Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ ගනුදෙනු කළ රික්ස්ඩොලර් මොනවා ද?

අද අපි ඉලෙක්ට්‍රොනික මුදල් පාවිච්චි කරන කාලෙක ඉන්නේ. හුඟදෙනෙක් ගනුදෙනු කරන්නේ ක්‍රෙඩිට් කාඩ්වලින්. ඊ වොලට්වලින් තමයි සමහරු මුදල් හසුරුවන්නේ. ඒ වගේ ලෝකෙක ඉන්න ගමන් අතීත සල්ලි ගැන හොයාබැලීමත් කුතුහලය දනවන වැඩක්.

නෝට්ටුවල ඉතිහාසය

ඕලන්ද යුගයේ පිටකොටුව – serendib.btoptions.lk

අපේ රටේ මුදලේ ඉතිහාසය දෙස නෙත් යොමුකරන විට රන් කාසි භාවිතය අනුරාධපුර යුගයේ පටන්ම පැවතුණා. ඊට පසු රිදී, තඹ, ලෝකඩ යන ලෝහවලින් කාසි හැදුවා. ඒත් අපේ රජවරු නෝට්ටු පාව්චිචි කළේ නැහැ. එකල කඩදාසි නිෂ්පාදනයක් නැතිවීමත් එයට හේතුවන්නට ඇති. නෝට්ටු අපට හඳුන්වාදුන්නේ ලන්දේසි හෙවත් ඕලන්ද ජාතිකයන්. වර්ෂ 1658 දී මෙරට මුහුදුබඩ පළාත් යටත්කර  ගත්තත් ලන්දේසීන්ට මුදල් නෝට්ටු නිකුත්කිරීමට දිගු කාලයක් ගතවුණා. මුලින්ම මුදල් නෝට්ටු නිකුත් කර තිබෙන්නේ 1785 දී යි.

අමෙරිකන් යුද්ධය හේතුවෙන් 1780 වන විට ශ්‍රී ලංකාවේ මුදුහුබඩ පළාත් පාලනය කළ ලන්දේසීන්ට සතුරු තර්ජන එල්ලවුණා. ඒ නිසා මෙරට සතුරු හමුදාවන්ගෙන් ආරක්ෂා කරගැනීමට යුධ හමුදා ඛණ්ඩයන් සේවයේ යෙදවුණා. ඔවුන්ට වැටුප් ගෙවීමට විශාල මුදලක් ඕලන්ද ආණ්ඩුවට වැයවී තිබෙනවා. ඒ නිසා 1785 වන විට ඔවුන්ගේ ආදායම අඩුවී භාණ්ඩාගාරය සම්පූර්ණයෙන් හිස්වූ බව යි වාර්තා වෙන්නේ. එකල මෙරට ඕලන්ද ආණ්ඩුකාරයා වූයේ ජේකොබ් විලියම් වැන් ඩි ප්‍රෙෂ් (1785 – 1794). ඔහු මුදල් හිඟයට පිළියමක් ලෙස කළේ මුදල් නෝට්ටු මුද්‍රණය ආරම්භ කිරීම යි. ඒ කාලෙ උද්ධමනය වගේ දේවල් සැලකුණේ නැහැ.

අදත් හොඳින් ආරක්ෂා වී ඇති, පිටකොටුවේ ඕලන්ද ගොඩනැගිල්ලක් (අද ඕලන්ද කෞතුකාගාරය) Pinrest.com

 1785ට පෙර පටන් ඕලන්දයන් කොළඹ කොටුවේ ව්‍යාපාරික ස්ථානවල ආරක්ෂිතව තැන්පත් කළ මුදල්වලට කුවිතාන්සි දීමේ සිරිතක් ද අරඹා තිබුණා. මේ නිසා අලුතින් නිකුත් කළ මුදල් නෝට්ටු සංසරණයට හුරුවීම ව්‍යාපාරිකයන්ට පහසුවුණා. ඒ කාලෙ සාමාන්‍ය ජනතාව නෝට්ටු තබා කාසිවත් භාවිත කළේ නෑ. ඔවුන් ගනුදෙනු කළේ භාණ්ඩ හුවමාරු ක්‍රමයට යි.

