක්වෙනවා.

භාණ්ඩ විවෘත කිරීම් හෙවත් Unboxing වීඩියෝ

tech.co

අලුතින් මිල දී ගත්තු දෙයක දවටනය ඉවත් කිරීම තරම් හිත පිනවන දෙයක් තවත් නැහැ. නමුත් අතේ සතේ නැති වුණා ම වෙනත් කෙනෙක් කරන දෙයක් හෝ බලලා සිත සනසාගන්නා නිසාදෝ දෙවැන්නට වැඩි ම පිරිසක් නැරඹූ වීඩියෝ වර්ගය බවට පත්ව තිබෙනවා. මේ ආකාරයේ වීඩියෝ නිර්මාණ කරද්දී ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. ව්‍යාපාරයක් ආරම්භ කරද්දී කොහොමටත් යෙදිය යුතු ප්‍රාග්ධන මුදල අනාගතයේ දී අනුග්‍රාහකයන්ගේ දායකත්වයන් මහා පරිමාණයෙන් ලැබෙන ඔබේ ම YouTube channel එක වෙනුවෙන් යෙදීම, ආයෝජනයක්. එසේම ඔබ විවෘත කරන භාණ්ඩ අධි මිල ඒවා ම විය යුතු නැහැ. අන්තර්ජාල වෙළඳසල්වලින් ලබාගත හැකි, අවධානය දිනාගන්නා සුළු කුඩා අයිතම පවා මුල් අවධියේ දී යොදාගන්නට පුළුවන්.

මෙම අංශයෙහි තාක්ෂණික ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටින්නන් ලෙස Unbox Therapy, Marques Brownlee දැක්විය හැකියි. ඔවුන් Unbox කිරීමෙන් නොනැවතී, අත්හදා බලා භාණ්ඩයේ ගුණ අගුණ (product review) පවා කියන අතර හැකියාවක් තිබෙනවා නම් JerryRigEverything වගේ භාණ්ඩයට හානි සිදුකරමින් එහි සවිමත් බව වුවත් පෙන්වාදෙමින් තවත් රසිකයින් වැඩි කරගන්න පුළුවන්.

දිගු කාලයක් වේගවත්ව දක්වන Time Lapse

බෝංචි ඇටයක පැළවීම – දින 25ක් මිනිත්තු 3කටත් අඩු කාලයකින් දක්වන වීඩියෝවක්

කැමරාව එක ම ස්ථානයක පැය කිහිපයක් හෝ ඇතැම් විට, දින කිහිපයක් තබමින් කිසියම් සිදුවීමක් ගතවන කාලයත් සමග දක්වන ප්‍රගතිය පෙන්වීම Time Lapse වීඩියෝවල සිදුවෙනවා. හිරු උදාවන ආකාරය, දවස ගෙවී යන ආකාරය, නගරයක ජනතාව දිනය තුළ එහා මෙහා යන ආකාරය මෙන්ම බිත්තරයකින් ඇරඹී සමනළයෙකුගෙන් නිමවන ජීවන චක්‍රයන් මේ ආකාරයට උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. ඒ වගේ ම දැන් චිත්‍ර අඳින ආකාරය ද වීඩියෝ කරමින් තම හැකියා ප්‍රදර්ශනය කරන Marcello Barenghi වැනි අය ද සිටිනවා.

මේ වෙනුවෙන් DSLR කැමරාවක් ම අවශ්‍ය නැහැ. ඔබේ ස්මාර්ට් දුරකතනයෙන් පවා TimeLapse සකසා දෙන Hyperlapse වැනි apps තිබෙන නිසා අඩු මුදලකින් ඉහළ නිර්මාණයක් කරන්නට ඔබට අවස්ථාව තිබෙනවා.

ගේම් ගහන හැටි

Sleeping Dogs ක්‍රීඩාව සිදුකරන සුළු විනාඩි ගණනක දර්ශනයක්.

