Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Freelance මෘදුකාංග සංවර්ධකයෙක් විධියට වැඩ කරන එකේ වාසි සහ අවාසි

නූතන රැකියා වෙළඳපොළේ පවතින රැල්ල තමයි CV හදාගෙන රක්ෂා පෝලිමේ ඉන්නේ නැතිව ගෙදර ඉඳගෙනම වැඩ හොයාගෙන රට රටවලට පවා තමන්ගේ හැකියාවන් පෙන්වා මුදලක් සොයා ගන්නා එක. Freelance හෙවත් නිදහස් වෘත්තිකයෙක් වශයෙන් කාගේවත් යටතේ නැතිව, ස්වාධීනව, රටට බරක් නොවී තමන්ගේ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගන්නා එක රටේ දියුණුවටත් ඉවහල් වෙනවා වගේම අන්තර්ජාලය හරහා programming කරනවා නම් රටට විදේශ විනිමය ලැබෙන්නත් එය මූලික මාර්ගයක් බවට පත් වෙනවා.

නමුත් මෙහෙම කරන එකේ වාසි සහ අවාසි තිබෙනවා. ජොබ් එකකට යනවා ද ගෙදර ඉඳගෙන freelance කරනවාද කියලා හිතාගන්න බැරි කෙනෙක්ට මේ ලිපිය අවසානයේදී හොඳ තීරණයක් ගන්නට අවස්ථාව ලැබේවි.

වැඩ කරන ස්ථානයේ නිදහස

gannett-cdn.com

තමන්ගේම නිවසේ තමන්ට අවශ්‍ය විධියට හදාගත්තු තැනක වැඩ කරද්දී ඔෆිස් එකක වැඩි පිරිසක් ඉන්න කොටුකළ, හිරවුණු මේසයක ඉන්නවාට වඩා විශාල නිදහසක් ලැබෙනවා. තමන්ට ඕනෑ විධියට මේසය උඩ අපිළිවෙළට තබා ගන්නට පුළුවන් වගේම අවශ්‍ය අවශ්‍ය විධියට අත් කකුල් දිග හැරගෙන, පුටුවේ හාන්සිවෙලා ඉඳගෙන වැඩ කළත් ඒ දිහා අමුතු ඇසකින් බලන්න කිසිම කෙනෙක් නැහැ. මේසයක නොවුණත් ලැප්ටොප් එකක් තිබෙනවා නම් ඇඳේ හාන්සිවෙලා වුණත් code කරන්නට නිදහස ලැබෙන අතර වැඩ ටික හරියට කරලා අතර මගදි නිදිමතක් ආවොත් ඇඳත් අත ළඟම තිබෙන නිසා කාර්යාලයකට කොටු වෙනවාට වඩා නිදහසක් නිවසේදී ලැබෙනවා.

වැඩිදුර කියැවීමට: නිවසේ සිට කරන part time වැඩ කාර්යක්ෂම කරලන ක්‍රමවේද

බොස් තමන්මයි

1999දී තිරගතවූ Office Space චිත්‍රපටයේ ජවනිකාවක් (firstsun.com)

ඔෆිස් එකක වැඩ කරද්දී, විශේෂයෙන් පරිගණක ක්‍රමලේඛකයෙක්ට Project Manager ගෙන් වගේම QA ලාගේ පීඩාවන්ට නිතර ලක්වෙන්නට සිද්ධ වෙනවා. ටිකකට ෆෝන් එක අතට ගත්තත් එයට රැවුම් ගෙරවුම් කරන අය විතරක් නෙවෙයි, කේලාම් කියන්නත් බොහෝ පිරිසක් සැදී පැහැදී ඉන්නවා. මේ සියල්ලෙන්ම මිදී තමා වැඩ කළයුතු වේලාවන්, කළ යුතු ආකාරය සහ කරන්න ඕන කොහොමද කියන හැමදේම තමන්ම තීරණය කරද්දී නිර්මාණශීලීත්වයේ උපරිමය ලබාගෙන සාර්ථක නිපැයුමක් කරන්නට අවස්ථාව ලැබෙනවා.

ටැක්සි රියදුරෙක් වරක් “මගේ බොස් මමයි” කිව්වාම පසුපස සිටි මගියා “ඔතනින් වමට හරවන්නැ”යි අණ කළ කතාව ඔබ දන්නවා ඇති. Freelance කරද්දීත් ඒ විධියට clientගේ පීඩනයන්ට ලක්වෙන්නට සිදුවෙනවා. නමුත් ඔෆිස් එකේ බොස් හරහා ඒ පීඩනය තවත් වැඩිවෙලා එනවාට වඩා ඍජුව clientගෙන් එද්දී ඔවුන්ව ශේප් කරන එක පහසු වැඩක්.