රික්ස්ඩොලර් හෙවත් පතාග

ඕලන්ද කාලෙ කාසි- the sales- room. com

වර්ෂ 1785 මාර්තු 19 දින ආණ්ඩුකාරයා විසින් කැඳවූ රැස්වීමක දී පතාග 25000ක නෝට්ටු නිකුත් කිරීමට අනුමත වී තිබෙනවා. එතෙක් රන්, රිදී කාසිවලට හුරුවී තිබූ රටේ පළමු වරට නිකුත් කළ නෝට්ටු කාණ්ඩයේ මුදල් ඒකකයේ නම පතාග හෙවත් රික්ස්ඩොලර් නම් වුණා. ඒවා නිකුත් කළේ 1785 මැයි 10 දා යි. පතාග 50, 100, 500, සහ 1000 මුදල් නෝට්ටු මුලින්ම නිකුත් කළා. පසුව පතාග 2, 3, 4, 5, 10 යන කුඩා මුදල් ඒකක සඳහා ද නෝට්ටු නිකුත් කර තිබෙනවා. මෙම රික්ස්ඩොලර් නෝට්ටුවේ සිංහල, දෙමළ හා ඕලන්ද භාෂාවලින් “පතාග එකකට හොඳ යි” යනුවෙන් මුහුණතේ සඳහන්ව තිබෙනවා. යට පැත්තෙහි මුදල් නෝට්ටුවේ අංකය, නිකුත් කළ දිනය, සහ එම පතාග මුදලට වර්ෂයකට 3% බැගින් පොලිය ලැබෙන බව මුද්‍රණය කර තිබෙනවා. මේවා දැන් මෙන් ආරක්ෂිත උපක්‍රම කිසිවක් නැති මුද්‍රිත කඩදාසි කැබලි පමණ යි. එහෙත් ඒවායේ ආණ්ඩුවේ නිලධාරින් තිදෙනකුගේ අත්සන යොදා තිබුණා.

හොර නෝට්ටු

1796 නිකුත් කළ රිස්ක් ඩොලර් 10 නෝට්ටුව-  lakdiva.org

මෙම නෝට්ටු ක්‍රෙඩිට් බ්‍රීමන් ලෙස හැඳින්වුණා. මුලින්ම කොළඹ ව්‍යාපාරික කටයුතු සහ රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් ගෙවීම ආදියට යොදාගත් පතාග නෝට්ටු 1789 දී මඩකලපුව ඕලන්ද කොටුවට හඳුන්වාදුන් අතර, 1788 දී ත්‍රිකුණාමලයේ කොටුවේ ගනුදෙනු සඳහාත් නිකුත්කළ බව සඳහන් වෙනවා. 

ක්‍රමයෙන් පතාග නෝට්ටු හොරාට අච්චු ගැසීමටත් සමත් හොරු එකල ද සිටි බව පෙනෙනවා. ඒ හොර නෝට්ටු ද සංසරණයට පැමිණි නිසයි. 1793 දී ව්‍යාජ මුදල් නෝට්ටුවලට එරෙහිව ඕලන්ද ආණ්ඩුව නියෝග නිකුත්කර තිබෙනවා. ඒ, පැරැණි මුදල් නෝට්ටු ආපසු කැඳවා ඒ වෙනුවට අලුත් අත්සන් සහිත නව නෝට්ටු නිකුත් කිරීමෙන්. නෝට්ටුවලට අමතරව රික්ස්ඩොලර් කාසිත් මේ කාලයේ ලංකාවේ භාවිතයේ පැවතුණා. මෙය රිදී කාසි විශේෂයක්.

