Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සචින් ටෙන්ඩුල්කාර් එක්දින ලෝක කුසලාන දිවියේ ලබාගත් ශතක

1975 වසර දක්වා දිව යන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසය තුළ සුපිරි දස්කම් දැක්වූ විවිධ පිතිකරුවන්ව අපට හමුවනවා. එලෙස හමුවන පිතිකරුවන් අතුරින් ලෝක කුසලාන තරගවල දී අඛණ්ඩව සිය දස්කම් දැක්වීමට හැකිවුණේ  පිතිකරුවන් කිහිප දෙනෙකුට පමණ යි. එක්දින ලෝක කුසලාන ඉතිහාසය තුළ වැඩිම ශතක ප්‍රමාණයක් ලබාගෙන සිටි පිතිකරුවා ලෙසින් සචින් ටෙන්ඩුල්කාර් වාර්තා අතරට එක්ව සිටියත් 2019 ලෝක කුසලාන තරගාවලියේ දී රෝහිත් ෂර්මා එම වාර්තාව සම කළා. එම නිසාම මෙම ලිපිය වෙන්වන්නේ ටෙන්ඩුල්කාර් එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ලබාගත් ශතක 6 පිළිබඳව තොරතුරු ඔබ වෙතට ඉදිරිපත් කිරීමට යි. .

1996 තරගාවලියේ දී කෙන්යාවට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 127

1996 ලෝක කුසලාන තරගාවලියේ කෙන්යා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර තරගය පැවැත්වුණේ  කටක් නුවර බරබාටි ක්‍රීඩාංගණයේ දී යි. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් කෙන්යානු කණ්ඩායම වෙනුවෙන් ස්ටීව් ටිකලෝ ලබාගත් අගනා ලකුණු 65 නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 199ක් ලබාගැනීමට ඔවුන්ට හැකිවුනා. ඉන්පසුව ඉන්දීය කණ්ඩායම ලකුණු 200ක පහසු ඉලක්කයක් හඹාගිය අවස්ථාවේ ක්‍රියාත්මක වුණු සචින් ටෙන්ඩුල්කාර් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමගින් පන්දු 138කින් නොදැවී ලකුණු 127ක් ලබාගත්තා. එදා සචින් ලබාගත් ශතකයේ විශේෂත්වය වුණේ එය ඔහු  එක්දින ලෝක කුසලාන දිවිය තුළ ලබාගත් මංගල ශතකය වීම යි.

ටෙන්ඩුල්කාර් කෙන්යාවට එරෙහිව පන්දුවට පහරදෙමින් (twitter)

1996 තරගාවලියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ලකුණු 137

1996 ලෝක කුසලාන තරගාවලිය යටතේ දිල්ලි නුවර ෆෙරෝෂා කොට්ලා පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන්නේ ඉන්දීය කණ්ඩායම යි. එහිදී ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 2ක ලකුණු 93කට දැවීගියා. ඉන්පසුව පිටියේ එක්වුණු අසාරුඩීන් සහ ටෙන්ඩුල්කාර් ලකුණු 175ක අගනා සබඳතාවයක් ගොඩනැගුව නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී ඉන්දීය ලකුණු පුවරුව 271/3 බවට පත් වුණා. එහිදී ඉන්දීය ඉනිමේ නැංගුරම වුණු සචින් ටෙන්ඩුල්කාර් හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් සමගින් පන්දු 137කින් ලකුණු 137ක් ලබාගත්තත් එය ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය සඳහා රැගෙන යාමට ප්‍රමාණවත් වුණේ නැහැ.

ටෙන්ඩුල්කාර්ගේ අගනා ඉනිමේ අවස්ථාවක් (pinterest)

1999 තරගාවලියේ දී කෙන්යාවට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 140

1999 වසරේ මැයි 19 වැනිදා සචින් ටෙන්ඩුල්කාර්ගේ පියා මියගියේ එම වසරේ පැවති ලෝක කුසලාන තරගාවලිය අතරතුර යි. සිය පියාගේ අභාවයෙන් පසුව ටෙන්ඩුල්කාර් මුලින්ම සහභාගි වුණේ කෙන්යානු කණ්ඩායමට එරෙහිව බ්‍රිස්ටල්හි පැවති තරගයටයි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ කඩුලු 2ක් ලකුණු 92කට දැවීගොස් තිබුණු අවස්ථාවේ දී ටෙන්ඩුල්කාර් පිටියට පිවිසියා. ඉන්පසුව ඔහු ඩ්‍රාවිඩ් සමග එක්ව ලකුණු 237ක දැවැන්ත සබඳතාවයක් තුන්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුවා. ඔවුන් දෙදෙනා ගොඩනැගූ එම සබඳතාවය නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී ඉන්දීය ලකුණු පුවරුව 329/2ක් බවට පත් වුණා. එහිදී ඉතාමත් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ සචින් ටෙන්ඩුල්කාර් පන්දු 101කින් නොදැවී ලකුණු 140ක් ලබාගත්තේ හතරේ පහර 16ක් සහ හයේ පහර 3ක් සමගින්. එදා ටෙන්ඩුල්කාර් ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ගේ ගෞරවයට පාත්‍ර වුණේ සිය පියාගේ අභාවය සිදුවී දින 4කින් එම ශතකය ලබාගැනීම නිසා යි.

