Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Chrome බ්‍රවුසරයේ ඔබ නොදන්නා වෙළුම් සහ ඒවායේ වෙනස්කම්

Google සමාගමේ තවත් නොමිලේ ලබාදෙන අගනා නිෂ්පාදනයක් වන Chrome browser එක මුලින් ම කරළියට පිවිසියේ 2008දී. මුල් කාලයේදී එය පැවතුණේ වින්ඩෝස් සඳහා පමණ යි. ඉන් අනතුරුව Linux, MacOS පරිගණක පද්ධති මෙන් ම ස්මාර්ට් දුරකථන සඳහා ද Chrome පැමිණියා. පැමිණි මුල් කාලයේදී Firefox ද පරදවා ඉතා සුමටව දිවෙන, අඩු පද්ධති අවශ්‍යතාවයන් ප්‍රමාණයක් භාවිත කරන, ජාල ගවේෂකයක් ලෙස මෙය ජනාදරය දිනා ගත්තත්, මෑතක සිට ‘රැම් කන්නා’ කියලා කාඩ් එකකුත් හදාගෙනයි ඉන්නේ.

ක්‍රෝම් කියන වචනය ෆයර්ෆොක්ස් තුළදීත් භාවිතා වෙනවා. ඔබ Firefox add-on එකක් හදන්නට ගියා නම් Mozilla ආයතනය විසින් ලබාදී ඇති documentation එකේ ඒ වචනය නිතර භාවිත වී තිබීම ගැන පුදුමයට පත් වන්නත් ඇති. ඒත් ඇත්ත ම කාරණය නම්, ෆයර්ෆොක්ස් බ්‍රවුසරයේ අභ්‍යන්තරික කොටස ඔවුන් මුලදී ම ක්‍රෝම් ලෙස නම් කර තිබුණු නමුත්, පසුකාලීනව ගූගල් ක්‍රෝම් බිහිවීමේදීත් නිෂ්පාදකයන් Mozilla සමාගම භාවිතා කළ වචනය ම යොදා ගැනීම යි. මෙහි මුල් අවදියේදී ෆයර්ෆොක්ස්හි සහ මයික්‍රොසොෆ්ට් සමාගමේ Internet Explorerහි කටයුතු කළ මෘදුකාංග සංවර්ධකයින් ද සහභාගී කරවාගෙන තිබෙනවා. මේ විදියට දිගු ගමනක් ආපු Chromeගේ සෑම සාර්ථක වෙළුමක් පසුපස ම තවත් සහෝදරයන් කිහිප දෙනෙක් ඉන්නවා. එයාලා ගැන විස්තර හොයන්නයි මේ ලැහැස්තිය.

කැනරි

(fossbytes.com)

Chrome Canary ලෙස නම් කර ඇති මෙම වෙළුම ක්‍රෝම් ජීවන ගමනේ මුල්ම පුරුක වගේම අස්ථායී ම වෙළුම යි. එහි සිදුවන නිරන්තර බිඳ වැටීම් නිසා ඔබ එදිනෙදා භාවිත කරන බ්‍රවුසරය ලෙස එය උචිත වන්නේ නැහැ. මෙම වෙළුමට ලැබෙන කිසිදු විශේෂාංගයක් ගූගල් සමාගම විසින් වැඩිදුර පරීක්ෂා කරන ලද ඒවා නොවෙයි. මෘදුකාංග සංවර්ධකයන් අතර මෙය වැඩිපුර භාවිතා වන්නේ විවිධ දුරකථනවලට හෝ පරිගණකවලට නව විශේෂාංග ගැළපෙනවා ද නැද්ද යන්න බලාගැනීමට සහ පරීක්ෂාවන් සිදු කිරීමට යි.

භාවිතයට අපහසු, නමුත් අළුතෙන් ම හඳුන්වා දෙන විශේෂාංග අත්දකින්නට ඔබ කුතුහලයෙන් පසු වෙනවා නම් මේ වෙළුමත් පරිගණකයේ හෝ දුරකථනයේ ස්ථාපනය කර තබා ගන්නට පුළුවන්. මොකද, මෙයට ලැබෙන ඇතැම් අපූරු විශේෂාංග සුළු වශයෙන් හෝ අසාර්ථක යැයි ඔවුන් තීරණය කළොත් ස්ථායී වෙළුම වෙත ළඟා වන්නේ නැහැ. එය කැනරි සමඟ ම මියෙනවා.

පරිගණකය සඳහා ඔබට Canary මෙතනින් බාගත කරගත හැකියි. ඇන්ඩ්‍රොයිඩ් සඳහා මෙතැනට පිවිසෙන්න.

ක්‍රෝම් dev

Chrome devහි ඇන්ඩ්‍රොයිඩ් Play Store පිටුව (Google play)

මෘදුකාංග සංවර්ධකයා හෙවත් developer යන්න අරුත් ගන්වමින් නම් කර ඇති Chrome dev කියන්නේ කැනරිවලට වඩා මඳක් ස්ථායී මට්ටමේ වෙළුමක්. සති 12කටත් ප්‍රථමයෙන් නවතම විශේෂාංග ගෙන එන dev වෙළුමට සාමාන්‍යයෙන් සතියකට සැරයක් යාවත්කාලීනයක් (update) ලැබෙනවා. ස්ථායී මට්ටමට යාමට පෙර බ්‍රවුසරය තුළ අත්හදා බැලිය යුතුවන පුළුල් විශේෂාංග රැසක් දරන මෙය සතුව ස්ථායී නිකුතු වෙත නොයා අභාවයට යන විශේෂාංග පවතිනවා.

