Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රුසියාවේ නවතම යුධ අවි බලගන්වන න්‍යෂ්ටික එන්ජින් තාක්ෂණය

ඇමරිකාවත්, බටහිර ලෝකයත් සලිත කරමින් රුසියානු ජනාධිපති ව්ලැදමීර් පුටින් මීට මාස දෙකකට පෙර අමුතුම වර්ගයේ අවි පද්ධතියක් එළි දැක්වූවා. ඒ ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර පැවති රාජ්‍යයේ තත්ත්වය දැනුම් දීමේ කතාවේ දී යි. එහි දී යොදා ගන්නා ලද වීඩියෝවේ එක් තැනක න්‍යෂ්ටික මිසයිල ප්‍රහාරයක් එල්ල කරන අවස්ථාවකුත් පෙනෙන්න තිබුණා. එය දුටු බොහෝ දෙනෙක්ගේ අදහස වුණේ ප්‍රහාරයට ලක් වන ස්ථානය ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය මෙන් පෙනෙන සේ හිතා මතා නිර්මාණය කර තිබුණු බව යි.

වසර ගණනාවක් තිස්සේ එක දිගටම බලය සපයන්න හැකියාව තියෙන නිසා න්‍යෂ්ටික එන්ජිමකින් බල ගැන්වෙන මිසයිලයකට, ටෝපිඩෝවකට, හෝ වෙනත් යුධ වාහකයකට ගමන් කරන්න පුළුවන් දුර ප්‍රායෝගිකව ගත්තාම අසීමිත යි. මේ නිසාම රුසියාවේ න්‍යෂ්ටික එන්ජින් තාක්ෂණය බටහිර රටවලට ලොකු හිසරදයක් වෙන්න ඉඩක් තියෙනවා.

න්‍යෂ්ටික එන්ජින් තාක්ෂණය කියන්නේ ඇත්තටම මොකක්ද, එහි තියෙන වාසි අවාසි, සහ මෙතෙක් කල් එවැන්නක් නිර්මාණය නොවුණේ ඇයි කියන එකත් අද ලිපියෙන් කතා බහට ලක් වෙනවා.

න්‍යෂ්ටික ශක්තිය සහ රසායනික ශක්තිය අතර මහා වෙනස

යුරේනියම් කිලෝග්‍රෑම් එකකින් ලබා ගත හැකි ශක්තිය අපේ නොරොච්චෝලේ බලාගාරය මෙගාවොට් 900ක් බැගින් දවසක් පුරා ලබා දෙන ශක්තියටත් වඩා වැඩි යි. පැය කිහිපයකට මුළු ශ්‍රී ලංකාවටම විදුලිය දෙන්න මේ පුංචි ලෝහ කුට්ටිය ප්‍රමාණවත්! (Wikimedia.org)

සාමාන්‍ය ඉන්ධන හැම එකක්ම මුදා හරින්නේ ඒවා තුළ ඇති රසායනික බන්ධනවල ගබඩා වෙලා තියෙන ශක්තිය යි. නමුත් මේ විදිහට පවතින්නේ සාපේක්ෂව අඩු ශක්තියක්. උදාහරණයක් විදිහට පෙට්‍රල් කිලෝග්‍රෑම් එකක පවතින මුළු ශක්තිය මෙගා ජූල් 47.3ක් වගේ. වඩාත් තේරෙන විදිහට කිව්වොත් කිලෝවොට් එකක (සාමාන්‍ය වතුර හීටරයක් කියලා හිතන්න) ක්ෂමතාවක් එයින් ලබා දෙන්න හැකියාව තියෙන්නේ පැය 13ක් විතර කාලයකට පමණයි.

