Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජීවිතයේ සතුට කසළ කන්දකින් සොයා ගත් හොලිවුඩ් දැවැන්තයා

 ස්කොට් නීසන් කියන්නේ සිනමා කර්මාන්තය තුළ ඉතා සාර්ථක වූ විධායක නිලධාරියෙක්. වසර 26ක් සිනමා කර්මාන්තය තුළ අත්දැකීම් ලබා ගනිමින් අවසානයේදී සුප්‍රසිද්ධ “20th Century Fox International” ආයතනයේ සභාපති ධූරය දක්වා පැමිණීමට ස්කොට් නීසන් සමත් වුණා. එහිදී ඔහු Braveheart, Star Wars, Titanic, X-Men වැනි අති සාර්ථක සිනමා නිර්මාණවල අයවැය සහ අලෙවිකරණ කටයුතු සාර්ථකව අධීක්ෂණය කළා. “20th Century Fox International” ආයතනයට සේවය කරන අතරතුර ඔහු කළමණාකරණය කළ ආදායම ඩොලර් බිලියන 1.5ට අධික යි. සියලු සාර්ථකත්ව සහ ආකර්ෂණීය ජයග්‍රහණ මැද, හොලිවුඩ් වැනි දැවැන්ත සිනමා කර්මාන්තයක් තුළ ස්ථාවර වූ ස්කොට් නීසන් තෘප්තිමත් ජීවිතයක් ගත කළායැ යි ඔබ සිතනවා නම් එය නිවැරදි නැහැ.

“මට වැඩි වැඩියෙන් දේවල් ලැබෙනකොට ජීවිතයේ සතුට එන්න එන්නම අඩු වුණා. මගේ මොකක් හරි වැරැද්දක් තියෙනවා කියලා මට හිතුණා”

 ස්කොට් නීසන් තමාගේ ජීවිතය ගැන අතීතයේදී දැරුවේ එවැනි ආකල්පයක්. නමුත්, අද ඔහු සතුටින් ජීවත් වෙනවා. ජීවිතයේ සතුට ඔහු සොයා ගත්තේ කාම්බෝජයේ අගනුවර වූ ප්නොම් පෙන් ප්‍රදේශයේ පිහිටි දැවැන්ත කුණු කන්දකින්!

ස්කොට් නීසන් සහ මෙල් ගිබ්සන් “Braveheart” චිත්‍රපටයේ වැඩ කටයුතු අතරතුර – understandingcompassion.com 

පාසල මඟ හැරපු තරුණයා

 ස්කොට් නීසන් දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ හැදී වැඩුණු අතර, පාසල් අධ්‍යාපනයට එතරම් උනන්දුවක් දක්වපු කෙනෙක් නොවෙයි. උසස් පාසලේ අධ්‍යාපනය නොලබාම ස්කොට් නීසන් පාසල හැරයනවා. ෆෙඩරල් රජයේ රැකියා යෝජනා ක්‍රමය යටතේ ස්කොට් නීසන්ට ග්‍රාමීය වශයෙන් පවත්වා ගෙන යන සිනමාහල්වල ප්‍රක්ෂේපණ ශිල්පියකු වශයෙන් සේවය කිරීමට අවස්ථාව උදා වෙනවා. අනාගතයේ දවසක සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තයකු වීමේ මූලික අඩිතාලම ඔහුට ලැබෙන්නේ ඒ අයුරින්.

 1983 වසරේදී ඔහු තම වෘත්තිය ජීවිතයේ ඉදිරි පියවරක් තබමින් සිඩ්නි නගරයට සංක්‍රමණය වෙනවා. ග්‍රේටර් යූනියන් සංවිධානයේ සිනමා වැඩ කටයුතුවලට සම්බන්ධවී සේවය කිරීමෙන් වැදගත් අත්දැකීම් රැසක් ඔහු තම වෘත්තිය ජීවිතයට එකතු කරගන්නවා. වැඩි කලක් යාමට මත්තෙන් ස්කොට් නීසන්ට “හොයිට්ස් තියටර්ස්” ආයතනයේ බෙදාහැරීම් අංශය බාරව සිටින කළමනාකරණ අධ්‍යක්ෂකවරයා ලෙස සේවය කිරීමට අවස්ථාව උදා වෙනවා.