මෙම වෙළුම හිර වීම්, බිඳ වැටීම්, Render වීමේ ගැටළු, Extensions නොගැළපී යාම් හෝ ක්‍රියාත්මකවීමේදී අස්ථායීව බිඳ වැටීම් සිදුවීමේ අවදානම්වලින් යුක්ත නමුත්, ඇතැම් සරල වෙබ් අඩවි සඳහා සාර්ථකව මුහුණ දීමේ හැකියාවෙන් යුතුයි.

ඇන්ඩ්‍රොයිඩ් සඳහා Chrome dev මෙතැනින් බාගත කරගත හැකි අතර නවතම අත්දැකීම් සහිත විශේෂාංග අත්විඳිමින් ඒවායේ හොඳ නොහොඳ ගැන අදහස් දැක්වීමෙන් දායකත්වයක් සපයන්නට ද ඒ හරහා ඔබට අවස්ථාව ලැබෙනවා.

බීටා වෙළුම

(techtimes.com)

ඕනෑම මෘදුකාංගයක ස්ථායී වෙළුමට පෙර වැඩිදුර තත්ව පරීක්ෂා කිරීම් සඳහා එය බීටා වෙළුමක් ලෙසින් හඳුන්වා දෙනවා. ඇතැම් ආයතන මෙය ප්‍රසිද්ධියට පත් කර, වැඩි දෙනෙක්ගේ අදහස් විමසමින්, ගැටළු හඳුනා ගන්නා නමුත් තවත් ආයතන අභ්‍යන්තරික වශයෙන් විශේෂයෙන් තෝරාගත් පිරිසකට පමණක් භාවිතා කිරීමට අවස්ථාව ලබාදී අවසාන ඵලය සඳහා අවශ්‍ය තොරතුරු රැස් කිරීමත්, අවශ්‍ය පිළිසකර කිරීම් සිදු කිරීමටත් යොමු වෙනවා.

වැඩි ස්ථායී බවකින් යුතු මෙම ක්‍රෝම් බීටාව, ස්ථායී වෙළුමට සති හයකට පෙර නවමු විශේෂාංග ඔබට ගෙන එනවා. බොහෝ අවස්ථාවලදී බීටා වෙළුම ස්ථායී වෙළුමට වඩා එක් පියවරක් ඉදිරියෙන් සිටිනවා. උදාහරණයක් වශයෙන් ස්ථායී වෙළුමේ අංකය 50 නම්, බීටාව 51 ලෙස එළි දකිනවා. බ්‍රවුසරයේ වේගය වැඩි කිරීම්, ක්‍රියාකාරීත්වය සුමට කිරීම්, සැකසුම් මෙනු වලට එන නවතම විශේෂාංග ආදී බොහොමයක් කාටත් කලින් ස්ථායීව අත්විඳින්නට නම් මේ වෙළුම ඔබට භාවිතා කරන්නට පුළුවන්.

පරිගණකය සඳහා බීටාව මෙතැනින් ද ඇන්ඩ්‍රොයිඩ් සඳහා Play Store හරහා ද ලබාගත හැකියි.

ස්ථායී වෙළුම (Stable)

Chrome ලාංඡනය ක්‍රමයෙන් යාවත්කාලීනවූ ආකාරය (netdna-cdn.com)

 

අපිට නිතර ම මුණගැසෙන සහ කවුරුත් භාවිත කරන වෙළුම තමයි Stable release එක. Windows අලුතෙන් දාපු ගමන් ම Internet Explorer හෝ නවතම Edge එකෙන් හා පුරා කියලා search කරන එකම වචනේ: “chrome” හෝ “download google chrome” හරහා අපිට ලැබෙන ප්‍රතිඵලවලින් ලැබෙන්නේ මෙම වෙළුම යි. එය වඩාත් ස්ථාවර එකක් වන අතර කිසිදු බිඳවැටීමකින් (crash) තොරව භාවිතා කරන්නට හැකියි.

මෙම වෙළුම් ඔබට කිහිපයක් වශයෙන් වුවත් භාවිත කරන්නට පුළුවන්. ඒ කියන්නේ, ස්ථායී එක තියාගෙන ම ඔබට අවශ්‍ය නම් කැනරි, බීටා යන දෙකත් ස්ථාපනය කර තියාගන්න පුළුවන්.

ඉතින් ඔබත් භාවිත කරන ක්‍රෝම් බ්‍රවුසරයේ විශේෂාංග මදි වගේ නම් කැනරි සහ බීටාත් දාගෙන බලන්න. ඔබ සොයන දේ එ් තුළ දකින්න ලැබෙන්නත් පුළුවන්.

කවරයේ පින්තූරය: alphacoders.com.

මූලාශ්‍ර:

  1. Quora
  2. Reddit
  3. superuser.com

Related Articles