නමුත් පරමාණු තුළ පවතින න්‍යෂ්ටිය බිඳ නොවැටී ස්ථාවරව තියා ගන්න ඉතාම ශක්තිමත් බන්ධන අවශ්‍ය යි. මේ සුවිශාල ශක්තියම අපිට න්‍යෂ්ටිය අස්ථාවර කර බිඳ දැමීමෙන් ලබා ගන්න හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් භාවිත වන යුරේනියම් කිලෝග්‍රෑම් එකකින් ටෙරා ජූල් 83.14ක (මෙගා ජූල් 83,140,000 ක) පමණ ශක්තියක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ පෙට්‍රල් කිලෝග්‍රෑම් එකක් වගේ 17 ලක්ෂ ගුණයකටත් වැඩි ශක්ති ප්‍රමාණයක්! ඉතින් පෙට්‍රල් කිලෝග්‍රෑම් එකකට පැය 13ක කාලයකට ලබා දිය හැකි කිලෝවොට් එකක ක්ෂමතාවය අවුරුදු 2600කටත් වැඩි කාලයක් තිස්සේ ලබා දෙන්න යුරේනියම් කිලෝග්‍රෑම් එකකට හැකියාව තියෙනවා.

රසායනික ශක්තියේ සහ න්‍යෂ්ටික ශක්තියේ වෙනස පැය 13 සහ අවුරුදු 2600 සැලකුවාම හොඳින් තේරුම් ගන්න පුළුවන් නේද?

එක දිගටම ක්‍රියා කරන ජෙට් එන්ජින් එකක්?

රුසියාව තැනූ න්‍යෂ්ටික බලාගාරයක් සහිත Tu-119 ගුවන් යානය (atomictoasters.com)

හිතා ගන්න අපහසු තරම් බලගතු වුණත් න්‍යෂ්ටික ශක්තිය කියන්නේ විද්‍යා ප්‍රබන්ධයක් නෙවෙයි. එය දැනටමත් මහා පරිමාණයෙන් භාවිතයට ගැනෙනවා. දියුණු රටවල මහජනයාට විදුලි බලය සපයන්න වගේම ලෝක බලවතුන්ගේ ගුවන් යානා වාහක නෞකා, සබ්මැරීන වගේ මහා පරිමාණයේ සාගර යුධෝපකරණ බල ගන්වන්නත් න්‍යෂ්ටික බලය උපයෝගී කර ගැනෙනවා. නමුත් දැනට තියෙන තාක්ෂණය අනුව න්‍යෂ්ටික බලය ලබා ගත හැකි පද්ධතියක් බරින් ඉතාම වැඩියි. මෙයට ප්‍රධානම හේතුව වෙන්නේ න්‍යෂ්ටික විඛණ්ඩනයේ දී පිටවන අධික විකිරණ ප්‍රමාණයෙන් ආරක්ෂාව සලසන්න සෙන්ටිමීටර් ගණනාවක් ඝණකමට ඊයම් ආවරණයක් යොදන්නට සිදු වීම යි.

න්‍යෂ්ටික ශක්තියේ තියෙන වාසිදායක බව නිසාම එය යොදාගෙන වසර ගණනක් වුණත් අහසේ රැඳී සිටිය හැකි ගුවන් යානා නිපදවන්න ඇමරිකාවට වගේම රුසියාවටත් ඒ දවස්වල සිටම උවමනාවක් තිබුණා. නමුත් ගුවන් නියමුවන්ව විකිරණවලින් ආරක්ෂිතව තබන්න පුළුවන් තරම් ඝණකම් ආවරණයක් යෙදුවාම ඒක ගුවන් යානයේ ගෙන යන්න අපහසු තරම් බරින් වැඩියි. මේ නිසා න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක කරන ජෙට් එන්ජින් පහසුවෙන්ම නිපදවන්න පුළුවන් වුණත් එය ප්‍රායෝගිකව ගුවන් යානයක යොදා ගන්න බැරි වුණා. පිටවෙන අධික විකිරණ ප්‍රමාණය නිසා ගුවන් නියමුවාගේ ජීවිතය අනතුරේ නොහෙළා එය සාර්ථකව ඉටු කර ගන්න හැකි වුණේ නැහැ. රුසියාව සිය TU-119 යානය යොදාගෙන ඒ විදිහේ පර්යේෂණ ගමන් කිහිපයක්ම සිදු කළත් නියමුවන්ට පවතින අහිතකර බව සහ බැලස්ටික් මිසයිල තාක්ෂණයේ දියුණුව නිසා එය පසුව අත්හැර දැමුණා.

