Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල හෙවත් ICBM යනු මොනවාද​?

උතුරු කොරියාව ජූලි 4 වනදා පළමු වතාවට අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් (Inter-continental Ballistic Missile) අත්හදා බැලූ බව ප්‍රකාශ කළා. මේ පසුබිමෙහි අප තීරණය කළා ICBM එකක් යනු කුමක්ද යන්න සහ උතුරු කොරියාව එවැන්නක් නිර්මාණය කළා නම් එහි බලපෑම ගැන විස්තරයක් ගෙන ඒමට​.

ICBM එකක් (බහු වචනය: Inter-continental Ballistic Missiles – ICBMs) යනු න්‍යෂ්ඨික යුධ හිසක් රැගෙන යාමට සැකැසුණු ‘නියෙමු අස්ත්‍රයක්’ හෙවත් ගුවනේදී ගමන් මාර්ගය පාලනය කළ හැකි මිසයිලයක්. මේවාට සාමාන්‍ය යුධ හිස් ද රැගෙන යා හැකියි. එමෙන් ම ඇමරිකානු විද්‍යාඥයින්ගේ ෆෙඩරේෂනය අර්ථ දක්වන පරිදි ICBM එකක අවම පරාසය කිලෝ මිටර 5,500 ක් වන අතර මෙය කිලෝමීටර 16,000ක් තරම් වුවද විය හැකියි.

ICBMs හිමි රටවල්

මේ වනවිට ගොඩබිම් කඳවුරුවල ICBMs යොදවා තිබෙන රටවල් වන්නේ රුසියාව​, ඇමරිකා එක්සත් ජනපදය​, චීනය සහ ඉන්දියාවයි. ඊශ්‍රායලය ද ICBMs අත්හදා බලා ඇතත් ඔවුන් සතු ICBMs පිළිබඳ හෙළි වී නැහැ. මේ අතර ඇමරිකාව​, රුසියාව​, එක්සත් රාජධානිය​, ප්‍රංශය​, ඉන්දියාව සහ චීනය යන රටවල සබ්මැරීන මගින් දියත් කෙරෙන ICBMs ද තිබෙනවා. උතුරු කොරියාව ICBMs නිපදවීමට සමත් වූයේ නම් එවැනි සමත්කමක් පෑ රාජ්‍යයන් කිහිපයෙන් එකක් ලෙස එය ද ගත හැකියි.

පළමු වතාවට ICBMs නිර්මාණය කිරීමට සමත් වූයේ පැරණි සෝවියට් දේශයයි. ඒ 1950 දශකයේදී. පසුව ඇමරිකා එක්සත් ජනපදය ආදී රටවල් ද ICBMs නිපදවීමට සමත් වුණා. නිරවි යුධ සමයේ ප්‍රධාන බලවතුන් අතර අවි තරඟයේ එක් ප්‍රධාන ලක්ෂණයක් වූයේ න්‍යෂ්ඨික අවි නිපදවීම සහ එම අවි ඈත පිහිටි ප්‍රදේශයකට යොමු කිරීම සඳහා මිසයිල තැනීමයි. මේ අනුව නිරවි යුධ සමයේ අවි තරඟයේ ප්‍රධාන සාධකයක් ලෙස ICBMs සැළකීමට පිළිවන්.

හ්වසොං-14 උතුරු කොරියානු අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලය​ (KCNA)

පසුකාලීනව මෙම ICBMs වලට එරෙහි විය හැකි මිසයිල ආරක්ෂණ පද්ධති ද නිර්මාණය කෙරුණේ මෙම න්‍යෂ්ඨික අවි තර්ජනයට පිළිතුරක් ලෙසයි.

ICBM එකක් දියත් කිරීම භූගත රඳවනයකින් (silo එකකින්), සබ්මැරීනයකින්, බරැති ට්‍රක් රථයකින් හෝ රේල් පීළි මත රැඳවූ ජංගම මිසයිල රඳවනයකින් ද කළ හැකියි.

බැලිස්ටික් මිසයිල වර්ග​

අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල යනු බැලිස්ටික් මිසයිලවලින් දීර්ඝතම පරාසයක් ඇති මිසයිල වර්ගයයි. මීට අමතරව අන්තර්-මධ්‍ය පරාස බැලිස්ටික් මිසයිල​ (Intermediate-range Ballistic Missiles – IRBMs), මධ්‍ය පරාස බැලිස්ටික් මිසයිල​ (Medium-range Ballistic Missiles – MRBMs), කෙටි පරාස බැලිස්ටික් මිසයිල (Short-range Ballistic Missiles – SRBMs) මෙන්ම උපක්‍රමික බැලිස්ටික් මිසයිල (Tactical Ballistic Missiles – TBMs) ද වශයෙන් බැලිස්ටික් මිසයිල වර්ග තිබෙනවා.

නවතම උතුරු කොරියානු මිසයිලය​

උතුරු කොරියානුවන් විසින් දියත් කරන ලද මිසයිලය හ්වසොංග්-14 ලෙස නම් කර තිබෙනවා. ඔවුන් ප්‍රකාශ කරන්නේ මෙයට න්‍යෂ්ඨික යුධ හිසක් ගෙන යෑමේ හැකියාවද පවතින බවයි. තවද මෙම මිසයිලයට උතුරු කොරියාවේ සිට ඇලස්කාවේ බටහිර කොටසට මෙන්ම හවායි දූපත් දක්වා ද ගමන් කිරීමේ හැකියාව ඇතැයි අනුමානයන් පළවී තිබෙනවා.