වීඩියෝ ගේම් එකක් ක්‍රීඩා කරන ගමන් තිරය රෙකෝඩ් කර සකසන වීඩියෝවලට ද හොඳ ඉල්ලුමක් තිබෙනවා. තමන්ගේ පරිගණකයේ එම ගේම් ධාවනය කරන්නට නොහැකි අය, ගේම් එකක් මිල දී ගැනීමට / ක්‍රීඩා කිරීමට පෙර ඒ ගැන පූර්ව අවබෝධයක් බලාපොරොත්තු වන අය මෙන්ම ස්ථාපනය කරගත් ගේම් එකේ ඉදිරියට යා ගන්නට නොහැකිව හෝ නව ක්‍රමශිල්ප ඉගෙනීමේ ආසාවන් ඇති අය ලෙස මෙම රසික පිරිස බෙදී යනවා. ඒ හැම කෙනෙක්ට ම ගැළපෙන ලෙස ඔබේ channel එක සමබර කරගත හැකි නම් වැඩි ජනප්‍රියත්වයක් ලබන්නට පුළුවන්.

2013 දී YouTubeහි වැඩි ම subscribers ප්‍රමාණයක් ලබාගත් PewDiePie ද පරිගණක ක්‍රීඩා මූලික කරගත් චැනලයක හිමිකරුවෙක්. එසේ ම අන්තර්ජාලය හරහා කරන ක්‍රීඩාවලට සම්බන්ධ වී නරඹන්නෙක් (spectator) ලෙස සිටිමින් ගේම් එකට විස්තර විචාරයක් ලබාදෙන අයත් සිටිනවා.

දැනුම බෙදන Tutorials

teachinginkoreanuniversity.com

ක්ලාස් කරලා මුදල් සෙවීම ටිකක් මහන්සි වෙන්න ඕන දෙයක්. ඒත් තමන් දන්න දෙයක් එක්වරක් උගන්වලා වීඩියෝ එකක් බවට පත් කළා ම ඉන් ඵල ලබන්න ලොව ඉන්න ඕනෑම කෙනෙක්ට අවස්ථාව ලැබෙනවා. යූටියුබ් Tutorials කිව්වා ම MS Office, Photoshop වගේ දේවල් විතරක් මතක්වන නිසා යි අපි ක්ලාස්වලින් කතාව පටන් ගත්තේ. ඔබ ඉගැන්වීමට කැමති කෙනෙක් නම් සහ දැනුම බෙදාගැනීමෙන් වින්දනය ලබන කෙනෙක් නම් මේ ආකාරයේ වීඩියෝ විනෝදාංශයක් ලෙස වුවත් කරන්න පුළුවන්.

Khan Academy වැනි නොමිලේ වීඩියෝ සපයන වෙබ් අඩවි මෙන්ම මුදල් ගෙවා ලබාගත යුතු Lynda, Udemy ආදිය පවා එක සේ මේ මාතෘකාව යටතේ ජනප්‍රියත්වයට පත්ව සිටිනවා. මුහුණ පෙන්වීමට ලැජ්ජා සහගත කෙනෙක්ට වුණත් තිරය රෙකෝඩ් කරමින් පියවර පෙන්වා හඬ හෝ වීඩියෝ එක මත අකුරු පෙන්වමින් පැහැදිලි කිරීම් කළ හැකියි. වඩාත් හොඳ නිර්මාණ පෙළක් ඔබට කළ හැකි නම් රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනයන් පවා මහා පරිමාණ වශයෙන් එම පාඩම් මිල දී ගන්නට පෙළඹෙනවා.

