දවසකට දෙවරක් දත් මැදීම දන්ත සෞඛ්‍යයට හිතකර බව අප කුඩා කාලයේ නිතර ලත් අවවාදයක්. නිසි ලෙස දත් මැදීම සිදු නොවුණොත් අපි ගන්නා ආහාර කැබලි ලෙස දත් අතර සිරවී, දත් දිරා යාම හා මුඛ දුර්ගන්ධය ඇති වීම සිදුවිය හැකියි.
දත් මැදීම සඳහා සාමාන්‍යයෙන් දත් බුරුසුවක් හා දත් බෙහෙත් අවශ්‍ය වෙනවා. පැරැන්නන් මේ සඳහා ඇඟිල්ල, දැහැටි කෝටු, හා අඟුරු කැබළි වැනි දෑත් යොදා ගත්තා. වර්තමානයේ අපි භාවිතා කරන දත් බුරුසු හා දත් බෙහෙත් නිපදවීමට බෝහෝ කාලයකට පෙරත් මිනිසුන් සිය මුඛ සෞඛ්‍යය යහපත්ව තබා ගැනීම සඳහා දත් මැදීම කළා. මේ ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එන්නට අදහස් කරන්නේ දත් මැදීමේ ඉතිහාසය ගැන රසබර තොරතුරු කිහිපයකුයි.
දත් බුරුසු වල ඉතිහාසය
දත් බුරුසු වල ඉතිහාසය සැළකීමේදී ඒ පිළිබඳ ශාක්ෂි ක්‍රි.පූ 3000-3500 තරම් අතීතයකට විහිදී යනවා. ඈත අතීතයෙදී බැබිලෝනියානුවන් හා ඊජිප්තු ජාතිකයින් ගසක කෝටුවක් ගෙන එහි අග තලා බුරුසුවක් ලෙස භාවිත කර තිබෙනවා. මෙවැනි ‘දත් කූරු’ ඉපැරණි මිසර සොහොන් කොත් වල, මෘත දේහ අසල තැන්පත් කර තිබී හමු වී තිබෙනවා. ක්‍රි.පූ 1650 දී පමණ චීන ජාතිකයින් ‘සුවඳ විහිදුවන ශාක කෝටු’ සැපීම සඳහා නිපදවා ඇති අතර දන්ත සෞඛ්‍යය රැක ගැනීමට හා මුව නැවුම්ව තබා ගැනීමට මේවා භාවිත කර තිබෙනවා.
චීන ජාතිකයින් විසින් ස්වභාවික කෙඳි වලින් තැණුනු ලොව ප්‍රථම දත් බුරුසුව නිපදවා තිබෙනවා. 15 වන ශතවර්ෂයේදී තනා ඇති මෙය ඌරන්ගේ කෙඳි උණ පතුරු වලින් සාදන ලද මිටකට සවි කර ගැනීමෙන් නිපදවා තිබෙනවා. කාලයාගේ අවෑමෙන් මේ බුරුසු චීනයෙන් යුරෝපයට පැමිණි අතර ඒ මඟ යමින් යුරෝපියයන්ද දත් බුරුසු නිපදවා තිබෙනවා. මේ සඳහා ඔවුන් ඌරන්ගේ කෙඳි වෙනුවට සිනිඳු අශ්ව ලොම්ද සමහර විටෙක කුරුළු පිහාටුද යොදාගෙන තිබෙනවා.
නවීන දත් බුරුසුවකට සමාන ලොව පළමු දත් බුරුසුව නිපදවීමේ ගෞරවය හිමිවන්නේ එංගලන්ත ජාතික විලියම් ඇඩිස් හටයි. 1780 වසරේදී නිපදවූ මෙහි මිට හරක් අස්ථියකින් නිපදවා තිබුණු අතර, මදින කොටස හංස පිහාටු වලින් සාදා තිබුණා. ක්‍රි.ව 1844 දී ලොව ප්‍රථම වරට කෙඳි පේළි 3 කින් යුතු දත් බුරුසුවක් නිපදවුණා.
ලෝකයාට නයිලෝන් හඳුන්වා දීම වන තුරුම දත් බුරුසු වලට යොදා ගැණුනේ ස්වභාවික කෙඳියි. නයිලෝන් යොදා ගනිමින් කෘතිම කෙඳි සහිත දත් බුරුසු නිපදවීම 1938 වසරේ ඇරඹුණු අතර 1954 වසර වන විට ලොව ප්‍රථම විද්‍යුත් දත් බුරුසුවත් නිපදවුණා.
අද වන විට සාමාන්‍ය හා විද්‍යුත් දත් බුරුසු විවිධ හැඩයන්ගෙන් හා ප්‍රමාණ වලින් වෙළඳපොලට පැමිණෙනවා. අද වන විට මේවායේ මිට බොහෝ විට ප්ලාස්ටික් වලින් නිපැයෙන අතර කෙඳි නයිලෝන් වලින් නිපැයෙනවා. වර්තමානය වන විට සිරස් කෙඳි ඇලවූ, නැමී ගිය කෙඳි සහිත, මෙන්ම රබර් කොටස් යොදාද දත් බුරුසු නිපදවෙන්නේ භාවිත කරන්නාගේ පහසුව සඳහායි. මේ කෙඳි වල ඝණත්වයත්, හිසෙහි ප්‍රමාණය හා ස්වභාවයත් සුදුසු හා අභිමත පරිදි තෝරා ගැනීමට අද කාලයේ ජනතාවට හැකියාව තිබෙනවා.
