Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Photoshop නැති ව .psd ෆයිල් විවෘත කරන්න ක්‍රම

බොහෝ අවස්ථාවන්වල දී අපිට ලැබෙන psd ගොනු විවෘත කරන්න සම්පූර්ණ Photoshop මෘදුකාංගය ම ස්ථාපනය කරන්න සිදුවෙනවා. එහි ඇති ප්‍රමාණයේ විශාලත්වය නිසා කාලය ගත වීම, හාඩ් ඩිස්කයේ ඉඩ නැතිකම, මිල දී ගැනීමට අපහසු තරම් එහි මිල අධික බව, පැරණි පරිගණකයක් නම් ඔබ සතු අලුත් වෙළුම් ඊට දරා ගැනීමට නොහැකි වීම ආදී ගැටලු රැසක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ම තමන්ගේ පරිගණකයක් නොවන අවස්ථාවන්හි දී, නව මෘදුකාංග ස්ථාපනය කරන්නට නොහැකි වන විට දී බ්‍රවුසරය හරහාත් psd ගොනුවක් බලන්නට හැකි ආකාරයේ විසඳුම් ද අපි මේ ලිපිය තුළ අඩංගු කරනවා.

නිදහස් හා විවෘත GIMP

imgur.com

ලිනක්ස් මෙහෙයුම් පද්ධති, විශේෂයෙන් Ubuntu පාවිච්චි කළ කෙනෙක් නම් ඒ සමග එකල ලැබුණු (දැන් වෙන ම බාගත යුතු යි) ඡායාරූප සංස්කාරකය වුණු GIMP මෘදුකාංගය මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. එය ලිනක්ස් සඳහා වූ Photoshopහි විකල්ප මෘදුකාංගය ලෙසත් සැලකෙනවා. වින්ඩෝස් සඳහා මෙන්ම macOS සඳහා ද මෙය භාවිත කළ හැකියි.

වෙනත් කිසිදු විශේෂ සැකසුමක් නොකර ම මෘදුකාංගය තුළ පෙරනිමියෙන් ම psd විවෘත කිරීමේ මෙන්ම සංස්කරණය කිරීමේ හැකියාවන් ද ලැබීම මෙහි ඇති විශේෂත්වයක්. ගොනුවෙහි ඇති layers වෙන් කර දැක්වීමට ඊට හැකියාව තිබුණත් ඇතැම් අවස්ථාවල දී සමහර ලේයරයන් හඳුනාගැනීමට එය අපොහොසත් වෙනවා. Rasterize කිරීමෙන් එය සකසා ගන්නට පුළුවන්. ඒත් වෙනස්කම් කරමින් එය නැවත මුල් psd එකෙහි ම save කළහොත් නැවත Photoshopවලින් විවෘත කරද්දී ගැටලු ඇති විය හැකියි.

මෙතනින් බාගන්න: GIMP

Paintවලින් ඔබ්බට ගිය Paint.NET

getpaint.net

වින්ඩෝස් සඳහා පමණක් ක්‍රියාත්මක වන, සාම්ප්‍රදායික Paintවලට වැඩි යමක් එකතු කරන මෘදුකාංගයක් වන Paint.NET සඳහාත් psd විවෘත කිරීමේ හැකියාව ලබාදෙන්න පුළුවන්. මෙම මෘදුකාංගයත් layers, විශේෂ effects සහිත ව ඡායාරූප සංස්කරණයට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. Microsoft හි උපදේශනය යටතේ ඇරඹුණු මෙම ව්‍යාපෘතිය දැන් රික් බෲස්ටර් විසින් පවත්වාගෙන යනවා. එම මෘදුකාංගයේ මූලික අරමුණ වන්නේත් Paint, Photoshop, Corel Draw ආදී සරල මට්ටමේ සිට සංකීර්ණ මෘදුකාංග දක්වා වූ විශාල පරාසයකට විකල්ප, සවිබල මෘදුකාංගයක් බවට පත්වීම යි.

Paint.NET සඳහා පෙරනිමියෙන් psd විවෘත කරන්නට බැහැ. එය ස්ථාපනයෙන් පසු ඊට psd plugin එකත් එක් කරන්නට අවශ්‍ය වෙනවා. පහත ඇති ලින්ක් එකෙන් plugin එක බාගත කරගත් විට zip ෆයිල් එකක් ලැබෙනවා. එහි තිබෙන PhotoShop.dll ගොනුව Paint.NET ස්ථාපිත ෆෝල්ඩරයේ තියෙන FileTypes කියන ෆෝල්ඩරය ඇතුළට (උදා- C:Program Filespaint.netFileTypes) කොපි කරලා Paint.NET විවෘත කරන්න. එවිට ඊට psd ගොනු කියවීමේ හැකියාව ලැබෙනවා.

නොමිලේ බාගන්න: Paint .NET මෘදුකාංගය / psd plugin එක

බ්‍රවුසරයෙන් කළ හැකි Photopea

gzn.jp

මෘදුකාංග ස්ථාපනය කිරීම කරදරයක් හෝ භාවිත කරන පරිගණකයේ ඊට අවසර නැත්නම් බොහොම පහසුවෙන් online editor එකක් වන Photopea පාවිච්චි කරන්න පුළුවන්. එහි ඇති ඉහළ පහසුකම් ගොන්න නිසා Photoshop හෝ Gimp හි මාර්ගගත සේවාවක් ලෙසත් දකින්න පුළුවන්. බ්‍රවුසරය මත ධාවනය වන නිසා ඩෙස්ක්ටොප් මෘදුකාංගයකට වඩා හැකියාවන්ගෙන් එය සීමා වීම සාමාන්‍ය යි.

