Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්ලෝ වෙච්ච ඔබේ ලැප්ටොප් එක නැවත පණගන්වන හැටි

ලැප්ටොප් කියන්නේ බොහෝම ඉක්මනින් පරණ වෙන උපකරණය වර්ගයක්. ඉස්සර අපි ගෙදරකට රූපවාහිනී යන්ත්‍රයක් රේඩියෝවක් මිලදී ගත්තාම අඩුතරමේ ඒක අවුරුදු 15ක් වත් පාවිච්චි කරනවා. ලැප්ටොප්, ටැබ්ස්, ස්මාට්ෆෝන්, වගේ දේවල් අපි අවුරුදු තුන හතරක් පාවිච්චි කරලා විසික් කරද්දි ඉස්සර එකම බඩුව බොහෝ කල් භාවිත කරපු අපේ ආච්චිලා සීයලාගෙන් නම් ලැබෙන්නේ හොඳ ප්‍රතිචාර නෙමෙයි.

පැරණි පරිගණකයක් භාවිත කරන යුවතියක්. (fmaza.com)

ලැප්ටොප් බොහෝවිට කලක් යනවිට එහි වේගය අපිට මදි වගේ තේරෙනවා. අලුත්ම ලැප්ටොප් එකක් හෝ මැෂින් එකක් එක්ක වැඩකරන්න ලැබුනොත් අපිට ඒ වෙනස හොදට ඇඟට දැනෙනවා. ඉන් පස්සේ අපි අර ස්ලෝ පරණ මැසිමට ආයිබොන් කියලා අලුත් මැසිමකට යන්න තමයි උත්සාහ කරන්නේ. ඇත්තටම ස්ලෝ වෙන ලැප්ටොප් ගොඩදාන්න බැරිද? අවුරුදු 7-8කට වඩා පැරණි එකක් නම් ගොඩදාන්න උත්සාහ ගන්න එක ලොකු වැදගත් කමක් තියෙන එකක් නෑ.ඒත් අරං අවුරුදු 8කට අඩු ඒවා ගොඩදාගන්න හැකියාව තියෙනවා. ඒ වගේම අලුත් ලැප්ටොප්වල වුනත් වේගය තරමක් වැඩිකරගන්න මේ පහත තියෙන කාරණා වලින් මනා පිටුවහලක් ලැබේවි.

ලැප්ටොප් එකේ රැම් එක වැඩිකිරීම

මේක බොහොම පරණ වැඩක්.  ඒ කිව්වේ ඉස්සර කාලේ ඉදන් ම පරිගණකය වේගවත් නැහැ කිව්වම මුලින්ම අහන්නේ රැම් එක වැඩිකරලා බැලුවේ නැද්ද කියලා. රැම් එක දැන් එන අලුත්ම ලැප්ටොප්වල ඇතුලෙ තියෙන චිප් එකක් විදියට බෝඩ් එකටම සම්බන්ධ වී එනවා. ඒ වගේම තවත් රැම් ගහන්න ඕනි නම් ස්ලොට් එකක් දෙකක් වෙනම තැනක එනවා. ඒ නැතත් බොහෝ ලැප්ටොප්වල අඩුතරමේ තවත් රැම් එකක්වත් ගහගන්න අවකාශ තිබෙනවා.

පරිගණක ආපු මුල් කාලේ හැම එකටම වෙන වෙනම පරිපථ තිබුනා. නෙට්වර්ක් කාඩ්, සවුන්ඩ් කාඩ්, වීඩියෝ කාඩ්, කියලා. පස්සේ කාලෙක ඒවා ඔක්කෝම මදර්බෝඩ් එකට සම්බන්ධ කරලා එවන්න පටන් ගත්තා. තවමත් ගේමින්වලට සහ ග්‍රැෆික්වලට වැදගත් නිසා වෙනමම විඩියෝ ප්‍රොසසර එකතුවෙලා එනවා. එහෙත් සාමාන්‍ය ලැප්ටොප් වල මව් පුවරුවෙන් තමයි ඔක්කෝම වැඩකටයුතු කරන්නේ. මව් පුවරුවෙන් අදාල වැඩ කිඩ ඔක්කෝම කරද්දි රැම් එක ඒ සෑම ක්‍රියාවක් සඳහාම බෙදී යනවා. අපි බරපතල වැඩ කරනවිට තවත් රැම් එකක් තිබුණොත් පොඩ්ඩක් පහසුවෙයි වෙයි අපේ පරිගණකයට වැඩ කරගෙන යද්දී.

