ලංකාවේ විතරක්ම නෙමෙයි ලෝකේ ඕනෑම රටක බිස්නස් කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. සුළු හෝ මධ්‍යම පරිමාණයේ බිස්නස් එකක් පටන් අරගෙන සමාගමක් විදියට ඉස්සරහට වැඩේ දිගටම කරගෙන යන එක ඇත්ත වශයෙන්ම ලොකු අභියෝගයක්. වැඩි දෙනෙක් නොදන්නවා වුණාට සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යටතට වැටෙන සමාගම් සෑහෙන්න නීතිමය බලපෑමකට යටත් වෙනවා (හැබැයි හවුල් ව්‍යාපාර වලටයි තනිපුද්ගල ව්‍යාපාර වලටයි මේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙන්න අවශ්‍ය නැහැ). මේ නිසා සමාගමක් අනිවාර්යයෙන්ම තමන්ගේ වැඩකටයුතු ගැන වාර්තා තබා ගන්න ඕනෑ, ව්‍යවස්ථාපිත වාර්තා යවන්නට ඕනෑ, සමාගමේ වියදමෙන් ගෙවන සෙක්‍රටරි කෙනෙකුයි ඔඩිටර් කෙනෙකුයි සමාගමට ඉන්න ඕනෑ. ඒ විතරක් නෙමෙයි සමාගමට පාරිභෝගිකයෝ ආකාර්ශනය කරගන්න සැලකියයුතු තරමේ අලෙවිකරණයට වෙන්කරපු බජට් එකකුත් තියා ගන්න ඕනෑ. මේ සියලු වදවෙදනා අතරේ ලංකාවේ ව්‍යාපාරිකයන්ට දැන් මුහුණ දෙන්න වෙලා තිබෙන අලුත්ම හිංසනය තමයි වාර්ෂික ලියාපදිංචි කිරීමේ ගාස්තුව. මහා පරිමාණයේ ව්‍යාපාර වලට මේක පොඩි දෙයක් උනත් අමාරුවෙන් ගැටගහගෙන යන්තමට අඩිය ගහගෙන ඉන්න ගොඩක් සුළු හා මධ්‍ය පරිමාණ සමාගම් වලට මේක ලොකු තර්ජනයක් බරක් බව අපි අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.
මේක මේ කොහෙන් ආපු බද්දක් ද?
මාසෙකට දෙකකට කලින් පත්තර වලින් අපි මේක ගැන දැනගත්තාට මේක ඇත්තටම කිව්වොත් ඊට ගොඩක් කලින්, ඒ කියන්නේ අපේ මුල්‍ය ඇමති රවී කරුණානායක මහත්තයා 2015 නොවැම්බර් 20 වැනිදා පාර්ලිමේන්තුවේදී 2016 බජට් එක කියවද්දී එළියට ආපු එකක්. 2016 අයවැය යෝජනාක්රමයේ 581 වැනි ඡේදයේ මේක මෙන්න මේ විදියට දක්වලා තිබෙනවා.
“ලියාපදිංචි වෙලා තිබෙන සමාගම් වලින් බොහොමයක් ක්‍රියාත්මක නොවෙන බව පෙනී ගොස් තිබේ. එවැනි සමාගම් සක්‍රිය කරවීම සඳහා ලියාපදිංචි වී තිබෙන සියලුම සමාගම් වලින්, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු වාර්ෂික ගාස්තුවක් අයකර ගැනීමට මම යෝජනා කරමි. ඉච්ඡානුගව ලියාපදිංචි වීම අධෛර්යමත් කරනු වස්, සමාගම් ඉච්ඡානුග ඈවර කිරීමේදී රුපියල් 500,000/-ක් අයකරගැනීමට ද මම තවදුරටත් යෝජනා කර සිටිමි.”
මේ ගාස්තුවෙන් සිදු වන බලපෑම?
බැලූ බැල්මටම මේකෙ ලොකූ අසාධාරණයක් තිබෙන බව මේ ගැන අයවැය යෝජනාක්රමයේ කියලා තිබෙන තිබෙන විදියෙන්ම පේනවානේ. ඒ වුණත් මේක මුලින්ම දැනගත්ත දවසේ ඉඳන් ව්‍යාපාර ලෝකයේ ලොකු වෙනස්කමක් පරිණාමයක් දැකගන්න පුළුවන් වුණා. සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පුවත්පත් දැන්වීමකින් මහජනතාවට මෙම වාර්ෂික සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්තුව පිළිබඳ දැනුම් දුන්නෙ මෙන්න මේ විදියටයි.
- තරයු සමාගම්, එතෙර සමාගම්, සම්බන්ධතා කාර්යාල සහ “අලුතින් ලියාපදිංචි වන සමාගම්” (අපට දැනගන්නට ලැබුණු විදියට මේ ගණයට වැටෙන සමාගම් 2016 ලියාපදිංචි වූ ඒවා. මේ ගාස්තුව එයාලාට අදාල වෙන්නේ 2017 වසරේ ජනවාරි පළවෙනිදා ඉඳන් ලු) හැරුණු කොට සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති අනෙක් සියලුම ආයතන විසින් වාර්ෂික සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්තුව ගෙවිය යුතු වේ.