වැඩිදුර කියැවීමට: ඡායාරූප සංස්කරණයට Online Tools පාවිච්චි කරමු

Photohsopවලට ඉතා ම සමාන ලෙස Lasso Tool, Quick selection, Lasso Tool, Blur, Dodge ආදී tools මෙන්ම, ලේයර් සැකසුම් ද තිබෙන නිසා එම විශේෂාංග නොමිලේ ම පාවිච්චි කරන්නට අවස්ථාව ලැබෙනවා. එය කෙතරම් සමාන ද කියනවා නම්, PS දන්න කෙනෙක්ට අමුතුවෙන් ඉගෙන ගන්න දේකුත් නැහැ. Psd විවෘත කිරීමට කළ යුත්තේ File මෙනුවෙන් Open තෝරා පරිගණකයේ ඇති psd ගොනුව තේරීම යි. බ්‍රවුසරය මත ක්‍රියාත්මක වන නිසා file upload වීමක් සිදුවන්නේ නැහැ. එනිසා විවෘත වන්නට කල් ගත වන්නේ නැහැ වගේ ම ඔබේ psd ගොනු ඔවුන්ට ලැබෙන්නේ නැහැ.

පිවිසෙන්න: Photopea

IrfanView

Roar/@thambaru

ඡායාරූපකරණයේ දී ඡායාරූප රැසක එක්වර වෙනස්කම් කිරීමට බොහෝ වෘත්තීමය ශිල්පීන් පාවිච්චි කරන Irfanview වසර ගණනක සිට ප්‍රචලිත නොමිලේ ලබාගත හැකි මෘදුකාංගයක්. මෙමගින් psd ගොනු ලේයර් වශයෙන් සංස්කරණය කරන්නට නොහැකි වූවත් වෙනත් format එකකට save කරගත හැකි නිසා එය ඡායාරූපයක් බවට පත් කරගන්නට පුළුවන්. psd ගොනු නැරඹීම සඳහා මූලික වශයෙන් මෙය පාවිච්චි කරන්නට පුළුවන්.

නොමිලේ ලබාගත හැකි මෙම මෘදුකාංගයේ ප්‍රමාණය ද 3MB තරම් අඩු ප්‍රමාණයක්. මූලික මට්ටමේ ඡායාරූප සංස්කරණයට, Screenshot ගැනීමට, ඡායාරූප රැසක් එක්වර edit කිරීමට වැනි පහසුකම් රැසක් එය සතු යි.

බාගැනීමට: IrfanView

ඡායාරූපයක් බවට පත් කර දෙන online tool එකක්: Go2Convert

Roar/@thambaru

IrfanView ද ස්ථාපනය කරගන්නට නොහැකි අවස්ථාවක දී convert කරගැනීමට අපිට online tool එකක සහාය ලබාගන්න වෙනවා. ඒ සඳහා Go2Convert වෙබ් අඩවියේ පිහිට ලබාගත හැකියි. ඉතා පහසු UI එකක් ඇති එම වෙබ් අඩවියට පිවිසුණු විට එහි ඇති Drop your images here යන ස්ථානයට psd ගොනුව drag කරගෙන ගොස් අතහැරීමෙන් හෝ Upload බොත්තම ක්ලික් කර browse කර ගොනුව ලබාදීමෙන් upload කිරීම කරන්නට පුළුවන්. Psd පමණක් නොව, අනිකුත් ගොනු වර්ග 200කටත් වඩා convert කරගන්න මේ වෙබ් සේවාව පාවිච්චි කළ හැකියි. නමුත් ගොනුවේ විශාලත්වය 50MB දක්වා සීමා වෙනවා.

පිවිසෙන්න: Go2Convert

අතිරේක ක්‍රමයක්: Google Drive

mzstatic.com

කිසිදු වෙනත් පාර්ශවීය මෘදුකාංගයකට අකමැති කෙනෙක්ට ඔබේ ගූග්ල් ගිණුම සමග ම ලැබෙන Drive සේවාව හරහා psd ගොනු විවෘත කරගන්න පුළුවන්. සංස්කරණය කිරීමක් අනවශ්‍ය නමුත් හුදෙක් ගොනුවේ ඇති ඡායාරූපය බලාගැනීමට අවශ්‍ය නම් මේ ක්‍රමය ඉතා ම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. Google Drive හරහා එයට ඇතුලත් කරන ගොනුවල preview එකක් පෙන්වනවා. ඒ අතර psd ගොනුත් අයත්. ඒ උපක්‍රමය පාවිච්චි කරමින් අපිට Driveවලට upload කළ psd file එකක් විවෘත කරගන්නට අවස්ථාව ලැබෙනවා. මෙහි ඇති අවාසියක් වන්නේ විශාල ප්‍රමාණයක ෆයිල් එකක් නම් එය upload කරන්නට කාලය ගත වීම පමණයි. Drive එකේ ඉඩ වැයවීම නම්, නැරඹීමෙන් පසු ව එය delete කිරීමෙන් විසඳා ගන්නට පුළුවන්. කළ යුත්තේ, අවශ්‍ය psd ගොනුව upload කර double click කිරීම යි.

 

කවරය: deviantart.net

Related Articles