HP ලැප්ටොප් එකක රැම් එකක් මාරුකරන අවස්ථාවක් (ytimg.com)

රැම් එකක් එකතු කිරීමේදී ඒ ස්ලොට් එකට හරියන රැම් එකක් තෝරාගන්නට ඕනි. ඒ වගේම කලින් රැම් එකේ වේගයේම රැම් එකක් තෝරාගැනීමත් වැදගත් කාරණාවක් වෙනවා. රැම්වලත් DDR, DDR1, DDR3 ආදී ලෙස රැම් වර්ගයත්, 1333Mhz , 1600Mhz ලෙස රැම් එකේ වේගයත් සඳහන් කර තිබෙනවා. ඒ අනුව තෝරාගැනිමෙන් නිසි පරිදි පරිගණකයේ රැම් එක යාවත්කාලින කරගන්න ඔබට හැකිවේවි.

ලැප්ටොප් එකේ OS එක ක්ලීන් කිරීම

වර්තමානයේ ලංකාවේ භාවිතාවන ලැප්ටොප් බොහොමයක වින්ඩෝස් නියම වලංගු කොපි නෙමෙයි පාවිච්චි වන්නේ. මෙම නිසා වින්ඩෝස් අප්ඩේට් වෙන්නේ නෑ. OS එකක් අප්ඩේට් නොවීමෙන් හාඩ්වෙයාර්වලට අවශ්‍ය ලෙස මෙහෙයුම් පද්ධතියේ යාවත්කාලින වීම් සිදු වන්නේ නෑ. ඕනෑම පරිගණකයක් ස්ලෝ වෙන්න වෛරස් අැතුළු අනවශ්‍ය වැඩසටහන් අැතුල් වීම හේතුවන්නට පුළුවන්. වෛරස් ගාඩ් එකක් පාවිච්චි කිරීම සහ ඔරිජිනල් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරගැනීම වෛරස් සහ අනවශ්‍ය වැඩසටහන්වලින් පරිගණකය අාරක්ෂිතව තබාගන්නට ලොකු පිටුවහලක් වේවි.

(ytimg.com)

පරිගණකයකට මෙහෙයුම් පද්ධතියක්, විශේෂයෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති ඇතුලත් කරන විට ඒවායේ මව්පුවරුව, ඩිස්ප්ලේ, නෙට්වර්ක් ආදී ඩ්‍රයිවර්ස් වෙනමම ඒ මාදිලිය සඳහාම විශේෂයෙන් සකසා තියෙනවා. මෙම ඩ්‍රයිවර්ස් නිවැරදිව ස්ථාපනය කළොත් තමයි ඒ ලැප්ටොප් එකේ ඒ අදාළ කොටස නිසියාකාරව ක්‍රියාත්මක වන්නේ. OS දැමීම වගේම ලැප් ටොප් එකට අදාළ ඩ්‍රයිවර්ස් ටික ඔක්කොම ස්ථාපනය වෙලාද කියලා බලන එකත් ලැප්ටොප් එක වේගවත් කරගන්න හේතු වේවි.

ලැප්ටොප් එක එන කාලේ ඒ සමාගම විසින් රෙකමදෝරු කළ OS තිබෙනවා. උදාහරණ විදියට මේ කාලේ එන පරිගණකවලට සමාගම් රෙකමන්ඩ් කරන්නේ වින්ඩෝස් 10. මීට වසර දෙක තුනකට පෙර වින්ඩොස් 8 හා 8.1 වගේ. ඊට පෙර වින්ඩොස් 7. ඒ ලැප්ටොප් එකට එන OS එක අප්ඩේට් කිරීම හැමවෙලාවෙම සාර්ථක නෑ. ලැප්ටොප් එකට දරාගන්න බැරිතරම් විශාල OS දැම්මාම ලැප් එක ටික දවසකින් ඉක්මනින්ම ස්ලෝ වෙනවා. ඩ්‍රයිවර්ස් හොයා ගන්න එකත් අමාරු වෙන්න පුළුවන්.

ඒ නිසා ලැප්ටොප් එක ආපු කාලේ තියෙන මෙහෙයුම් පද්ධතිය මොකද්ද, ආන්න ඒකම භාවිත කිරීම හොඳ උපායක්. පැරණි පරිගණක මාදිලිවලට ගැළපෙන ලිනක්ස් නිකුතු ගනණාවක් තිබෙනවා. පරිගණකයෙන් බොහෝවිට කරන්නේ අන්තර්ජාලයට ලොග් වීම වැනි වැඩක් නම් එවැනි පැරණි ලිනක්ස් මාදිලියක් පරිගණකයට ස්ථාපනය කර උත්සාහ කර බැලීමත් ලේසියෙන්ම කරගන්න පුළුවන් දෙයක්.

