අබිරහසක්, කුතුහලය අවුළුවාලිය හැකි බරකින් යුක්තය. මේ ගෙවී යන්නේ විසි එක්වෙනි සියවස වුවද විද්‍යාව හා තාක්ෂණවේදය පසු කර ඇත්තේ සාපේක්ෂව නොගිණිය හැකි තරම් වූ අල්ප ආයු කාලයකි. මිථ්‍යාව හා විශ්වාසය මගින් මෙතෙක් පෝෂණය කරමින් පැමිණි සංකල්පයන් ගණනාවකට විද්‍යාත්මක අර්ථකථන සැපයීමේ කාර්යභාරය විද්‍යාවට පැවරී ඇත. එහෙත් විද්‍යාව විසින් අනාවරණය කර නොගන්නා ලද අබිරහස් ගණනාවක් තවම විවාදයට විවෘතව, නොවිසඳී පවතී.
විශ්වය අබිරහස් ගොන්නක එකතුවකි. විද්‍යාව විසින් විශ්වය පිළිබඳ අබිරහස් අතරින් තවම අනාවරණය කරගෙන තිබෙන්නේ අල්ප මාත්‍රයකි. විශ්වයේ සංයුතිය පිළිබඳ සලකා බැලීමේදී එහි අන්තර්ගත කොටසක් ලෙස අඳුරු පදාර්ථය සැලකේ. සංකල්පයක් ලෙස හඳුනාගනු ලැබූවද, අඳුරු පදාර්ථය පිළිබඳ සත්‍යයද තවමත් පැහැදිලිව නොවිසඳුණු අබිරහසක්ව පවතී.
අඳුරු පදාර්ථය කවරාකාරදැයි කිසිවෙකුත් නොදනී. ඇතැමුන් මෙය අඳුරු ලප ලෙසද හඳුන්වති. විද්‍යාඥයන් දක්වන ආකාරයට විශ්වයෙන් 68%ක ප්‍රමාණයක් අඳුරු ශක්තීන්ගෙන් සමන්විත වන අතර, 27%ක් පමණ අඳුරු පදාර්ථයන්ගෙන් සමන්විතය. ඉතිරි 5% සාමාන්‍ය පදාර්ථය බව විද්‍යාඥයන්ගේ අදහසය.
අඳුරු පදාර්ථයෙහි පැවැත්ම නෙදර්ලන්ත ජාතික තාරකා විද්‍යාඥ Jacobus Kapteyn විසින් වර්ෂ 1922දී උපකල්පනය කරන ලදී. අපට දෘශ්‍යමාන වන බොහෝ දෑ සංයුක්ත වන්නේ නියුට්‍රෝන, ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන යන සාමාන්‍ය පදාර්ථයන්ගෙනි. නමුත් අඳුරු පදාර්ථය මෙම වර්ගීකරණයට අනුකූල නොවේ. එය සැකසී තිබෙන්නේ මෙතෙක් වර්ගීකරණය නොකරන ලද විවිධ අංශුවලිනි.
අඳුරු පදාර්ථය ආලෝකය අවශෝෂණය, පරාවර්තනය හෝ විමෝචනය නොකරයි. කෙසේ නමුත් එහි ගුරුත්වජ බලපෑම මගින් අසලින් ගමන් ගන්නා ආලෝකය විහිදුවා හැරීමක් සිදු වේ. අඳුරු පදාර්ථයක් පවතින බවට අදහමින් නිරීක්ෂණයන් දියත් කිරීම සඳහා විද්‍යාඥයන්ට එය ද හේතුවක් විය.
මේ වන විට පර්යේෂකයන් විසින් අඳුරු පදාර්ථය තුළ පවත්නා ශක්තීන්හි වේගවත් චලනයන් සහ ඒවා එකිනෙක අතර වන ගැටීම්, කුඩා අංශු ආශ්‍රයෙන් පරීක්ෂණයට භාජනය කරමින් සිටී. නූතනම පර්යේෂකයන් දක්වන්නේ ගුරුත්වාකර්ෂණ තරංග අනාවරක මගින් අඳුරු පදාර්ථය දැක ගැනීමට නොබෝ දිනකදී ඉඩ සැලසෙනු ඇති බවයි.
අඳුරු පදාර්ථය පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කරන්නේ නම්, අඳුරු පදාර්ථය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, අඳුරුය. එනම් එහි අර්ථය වන්නේ, අඳුරු පදාර්ථය තුළ, අප සාමාන්‍යයෙන් දකින ආකාරයේ තාරකා හෝ ග්‍රහලෝක නොපවතින බවයි. තවද සාමාන්‍ය පදාර්ථය තුළ අන්තර්ගත වන ආකාරයේ කළු වලාකුළු වුව මේ තුළ නොපවතී. සාමාන්‍ය පදාර්ථය තුළ වළාකුළු සැකසී තිබෙන්නේ baryons නමැති අංශුවලිනි.
ඒවා හරහා ගමන් කරන විකිරණ අවශෝෂණය කරගැනේ. නමුත් අඳුරු පදාර්ථය තුළදී එවන් විකිරණ අවශෝෂණය කරගැනීමක් සිදු නොවේ. අඳුරු පදාර්ථය ප්‍රතිපදාර්ථයක් ආකාරයෙන් ක්‍රියා නොකරයි. අඳුරු පදාර්ථය ප්‍රතිපදාර්ථයක් ලෙස ක්‍රියාත්මක වන්නේ නම් පදාර්ථයෙහි පැවැත්ම අභියෝගයට ලක්කොට, විනාශ කොට, ගැමා කිරණ නිපදවීමක් සිදු විය යුතුය. නමුත් මෙහිදී එවැන්නක් සිදු නොවේ.