ස්කොට් නීසන් ජනප්‍රිය නළු හැරිසන් ෆෝඩ් සමඟ = lionsroar.com 

අමෙරිකාවේ ස්වර්ණමය යුගය 

 1993 වර්ෂයේදී ස්කොට් නීසන්ට තම වෘත්තිය ජීවිතයේ ස්වර්ණ ම යුගය උදා වෙනවා. “20th Century Fox” ආයතනයේ අන්තර්ජාතික අලෙවිකරණ ප්‍රධානියා වශයෙන් පත්වීම ලැබීමත් සමඟ ඔහු ලොස් ඇන්ජලීස් නගරයට සංක්‍රමණය වුණා. 2000 වසරේදී ඔහු එම ආයතනයේම සභාපති ධූරයට පත් වෙමින් තම ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් බවට පත් වුණා.

ස්කොට් නීසන් වසර දහයක කාලයක් ෆොක්ස් ආයතනය වෙනුවෙන් සේවය කළා. එම කාලය අතරතුර ඔහු චිත්‍රපට කර්මාන්තයේ ප්‍රබල භූමිකාවක් බවට පත්වූ අතර, කීර්තිය දිනා ගත් මිතුරන්, විශාල නිවසක්, නවීන යාන වාහන, ධනය ඇතුළු ජීවිතයට අවශ්‍ය සියල්ලම ඔහු වටා ගොඩනැඟී තිබුණා.

 කෙසේ නමුත්, ස්කොට් සිටියේ සතුටින් නොවෙයි. ජීවිතයේ ලොකු අඩුවක් තිබෙන බව ඔහුට නිරතුරුව දැනුණු බව සඳහන්.  2003 වසරේදී ස්කොට් නීසන් ෆොක්ස් ආයතනයේ කටයුතුවලින් ඉවත් වී “Sony Pictures International” ආයතනයේ ජාත්‍යන්තර අලෙවිකරණ මෙහෙයුම් කටයුතු ප්‍රධානියා වශයෙන් සේවයට බැදුණා. අලුත් තනතුරට පත්වී සති පහක් ඇතුළත ඔහු කුඩා විවේකයක් වෙනුවෙන් ආසියාවට සංචාරය කළා. එම සංචාරය ඔහුගේ ජීවිතයේ අනපේක්ෂිත හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වුණා.

කාම්බෝජයේ කසළ කන්දකින් ජීවිතයේ සැබෑ අරමුණ ස්කොට් නීසන් තේරුම් ගත් ආකාරය සැබැවින්ම අරුමයක් – twitter.com

ජීවිතය වෙනස් කළ ගමනාන්තය

 ආසියාවට කළ සංචාරයේදී ස්කොට් නීසන් නිවාඩුව උදෙසා කාම්බෝජයේ ප්නොම් පෙන් නගරයට පැමිණියා. එහිදී ස්කොට් බොහොම සංවේදී දර්ශනයක් දුටුවා. දරිද්‍රතාවයේ පත්ලට ම වැටී සිටි දහස් ගණනක් වූ ප්නොම් පෙන් නගර වාසීන්ගෙන් ඇතැමකු නාගරික අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක් ආශ්‍රිත ව ජීවන අරගලයේ යෙදෙන අයුරු ඔහු දුටුවා. විෂ සහිත දුම හා දැවෙන අපද්‍රව්‍ය මැද ළමයින් සහ වැඩිහිටියන් දහස් ගණනක් මුදල් සඳහා විකිණීමට සුදුසු අබලි ද්‍රව්‍ය සොයන දර්ශනය ස්කොට් නීසන් ඉමහත් සංවේදීතාවකට පත් කළා. වාසනාවන්ත දිනයක් නම් අබලි ද්‍රව්‍ය විකිණීමෙන් ඩොලර් එකක් වැනි සොච්චම් මුදලක් සොයාගැනීමට ඔවුන් සමත් වුණා.

