Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොනවද මේ ප්‍රෝබයෝටික්ස් ?

ප්‍රෝබයෝටික්ස් සහිත ආහාර, ශරීරයට හිතකර ප්‍රෝබයෝටික්ස්… මේ ආහාරයට සඳහන් වෙන වෙළඳ දැන්වීම් ඔබ අනන්තවත් දැක අසා ඇති. නමුත් මොනවද මේ ප්‍රෝබයෝටික්ස්? මේ පැනයට එක එල්ලේ ස්ථිර පිළිතුරක් දෙන්නට සමාජයේ බොහෝ දෙනාට අදටත් හොඳ හැකියාවක් නැහැ. එම නිසා අපි තීරණය කළා ප්‍රෝබයෝටික්ස් ගැනත් ඒත් සමඟ ගසට පොත්ත මෙන් හා වෙලා තියෙන ‘ප්‍රීබයෝටික්ස්’ ගැනත් වැදගත් තොරතුරු කීපයක් ඔබ හමුවේ තබන්නට.

ප්‍රෝබයෝටික්ස්

nowfoods.com

ප්‍රෝබයෝටික්ස් යනු සරලවම අපේ අතුණු බහන් වල ජීවත් වන සහජීවී බැක්ටීරියායි. මේවා ආහාර ජීර්ණ පද්ධතියේ හානිදායක බැක්ටීරියා වර්ධනය වීම වළක්වන අතර, ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරමින්ද, තවත් සහජීවී බැක්ටීරියා වල ගුණනය ප්‍රවර්ධනය කරමින්ද සෞඛ්‍ය සම්පන්න ආහාර ජීර්ණ පද්ධතියකට මූලික අඩිතාලම දමනවා. සාමාන්‍යයෙන් මිනිසා තුළ වර්ධනය වන මේ ආකාරයේ සහජීවී බැක්ටීරියා වර්ග 400ක් පමණ ඇති අතර මේවා වැඩිපුරම හමුවන්නේ ලැක්ටික් අම්ල බැක්ටීරියා හැටියටයි. උදාහරණයක් ලෙස Lactobacillus acidophilus නම් බැක්ටීරියාව යෝගට් සමඟ පැමිණෙන අතර යීස්ට් කියන්නේද ප්‍රෝබයොටික් හෙවත් සහජීවී බැක්ටීරියාවක්. විශේෂයෙන්ම මේ ප්‍රෝබයෝටික් බැක්ටීරියා පෝෂණ අතිරේක හැටියට ලබා ගත හැකියි. යෝගට්, චීස් වැනි කිරි ආහාර සමඟද, මිසෝ වැනි සෝයා ආහාර සමඟද, ගෝවා යොදා සාදන ‘සවර්ක්‍රවුට්’ වැනි ආහාර සමඟද මේ ප්‍රෝබයෝටික් බැක්ටීරියා ශරීරයට ලබා ගත හැකියි. ආහාරයක් ප්‍රෝබයෝටික් එකක් ලෙස නම් කිරීමට සහජීවී බැක්ටීරියා නාම මාත්‍රිකව එම ආහාර වල අඩංගු වුණාට ප්‍රමාණවත් නැහැ. ඒ තුළ එම බැක්ටීරියා ගහණයේ ඝණත්වය අවම වශයෙන් ග්‍රෑමයට 106 හෙවත් මිලියනය ඉක්මවිය යුතුයි.

ප්‍රීබයොටික්ස්

news-medical.net

ප්‍රෝබයෝටික්ස් ගැන කතා කරන වැඩි දෙනා නොදන්නා නමුත් ඒ තරමටම වැදගත් ප්‍රීබයොටික්ස් කියන්නේ මේ ප්‍රෝබයෝටික් බැක්ටීරියා වර්ධනය වීමට පසුබිම සපයන, ජීර්ණය කළ හැකි/නොහැකි ආහාර සංඝටකයි. විශේෂයෙන් ආහාර වල අඩංගු වෙන ජීරණය කළ නොහැකි තන්තු බොහෝ සහජීවි බැක්ටීරියා වලට වාසස්ථානත් පෝෂණයත් සපයනවා. විශේෂයෙන්ම ෆ්‍රක්ටො හා ගැලැක්ටො ඔලිගොසැකරයිඩ ද මේවාට ඇතුලත් වන අතර කෙසෙල්, සුදු ළූණු, ලීක්ස්, සෝයා බෝංචි වැනි ආහාර වලින් අපේ ශරීරයට ලබා ගන්නට පුළුවන්. ප්‍රෝබයෝටික් බැක්ටීරියා හා ප්‍රීබයෝටික් සංඝටක එකතු වී අපේ ආහාර ජීර්ණ පද්ධතිය සෞඛ්‍ය සම්පන්න එකක් කරනවා.

