Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

SmartTV වෙනුවට අඩු මුදලකින් සාමාන්‍ය TV එකක් Smart කරන හැටි

වෙළඳපොළ දකින්නට ඇති රූපවාහිනී මාදිලි අතුරින් නවතම රැල්ල බවට පත්ව තිබෙන්නේ Smart TV කලාවයි. සාමාන්‍ය රූපවාහිනියකට වඩා එහි පහසුකම් රැසක් තිබෙන නමුත් මිලෙන් රුපියල් ලක්ෂයට ආසන්න සහ ඉන් ඔබ්බට ගිය අගයයන් බොහෝ විට දකින්නට ලැබෙනවා. නමුත් ඒ වෙනුවට දැනට ගෙදර තිබෙන TV එකත් ස්මාර්ට් කරන්නට බාහිරින් සබැඳිය හැකි Box එකකට පුළුවන්. ඒ සඳහා SmartTV එකකට සාපේක්ෂව ඉතාම අඩු මුදලක් වැය වන අතර ඒවාටත් වඩා වාසි සලසා ගන්න අවස්ථාව සැලසෙනවා.

SmartTV වල තිබෙන දේවල්

amazon.com

සාමාන්‍ය රූපවාහිනියකට වඩා SmartTV එකක ඇති මූලික වෙනස එය සතුව මොළයක් හෙවත් ප්‍රොසෙසරයක් අඩංගු කරමින් පරිගණකයක් බවට පත් කර තිබීමයි. Numberpad සහිත ෆෝන් ස්මාර්ට් ෆෝන් වුණා වගේම දෙයකුයි මෙහි සිදුවී තිබෙන්නේ. මෙම රූපවාහිනීවල ඉහළ මට්ටමේ මෙහෙයුම් පද්ධතියක් ධාවනය වෙනවා. එය රූපවාහිනී බැලීමෙන් ඔබ්බට ගිය පරිගණකයකින් හෝ අතැති දුරකතනයෙන් කළ හැකි දේවල් සුවිසල් තිරයක් වෙතට ගෙන එනවා. අන්තර්ජාලයට සම්බන්ධවී ෆේස්බුක් පාවිච්චි කරන්නට, අන්තර්ජාලයේ සැරිසරන්නට මෙන්ම පුළුල් තිරයක YouTube වීඩියෝ, Netflix ආදිය බලන්නට මේ සමඟ අවස්ථාව ලැබෙනවා.

SmartTV බහුතරයක Android TV මෙහෙයුම් පද්ධතිය දකින්නට ලැබෙනවා. දුරකතන මෙහෙයුම් පද්ධතිවල වගේම මේවායේත් නිෂ්පාදන ආයතන විසින් උපාංගයේ හැකියාවන්ට ගැලපෙන ලෙස සහ ඔවුන්ටම ආවේණික පෙනුමක් ලබාදෙමින් එහි වෙනස්කම් සිදු කරනවා. මේ නිසා ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේම App ගබඩාවකට කොටු වෙන්නට සිදු වෙනවා. එහෙත් තවත් Box එකක් සම්බන්ධ කරනවා වෙනුවට සියළු පහසුකම් තනි උපාංගයකින් පාවිච්චි කළ හැකි නිසා ඉඩ ඉතිරිවීම, වයර් ප්‍රමාණය අඩු වීම මෙන්ම තනි රිමෝට් එකක් පමණක් භාවිත කළ යුතු වීම එහි වාසි ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වාසි ස්වල්පය වෙනුවෙන් සාමාන්‍ය ටීවී එකක මිලට වඩා වැඩිපුර පනස් දහසක් පමණ වියදම් කරන්නටත් සිදු වෙනවා.

විසඳුම් ගෙනෙන Box වර්ග

නිවසේ විශාල ප්‍රමාණයේ ටීවී එකක් තිබෙනවා නම් සහ එහි HDMI පෝට් එකක් තිබෙනවා නම් එය පහසුවෙන්ම ස්මාර්ට් ටීවී එකක් බවට පත් කරන්නට පුළුවන්. VCD/DVD Player සම්බන්ධ කරන ආකාරයේ පහසුකම් තිබෙන Box ද සොයාගන්නට පුළුවන් නිසා HDMI ගැනම වද විය යුතු නැහැ. අවාසි ලෙස ටීවී එක අවට මඳක් ඉඩ වැයවීම සහ ඇතැම්විට තවත් රිමෝට් එකක් එක්වීම දැක්විය හැකි නමුත් මිල ඉතිරිය ගැන සලකද්දී එය එතරම් ගැටළුවක් නොවනු ඇතැයි අප විශ්වාස කරනවා. පහතින් තිබෙන්නේ එසේ සාමාන්‍ය ටීවී එකක් ස්මාර්ට් කරලන ප්‍ර‍සිද්ධ උපාංග වර්ග කිහිපයක්.