 ” කුඩා දරුවන් හැමතැනම සිටියා. මව්පියන් හැර දමා ගොස් සිටි ළමයින් පවා එතන දකින්නට ලැබුණා. මුළු ඇතුළාන්තයෙන්ම  මම කම්පා වුණා. එම ස්ථානයට ගිය අවස්ථාව මගේ ජීවිතයට ප්‍රබලතම බලපෑම එල්ල වූ මොහොත යි. ආගාධයකට මුහුණ ලා සිටගෙන ඉන්නවා වැනි හැඟීමක් මට එතනදී දැනුණා.”

ප්නොම් පෙන් නගරයේ දැවැන්ත කුණු කන්දත් සමඟ සබැඳුණු ජීවිත ගැන ස්කොට් නීසන්  එලෙස පවසා තිබුණා.

 ස්කොට් නීසන් ඒ වනවිට තමාගේ ම ජීවිතය සමඟ සටන් කරමින් ජයගෙන තිබුණා. ඒත්, ඔහු අනුන්ගේ ජීවිත වෙනුවෙන් සටන් කොට තිබුණේ නැහැ. කලක පටන් දැනුණු ජීවිතයේ හිස් බව එය ම බව ඔහු තේරුම් ගත්තා. හොලිවුඩ් සිනමා කර්මාන්තයේ නමක් රැඳවූ විධායකයකුගේ සැබෑ ජීවන අරමුණ අවසානයේදී දුර ඈත රටක කසළ කන්දකින් මතුවීම සැබවින්ම අරුමයක්.

ස්කොට් නීසන් අසරණ දරුවන්ගේ අධ්‍යාපනය ගැන වඩාත් සැලකිලිමත් වුණා. – wsj.com 

අනුකම්පාව වෙනුවට සහකම්පනය

 ස්කොට් නීසන් ප්නොම් පෙන් නගරයේ කසළ කන්දට පැමිණි පළමු දිනයේදී ඔහුට කුඩා දරුවකු මුණ ගැහෙනවා. දැවෙන අපද්‍රව්‍ය හමුවේ හට ගන්නා උෂ්ණත්වයෙන් ආරක්ෂා වීම සඳහා ශරීරය ආවරණය කොට තිබූ හෙයින්, එම දරුවා පිරිමි දරුවෙක් ද ගැහැනු දරුවෙක් ද යන්න වග හඳුනා ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. පසුව ඒ දරුවා ශ්‍රෙයූන් නමැති නව හැවිරිදි කුඩා දැරියක බව ස්කොට් හඳුනා ගත්තා.

ශ්‍රෙයූන් නමැති නව හැවිරිදි කුඩා දැරිය (වමේ) සහ කසළ කන්දට ආ කුඩා දැරියක් – cambodianchildrensfund.org

ශ්‍රෙයූන් කලක පටන් සිය මව සහ බාල සොහොයුරිය සමඟ කසළ කන්දට පැමිණ තිබුණා. ඇයගේ බාල සොහොයුරිය ඒ වනවිට බරපතළ ලෙස රෝගාතුර ව සිටියා. භාෂා පරිවර්තකයකුගේ උපකාරයෙන් ස්කොට් ඔවුන්ට නවාතැන් පහසුකම් සපයා දුන්නා. රෝගාතුර සොහොයුරිය රෝහලකට යැවුණු අතර, ශ්‍රෙයූන් පාසල් යැවීමට අවශ්‍ය පසුබිම සැකසීමට ස්කොට් උත්සුක වුණා. ඔහු නැවත ලොස් ඇන්ජලීස් නගරයට පෙරළා පැමිණියත්, ශ්‍රෙයූන් ඇතුළු පවුලට මාස්පතා කිසියම් මුදලක් යැවීමට අමතක කළේ නැහැ.