සුද්දට ගිය රට

බ්‍රිතාන්‍ය පාලනය ඇරඹේ- what-when-how.com

පතාග නිකුත් කරමින් වැඩි කලක් ගනුදෙනු කිරීමට ඕලන්දයන්ට වාසනාව ලැබුණේ නැහැ. ඕලන්ද පාලනය යටතේ පැවති මුහුදුබඩ ප්‍රදේශ තවත් යුරෝපීය ජාතියක් වන බ්‍රිතාන්‍යයන් යටත්කර ගත්තා. ත්‍රිකුණාමලය බලකොටුවේ 1795 අගෝස්තුවල දී බ්‍රිතාන්‍ය කතිර කොඩිය එසවුණු අතර 1795 සැප්තැම්බර්වල දී යාපනය ඉංග්‍රීසින්ට යටත් වුණා. ඉංග්‍රීසින් කොළඹ යටත්කර ගත්තේ 1796 දී යි. යටත්වීමේ ගිවිසුමේ 6 වැනි වගන්තිය ප්‍රකාරව බ්‍රිතාන්‍යයන් ඕලන්ද වගකීම් ස්ටර්ලිං පවුම් 50000ක් (රික්ස්ඩොලර් 418750)ක් ද බාරගත් බව සඳහන් වෙනවා. මෙම බැරකම් සඳහා 3%ක් පොලිය ද ගෙවිය යුතු වුණා.

බ්‍රිතාන්‍යයන්ගේ රික්ස්ඩොලර් කාසි 1812 – cncoins.com

 

ඕලන්දයන් සතුව තිබූ කොළඹ මුද්‍රණාලය 1796 දී බ්‍රිතාන්‍යයන්ට හිමිවූ නිසා මුදල් නෝට්ටු 1806 දක්වා මුද්‍රණය කෙරුණේ එහි දී යි. 1800 මාර්තුවල දී බ්‍රිතාන්‍යයන් රික්ස්ඩොලර් 100, 50, 25 යන නෝට්ටු රික්ස්ඩොලර් 30000ක වටිනාකමට නිකුත් කර තිබෙනවා. ඊට පසු තවත් රික්ස්ඩොලර් 45000ක නෝට්ටු ප්‍රමාණයක් නිකුත් කෙරුණා. 1801 ඔක්තෝබර් වන විට මෙරට සංසරණය වෙමින් පැවති මුදල් නෝට්ටුවල වටිනාකම ස්ටර්ලින් පවුම් 10,000ක් වූ බව සඳහන්.

1806 මාර්තු නිකුත් කළ පතාග 2 (රික්ස්ඩොලර්) නෝට්ටුවේ රටේ නම ඉංග්‍රීසියෙන් සඳහන් වන්නේ නැහැ. එහි සිංහල, ඉංග්‍රීසි, හා දෙමළෙන් මුදලේ වටිනාකම පතාග දෙක යි යනුවෙන් ද, “ලංකාවේ ආණ්ඩුව” යනුවෙන් රටේ නම වැරදියට මුද්‍රණය වී ද තිබෙනවා. නෝට්ටුවේ විශාලත්වය මී.මී. 115X94ක් වුණා. එහි නිලධාරින් දෙදෙනෙකු අතින් අත්සන යොදා තිබුණා.

මෙසේ ඉංග්‍රීසින්ට යටත් මුහුදුබඩ පළාත්වල පතාග නෝට්ටු භාවිතා වුවත් උඩරට රාජධානියේ බලය පැවති ප්‍රදේශවල සංසරණය වූයේ කාසි පමණ යි. ඒ පනම්, ලාරින් (රිදී කොකු කාසි), තංගම කාසිය (පෘතුගීසින් හඳුන්වාදුන් ටැංගෝ මස්ස)යි. අවසාන රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහට ලැබුණු මුළු ආදායම රන් පවුම් 1500කට වැඩි නොවූ බව ජෝන් ඩේවි සඳහන් කරනවා.

නෝට්ටු මුද්‍රණය ලන්ඩනයට

1820 නිකුත් කළ රික්ස්ඩොලර් නෝට්ටුවක්- slidetodoc.com

එතෙක් කොළඹ මුද්‍රණය නිකුත් කළ මුදල් නෝට්ටු 1809 දී ලන්ඩනයේ සිල්වෙස්ටර් සමාගමේ මුද්‍රණාලයට ලබාදීම සිදුවුණා. එම නෝට්ටුවලද රටේ නම සිංහලෙන් හා දෙමළෙන් සඳහන් කර නැහැ. මේවායේ මුල්වරට බ්‍රිතාන්‍ය කොඩිය නිරූපිත චිත්‍රයක් ද ඇතුළත් වුණා. 1815 මාර්තු 2දා උඩරට  ගිවිසුම ප්‍රකාශ කළ අතර මුළු ශ්‍රී ලංකාවම බ්‍රිතාන්‍යයන්ට යටත්වුණා. 