ලැප්ටොප් එක ඇතුලේ ක්ලින් කිරීම

දූවිලි බැඳුන ලැප්ටොප් පංකාවක් (new.nedal.hu)

අපි ජීවත්වෙන ලාංකික පරිසරය තරමක් තෙතමනය සහිත, දූවිල්ල සහිත වටපිටාවක්. මොන තරම් හොඳ මැෂිමක් ගෙනාවත් මෙහේ කාලයක් එළියේ එහෙම පාවිච්චි වෙද්දි දූවිලි තට්ටු බැඳෙන එක සාමාන්‍ය දෙයක්.

දූවිලි බැඳුණාම ලැප්ටොප් එක අැතුළේ වාතය හුවමාරු වෙන එක අඩු වෙන නිසා එක එක උපාංගවලින් පිට වෙන උණුසුම ඉවත් කරන්න බැරි වෙනවා. හරියට උණුසුම ඉවත් නොවී ඉක්මනින් රත් වෙනකොට අාරක්ෂාව සඳහා ප්‍රොසෙසර් එක ඉබේම වේගය අඩු කර ගන්නා විදියටයි හදලා තියෙන්නේ.

ඉතින් කාලයක් ගත වුන ලැප්ටොප් එකක් නම්, ඒක බොහෝ ස්ලෝ නම් ලැප්ටොප් එක ගලවලා හොඳට ක්ලින් කරලා දූවිලි බුරුසුවකින් පිහලා ගැනීමෙනුත් ලැප් එක වේගවත් කරගන්න හැකියාව ලැබේවි.

හාඩ් එක මාරු කිරීම

මේක නම් පරණ පරිගණකවලට වගේම අලුත්ම මාදිලියේ ඒවටත් ගැළපෙන වැඩක්. ලංකාවේ බොහෝ ලැප්ටොප්වල තවමත් පැමිනෙන්නේ යාන්ත්‍රික දෘඩ තැටි, තේරෙන විදියට කිව්වොත් මෙකෑනිකල් හාඩ් ඩ්‍රයිව්. නමුත් මෙම මෙකෑනිකල් හාඩ් ඩ්‍රයිව් කියන්නේ තරමක් ස්ලෝ උපාංගයක්. කැරකෙන වේගය වැඩි කරගන්න පුළුවන් සීමාවක් තිබෙනවා. ඒ නිසා දත්ත කියවන්නේ ස්ථාවර දෘඩ තැටි හෙවත් සොලිඩ් ස්ටේට් ඩ්‍රයිව්වලට වඩා බොහේ හෙමින්. දත්ත කියවීමේ වේගය අතින් සොලිඩ් ස්ටේට් එක තුන් හතර ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ඒ නිසා වැඩසටහන් ඉක්මණින්ම ලෝඩ් වීම, පරිගණකය ඉක්මනින් පණගැන්වීම ආදී වැඩකටයුතු රැසක් වේගෙන්  කරගන්නට හැකියාව සොලිඩ් ස්ටේට් ඩ්‍රයිව්වල තිබෙනවා. එහෙත් ඒවා යාන්ත්‍රික හාඩ්වලට වඩා මිලෙන් නම් ටිකක් වැඩියි.

නවතම පරිගණකයක් මිලදී ගැනීමේදී වුනත් මාදිලිය, ප්‍රොසසරය වගේම දෘඩ තැටියේ වේගය ගැනත් සැලකිලිමත් වීම වැදගත්. පැරණි ලැප්ටොප්වල නම් ඩිවිඩී රොම් එක තිබෙන තැන එය වෙනුවට සොලිඩ් ස්ටේට් ඩ්‍රයිව් එකක් සම්බන්ධ කරගන්නට පුළුවන් හවුසින් එකක් දැන් ඊබේ සහ ජනප්‍රිය වෙළඳ අඩවිවල තිබෙනවා. එම හවුසින් එකෙන් ඩීවිඩි රොම් එක තිබෙන තැනට පහසුවෙන්ම අලුත් සොලිඩ් ස්ටේට් ඩ්‍රයිව් එකක් සම්බන්ධ කරගන්නට හැකියි.

පරණ ලැප්ටොප් එක වේගවත් කරගන්න යම් ඉඟි ටිකක් මෙයින් ඔබට ලැබෙන්නට ඇති. එ් වගේම ලැප්ටොප් ස්ලෝ වීම සහ ඉන් පසු ස්පීඩ් කරගැනීම ගැන ඔබටත් වටිනා අත්දැකීම් ඇති. කමෙන්ට් එකක් විදියට ඒවත් බෙදාහදාගෙන යන්න අමතක කරන්න එපා.

Related Articles