- ජනවාරි 01 දින සිට බලගැන්වෙන පරිදි සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති අනෙක් සියලුම ආයතන ඔවුනට අදාල වන වාර්ෂික සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්තුව ගෙවිය යුතු වේ.
- 2016 මාර්තු 31 වන දින වන විට මෙම වාර්ෂික සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්තුව ගෙවිය යුතු බව වරක් ප්‍රකාශ වුවද දැන් මෙම ගාස්තුව 2016 ජුනි මස 30 දින හෝ ඊට ප්‍රථම ගෙවිය යුතු වේ.
- වාර්ෂික සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්තුව ගෙවිය යුත්තේ පහත අයුරිනි. පෞද්ගලික සමාගම් – රු 60, 000, ලැයිස්තුගත සමාගම් රු 500,000 සහ එතෙර සමාගම් (සම්බන්ධක කාර්යාල හැරුණු විට) – රු 100,000.
- තම ව්‍යාපාරය ඉච්ඡානුගව ඈවර කිරීමට බලාපොරොත්තු වන ලියාපදිංචි වූ සමාගම් වලින් රු. 50,000ක ගාස්තුවක් අය කෙරේ (ඒ කියන්නේ මැරුණ මිනිහගෙන් මළගෙදරට යන වියදම ඉල්ලනවා වගේ වැඩක්)
සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඉහත කියලා තිබෙන ගාස්තු මීටත් වඩා ඉහල යනවා, මොකද මේකට ටැක්ස් එහෙමත් එකතු වෙනවලු නේ.
මේක ඇත්තටම වෙන්න යන දෙයක්ද?
සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මේ දැන්වීමෙන් මේ වාර්ෂික සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්තුව ගැන අපට හොඳ අදහසක් ගන්න පුළුවන් වුණත් මෙතන තිබෙන ප්රශ්නය තමයි මේ වගේ දැන්වීම් නිවේදන දැම්මා කියලා මේ ගාස්තුව අනිවාර්යයෙන්ම ගෙවන්න වෙනවාද කියන එක.
සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ලැබෙන ආරංචිමාර්ග වලට අනුව නම් මෙම දැන්වීම දාල තියෙන්නේ කර්මාන්ත සහ වාණිජ අමාත්‍යාංශයේ ලේකම්ගෙන් ලැබුණු නියෝගයකට අනුවලු. එතකොට ඒ අමාත්‍යංශයට නියෝගය ලැබිලා තිබෙන්නේ 2016 අයවැය යෝජනාවලිය යටතේ මුල්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගෙන් ලු. ඒ විතරක් නෙමෙයි, 2016 පෙබරවාරි 15 දින නිකුත් කරපු අංක 01/2015 (11) දරන ෆිස්කල් ප්‍රතිපත්ති චක්‍රලේඛය මගින් සෘජුවම සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට මහාභාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා විසින් වාර්ෂික සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්තුවට අදාල වන “ සියලුම ආදායම් ගිණුම් කටයුතු ක්‍රියාවට නංවන” ලෙස දැනුම් දි තිබෙනවා.
සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන බලධාරියෙක් සමඟ කතාබහ කිරීමෙන් අපිට දැනගන්නට ලැබුන විදියට නම් දුෂමාන ආරංචි වලින් මොනවා ජනතාව අතරට ගිහින් තිබුණත් දැනට පවතින තත්වයට අනුව නම් ලියාපදිංචි වෙලා තිබෙන සමාගම් මේ ගාස්තුව ගෙව්වේ නැහැ කියලා හෝ ගෙවන්නට ප්‍රමාද වුණා කියලා ඒකෙන් වන ප්රතිවිපාකයක් ගැන නම් තවමත් සඳහනක් නැහැ. කොහොම වුණත් මේක නීතිගත වුනාට පස්සේ නම් ගාස්තුව ගෙවීම පැහැරහැරීමේ නීතිමය ප්රතිවිපාකයක් තියේවි.
මේ නිසා, අදටත් ව්‍යාපාරිකයන් වගේම ආර්ථික වේදීන් එක විදියට මේ වගේ ගාස්තුවක් සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අයකරගන්නා එක හරිද, සාධාරණ ද, නීත්‍යානුකූලද කියන එක ගැන ප්‍රශ්න කරද්දී අපි හැමෝම පිළිගන්න ඕනෑ ඇත්ත තමයි, මේක නීතිගත කරත් ඔහේ කට පියාගෙන ඉල්ලන ගාස්තුව ගෙවලා කරබාගෙන ඉන්නවා මිසක අපට වෙන කරන්නට දෙයක් නැති බව. ඉතින්, ඉස්සරහට මොකක් වෙයිද කියලා අපි හැමෝම තවමත් නිශ්ශබ්දව බලාගෙන ඉන්නවා. වෙන මොනවා කරන්නද.
කවරයේ පින්තුරය: assets.bwbx.io