විවිධ තාක්ෂණයන් භාවිත කළ හැකියි

veztekusa.com

කාර්යාලයක වැඩ කරද්දී මෘදුකාංගය සඳහා නියම කරන ලද පරිගණක ක්‍රමලේඛන භාෂා භාවිත කරන්නට සිදුවීම, ඇතැම්විට නියම කරන ලද IDE මෘදුකාංගයකට කොටු වන්නට සිදුවීම, ඔබ රැකියාවට පිවිසුණු පරිගණක භාෂාවෙන්ම සදාකාලිකව code කරන්නට සිදුවීම වැනි සීමා පැණවීම් රැසකට මුහුණ දෙන්නට සිදු වෙනවා. නමුත් freelance කරද්දී මෘදුකාංගයේ සැලැස්ම පිළිබඳව බොහෝ අවස්ථාවලදී තමාටම තීරණය කරන්න ලැබෙන නිසා වඩාත් උචිත, අඩු කාලයකින් වැඩි හැකියාවන් ප්‍රමාණයක් ලබා ගත හැකි ආකාරයට යොදා ගන්නා ක්‍රමවේදයන් (භාෂා, Library, IDE) යොදාගෙන රිසිසේ මෘදුකාංගය ක්‍රමලේඛනය කරන්නට අවස්ථාව ලැබෙනවා. රැකියාවකට පිවිස front end වලටම සීමා නොවී ඔබ නිදහසේ ගත කරන කාලයේ උගත් backend languages වලින් පවා හැකියාවන් අවධි කරගන්නට මේ හරහා පුළුවන්.

තමාගේ මෘදුකාංග අදහස්වලටත් කාලය ඉතිරි වෙනවා

nextrestaurants.com

උදේ පාන්දර ඉඳන් රෑ වනතුරු ඔෆිස් එකක කාලය ගත කරනවාට වඩා freelance කරද්දී දවසට අදාල වැඩ කොටස අවසන් වූවාට පසුව ඔබේ සිතට ආ අපූරු මෘදුකාංගයක් වෙනුවෙන් වැඩ කරන්නටත් අවස්ථාව ලැබෙනවා. එවිට වෙනත් අයගේ අදහස් ක්‍රියාවට නංවනවා වෙනුවට ඔබේම මෘදුකාංගයක් නිපදවා එය වෙනම විකුණන්නටත් ගෙදර ඉඳගෙන වැඩ කරද්දී වේලාව ඉතිරි වෙනවා. මෙවන් දෙයක් ඔෆිස් එකක සිට කරන්නට ගියාම රැවුම් ගෙරවුම්වලටත් මුහුණ දෙන්නට සිදු වෙනවා විතරක් නොවෙයි, ඊර්ෂ්‍යා කරන අයගෙනුත් ඔෆිස් එකේ වැඩ වෙනුවට වෙනත් ඒවා කරනවා යැයි ඉහළට ගින්දර අවුළුවාලීමේ අවදානමක් තිබෙනවා. මේ කිසිම දෙයකින් සීමා නොවී නිදහස් කාලය තමන්ගේම කටයුත්තක් වෙනුවෙන්, ඇතැම්විට ගෙදර අලුත්වැඩියා කිරීමක් වැනි දෙයක් වෙනුවෙන් වුවත් යොදන්නට freelancing හරහා අවස්ථාව ලැබෙනවා.

ඒකාකාර වැටුපක් නැහැ

bethkobliner.com

Fiverr වැනි සේවාවක් හරහා වැඩ කරද්දී ලැබෙන ආදායම ඇතැම්විට සෑහීමකට පත්වීමට අපහසු වෙද්දී Upwork හරහා වැඩ සොයාගැනීමට මහත් පරිශ්‍රමයක් යෙදීමට මුහුණ දෙන්නට සිදුවිය හැකියි. එක් වැඩක් අවසන් වෙද්දීම තවත් වැඩක් සොයා ගන්නට නොහැකි වුණොත් ටික කාලයක් ආදායමක් නැතිව ඉන්නට සිදු වෙනවා. ඒ වගේම වැඩක් කරන අතරතුරේදී client කෙනෙක් වැඩේ කරන්නට එපායැයි project එක අවලංගු කළහොත් ඒ පාඩුව ද තමන්ට දරාගන්නට සිදු වෙනවා.

