Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තාක්ෂණ භීතිකාව වැපිරූ 19 වැනි සියවසේ Ludditesවරු

තාක්ෂණය එක්ක මිනිස් වර්ගයා ශීඝ්‍රයෙන් පරිණාමය වෙමින් යන අවධියකයි ඔබත් මාත් මේ ඉන්නේ. තාක්ෂණයේ පරිණාමය යුගයකින් යුගයකට, පරම්පරාවකින් පරම්පරාවකට හුවමාරු වෙන්න ගත වෙන්නේ ඉතාම සුළු කාලයක්. හැබැයි මේ ශීඝ්‍ර පරිණාමයේ කෙළවර කෙබඳුද කියන්න අපි තාම ඉක්මන් වැඩියි. නව යුගය බිහි වීමත් එක්ක ම තාක්ෂණික පුනරුදය ගැන භීතිකා ද ගොඩ නැගෙන්නට පටන් ගත්තා. අපි ඇත්තට ම Technology එකත් එක්ක තියාගෙන ඉන්නේ හරිම අසම්මත Love–hate relationship  එකක් බව මිනිස් වර්ගයාට ටික ටික අමතක වෙන්නට පටන් ගත්තා. 

මේ තාක්ෂණික භීතිකාව ගැන සමාජයේ මත දැරූ, ඒ ගැන හඬ නැගු බොහෝ දෙනකු සමාජය ඉතිහාස පොත්වල පිටු ඇතුළත ලේ පැල්ලම් බවට පත්කළා.  මේ ලිපිය වෙන් වෙන්නේ නව යුගයේ තාක්ෂණ භීතිකාව ගැන හඬ නැගු එවැනි පිරිසක් වෙත යි. ඒ ලෝකය කාර්මීකරණය වීමට එරෙහි ව පෙරට ආවේ Ludditeවරුන්. ඔවුන් කවුද? ඔවුන් කළ විප්ලවය සාධාරණ ද? ඔවුන් ඇත්තට ම තාක්ෂණ විරුද්ධවාදීන් ද? 

 කවුද මේ Ludditeවරු?

Ludditesවරුන් කියන්නේ 19 වැනි ශතවර්ෂයේ ගොඩ නැඟුණු, රහසිගත ප්‍රතිඥාවක් මත පදනම් වුණු ඇඟලුම් කම්හල් සේවකයන් ගෙන් සැදුම් ලත් සංවිධානයක්. මොවුන් ඒ කාලයේ විශාල ඇඟලුම් කර්මාන්තශාලා වල තිබූ යන්ත්‍රෝපකරණ විනාශ කිරීම සිදු කළ පිරිසක් ලෙසයි බොහෝ දෙනා හඳුන්වන්නේ. Ned Ludd ලෙසින් හැඳින්වෙන පුද්ගලයකු තමයි මේ Luddites රැඩිකල් ක්‍රියාවලි සඳහා නායකත්වය දුන් බව සැලකෙන්නේ. Ludditesවරුන් තම නම ලබා ගත්තෙත් මේ නායකයාගේ නමෙන් කොටසකින් බව තමයි ඉතිහාසය අපට කියන්නේ. 

මේ පුද්ගලයා ගැන වැඩි විස්තර සොයා ගැනීමට නම් හැකියාවක් ලැබෙන්නේ නැහැ. කෙමෙන් කෙමන් කාර්මීකරණය වෙමින් පවතින ඇඟලුම් ක්ෂේත්‍රයේ ශ්‍රමිකයන් වෙනුවට යන්ත්‍ර භාවිතයට ගැනීම පිළිබඳවයි  ඔවුන් විරෝධය දැක්වුවේ. ශ්‍රමිකයන් ඇඟලුම් කර්මාන්තයේ සිදු කරන භූමිකාව මේ යන්ත්‍ර මඟින් ප්‍රතිස්ථාපනය කිරීම සිදුවෙන බැව් ඔවුන්ගේ තර්කය වුණා. ඒ නිසා තමන් මේ කර්මාන්තය ඉගැනීමට ගත කළ කාලය සහ ශ්‍රමය අපතේ ගිය යන බවයි ඔවුන් සඳහන් කළේ. 