 තමා කළේ ඉතා කුඩා උපකාරයක් පමණක්යැ යි ඔහුට සිතෙන්න පටන් ගත්තා. ශ්‍රෙයූන් වෙනුවෙන් ගත් කුඩා උත්සාහය නිසා ඔවුන්ගේ ජීවිතය විශාල පරිවර්තනයකට බඳුන් වුණා. අනුකම්පාව පෙරදැරි ව පුද්ගලයන් කිහිපදෙනකුට කරන උපකාරයට වඩා එවැනි අසරණ ජීවිතවල අනාගතය සුරක්ෂිත වන අන්දමේ වැඩපිළිවෙළක් දියත් කිරීම වඩාත් සුදුසු බව ඔහුට සිතුණා.

 එක්සත් ජනපදයට පැමිණි පසු නව රැකියාවේ කටයුතුවලට සිත යොමු කිරීමට උත්සහ කළත්, ස්කොට්ගේ සිත නිරතුරුව ම නැවතුණේ අර කසළ කන්ද අසල යි. එම වසර ඇතුළත සෑම මසක ම කාම්බෝජයේ  සතියක් ගත කරමින් ඔහු යම් සැලැස්මක් ක්‍රියාත්මක කළා. ඒ අනුව ස්කොට් නීසන්ගේ මූලිකත්වයෙන් “Cambodian Children’s Fund” නම් ලාභ නොලබන ආයතනය 2004 වර්ෂයේදී පිහිටුවූවා. එම උදාර සිතුවිල්ලට මූල බීජය දුන් ශ්‍රෙයූන් නම් කුඩා දැරිය 2019 වර්ෂයේදී මූල්‍ය සහ ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයෙන් උපාධිය ලබා ගැනීමට සමත් වුණා.

අද ස්කොට් නීසන් ප්නොම් පෙන් නගරයේ සරල ජීවිතයක් ගත කරමින් තෘප්තිමත්ව කල් ගෙවනවා. = inspiremore.com 

මානුෂීය ක්‍රියාන්විතයක් ඇරඹෙයි!

 2004 වසරේදී ස්කොට් නීසන් එක්සත් ජනපදය අතහැර පූර්ණ කාලීන ව කාම්බෝජයේ ක්‍රියාත්මක කරන මානව හිතවාදී වැඩපිළිවෙළට කැප වන්නට තීරණය කළා. කාම්බෝජයේ පෞද්ගලික ජාත්‍යන්තර පාසලක උපදේශකයකු සමඟ එක්ව ළමයින් 45 දෙනකුගෙන් යුත් පාසලක් ඇරඹීමට ස්කොට් ක්‍රියා කළා. පාසල ඇරඹීම සඳහා ඔහුට අදහස ලබා දුන්නේත් ඒ කුඩා ළමයින් ම යි. කොතරම් අසරණ ජීවිතයක් ගත කළත්, දරුවන් කවදාවත් ස්කොට්ගෙන් මුදල් නොඉල්ලූ බව සඳහන් වෙනවා.

 ” මම කසළ කන්ද ආශ්‍රිත ප්‍රදේශයට ගිය හැම වතාවකදිම ළමයින් මා පසුපස පැමිණ මෙලෙස පැවසුවා, ‘කරුණාකර මට ඉගෙනීමට අවස්ථාවක් දෙන්න’. ඒ ඉල්ලීමට බැහැ කියන්න හරිම අමාරුයි. මොකද ඒ ළමයි ඉල්ලන්නේ අවස්ථාවක්..”

 පාසල ගොඩනැංවීම පිටුපස තිබූ හේතුව ස්කොට් එලෙසින් පැහැදිලි කොට තිබුණා.

 දින ගණනාවක් ප්‍රජාව තුළ හැසිරෙමින්, පවුල් හඳුනා ගනිමින්, ළමයින් අධ්‍යාපනයෙන් බැහැර වීමට හේතුවූ සාධක තේරුම් ගැනීමට ස්කොට් වෙහෙසුණා. ආහාර, පිරිසුදු ජලය, වෛද්‍ය ප්‍රතිකාර වැනි වඩාත් පැහැදිලි ව පෙනෙන ගැටලු සඳහා විසඳුම් සොයන විට විශාල ප්‍රගතියක් ඔහුට අත්දැකින්න පුළුවන් වුණා. ළමයින් වැඩි වැඩියෙන් අධ්‍යාපනය වෙනුවෙන් පැමිණීමට පටන් ගත්තා. ස්කොට් නීසන් ඇරඹූ පදනම අධ්‍යාපනයේ ගැටලු හඳුනා ගනිමින් සහ බාධා පිටුපස තිබෙන හේතු ජය ගනිමින් අද දක්වා සාර්ථක ගමනක් පැමිණ තිබෙනවා. 