ප්‍රෝබයොටික්ස් හා ප්‍රීබයොටික්ස් එක්ව කටයුතු කරන්නේ කොහොමද?

ප්‍රෝබයොටික්ස් යනු සහජීවී බැක්ටීරියායි. ප්‍රීබයෝටික්ස් යනු ඒවා වර්ධනය වීමට උර දෙන පරිසරය හා පෝෂණය ලබා දෙන සංඝටකයි. මේ වර්ග දෙකේම එකතුව ‘සින්බයෝටික්ස්’ ලෙස හඳුන්වනවා. ප්‍රීබයොටික් ආහාර, ආහාර ජීර්ණ පද්ධතියට ඇතුළු වූ පසු ඒවා ජීරක එන්සයිම හෝ අම්ල මඟින් බිඳ හෙළනු ලබනවා. මේවා අපේ අතුණු බහන් වල වෙසෙන සහජීවී බැක්ටීරියා වලට පෝෂණ ප්‍රභව බවට පත් වෙනවා.සහජීවී බැක්ටීරියා ඝනාවාස ඒවා වර්ධනය වීමට රුකුල් දෙන පෝෂක හා උපස්ථර ලැබුණු පසු හොඳින් වර්ධනය වෙනවා. මේ නිසා සහජීවී බැක්ටීරියා හෙවත් ප්‍රෝබයෝටික් බැක්ටීරියා ප්‍රතිශතය ඉහළ යනවා.  මේ දෙකම අඩංගු ආහාර යහමින් ගැනීමෙන් ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍ය ඉතාම හොද මට්ටමක පවත්වාගන්නට පුළුවන්.

ප්‍රෝබයෝටික්ස් වලින් ලැබෙන සෞඛ්‍ය වාසි

නිසි ප්‍රමාණයට අනුකූලව හොඳ ප්‍රෝබයෝටික් හෙවත් සහජීවී බැක්ටීරියා ප්‍රමාණයක් ආහාර ජීර්ණ පද්ධතිය තුළ විසීම ඉතා විශිෂ්ට සෞඛ්‍යමය වාසි ළඟා කර දෙනවා. මේ බැක්ටීරියා වල මූලික කාර්යභාර ලෙස එන්සයිම ස්‍රාවය කිරීමෙන් ශරීරයට අහිතකර බැක්ටීරියා වර්ධනය වැළැක්වීම, විටමින් බී 12, විටමින් කේ වැනි සංඝටක නිෂ්පාදනය කිරීම හා ටී වසා සෛල නිෂ්පාදනය උත්තේජනය ගත හැකියි. මීට අමතරව ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීම, දිලීර වැනි දෑ විනාශ කිරීම, විවිධ ලෙඩ රෝග හා සංකූලතා මඟින් ශරීරයට වන හානිය අවම කිරීමද මේ බැක්ටීරියා මඟින් සිදු වෙනවා. ප්‍රෝබයෝටික් ආහාර නිතර ගැනීමෙන් ශරීරයේ බරද ලෙහෙසියෙන් අඩු කරගත හැකියි.

ප්‍රෝබයෝටික කිරි ආහාර වෙළඳපොළේ හමු වෙනවා – indiatimes.com

මීට අමතරව මුත්‍රා පද්ධතියේ ආසාදන අවම කර ගැනීමටද, ආහාර විෂ වීම හා අජීරණ අවම කර ගැනීමටද, මුත්‍රා ගල් වලට ප්‍රතිකාර කිරීමේදීද, අක්මාවේ ගැටළු, පිළිකා, කොලෙස්ටරෝල් වැනි ලෙඩ රෝග අවම කර ගැනීමේ ලා ද ප්‍රෝබයෝටික් හෙවත් සහජීවී බැක්ටීරියා කරන්නේ මහඟු මෙහෙයක්.