 Luddites මෙහෙයුම් නායක Ned Ludd  – history.com

 

විශාල ආයතනවලට තව දුරටත් පෙර තරම් සේවකයන් සහ කුඩා වැඩපළවල් අවශ්‍ය වුණේ නැහැ. යන්ත්‍ර භාවිත කරමින් අඩු වියදමකින් සහ අඩු මිනිස් ශ්‍රමයකින් ඔවුන් ගේ භාණ්ඩ නිමවා ගන්න වගේ ම නිෂ්පාදන වියදම් විශාල ව අඩු කර ගන්නත් ඔවුන්ට හැකි වුණා. මේ Luddites ක්‍රියාදාමයට එක් වූ බොහෝ දෙනෙක් කුඩා වැඩපළවල හිමිකරුවන්. ඔවුනට සහ ඔවුන් යටතේ සේවය කළ සෑහෙන පිරිසකට මේ නව යාන්ත්‍රීකරණය නිසා රැකියා අහිමි වුණා. මුල් කාලයේ මෙයට විරුද්ධ ව සිදු කළ ක්‍රියාදාමයක් ලෙස Luddites මෙහෙයුම් හැඳින්වුවත් පසු කාලීන ව එය තාක්ෂණයට ම විරුද්ධව ගොඩ නැඟුණු ක්‍රියාදාමයක් ලෙසින් බොහෝ දෙනෙක් හඳුන්වන්නට වුණා. 

Luddites ක්‍රියාදාමය එංගලන්තයේ නොටින්හැම් හි ආරම්භ වූ බව සැලකෙන අතර  එය 1811 සිට 1816 දක්වා විශාල වශයෙන් ප්‍රචලිතව පැවතුණා. අවසානයේ මෙය විශාල කැරැල්ලකින් අවසන් වුණා. මේ ව්‍යාපාරය කොයිතරම් ප්‍රචලිත වුණා ද කියනවා නම් සමස්ත බ්‍රිතාන්‍යයේ ම මේ හා සමාන ගැටුම් ඇති වෙන්නට සහ අර්බුද නිර්මාණය කරන්නට මෙය සමත් වුණා. අවසානයේ මේ මෙහෙයුම් මැඬලීම සඳහා මෝල් සහ කම්හල් හිමියන් විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට පටන් ගත් අතර අවසානයේ නීතියේ හා හමුදා බලයෙන් Ludditesවරුන්  මර්දනය කරන්න රජයට සිදු වුණා. 

Luddites  කැරලි – energy-cities.eu

 

Neo-Luddism /  New Luddism බිහි වීම 

Luddites ක්‍රියාදාමය රජයේ දැඩි මර්දනය හමුවේ අසාර්ථක වීම සිදු වුණා. කෙමෙන් කෙමෙන් අතීතයේ වැලි තලාවෙන් මේ ක්‍රියාදාමය සහ මෙහෙයුම් වැසී යද්දී නව Neo-Luddism /  New Luddism චින්තන රටාවට අඩිතාලම කෙමෙන් කෙමෙන් වැටෙන්නට වුණා. මේ නව Neo-Luddismවරුන් ඔවුන්ගේ මුතුන් මිත්තන් මෙන් තාක්ෂණය වෙත දැඩි ප්‍රතිරෝධයක් දක්වන පිරිසක් නෙමෙයි. ඔවුන් අද තිබෙන තාක්ෂණික යුගය පිළිබඳ ව මනා අවබෝධයකින් සිටින, තාක්ෂණය නොමැති ව මේ 21 වැනි සියවසේ ජීවත් විය නොහැකි බව මනාවට අවබෝධ කරගෙන සිටින පිරිසක් ලෙස හඳුන්වන්න පුළුවන් වෙනවා. 

