Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක ක්‍රිකට් කුසලාන ඉතිහාසය (2 කොටස)

සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟ පටන් ගැනුණු ආකාරයත් එය ලෝක කුසලාන තරඟාවලියක් දක්වා ව්‍යාප්ත වුණු ආකාරයත් ඉන් අනතුරුව පළමු ලෝක කුසලානය වන “පෘඩේන්ෂල් “ කුසලානය පැවැත්වුණු අයුරුත් අනතුරුව දෙවන තෙවන  “පෘඩේන්ෂල් “ ලෝක කුසලාන තරඟාවලි වල රසවත් තොරතුරුත් අවසාන ලිපියෙන් ඔබ වෙත ගෙන ආවා මතක ඇති. ලෝක කුසලානය සඳහා “පෘඩේන්ෂල් “ යන වෙළද නාමය ඉවත් වීමෙන් පසුව පැවති හතරවෙනි ලෝක කුසලානයේ සිට ලෝක ක්‍රිකට් කුසලාන තරඟාවලි ක්‍රමයෙන් විකාශනය වූ ආකාරය පිළිබඳවයි අද කතාකරන්නට බලාපොරොත්තු වෙන්නේ.

ලෝකයේම නෙත් සිත් වසඟ කළ ක්‍රිකට් ලෝක කුසලානයේ සුල මුල දැනගන්න කැමති නම් දිගටම කියවන්න. මගහැරුණු දෙයක් තියනවනම් අපට කියන්නත් අමතක කරන්න එපා.

කැන්ගරුවන්ගේ සවුදිය පිරුම – හතරවන ලෝක කුසලානය – රිලයන්ස්

ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝර්ඩ්න් ලෝක කුසලානයත් සමඟ (www.espncricinfo.com)

ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝර්ඩ්න් ලෝක කුසලානයත් සමඟ (www.espncricinfo.com)

තුන් වන ලෝක කුසලානය නිම වී හරියටම වසර හතරකට පසුව එනම් 1987/88 වර්ෂ වලදී තුන් වන ලෝක කුසලානය ජයග්‍රහණ තුළින් එවකට ක්‍රිකට් ලොවේ ප්‍රබලයන්ව සිටි ඉන්දියාවත් ඊට අසල්වැසි පාකිස්තානයත් හතර වන ලෝක කුසලානයේ සත්කාරක රටවල් ලෙස  අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විධායක සභාව විසින් නම් කරනු ලබනවා.

මෙය එංගලන්තයෙන් පිටත ලෝක කුසලාන තරඟාවලියක් පවත්වනු ලබන ප්‍රථම අවස්ථාව විය. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාව කළඑළි බසින ආසියාතික කලාපයට මෙය මහඟු ආශීර්වාදයක් ලෙස එකළ ක්‍රිකට් විචාරකයන් පවසා තිබුනා.

තරඟයක් පන්දු ඕවර 50කට සීමා වූයේ මෙම තරඟාවලියේදීය. ඒ වගේම පන්දු යවන්නෙකුට උපරිම ලෙස යැවිය හැකි පන්දු වාර ගණන 10කට සීමා වෙනවා. මන්දගාමී ආසියාතික තණතිලි වල උපරිම ප්‍රයෝජනය ඉන්දියාව හා පාකිස්තානු ක්‍රීඩකයන් ලබා ගනීවියැයි ජගත් ක්‍රීඩා විචාරකයන් ඇස ගසාගෙන සිටියා. මෙවරත් කණ්ඩායම් අට A හා B ලෙස බෙදා වෙන් කර තරඟාවලියට තරඟ 27ක් ඇතුල් කර තිබුනා.