හ්වසොං-14 මිසයිලය විනාඩි 39 ක් ගුවනේ රැඳී තිබූ බවත්, එය කිලෝ මීටර 933 ක දුරක් ගෙවා ජපන් මුහුදට වැටුණ බවත් සඳහන් වුණා. මේ අතර මිසයිලය කිලෝමීටර 2,802 ක උසක් කරා ගමන් කළ බවත් සඳහන්.

උතුරු කොරියානුවන් සඳහන් කරන්නේ එම මිසයිලය හැකි අඩුම කෝණයෙන් එල්ල කරන ලද බවයි. එනම්, එය ගමන් කළ හැකි අඩුම දුරක් ගමන් කළ බවයි ඔවුන් අදහස් කරන්නේ. (මිසයිල​, රොකට් පමණක් නොව අතින් විසි කරන ගලක් වුවද ගමන් කරන දුර රඳා පවතින සාධක වන්නේ විසි කරන වේගය සහ කෝණයයි. වායු ප්‍රතිරෝධය සහ පෘථිවියේ භ්‍රමණය නොසළකා හැරියොත් මෙවන් ප්‍රක්ෂිප්තයක යම් වේගයකදී උපරිම දුර ළඟා වන්නේ අංශක 45 කෝණයකින් එම විසි කිරීම සිදු වූ විටයි​. සිරස් අක්ෂය සමඟ සාදන කෝණය අඩු වත්ම එය ගමන් කරන උස වැඩිවී දුර අඩු වනවා. මෙය හෙල්ල ආදී විසිකිරීමේ ක්‍රීඩාවලදී ද බලපානවා).

ඇමරිකාවට තර්ජනය​ක්

උතුරු කොරියානුවන්ට ICBMs නිෂ්පාදනය කිරීමට හැකි වීමත් සමඟ ඇමරිකානු භූමියේ ඇතැම් ප්‍රදේශවලට පහර දීමේ හැකියාවක් ඔවුනට ඇති බවට සැක කළ හැකියි. ඒ සමඟම ඇමරිකාවට එල්ල වන තර්ජනය ඉහළ යනවා. මේ පිළිබඳව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධානය යොමු කරනු අැති බව කිසිදු සැකයක් නැහැ.

මෙම නවතම මිසයිල අත්හදා බැලීම පිළිබඳව දැනගත් විට ට්විටර් පණිවිඩයක් ලියමින් ට්‍රම්ප් අසා සිටියේ “මේ පුද්ගලයාට තමන් ගේ ජීවිතේ මීට වඩා වටිනා දේකට යොදවන්න බැරිද​?” යනුවෙන්. ඔහු එසේ ප්‍රශ්න කළේ උතුරු කොරියානු නායක කිම් ජොංග්-අන් පිළිබඳවයි.

කිම් ජොංග්-අන් හ්වසොං-14 ගුවන්ගත වීම නිරීක්ෂණය කරයි (KCNA)

උතුරු කොරියානුවන් 2016 මුල සිට මිසයිල සහ න්‍යෂ්ඨික අත්හදා බැලීම් වේගවත් කොට තිබෙනවා. මේ වනතුරු ජාත්‍යන්තරය උතුරු කොරියානුවන්ගේ මෙම ක්‍රියා නවත්වා දැමීමට සමත් වී නැහැ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහස නම් උතුරු කොරියානුවන්ගේ ප්‍රකෝපකාරී ක්‍රියාකලාපය පාලනය කිරීමට චීනය මීට වඩා වැඩි මැදිහත්වීමක් දැක්විය යුතු බවයි. උතුරු කොරියාව සමඟ දේශපාලනික මෙන්ම වෙළෙඳ සබඳතා පවත්වන ප්‍රධාන රටක් වන්නේ චීනයයි. උතුරු කොරියාව සම්පූර්ණයෙන් හුදෙකලා වූ රටක් නොවීමට ප්‍රධාන හේතුවන් වන්නේ චීනය සමඟ ඇති සබඳතායි.

කෙසේ නමුත් උතුරු කොරියාව සමඟ සාකච්ඡා කිරීමෙන් පලක් නැති බවත්, ඉක්මනින් යුධමය ක්‍රියාදාමයකට යා යුතු බවත් ඇමරිකාවේ හිටපු ආරක්ෂක ලේකම් විලියම් ජේ. පෙරී සහ හිටපු රාජ්‍ය ලේකම් ජෝර්ජ් පී. ෂුල්ට්ස් ඇතුලු සය දෙනෙකු විසින් පසුගිය දා ට්‍රම්ප් වෙත යවන ලද ලිපියක් මගින් යෝජනා කර තිබුණා. මේ අනුව යුධමය විසඳුමක් වෙනුවෙන් නැගෙන හඬ වඩා ප්‍රබල වීමේ ඉඩක් ඇති බවට ලකුණු මතු වෙමින් පවතිනවා.

කවරයේ රූපය : හ්වසොං – 14 මිසයිලය ගුවන්ගත වීම (KCNA)

මූලාශ්‍ර:​

  1. What is an intercontinental ballistic missile?, DW, July 4, 2017
  2. US confirms North Korea tested ICBM, DW, July 5, 2017
  3. What It Means If North Korea Has ICBM Capability, NPR, July 4, 2017

Related Articles