සචින්ගේ විශිෂ්ඨ ශතකයේ එක් අවස්ථාවක් (gettyimages)

2003 තරගාවලියේ දී නැම්බියාවට එරෙහිව ලබාගත් ලකුණු 152

2003 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ නැම්බියාව අතර තරගය පැවැත්වුණේ පීටර්මැරිස්බර්ග් නුවර සිටි ඕවල් පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 46 දී බිඳ වැටුණා. අනතුරුව නායක ගංගුලීට එක් වුණු ටෙන්ඩුල්කාර් 2 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 244ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැගුවේ නියමිත පන්දුවාර 50 අවසානයේ දී ඉන්දීය ලකුණු පුවරුව 311/2ක් දක්වා ඉහළ නංවමින්. එහිදී ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු ටෙන්ඩුල්කාර් හතරේ පහර 18ක් සමගින් පන්දු 151කින් ලබාගත් ලකුණු 152 ඔහු ලෝක කුසලාන ඉතිහාසයේ ලබාගත් ඉහළ ලකුණු ප්‍රමාණය බවට පත්වුණා..

ටෙන්ඩුල්කාර්ගේ අගනා ඉනිමේ අවස්ථාවක් (gettyimages)

2011 තරගාවලියේ දී එංගලන්තයට එරෙහිව ලබාගත් ලකුණු 120

2011 ලෝක කුසලාන තරගාවලිය යටතේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව චින්නස්වාමී පිටියේ පැවති තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන්නේ ඉන්දීය කණ්ඩායම යි. එහිදී ඔවුන් පන්දුවාර 49.5ක් අවසානයේ දී සියල්ලන්ම දැවී ලකුණු 338ක් ලබාගත්තේ, සචින් ටෙන්ඩුල්කාර් පන්දු 115ක දී හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් සමගින් ලබාගත් ලකුණු 120 නිසා යි. එදා ටෙන්ඩුල්කාර් ලබාගත් එම ශතකයත් සමගින් ඔහු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ශතක ලාභියා බවට පත්වුණේ ශතක 4 බැගින් ලබා සිටි සව්රව් ගංගුලී සහ මාක් වෝ අභිබවා යමින්.

එංගලන්ත කණ්ඩායමට එරෙහිව ටෙන්ඩුල්කාර් පන්දුවට පහරදෙමින් (gettyimages)

2011 තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලබාගත් ලකුණු 111 

2011 ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තරගය පැවතියේ නාග්පූර් නුවර විදර්බා ක්‍රීඩා පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන්නේ ඉන්දීය කණ්ඩායම යි. එහිදී  වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සචින් ටෙන්ඩුල්කාර් පන්දු 101කින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 111ක් ලබාගත්තේ එක්දින ලෝක කුසලාන ඉතිහාසය තුළ ඔහු ලබාගත් 6වන ශතකයත් ලබාගනිමින්.

සචින් අප්‍රිකානුවන්ට එරෙහිව පන්දුවට පහරදෙමින්(gettyimages)

එදා සචින් ටෙන්ඩුල්කාර් එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ශතක 6ක් ලබාගනිමින් තැබූ වාර්තාව අසලට ශතක 5 බැගින් ලැබූ සංගක්කාර සහ පොන්ටිං පැමිණියත් ඔවුන්ට එය බිඳ හෙලීමට හැකිවුණේ නැහැ. නමුත් කිසිවෙකු නොසිතූ අයුරින් රෝහිත් ෂර්මා මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළදී ශතක 5ක් ලබාගනිමින් එම වාර්තාව සම කළා.

කවරයේ ඡායාරූපය-ටෙන්ඩුල්කාර් 2011 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත තරගයේ දී පන්දුවට පහරදෙමින් (icc cricket)

Related Articles