A කණ්ඩායම – ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිම්බාබ්වේ. B කණ්ඩායම – පාකිස්ථානය, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්වන්, ශ්‍රී ලංකාව

මුල් පෙළ පමණක් ශක්තිමත් වූ ශ්‍රී ලංකා පිළ

පාකිස්තානු ක්‍රීඩක ජාවෙඩ් මියැන්ඩාඩ් රිලයන්ස් ලෝක කුසලානයේදී (www.zimbio.com)

පාකිස්තානු ක්‍රීඩක ජාවෙඩ් මියැන්ඩාඩ් රිලයන්ස් ලෝක කුසලානයේදී (www.zimbio.com)

පළමු වටයේ තරඟ ආරම්භ වුයේ පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර හයිද්‍රාබාද් හි පැවති තරඟයෙන්. පාකිස්ථානුවන් පන්දු ඕවර 50 අවසානයේදී කඩුලු හයකට ලකුණු 267ක් රැස් කරනු ලැබුවා. පාකිස්තානු ක්‍රීඩක ජාවෙඩ් මියැන්ඩාඩ් ලකුණු 103කින් තම රටේ ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත් වුනා. මේ සඳහා ඔහුට වැය වූයේ පන්දු 100ක් පමණයි. නමුත් ශ්‍රී ලංකා පිළ සියල්ල දැවී රැස කලේ ලකුණු 252ක් පමණයි. මුල් පෙළ පහර දෙන්නන් වූ රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ හා අරවින්ද ද සිල්වා මනා දායකත්වයක් ලබා දුන්නත්  මැදපෙළ හා පසුපෙළ අසාර්ථක වීම පරාජයට හේතු වුණා.

බටහිර ඉන්දීය කොදෙව්ව හමුවේ තවත් ලකුණු 193ක දැවැන්ත පරාජයක් ඇතුළුව පැවති තරඟ හයෙන් කිසිඳු තරඟයක් ජයග්‍රණය කිරීමට ශ්‍රී ලංකික කණ්ඩායමට හැකියාව ලැබෙන්නේ නෑ.

මවු බිමේදීම පරාද වූ පාකිස්ථානුවන් හා ඉන්දියානුවන්

ග්‍රැහැම් ගුච් ඉන්දියාවට එරෙහිව පහර දෙමින් (www.espncricinfo.com)

ග්‍රැහැම් ගුච් ඉන්දියාවට එරෙහිව පහර දෙමින් (www.espncricinfo.com)

අවසන් පුර්ව තරඟයේදී ඉන්දියානුවන්ගේ ලෝක කුසලාන පැතුම් සුණු විසුනු කරමින් නායක මයික් ගැටින් ප්‍රමුඛ එංගලන්ත පිළ අවසාන තරඟය සදහා සුදුසුකම් ලබන්නේ ග්‍රැහැම් ගුච් ගේ අගනා පිති හරඹයත් එඩි හෙමින්ස්ගේ ඉන්දියනු ක්‍රීඩකයන් සලිත කරවන පිට දඟ පන්දු යැවීමේ අපූරු හැකියාවත් නිසාය. ඔහු ලකුණු 52කට කඩුලු 4ක් බිද දමනු ලබනවා.

අනෙක් අවසාන පුර්ව තරඟයේදී පිට-පිට තෙවන වතාවටත් පාකිස්තානු කණ්ඩායමට අවසාන පුර්ව තරඟයෙන් පරාජය ලබන්න සිදු වෙනවා. ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝර්ඩ්න් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පිළ ඉම්රාන් ඛාන් ප්‍රමුඛ පකිස්තානු පිළ පරදවන්නේ ලකුණු 18කින්.

ක්‍රිකට් මහගෙදරට අනුශූරත්වයෙන් සැනසෙන්නට සිදු වීම

එංගලන්ත නායක මයික් ගැටින්ගේ දැවී යාම (www.espncricinfo.com)

එංගලන්ත නායක මයික් ගැටින්ගේ දැවී යාම (www.espncricinfo.com)

කල්කටාවේ ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී රිලයන්ස් ලෝක කුසලානය වෙනුවෙන් තරඟ වැදුනේ ඕස්ට්‍රේලියාවට එරෙහිව එංගලන්තයයි. නායක මයික් ගැටින් ප්‍රමුඛ මනා සංයමයකින් පන්දු යැවූ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් එංගලන්තය තමන් ඉදිරියේ දනගස්වන්නේ එංගලන්ත නායකයා තීරණාත්මක දැවී යාමකට ලක් කරමින්.