න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන ජෙට් එන්ජිමක් නියමුවන් රහිත කෲස් මිසයිලයකට සවි කිරීමේ සැබෑ උත්සාහයක් ගැන ලොවට එළිදරව් වුණේ පුටින් ඒ බව කී පසුව යි.

න්‍යෂ්ටික එන්ජිමක ක්‍රියා කරන ආකාරය

මෙගාවොට් 200ක (අශ්ව බල 260,000ක පමණ) සුවිශාල බලයක් ලබා ගත හැකි න්‍යෂ්ටික ජෙට් එන්ජිමක සැලසුමක්. (pinterest.com)

න්‍යෂ්ටික ජෙට් එන්ජිමක ක්‍රියාකාරීත්වය සාමාන්‍ය ජෙට් එන්ජිමකට සෑහෙන දුරට සමාන යි. මෙහි දී න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවෙන් ඇති වන අධික තාපය ද්‍රව ලෝහ මාධ්‍යයක් හරහා පිටතට ගෙනැවිත් එය යොදාගෙන වාතය අධික ලෙස උණුසුම් කිරීමත්, එසේ කිරීමෙන් ප්‍රසාරණය වන වාතය වේගයෙන් පිට කිරීමත් සිදු වෙනවා. එය ඉන්ධනවලින් ලැබෙන තාපය යොදාගෙන මීට සමාන ආකාරයකට ක්‍රියා කරන ජෙට් එන්ජිමක් වගේම ප්‍රචාලන බලය ලබා දෙනවා. න්‍යෂ්ටික ජෙට් එන්ජින් එකකින් දුම් පිටවීමක් නැති නිසා පරිසර දූෂණයක් නැහැ වගේම හඳුනාගන්නත් අපහසු යි. මීට අමතරව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන නෞකා සහ සබ්මැරීන වගේම න්‍යෂ්ටික තාපයෙන් වාෂ්ප ටර්බයින් ක්‍රියා කරවා ඉන් ලැබෙන විදුලියෙන් ක්‍රියාත්මක වන අවරපෙති සහිතවත් එන්ජිමක් නිර්මාණය කළ හැකි යි. එය ඉතා සංකීර්ණයි වගේම බරෙනුත් ඉතා වැඩි නිසා මිසයිලයකට එතරම් ගැළපෙන්නේ නැතත්, සාගරය යට පවතින ටෝපිඩෝවකට ඉතා හොඳින් ගැළපෙනවා.

මේ ක්‍රියාවලියේ දී ඍජුවම වාතය විකිරණශීලී මුලද්‍රව්‍යවලට නිරාවරණය නොවුණත් පද්ධතිය හොඳින් ආවරණය නොකළොත් අවට ප්‍රදේශයට සැළකිය යුතු විකිරණ ප්‍රමාණයක් මුදා හැරෙනවා. නමුත් කෲස් මිසයිලයක හෝ ටෝර්පිඩෝවක නියමුවන් නැති නිසා එය ලොකු ගැටළුවක් වෙන්නේ නැහැ. වසර ගණනාවක් තිස්සේ ඉන්ධන අවසන් වීම ගැන කරදර නොවී අහසේ හෝ මුහුදු පතුළේ ගමන් කරන්නත්, විධානය ලැබුණු සැණින් ඉලක්කය කරා යොමු වීමටත් ඒවාට හැකියාව තියෙනවා. දැනට පවතින කිසිදු ප්‍රතිප්‍රහාර හෝ මිසයිල ආරක්ෂණ පද්ධතියකට එය සාර්ථකව වළක්වන්න හැකියාවක් නැහැ.