ස්කොට් නීසන් ගොඩනැගූ අරමුදල හරහා දරුවන් සාර්ථක ලෙසින් අධ්‍යාපන ඉලක්ක සපුරා ගන්නවා – scottneeson.com 

මහන්සියේ ප්‍රතිඵල සැකෙවින්

“Cambodian Children’s Fund” සංවිධානය ඉතා හොඳ විනිවිදභාවයකින් යුතු ව කටයුතු කරන බව සඳහන් වෙනවා. වාර්ෂික වාර්තාවට අනුව 2019 දක්වා අරමුදලෙන් අධ්‍යාපනය ලැබූ සංඛ්‍යාව 1898 ක් වන අතර, පවුල් 461 ක් සඳහා නිවාස ලබා දී තිබෙනවා. සෑම වසරකම සහල් ටොන් 45ක් පමණ නොමිලේ හෝ විශාල සහනාධාර අනුපාතයකින් යුතු ව බෙදා හැරෙනවා. 2018 වර්ෂයේදී පමණක් අරමුදල හරහා අධ්‍යාපනය ලැබූ සිසුන් 30 දෙනකු උපාධිධාරීන් ලෙස සාර්ථක වී තිබෙනවා. 151,184 ක ආහාර වේල් ළමයින් සහ උදව් අවශ්‍ය ප්‍රජාවේ සාමාජිකයන් වෙත බෙදා තිබෙන අතර, අරමුදල හරහා වෛද්‍ය උපදේශන සහ ප්‍රතිකාර ලබාගත් පිරිස 33,194 ක් පමණ වෙනවා.

“Cambodian Children’s Fund” වැඩසටහනේ නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂක ලෙස ස්කොට් වසර 15 කට වැඩි කාලයක් ප්නොම් පෙන් නගරයේ වාසය කරමින් එහි ප්‍රජාවේ හදවත්වල රැඳී සිටිනවා. කලකට ඉහත සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ ස්කොට් නීසන් අද සරල ජීවිතයක් ගත කරන බව පැවසෙනවා. ප්නොම් පෙන් නගරයේ දරිද්‍රතාවයෙන් පෙළෙන එක් එක් පවුල වශයෙන් සහ සමස්ත ප්‍රජාව වශයෙන් වෙන් වෙන්ව ගැඹුරු අවබෝධයකින් යුතුව ඔහු තම කටයුතු සිදු කරගෙන යනවා.

 කලකට ඉහත කසළ කන්දකින් පෝෂණය වූ ළමයින් අද ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණය කරන ක්‍රීඩකයන් බවට පත්ව ව සිටිනවා. ඕස්ට්‍රේලියාවේ පාසල්වලින් ශිෂ්‍යත්ව පවා ලබා ගනිමින් අධ්‍යාපනයේ සාර්ථක ගමනක නියැළෙනවා. බොහෝ ක්ෂේත්‍රවලින් අද ඒ ළමයින් අනාගතය ජය ගනිමින් සිටිනවා. ස්කොට් නීසන් අවසානයේ දී ජීවිතයේ සතුට කසළ කන්දකින්  මතු කරගත්තේ ඒ අයුරින්.

කවරයේ ඡායාරූපය: ස්කොට් නීසන් ප්නොම් පෙන් නගරයේ කසළ කන්දට පැමිණි පළමු දිනයේදී ඔහුට කුඩා දරුවකු මුණ ගැහෙනවා - medium.com

මූලාශ්‍ර:

cambodianchildrensfund.org

medium.com 

wise-qatar.org

Related Articles