ලෝක කුසලානය දිනාගත් කැන්ගරු නායක ඇලන් බෝර්ඩ්න් පවසන්නේ මේ ඕස්ට්‍රේලියානුවන් අනාගතය වෙනුවෙන් ජය පැන් බොන්නට සැරසෙන අවස්ථාවක් බවයි. ඔහුගේ එම අනාවැකිය සත්‍යක් වූ බවට පසුව තිබු ලෝක කුසලාන තරඟ දෙස බැලීමේදී හොදින් පැහැදිලි වෙනවා.

සුද්දන් දනගැස්වූ පාකිස්ථානුවෝ – පස් වන ලෝක කුසලානය – බෙන්සන් ඇන්ඩ් හෙජස්

බෙන්සන් ඇන්ඩ් හෙජස් ලෝක කුසලානය දිනූ පාකිස්තානුවන් (www.cricnama.com)

බෙන්සන් ඇන්ඩ් හෙජස් ලෝක කුසලානය දිනූ පාකිස්තානුවන් (www.cricnama.com)

ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ 91/92 වසර වල පැවැත්වුණු පස් වන ලෝක කුසලාන තරඟාවලිය ප්‍රථම වරට විදුලි ආලෝක මැදදී ආරම්භ කළ ලෝක කුසලාන තරඟාවලියයි. අයහපත් කාලගුණික තත්වයන් හමුවේ තරඟ වල ජය පැරදුම තීරණය කරන ආකාරය වැනි නව නීති රීතීන් කිහිපයක් හදුන්වා දීම සිදු වෙනවා. ඒ වගේම  ක්‍රිකට් ලොවේ නව පෙරලියක් ඇති කළ සුදු පැහැති ඇදුම් වෙනුවට වර්ණවත් ක්‍රීඩා ඇදුම්, සුදු පැහැති පන්දුව හා කළු පැහැති දර්ශන තිර හදුන්වා දීමත් සිදු වෙන්නේ මෙම ලෝක කුසලානයේදිය. දිගු කාලයකට පසුව දකුණු අප්‍රිකාව ලෝක කුසලාන තරඟාවලියකට එක් වීමත් මෙහි කැපී පෙනෙන ලක්ෂණයක්.

අවසන් පුර්ව තරඟයට පෙර සෑම රටක්ම සෙසු රටවල් හැම එකක්ම සමඟින් තරඟ වැදීය යුතුයි යන්න මුලින්ම හදුන්වා දුන්නේ මෙහිදීයි. පසුගිය තරඟාවලි මෙන්ම මෙම ලෝක කුසලානයේදීත් මුල් තරඟ වල දස්කම් දක්වන්නට එංගලන්ත හා ඔස්ට්‍රේල්යානු කණ්ඩායම් සමත් වෙනවා. පැවති මුලික වටයේදී එංගලන්ත හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම් විසින් ඉන්දියානුවන් පරාජය කිරීමකට ලක් කරනවා. දකුණු අප්‍රිකාව සහභාගී වූ පළමු තරඟයේදීම ඔස්ට්‍රේලියාව පරදවා කඩුලු නවයක තියුණු ජයක් ලබා ගැනීමත් ප්‍රබල එංගලන්තය සිම්බාබ්වේ හමුවේ පරාජය වීමත්  මෙහිදී ලෝක ක්‍රිකට් ප්‍රජාවගේ අවධානයට ලක් වූ කරුණු වුණා.

අනාගත ලෝක කුසලානයකට මාවත් තැනූ සිංහයෝ

අසංක ගුරුසිංහ බෙන්සන් ඇන්ඩ් හෙජස් ලෝක කුසලාන තරඟ මාලාවේදී (www.espncricinfo.com)

අසංක ගුරුසිංහ බෙන්සන් ඇන්ඩ් හෙජස් ලෝක කුසලාන තරඟ මාලාවේදී (www.espncricinfo.com)

මෙවර තරඟාවලියේදී ශ්‍රී ලංකික කණ්ඩායම ගිය වරට සාපේක්ෂව  කැපී පෙනෙන අයුරින් දස්කම් දැක්වීමට සමත් වෙනවා. ගියවර ලෝක කුසලාන තරඟාවලියේදී සියළු තරඟ පරාජය වුණු ශ්‍රී ලංකාව අරවින්ද ද සිල්වාගේ නායකත්වයෙන් යුතුව තරඟ හයෙන් දෙකක් ජය ගැනීමට සමත් වෙනවා. අනාගත ලෝක කුසලාන ජයග්‍රහණ මාවතකට දොරටු විවර කර ගැනීමක් ලෙස මෙය විචාරකයන් විසින් හදුන්වනු ලැබනවා.