දන්තාලේප වල ඉතිහාසය
මීට වසර 7000 කට පමණ පෙර හෙවත් ක්‍රි.පූ. 5000 පමණ කාලයේත් පුරාතන ඊජිප්තු ජනතාව සිය මුව පිරිසිදු හා නැවුම් කරගැනීම සඳහා යම් කිසි ආලේපනයක් වැනි යමක් භාවිතා කළ බව සැලකෙනවා. මේ කාලයේදී දත් බුරුසු භාවිතාවක් සිදු නොවූ අතර පුරාණ ග්‍රීකයින් හා රෝමානුවන්ද දත් බෙහෙත් භාවිතා කර තිබෙනවා. ක්‍රි.පූ 500 පමණ කාලයේදී චීන හා ඉන්දියානු වැසියන් දත් බෙහෙත් භාවිතා කිරීම අරඹා තිබෙනවා.
ඈත අතීතයේ භාවිතා කළ දත් බෙහෙත් වර්ග වල ප්‍රධාන අරමුණු වන්නේ අද මෙන්ම දත් හා විදුරුමස් පිළිවෙලට තබාගැනීම, මුව නැවුම් කිරීම හා සුදු කිරීම වැනි දේවලුයි. ඒ කෙසේ නමුත් මේවා තැනීමට යොදාගන්නා අමුද්‍රව්‍ය නම් අද වන විට සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වනවා. අතීතයේ මිනිසුන් හරකුන්ගේ කුර දහනයට ලක් කර ලැබෙන අළු හා පුළුස්සන ලද බිත්තර කටු කිරිමැටි වැනිදේට එක් කොට මේ දත් බෙහෙත් තනාගෙන තිබෙනවා. ග්‍රීක හා රෝම වැසියන් මේ මේ සඳහා කුඩු කරන ලද සත්ත්ව අස්ථි හා ඔයිස්ටර් බෙල්ලන්ගේ කවච යොදාගෙන තිබෙනවා. මීට අමතරව ඔවුන් විසින් මුව සුවඳවත් වීම සඳහාත් විවිධ ඖෂධ හා රසායනික ද්‍රව්‍ය ඔවුන් මේවාට එක්කොට තිබෙනවා. ජින්සෙන් සාරය, ලුණු හා මින්ට් මෙලෙස යොදාගත් ද්‍රව්‍ය අතර ප්‍රමුඛ තලයක තිබෙනවා.
ක්‍රි.ව 1800 කාලයේදී පමණ වර්තමානයට අනුරූප ලෙස දත් බෙහෙත් නිෂ්පාදනය කිරීම ආරම්භ වූ අතර මුලින්ම මේ සඳහා අත්හදා බැලුණේ සබනුයි. 1850 වර්ෂයේදී මේ සඳහා හුණු එක්කිරීම සිදු වූ අතර 1860 දී පමණ එංගලන්ත ජාතිකයින් මේවා හොඳින් භාවිත කිරීම අරඹා තිබුණා. ක්‍රි.ව 1850 ට පෙර දත් බෙහෙත් බොහෝ විට කුඩු වශයෙන් පැමිණි අතර වැඩි කල් යාමට පෙර ඒ සඳහා ක්‍රීම් වර්ගයක් වැනි යමක් භාවිතා කිරීම පහසු බව විද්‍යාඥයින් සනාථ කරනවා. මේ අනුව ක්‍රීම් වැනි ව්‍යුහයක් සහිත දත් බෙහෙත් වර්ග වෙළඳපොලට හඳුන්වා දීම සිදු වෙනවා. ක්‍රි.ව 1945 වනතුරුම දන්තාලේප වල සබන් අන්තර්ගත වුණා. ඉන් පසු කාලීනව ඒවා වඩා සුසිනිඳු බවට පත් කිරීමට සබන් වෙනුවට සෝඩියම් ලෝරිල් සල්ෆේට් වැනි දේ එකතු කරනු ලැබුවා. කෙසේ නමුත් මේ සංඝටකය අතුරු ආබාධ ගෙන දිය හැකි එකක් ලෙස හැඳින්වෙනවා.
විසිවන සියවසේ පසු භාගය වන විට විවිධ රෝගාබාධ වලට ප්‍රතිකාර සැපයෙන ආකාරයේ දන්තාලේපද වෙළඳපොලට නිකුත් වුණා. විශේෂයෙන් කැල්සියම් ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප නිෂ්පාදනය ඇරඹුණේ 20 වන සියවසේ මුල් භාගයතරම් ඈත කාලයකයි. මීට අමතරව විදුරුමස් රෝග, මැලියම්, හා මුඛ දුර්ගන්ධය වැනි තත්ත්වයන් මැඩපවත්වන දන්තාලේපද වර්තමානය වන විට නිෂ්පාදනය වී තිබෙනවා.
වාණිජ පරමාර්ථයෙන් දන්තාලේප සාදනු ලැබූ මූලිකම යුගයේදී එහි හයිඩ්‍රජන් පැරොක්සයිඩ් හා බේකින් සෝඩා අන්තර්ගත වුණා. වර්තමාන දන්තාලේපයක ෆ්ලෝරයිඩ්, වර්ණකාරක, රසකාරක, පැණිරසකාරක හා දන්තාලේපය සුසිනිඳු, තෙතමනය සහිත හා පෙණ නංවන එකක් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය අන්තර්ගත වෙනවා.
කවරයේ පින්තූරය -Getty Images/Tara Moore