ඉංග්‍රීසින්ගේ රික්ස්ඩොලර් රිදී කාසියක් – lakdiva.org

ක්‍රමයෙන් කොළඹ වරාය හරහා කෙරෙන වෙළෙඳ කටයුතු ඉහළ යමින් පැවතුණා. කොළඹ නගරයේ අලුත් වෙළෙඳ ව්‍යාපාර බිහිවුණා. මේ නිසා මුදල් භාවිතය ඉහළ යන්නට වුණා. ඉංග්‍රීසින් පළමුවන මුදල් නෝට්ටු තොගය නිකුත් කළේ 1800 දී යි. 1801 දක්වාම ඉංග්‍රීසීන් පොත්පත්වල ගණන් හිලව් සටහන් කළේ තාරකා පගෝදි ක්‍රමයට යි. ඒත් මෙරට  ඉංග්‍රීසීන්ට යටත්ව තිබූ පෙදෙස් 1802 දී යටත් විජිත භාර මහ ලේකම්ගේ යටතට පත්වීමත් සමග ඒ ක්‍රමය වෙනස් කෙරුණා. එතැන් පටන් එම ක්‍රමය පතාග (රික්ස්ඩොලර්), පනම්, සහ තුට්ටු බවට හැරුණා. ඒ අනුව තාරකා පගෝදි 1/4 = පතාග 1ක් වුණා.

1803 සිට 1818 දක්වා වරින් වර පතාග 1/2, 1, සහ 2 රිදී කාසි අච්චු ගැසූ අතර ඒවායේ වටිනාකම සඳහන් වූයේ පිළිවෙලින් 24, 48 සහ 96 ලෙසින්.  එමෙන්ම 1803 – 1817 කාලයේ පනම, තුට්ටුව, සහ තුට්ටු 2 තඹ කාසි ද නිකුත්කර තිබෙනවා.

රික්ස්ඩොලර් වෙනුවට පවුම්

1815 දී ඇති වූ උග්‍ර කාසි හිඟයට පිළියමක් ලෙස ලන්දේසීන්ගෙන් අත්පත් කරගෙන එතෙක් රාජ සන්තකයේ තබාගෙන සිටි දොයිතු කාසි රැසක් (පතාග 37,339ක් වටිනා දොයිතු) සංසරණයට එක්කළ බව සඳහන් වෙනවා. මේ කාලයේ නිකුත් කළ රික්ස්ඩොලර් නෝට්ටුවල “ලංකාවේ ආණ්ඩුව කස්බ්‍රිප්පුව” යනුවෙන් ද සිංහලෙන් මුද්‍රණය කර තිබුණා. 1820 වන විට සංසරණය වෙමින් තිබූ මුදල් නෝට්ටුවල වටිනාකම රික්ස්ඩොලර් මිලියන 2.5ක් බව සඳහන්, 1823 මැයි 5දා එයට පෙර නිකුත් කර තිබූ සියලුම රික්ස්ඩොලර් නෝට්ටු ආපසු කැඳවා අලුත් මුදල් නිකුත්කෙරුණා. ඒ කොළඹ කච්චේරියේ සිදුවූ මුදල් හොරකමක් නිසා යි. 1820 හා 1825 අතර විවිධ හේතුන් නිසා ආපසු කැඳවූ රික්ස්ඩොලර් ප්‍රමාණය 866016ක්. 1825 වන විට සංසරණය වෙමින් පැවති රික්ස්ඩොලර් ප්‍රමාණය 1561669ක් වුණා. 1828 දී රික්ස්ඩොලර් මුද්‍රණය නවත්වනවා. මුදල් ක්‍රමය බ්‍රිතාන්‍ය පවුම්, සිලිං ක්‍රමයට හැරෙනවා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

www.cbsl.gov.lk

Cover  - රික්ස්ඩොලර් 5 නෝට්ටුවක්-  lakdiva.org

Related Articles