කාර්යාලයක වැඩ කරද්දී වැඩ කළත් නොකළත්, මාසයේ පඩිය තමන්ට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඇතැම් අවස්ථාවලදී කොතරම් වැඩ කළත් එකම සොච්චම් පඩියක්ම ලැබෙන්නත් පුළුවන්. Freelance කරද්දී හොඳ ප්‍රොජෙක්ට් එකක් ලැබුණොත් එක්වරම ඔෆිස් එකකින් කිසිදා ලබන්නට බැරි ලොකු ආදායමක් ලැබෙන්නත් පුළුවන්.

EPF හෝ ETF වෙනුවට ඉතිරි කළ යුතු වෙනවා

tomorrowmakers.com

සම්පූර්ණ පඩියම අතට ලැබුණාම ඇතැමුන්ට ඒ සියල්ලම වියදම් කරන්නට සිතෙනවා. කාර්යාලයක වැඩ කරද්දී පඩියෙන් කොටසක් බලෙන්ම EPF/ETF ලෙස වෙන් කරන නිසා නොදැනීම වියපත් සමයට මුදලක් ඉතිරි වෙනවා. නමුත් Freelance කරද්දී තමන්ගේ මුදල් කළමනාකරණය කරන්නට තමන්ටම සිදුවන නිසා වැඩ කරගන්නට බැරි වැඩිහිටි අවධිය වෙනුවෙන් බොහොම කල්පනාවෙන් මුදලක් ඉතිරි කරගත්තේ නැත්නම් පසුකාලීනව ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවිය හැකියි. නිවසේ සිට වැඩ කරද්දී නිතර මිතුරන්, ඔෆිස් එකේ සගයින් හා නොගැටෙන නිසා සාදයන්ට වැයවන මුදල නිතැතින්ම අතේ ඉතිරි වෙනවා.

තනියම ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වෙනවා

hownot2code.com

ඔෆිස් එකක පිරිසක් සමඟ වැඩ කරද්දී ඔබේ අතින් සිදුවන අඩුපාඩු (bugs), විසඳා ගන්නට බැරි ගැටළුවලට විසඳුම් ආදිය ගැන අනෙක් අයගෙන් අසා දැනගන්නට අවස්ථාව ලැබෙනවා. එක දිගට වැඩ කරද්දී තමාගේ code එකේ තිබෙන දේවල් තමන්ටම නොපෙනී යන අවස්ථා තිබෙනවා වගේම හරිහැටි test කිරීම් ද සිදු නොවෙන්න පුළුවන්. ඒ අනුව බැලූ කල ඔෆිස් එකක කණ්ඩායමක් සමඟ වැඩ කරද්දී තමාට අදාල කොටසට පමණක් අවධානය යොමු කරන්නට අවස්ථාව ලැබෙනවා.

එහෙත් සැලැස්මක් හදාගෙන වැඩ කරනවා නම් සහ හරිහැටි තමාට ඇති ගැටළුව පිළිබඳව ගූග්ල් කරන්නට පුළුවන් නම් Stackoverflow වැනි වෙබ් අඩවි හරහා එලෙස ඇතිවන ගැටළුවලට විසඳුම් කිසිම කෙනෙක්ගේ උදව්වක් නැතිව තනිවම සොයා ගන්නටත් බැරි කමක් නැහැ.

ඔබ වැඩිපුර කැමති කොහොම වැඩ කරන්නටද?

socialmediaexplorer.com

ඇතැමුන් සමාජ ආශ්‍රයට ප්‍රිය කරනවා වගේම ගෙදර පරිසරයේ තිබෙන ගැටළු නිසා ගෙදර සිට වැඩ කරනවාට වඩා ඔෆිස් එකක මහත් නිදහසක් ඇති බව සිතනවා. තවත් අය සමාජ ආශ්‍රයෙන් තොරව තනිව තමාගේ වැඩ වලට අවධානය යොමු කරමින් අවශ්‍ය වැඩ කොටස කර අවසානයේ හොඳ නින්දක් ලබන්නට පෙරුම් පුරනවා. මේ වාසි අවාසි අනුව ඔබේ තීරණය ඔෆිස් එකක වැඩ කරන්න ද නැත්නම් Freelance කරන්නට ද?

කවරයේ ඡායාරූපය: jobberman.com

Related Articles