MiraCast හෝ Chromecast

possiblemobile.com

Miracast හෙවත් දුරකතන හෝ පරිගණක තිරය ඍජුව රූපවාහිනියට යොමු කිරීමේ තාක්ෂණය සහිත උපකරණයක් අඩු මිලකට අන්තර්ජාල වෙළඳපොළෙන් ලබා ගන්න පුළුවන්. මේවායෙන් සිදුවන්නේ වයි-ෆයි හරහා Chrome ස්ථාපිත ලැප්ටොප් එකක් හෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය පුළුල් තිරයෙහි දකින්නට අවස්ථාව සැලසීමයි. ෆෝන් එකේ ගේම් එකක් ක්‍රීඩා කරද්දී තිරය මදිනම්, යූටියුබ් වීඩියෝ එකක් පුළුල් තිරයේ බලන්නට අවශ්‍ය නම් මෙය හොඳ විසඳුමක් බවට පත් වෙනවා. මේවාට මඳක් මිලෙන් ඉහළ නිෂ්පාදනයක් තමයි Chromecast කියන්නේ. එහි ඇති විශේෂත්වය වන්නේ යූටියුබ් වීඩියෝ එකක් Play කළ විට එය එම උපාංගය සතු YouTube app එක භාවිතයෙන් ධාවනය කරවීමයි. එවිට ඔබට ෆෝන් එකෙන් ඒ අතරතුරේ වෙනත් වැඩක් වුණත් කරන්නට අවස්ථාව ලැබෙනවා. Chromecast එක සම්බන්ධ කරන්නට ටීවී එකේම USB පෝට් එකෙන් හෝ බිත්තියට සම්බන්ධ කළ ෆෝන් චාජරයෙන් විදුලි බලයත්, ආදානය ලෙස HDMI port එකත් පාවිච්චි කළ යුතු වෙනවා.

Apple TV

ytimg.com

ඇපල් රසිකයෙක් වන ඔබට, ටීවී එකට ඇපල් TV එකක් සම්බන්ධ කරගන්නට පුළුවන්. නමුත් එහි තිබෙන බොහෝ සේවාවන් තවමත් ලංකාවට සහාය නොදෙන නිසා (මේ නිසාම මේ උපාංග ලංකාවේ නිල වශයෙන් විකිණීමට නැහැ) එතෙක් අන්තර්ජාලයේ සැරිසැරීම, දුරකතනයේ තිබෙන ඡායාරූප හෝ වීඩියෝ නැරඹීම AirPlay ඇප් එක හරහා කරන්නට පුළුවන්. මෙය පාලනය කරන්නට වෙනම රිමෝට් එකක් ලැබෙනවා. එසේත් නැත්නම් Apple TV Remote app එකෙන් හෝ Apple Watch එක හරහා ද එය පාලනය කරන්නට පුළුවන්. Siri ද එහි ස්ථාපිතව තිබෙන නිසා කිසිවක් තෝරන්නේ නැතිව කටහඬ හරහා ද ටීවී එක පාලනය කරන්න අවස්ථාව උදා වෙනවා. මිල සැලකීමේදී නම් ඇපල් නිෂ්පාදනයක් වශයෙන් සුපුරුදු පරිදි එය අහස උසට සිටිනවා.

Amazon FireTV

timeincuk.net

තමන්ගේ කැමැත්ත අනුව ලබාගැනීම සඳහා ඩොන්ගල් එකක් රිමෝට් එකක් (FireTV stick) සහ මඳක් විශාල ප්‍ර‍මාණයේ (FireTV) ලෙස මාදිලි දෙකකින් එය දකින්නට පුළුවන්. මෙය මූලික වශයෙන්ම අන්තර්ජාලයෙන් ලබාගන්නා වීඩියෝ නැරඹීම සඳහා භාවිත කරන්නට පුළුවන්. NetFlix වැනි සේවාවන් මෙයට ම සම්බන්ධව ඇති අතර ශ්‍රී ලංකාව සඳහා ද මූලික මට්ටමේ සහායක් Prime Video සඳහා ලබා දෙන බව වෙබ් අඩවිය පවසනවා. නම් දැරූ ආයතනයක නිෂ්පාදනයක් වශයෙන් මේ මාතෘකාව යටතේ අමතක කරන්නට නොහැකි නිසා මිස මෙය වඩාත් සුදුසු විකල්පයක් ලෙස දක්වන්නට නම් බැහැ.