සිම්බාබ්වේ සමඟ පැවති තරඟයේදී ලකුණු 313 ක් සමඟින්  කඩුලු තුනක තියුණු ජයක් හිමි කර ගනු ලබනවා. රොෂාන් මහානාම හා අතුල සමරසේකර සුසංයෝගය තුළින් ලකුණු 128ක සම්බන්ධතාවයක් ගොඩ නැගීම ජයග්‍රහණයට මූලිකම හේතුව විය. අර්ජුන රණතුංගගේ සටන්කාමී පිතිහරඹය සමඟ ශ්‍රී ලංකාවට තවත් ලකුණු 88ක් හිමිවෙනවා. සනත් ජයසුරියත් කළ එලි බසින්නේ මේ තරඟාවලියේදීයි. ඔහුගේ අගනා පිති හරබයෙනුත් ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් වෙනවා. කඩුලු රකින්නෙක් ලෙස හෂාන් තිලකරත්නගේ එක් වීමත් සිදු වන්නේ මෙම තරඟයේදීයි.

මෙම තරඟාවලියේදී සිංහයන්ගේ දෙවන ජයග්‍රණය වුයේ කෙප්ලර් වෙසල්ස් ප්‍රමුඛ ප්‍රබල දකුණු අප්‍රිකානු පිළට එරෙහිවයි. රොෂාන් මහානාම හා එක් වෙමින් අගනා පිති හරඹයක නිරත වූ අර්ජුන රණතුංග තරඟයේ වීරයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වෙනවා.

ප්‍රබල කණ්ඩායම් හතර

දකුණු අප්‍රිකානු නායක කෙප්ලර් වෙසල්ස් ලෝක කුසලානයේදී (www.icc-cricket.com)

දකුණු අප්‍රිකානු නායක කෙප්ලර් වෙසල්ස් ලෝක කුසලානයේදී (www.icc-cricket.com)

ලකුණු සටහනේ පෙරමුණ ගත් මුල් කණ්ඩායම් හතර වන නවසීලන්තය, එංගලන්තය, දකුණු අප්‍රිකාව හා පාකිස්ථානය අවසන් පුර්ව තරඟ සඳහා සුදුසුකම් ලබනවා. නවසීලන්තය හා පාකිස්ථානය අතර පැවති අවසාන පූර්ව තරඟයේදී ජයග්‍රණය ලබන්නේ පාකිස්ථානයයි. කඩුලු හතරක ජයග්‍රහණයත් සමඟ පාකිස්ථානය ලෝක ශුරතාවක අවසාන තරඟය සඳහා සුදුසුකම් ලබන්නේ පළමු වරටයි. පන්දු 37 කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ එක හයේ පහරක් සමගින් වේගවත් ලකුණු 60ක් රැස් කළ ඉන්සමාම්- උල් -හක් මෙම තරඟයේදී කැපී පෙනෙන ක්‍රීඩකයෙක් බවට පත් වෙනවා.

දෙවන අවසන් පුර්ව තරඟයේදී එකිනෙකා හා ගැටෙන දකුණු අප්‍රිකාව හා එංගලන්තය අතර තරඟය පැවැත්වුනේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයෙදියි. එංගලන්තය පළමුවෙන් පන්දුවට පහර දුන් අතර පසුව එංගලන්ත ක්‍රීඩකයන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අසරණ වන කෙප්ලර් වෙසල්ස් ප්‍රමුඛ දකුණු අප්‍රිකානුවන්ට පරාජය හිමිවෙමින් ගියවර මෙන් මෙවරත් අවසාන තරඟයට සුදුසුකම් ලැබීමට එංගලන්ත කණ්ඩායමට හැකියාව ලැබෙනවා.