පාවිච්චි කළ භාණ්ඩයක හොඳ නරක පෙන්වාදීම

fatstacksblog.com

තෝරාගත් භාණ්ඩයක් හෝ ආයතන කිහිපයක නිෂ්පාදන සංසන්දනය කිරීමක් වශයෙන් මේ ආකාරයේ වීඩියෝ දිවෙනවා. අලුතෙන් එ් වෙනුවෙන්ම ලබාගත් භාණ්ඩයක් නම්, එය unboxing ඝණයට ද සමීප වෙනවා. නමුත්, එය එසේ ම විය යුතු නැහැ. ඔබ සතුව දැනට තිබෙන හෝ මිතුරෙකු සතු භාණ්ඩයක් ලබාගෙන එහි ගුණ අගුණ පෙන්වමින් review කිරීමේ චැනලයක් අරඹන්නට පුළුවන්. මන්ද, අලුත්ම භාණ්ඩයකට වඩා තමා සති කිහිපයක් හෝ පාවිච්චි කිරීමෙන් අනතුරුව ලබාදෙන අදහස් පිළිබඳ ව වැඩි දෙනෙක් විශ්වාසය තබනවා.

කාලය ගතවත් ම, අනුග්‍රාහක භවතුන්ගේ මැදිහත් වීමත් සමග ඇතැම් චැනල (ලංකාවේ පවා) එක් නිෂ්පාදනයක් වෙනුවෙන් කඩේ යන ආකාරය ද දකින්නට ලැබෙනවා. ඉන් සිදුවන්නේ හුදෙක් රසිකයන්ගේ පිරිහීමට ලක්වීම සහ ලැබෙන මුදලත් අනාගතයේ නැතිව යාම පමණයි. එනිසා තමන්ගේ අනන්‍යතාව, ස්වාධීන බව පවත්වා ගැනීමට කල්පනාකාරී විය යුතු බව අප සිහිපත් කරනවා. Matthias, Austin Evans, UrAvgConsumer වැනි චැනල් review සඳහා නම් දරන කිහිපයක්. Exploring Alternatives චැනලය භාණ්ඩවලින් ඔබ්බට යමින් එදිනෙදා ජීවිතය සබැඳි දේවල් ද review කරනවා.

චිත්‍රපට, කතා මාලාවන් ගැන කරන fan වීඩියෝ

pinimg.com

චිත්‍රපට සහ ටෙලි කතා මාලාවන් දස දහස් ගණනක් ලොව බිහි ව තිබෙනවා. බිහිවෙනවා මෙන්ම, තාමත් හන්දියෙ අඹ ගහ යට මම නුඹ එනකන් ආකාරයේ Game of Thrones වගේ ඒවාත් නැතුවා ම නොවෙයිනේ. හැම කෙනෙක් ම ප්‍රිය කරන එවන් දෑ මුල් කරගෙන අදහස් දැක්වීම fan videos ගණයෙහි ලා සැලකෙනවා. අලුතෙන් ආපු Episode එකක සිදුවන දේ පැහැදිලි කරදීම, එහි තිබෙන දේවල්වලට පෞද්ගලික ප්‍රතිචාර දැක්වීම, ඊළඟ කොටස වෙනුවෙන් තර්ක ගොඩනැගීම, සහ එහි කතා පොතක් ඇත්නම් එය සමග සංසන්දනය කිරීම, වීඩියෝ ගත කරද්දී සිදු ව ඇති අඩුපාඩු පෙන්වාදීම වගේ බොහොම අපූරුවට, ආසාවෙන් කළ හැකි මාතෘකාවක් තමයි මේ. නූතන ඒවා පමණක් නොවෙයි, mind blowing ආකාරයේ චිත්‍රපට පැහැදිලි කිරීම මෙන්ම, ජනප්‍රියත්වයට පත් වූ පැරණි tv series වුවත් යළි ජනගත කරන්න ඔබට අවස්ථාව තිබෙනවා.

ඔබ අලුතෙන් චැනලයක් පටන් ගන්නවා නම් හෝ දැනටමත් මෙවන් මාතෘකාවක් යටතේ පටන්ගෙන තිබෙනවා නම් එහි ලින්ක් එකත් කමෙන්ට්වලට එකතු කරන්න. ඔබේ දක්ෂතා බලන්නට අපි හැමෝම කැමැත්තෙන් ඉන්නේ.

 

කවරයේ ඡායාරූපය: ft.com

දැන් ඔබට මේ ලිපිය අපේ ස්මාර්ට් ඇප් එකෙන් පහසුවෙන් කියවන්න පුළුවන්.

Related Articles