අඳුරු පදාර්ථය විෂ සහිත වායූන් සහ අංශූන්ගෙන් සැකසී ඇතැයිද විශ්වාසයක් පවතී. අඳුරු පදාර්ථයට නිශ්චිත අක්ෂයක් පවතින බවට වන තර්කය ද මේ වන විට ප්‍රතික්ෂේප වී ඇත. විශ්වය තුළ තාරකා ගණනාවක් එක්රැස් කරගත් මන්දාකිනි, පොකුරු ආකාරයෙන් පවතී.
විද්‍යාඥයන් විශ්වාස කරන්නේ, මෙසේ මන්දාකිනි පොකුරු ආකාරයෙන් සකස් වීමට බලපාන අදිසි බලවේගයක් මන්දාකිණි විෂයෙහි ක්‍රියාත්මක වන බවයි. එනම්, ගැලැක්සි හෙවත් මන්දාකිනි, පොකුරු වශයෙන් නිරුපද්‍රිතව පවතින්නේ ඒවාට අමතර වශයෙන් එකතු වන කිසියම් ස්කන්ධයක් හේතුවෙන් බවත් එකී ස්කන්ධය සපයන බලවේගය අඳුරු පදාර්ථය බවත් විද්‍යාඥයන් විශ්වාස කරයි.
සාමාන්‍ය පදාර්ථය මෙන් නොව අඳුරු පදාර්ථය විද්‍යුත් චුම්බක බලය හා අන්තර්ක්‍රියා නොකරයි. ඉන් අදහස් වන්නේ අඳුරු පදාර්ථය විසින් ආලෝකය අවශෝෂණය, පරාවර්තනය හෝ විමෝචනය නොකෙරන බවයි. ලොව විශාලතම සහ ප්‍රබලතම අංශු ත්වරකය (particle accelerator) වන large hadron collider හරහා අඳුරු පදාර්ථය පිළිබඳ තොරතුරු විශාල ප්‍රමාණයක් අනාවරණය කරගත හැකි වනු ඇතැයි විද්‍යාඥයන් විශ්වාස කරයි. එසේ අනාවරණය කරගන්නා තෙක් අඳුරු පදාර්ථය, අද්භූත සහ නොපෙනෙන ද්‍රව්‍යයකින් සෑදී තිබෙන බව විශ්වාස කෙරේ.
අඳුරු පදාර්ථය දර්ශනය කරගැනීමට ආලෝකය හරහා දරන ලද උත්සාහයන් අසාර්ථක විය. එය විද්‍යුත් චුම්භක විකිරණවලට කිසිදු සංවේදීතාවක් නොදක්වන බැවින් එසේ ග්‍රහණය කරගැනීමට නොහැකි වී ඇත. කෙසේ නමුත් එහි පැවැත්ම පිළිබඳ විද්‍යාඥයන් ඒ තරම් විශ්වාසයෙන් කරුණු ඉදිරිපත් කරන්නේ මන්දාකිනි සහ මන්දාකිනි පොකුරුවලට ඉන් වන ගුරුත්වජ බලපෑම හේතුවෙනි.
සම්මත භෞතික විද්‍යා න්‍යායන්ට අනුව, සර්පිලාකාර මන්දාකිනියක කෙළවර පවත්නා තාරකා, දෘශ්‍යමාන පදාර්ථය කේන්ද්‍රගත වූ මන්දාකිනියේ මධ්‍යයට වන්නට පවත්නා තාරකාවලට වඩා අඩු වේගයකින් ගමන් කළ යුතුය. නමුත් නිරීක්ෂණයන්ට අනුව පෙනී යන්නේ මන්දාකිනි තැටියේ කවර ස්ථානයක කක්ෂගත වී තිබුණද දුර ප්‍රමාණයන් පිළිබඳ ගැටලුවකින් තොරව එකම වේගයකින්, තාරකා ගමන් ගන්නා බවයි. මන්දාකිනියෙහි කෙළවර සීමාවෙහි පවත්නා තාරකා විෂයෙහි කිසියම් වූ බලයක් ක්‍රියාත්මක වන බව ඒ අනුව පෙනී යයි. විද්‍යාඥයන්ට අනුව, එය අඳුරු පදාර්ථයෙහි බලපෑම මත සිදුවන්නකි.
විශ්වය පිළිබඳ පවත්නා ඉමක් කොනක් නොමැති අබිරහස් ගොන්න අතරින් එකින් එක විසඳාගැනීම අතිශය රසවත් ක්‍රියාවලියකි. දිනෙන් දින දියුණු වන තාක්ෂණවේදය හමුවේ එකී අභියෝගය ක්‍රමානුකූලව ජය ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට විද්‍යාඥයන් දැඩි සේ විශ්වාස කරයි. එකී විශ්වාසය මත පිහිටා ඔවුන් නොනවත්වා සිය පර්යේෂණ කටයුතු පවත්වාගෙන යයි. ඒ අනුව අඳුරු පදාර්ථය පිළිබඳව මෙතෙක් විසඳා ගැනීමට හැකි වූ අල්ප කරුණු ගොන්නට වඩා පුළුල් දැනුමක් විද්‍යාව විසින් එක් කරන තෙක් සියලු බුද්ධි මණ්ඩල අවදියෙන් බලා සිටී.
කවරයේ පින්තූරය Dark Matter (AAS Nova)
මූලාශ්‍ර
- futurism.com
- Dark Energy Dark Matter, science.nasa.gov
- Dark Matter, home.cern
- The Large Hadron Collider, home.cern
- Dark Matter and Dark Energy, nationalgeographic.com