Android TV Box

gbtcdn.com

MiraCast වලට පසු ඊට වඩා වැඩි සවිබලයකින් යුත් දැරිය හැකි මිලක් සහිත නිෂ්පාදනයක් ලෙස Android TV Box හඳුන්වන්න පුළුවන්. අන්තර්ජාල වෙළඳපොළේ විවිධ චීන නම් ඇති ආයතන විසින් විවිධාකාරයේ නිෂ්පාදනයන් මේ යටතේ ගෙන එනවා. ඒ නිසා අපි Android TV Box යන පොදු නම මෙහිදී පාවිච්චි කරනවා. මේ උපාංගයේ ඇති විශේෂත්වය වන්නේ එය හුදෙක් දුරකතනය හෝ පරිගණකය මත යැපෙන්නක් නොවී තවත් ෆෝන් එකක් ලෙස සවිබලයෙන් යුතු වීමයි. මේවා තෝරා ගනිද්දී ෆෝන් එකක් තෝරා ගනිද්දී වගේම ඔබේ අවශ්‍යතාවය අනුව ප්‍රොසෙසර්, රැම් ගැන සැලකිලිමත් විය යුතු වෙනවා. විශේෂයෙන් පරිගණක ක්‍රීඩා කරන කෙනෙක් නම් වැඩිපුර ඒ දේවල් වලින් පරිපූර්ණ එකකට යා යුතුයි. මෙය පාවිච්චි කරන්නට ෆෝන් එකක් අවශ්‍ය වන්නේ නැහැ, USB නැති රූපවාහිනියකට පවා Pen drive, SD card වල ඇති දෑ බලන්නට පවා එය උදව් දෙනවා. ෆෝන් එකේ මෙන්ම වයි-ෆයි හරහා Play Store එකෙන් ඇප්ස් ස්ථාපනය කරගෙන ෆෝන් එකෙන් කරන හැමදෙයක්ම පුළුල් තිරයෙන් ටීවී එකේ කරන්නට මේ උපාංග හරහා අවස්ථාව සැලසෙනවා.

ලංකාවේ ප්‍රායෝගික තත්ත්වය

cordbusters.co.uk

අපේ රටේ ස්මාර්ට් ෆෝන් ප්‍ර‍චලිත වෙන්නට මූලික හේතුවක් වුණේ NumberPad සහිත ෆෝන්වලට වඩා වැඩි යමක්, පරිගණකයක තරම් වැඩ ෆෝන් එක හරහා කරන්නට පුළුවන් බව තරුණ පරපුර අවබෝධ කරගැනීම නිසායි. නමුත් ටීවී එක පවුලේ උපකරණයක් බවට පත්වන නිසා විවිධ වයස් මට්ටම් සහ විවිධ තාක්ෂණික දැනුම් මට්ටම් වලින් යුත් අය එය පාවිච්චි කරනවා. බොහෝ වැඩිහිටියන්ට අවශ්‍ය කරන්නේ අංකය එබූ විට අදාල චැනල් එක තිරයේ දිස්වීම පමණයි. මේ නිසා ගෙදරට ස්මාර්ට් ටීවී එකක් තබා Android Box එකක් ගැනීමත් විරෝධතා රැසක් මධ්‍යයේ කරන්නට සිදුවේවි.

නමුත් එය එතරම් ගැටළුවක් නොවන්නේ, අන්තර්ජාලය හරහා කිසිවක් නරඹන අවස්ථාවකදී මිසක් ලංකාවේ චැනල් රූපවාහිනී සංඥා හරහා නරඹනවා නම් Android Box එකේ HDMI mode එකෙන් ඉවත්ව TV mode එකට යළිත් පැමිණිය යුතු වීමයි. තරුණ ඔබ එය පාවිච්චි කර අවසානයේ පෙර තිබූ ආකාරයටම සැකසුම් වෙනස් කරනවා නම් එය ගෙදර අයට ගැටළුවක් වන එකක් නැහැ. පරිගණක ක්‍රීඩා, වීඩියෝ, ඡායාරූප මෙන්ම ෆෝන් එකේ යන වීඩියෝ කෝල් එකක් පවා පුළුල් තිරයෙන් බලන්නට, විශාල වියදමක් දරා ස්මාර්ට් ටීවී එකක් ගන්නවාට වඩා මේ උපාංග හරහා පහසුවෙන් අතේ ඇති මුදලට කරන්නට පුළුවන් වීම නව තාක්ෂණයක් අත්විඳින්නට හොඳ තෝතැන්නක් බවට පත්වෙනවා.

කවරයේ ඡායාරූපය: kkomando.com

Related Articles