බොහෝ විට මේ නව චින්තනය පිටුපස සිටින බොහෝ දෙනෙක් නවීන තාක්ෂණයේ සහ යාන්ත්‍රීකරණය ඔස්සේ පරිසරයට සිදුවන හානියට එරෙහි ව හඬ නගන පුද්ගලයන්.  තවත් සමහරුන් විශාල තාක්ෂණික සමාගම් පුද්ගල දත්ත අවභාවිත කරන ආකාරයට විරුද්ධ ව හඬ නඟන්නන් අතර පෙරමුණේ සිටිනවා. මේ නව Neo-Luddism චින්තනය ඔස්සේ  නව තාක්ෂණය ලෝකයට හඳුන්වා දීමට පෙර එය මිනිස් වර්ගයාට සහ පරිසරයට හානි නොවන එකක් බව තහවුරු කරන ලෙස ලෝකයාට ඔවුන් බල කෙරෙනවා. ඒවගේම ඔවුන් දැඩි ලෙස පාරිසරික මුලධර්ම රකින්නට නව තාක්ෂණ සමාජය යොමු කරවීමේ ක්‍රියාවලියක නිරත වෙනවා. 

මේ නව Neo-Luddism සංකල්පයන් කෙමෙන් කෙමෙන් අද වෙද්දී යුරෝපය පුරා විශේෂයෙන් පැතිරෙන්නට පටන් ගෙන තිබෙනවා. ප්‍රධාන සමාගම් දිගින් දිගට ම සිදු කරන අකටයුතුකම් සහ පෞද්ගලිකත්වයන්ට සිදු කෙරෙන හානි නිසාවෙන් යම් මට්ටමකට නැවත මේ පිළිබඳ කතාබහ ආරම්භ ව තිබෙනවා. තම මුතුන් මිත්තන් වගේ මේ නව Neo-Luddism චින්තනය හඹා යන්නන් ද දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළ අවස්ථා පිළිබඳ දැනට නම් ආරංචි වෙන්නේ නැහැ. 

රචක සටහන 

මේ ලිපියට පාදක වෙන්නේ ම මා මුලින් ලියු නව යුගයේ තාක්ෂණ භීතිකාව කියන ලිපිය. ඔබ තාක්ෂණය ගැන දරන මතවාදය සහ ආකල්ප මොනවා වුණත් මේ ගෙවුණු දශක කිහිපය කොයි තරම් ඉක්මනට මේ තාක්ෂණයේ සුබවාදී බව කනපිට ගැහෙන්න පුළුවන් ද කියන එක අපට වඩාත් හොඳින් ඉගැන්නුවා . අපි අවබෝධ කර ගන්න ඕනේ ඕනෑම කෙනකුට කෙස් පැළෙන තර්ක, ලස්සන සුරංගනා මතවාද එක්ක අහස මාලිගා මවන්න පුළුවන් බව. අපි මතක තියා ගන්න ඕනේ ඒ මත්තේ අපි දකින යුටෝපියානු හීන කොයිම හෝ මොහොතක අපිත් එක්ක ම බිමට පත බෑවෙන්න පුළුවන් බව. හැම වෙලේ ම අපි නොදකින එහෙම නැති නම් අනපේක්ෂිත ප්‍රති විපාක අපේ දැක්ම හැම වෙලේ ම අපි තාක්ෂණය ගැන දකින විදිහ හිතන විදිහ වෙනස් කරනවා. මිනිස්සු කාලයෙන් කාලයට තාක්ෂණයේ හොඳ නරක ගැන මේ තරම් කතා කරන්නේ අන්න ඒ නිසයි.

කවරයේ ඡායාරූපය- Rolandberger.com 

මූලාශ්‍ර: 

Bbc.com 

Wikipedia.org 

Youtube.com 

History.com 

Related Articles