නැවතත් ලෝක කිරුළ ගැනීමට නොහැකි වූ අවාසනාවන්තයෝ – එංගලන්ත කණ්ඩායම

වසීම් අක්‍රම් අවසාන තරඟයේදී විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරමින් (www.espncricinfo.com)

වසීම් අක්‍රම් අවසාන තරඟයේදී විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරමින් (www.espncricinfo.com)

ඕස්ට්‍රේලියාවේ මෙල්බෝර්න් ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතිව පිරී ඉතිරි ගොස් තිබුනා. ඒ එංගලන්තයට එරෙහිව පාකිස්ථාන දිවා රාත්‍රි පස්වන ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය නැරඹීමටයි. බටහිර ක්‍රිකට් විචාරකයන්ගේ මතය වුයේ මෙවර කුසලානය හිමිකරගන්නේ එංගලන්ත කණ්ඩායම බවයි.

පිටියට බට නායක ඉම්රාන් ඛාන් ඇතුළු ප්‍රවේගකාරී පාකිස්ථානුවෝ විචාරකයන්ගේ මත සුනු විසුනු කරමින් පිටිය දෙදරවන්නට සමත් වුනා. ඉම්රාන් ඛාන්, මියන්ඩඩ්, ඉන්සමාම් -උල් හක් සමඟින් එකතු වූ වසීම් අක්‍රම් එංගලන්ත පන්දු යවන්නට අනුකම්පා විරහිතව පහර පිට පහර දෙන්නට පටන් ගැනීමෙන් එදා මෙල්බෝර්න් ක්‍රීඩා පිටිය වර්ණවත් වුණා. මේ සමඟින් ඔවුන් පන්දු වාර 50 අවසානයේදී ලකුණු 249ක් ලබා ගත්තේ කඩුලු 4ක් අතැතිවයි.

එංගලන්ත ආරම්භක පිතිකරු වන ඉයන් බොතම්ට ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට යාමට සිදු වන්නේ වසීම් අක්‍රම් ගේ පන්දු යැවීම හමුවෙයි. මෙලෙස කඩා වැටෙන්නට ගත් එංගලන්ත ලකුණු පුවරුව පන්දු ඕවර 50 අවසානයේදී දිස් වුයේ ලකුණු 227ක් ලෙසයි. වසීම් අක්‍රම්, මුෂ්ටාක් අහමඩ් කඩුලු 3 බැගින් බිද හෙලනු ලබනවා.

කඩුල්ලක් ලබාගැනීමේ සතුට සමරන මුෂ්ටාක් අහමඩ් (www.espncricinfo.com)

කඩුල්ලක් ලබාගැනීමේ සතුට සමරන මුෂ්ටාක් අහමඩ් (www.espncricinfo.com)

ලකුණු 22ක ජයග්‍රහණය සමඟ පස් වන ලෝක කුසලානය තමන් සතු කරගන්නට පාකිස්ථානුවන්ට මාර්තු 25 වැනි දින රාත්‍රිය ඉතාමත් මනරම් වන්නට ඇති. තරඟය පුරාවටම එංගලන්ත ක්‍රීඩකයන්ට මහත් හිසරදයක් වූ වසීම් අක්‍රම් තරඟයේ වීරයා ලෙස නම් කරනු ලබනවා.

මේ ආකාරයට නිමවෙන පස් වන ලෝක කුසලානයෙන් අනතුරුව හය වන ලෝක කුසලානය වන්නේ 1996 ඉන්දියාවේ හා පාකිස්ථානයේ පැවති, එහි අවසන් තරඟයේදී කැන්ගරුවන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වූ, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සවුදිය පිරූ විල්ස් ලෝක කුසලානයි. ඉතින් ඒ තරඟාවලිය ගැන කතා කරන එකත් අපිට ඉමහත් ආඩම්බරයක්. ඉන් අනතුරුව මේ දක්වා පැවතියේ ICC ලෝක කුසලාන තරඟයි. ඒ  ඒ තරඟ වල රසවත් වැදගත් සිදුවීම් ඉදිරි ලිපි තුළින් ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කරනවා.

Related Articles