ලෝක බල තුලනය සහ සාමාන්‍ය ජනතාවගේ ප්‍රයෝජනයට යොදා ගැනීම

න්‍යෂ්ටික කෲස් මිසයිල නතර කරන්න දැනට පවතින ඇමරිකානු මිසයිල ආරක්ෂක පද්ධතිවලට හැකියාවක් නැහැ. (ai-monitor.com)

කොහොම නමුත් සෑම යුධ විශේෂඥයෙකුගේම අදහස මේ තාක්ෂණයෙන් ලෝක බල තුලනයේ සැබෑ වෙනසක් සිදු නොවන බව යි. ඇමරිකාවට රුසියාව දැනට ඇති න්‍යෂ්ටික ආයුධවලින් එල්ල කරන මහා පරිමාණයේ ප්‍රහාරයකින් වුණත් සම්පූර්ණයෙන්ම ආරක්ෂා වෙන්න හැකියාවක් නැහැ. ප්‍රතිප්‍රහාර එල්ල කර ඊට වඩා විනාශයක් කරන්න ඇමරිකාවට තියෙන හැකියාව පමණයි එයට විරුද්ධව තියෙන්නේ. මේ නිසා අලුතෙන් එළිදැක්වූ ආයුධ සියල්ලම සැබෑ තර්ජනයක් නැති, ප්‍රදර්ශක ආයුධ පමණක් බවයි වැඩි දෙනාගේ අදහස. නමුත් දැන් ඒවායින් ආරක්ෂා වෙන්න නව පද්ධති හදන්න බටහිර ලෝකයට පීඩනයක් එල්ල වීමත්, රුසියාවේ බලපුළුවන්කාරකම ප්‍රදර්ශනය වීමත් වගේ ප්‍රයෝජන නම් බොහොමයක් ලැබෙනවා.

අනාගතයේ යම් හෙයකින් සාමාන්‍ය ගුවන් ගමන්වලට වුණත් යොදා ගන්න පුළුවන් විදිහට ආරක්ෂාකාරී න්‍යෂ්ටික එන්ජින් එකක් කුඩාවට හදන්න හැකියාවක් ලැබුණත්, එය යොදා ගැනීමට නොහැකි වෙන වෙනත් බරපතල ගැටළු බොහොම යි. අනතුරක දී සිදු විය හැකි සුවිශාල විකිරණ කාන්දුව, න්‍යෂ්ටික ඉන්ධන පැහැරගෙන අවි නිපදවන්න තියෙන පෙළඹවීම වගේ හේතු නිසා එය කවදාවත් මගී ප්‍රවාහනයට යොදා ගැනේවි කියා සිතන්න බැහැ. දැනට පවතින වාණිජ ප්‍රවාහන නෞකාවලට න්‍යෂ්ටික ජනක යන්ත්‍ර සවි කරන්න ඉතා පහසුවෙන් හැකියාව තිබුණත්, එහි වාණිජ වශයෙන් ඉතාම වාසිදායක තත්ත්වයක තිබුණත් යුධ නෞකාවල හැර එය සවි නොකෙරෙන්නෙත් මේ වගේ හේතු නිසයි.

ඉතින් න්‍යෂ්ටික එන්ජින් තාක්ෂණය ඉහළ වාසියක් ලබා ගත හැකි, නමුත් විවිධ හේතු නිසා සැබෑ ප්‍රයෝජනයකට ගන්න හැකියාව ඉතා අඩු තාක්ෂණයක් බව කණගාටුවෙන් වුණත් කිව යුතු යි. එයින් ලබා ගත හැකි සැබෑ ප්‍රයෝජන සියල්ලම පාහේ පවතින්නේ ලෝකයට නරකක්ම කරන යුධ උපකරණ නිපදවීමට පමණ යි.

කවරයේ රූපය : (metro.co.uk)

Related Articles