ප්‍රීබයෝටික්ස් වලින් ලැබෙන සෞඛ්‍ය වාසි

ප්‍රීබයෝටික්ස් ආහාරයට එක් කර ගැනීමෙන් සහජීවී බැක්ටීරියා වර්ධනය වන නිසා ප්‍රෝබයෝටික් සම්බන්ධයෙන් පවසන ලද වාසි සියල්ලම මෙයටත් වළංගු ය. ඊට අමතරව මෙහි ඇති තන්තුමය ස්වහාවය නිසා පිළිකා අවධානම අඩු කර ගැනීමටද, මළ බද්ධය අවම කර ගැනීමටද මේවා දායක වෙනවා. බර අඩු කර ගැනීමට වෙහෙසීමේදී තන්තු සහිත ආහාර ගැනීම වැදගත් වන අතර මේ ආහාර මඟින්  මැග්නීසියම්, යකඩ හා කැල්සියම් ශරීරයට දායක කරන නිසා අස්ථි වල සෞඛ්‍යයත් රැක දෙනවා. සමහර හෝමෝන ස්‍රාවය පාලනය කිරීමටත් ප්‍රීබයොටික් ආහාර දායක වෙනවා.

ecellulitis.com

ශ්‍රී ලංකාව හා ප්‍රෝබයොටික්/ ප්‍රීබයොටික් ආහාර

ශ්‍රී ලංකාව තුළ ප්‍රෝබයොටික් හෙවත් සහජීවී බැක්ටීරියා තිබෙන ‘ප්‍රෝබයෝටික’ ආහාරයක් වශයෙන් ප්‍රධාන් වශයෙන් ම ප්‍රසිද්ධ වී තිබෙන්නේ යෝගට් වර්ගයි. සමහර යෝගට් වර්ග ඒවා ප්‍රෝබයෝටික් අන්තර්ගත  ලෙස දක්වා තිබෙනවා. ආහාරයක් ප්‍රෝබයෝටික වශයෙන් දක්වන්නටනම් ඒ අදාළ ක්ශුද්‍ර ජීවී කාණ්ඩය පැහැදිළිව ගෙනහැර දැක්විය යුතු අතර අවම වශයෙන් ඝණ සෙන්ටිමීටරයක් තුළ 106 ක ප්‍රමාණයක් එම බැක්ටීරියා කාණ්ඩයේ ඝනාවාස පැතිරී තිබිය යුතුයි. අපේ පැරැන්නන්ද යෝගට් නොතිබූ සමයේදී ඉතාම මාහැඟි ප්‍රෝබයෝටික ආහාරයක් පිළියෙල කරගත්තා. ඒ ‘දියබත්’. සවස පිසගත් බතෙහි ඉතිරි කොටස දිය ස්වල්පයක් දමා රාත්‍රියේ තිබෙන්නට හැරීමෙන් එහි ප්‍රෝබයෝටික බැක්ටීරියා ගුණනය වී ඉතාම ගුණවත් දිය බත් සෑදෙනවා. මේවා පොල් කිරි යොදා එයට උඩින් හකුරු හෝ ලුණු මිරිස් යොදා ආහාරයට ගත්තා. විටමින් බී 12 ඇති පදම් මේ දියබත් ආහාරයට ගැනීම නිසා ශරීරයට ලැබුණා. මින් පෙනී යන්නේ පැරන්නන්ටද ප්‍රොබයෝටික හා ප්‍රීබයෝටික ආහාර වල ගුණ පිළිබඳව අදහසක් තිබූ බවයි.

දියබත්- ප්‍රෝබයෝටික් සහිත සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය ආහාරයක්- chefduminda.lk

(කවරයේ පින්තූරය youtube.com)

මූලාශ්‍ර

  1. draxe.com
  2. webmd.com

Related Articles