Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කසකස්ථාන ජනාධිපතිවරණයට එරෙහි විරෝධතා

කසකස්ථානයේ වසර තිහකට ආසන්න කාලයක් ජනාධිපති ධූරය දැරූ ජනාධිපතිවරයා පසුගිය මාර්තු මාසයේ දී සිය ධූරයෙන් ඉල්ලා අස් වෙනවා. නූර්සුල්තාන් නසර්බයේව් නම් වූ ඔහු සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු නිර්මාණය වූ ස්වාධීන කසකස්ථාන රාජ්‍යයේ පළමු ජනාධිපතිවරයා යි. 1991 වසරේ සිට 2019 වසරේ මාර්තු මාසය දක්වා වසර ගණනාවක් එරට ජනාධිපති ධූරය දැරූ නූර්සුල්තාන් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම රටේ ජනතාව කිසි ලෙසකින් අපේක්ෂා නොකළ එකක් බව සඳහන්.

වැඩිදුරටත් කියවන්න – නව පරම්පරාව වෙනුවෙන් තනතුර අතහැරි ජනාධිපතිවරයා – නූර්සුල්තාන්

පසුගිය මාර්තුවේ දී වසර 30කට අධික කාලයක් එරට නායකයා ලෙස කටයුතු කළ නූර්සුල්තාන් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසුව එරට වැඩ බලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ නසාර්බයේෆ්ගේ අනුප්‍රාප්තිකයා වන කසීම් යොමාට් තොකායේෆ්. ඔහු කසකස්ථානයේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස මාස තුනක් පමණ කටයුතු කරනවා.

නූර්සුල්තාන් ඉදිරිපත් නොවූ ජනාධිපතිවරණයක් වසර 30කට පසු කසකස්ථානයේ දී පැවැත්වෙන්නේ 2019 වසරේ ජූනි 9 වන දින යි. ඒ සඳහා කසීම් යොමාට් තොකායේෆ් ඇතුළු අපේක්ෂකයන් 7 දෙනෙක් ඉදිරිපත් වෙනවා.

කසකස්ථාන ජනාධිපතිවරණය

එරට වැඩබලන ජනාධිපතිවරයා (www.xinhuanet.com)

මීට ප්‍රථම කසකස්ථානයේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2015 වසරේ දී යි. ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුනේ 2020 වසරේ දී යි. නමුත් හදිසියේම 2019 වසරේ මාර්තු මාසයේ දී හිටපු ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම හේතුවෙන් එරට සෙනට් සභාවේ සභාපතිවරයා වූ කසීම් යොමාට් තොකායේෆ් වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්වෙනවා.

ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරත්වය මඟහැරීම සඳහා 2020 පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණය 2019 වසරේ ජූනි මාසයේ පැවැත්වීමට වැඩබලන ජනාධිපතිවරයා තීරණය කරනවා. නමුත් එය දේශපාලන ප්‍රයෝගයක් බවයි විපක්ෂයේ ආධාරකරුවන් පවසන්නේ.

කසකස්ථානයේ ජනාධිපතිවරණය අදියර දෙකකින් පැවැත්වෙන අතර පළමු අදියරේ දී වැඩිම ජන්ද ප්‍රමාණයක් හිමිකරගන්නා අපේක්ෂකයන් දෙදෙනා තෝරා ගන්නවා. දෙවන අදියරේ දී තරගය පැවැත්වෙන්නේ පළමු වටයේ දී වැඩිම ජන්ද ප්‍රමාණයක් හිමිකරගත් අපේක්ෂකයන් දෙදෙනා අතර යි.

ජනාධිපතිවරණයට එරෙහි විරෝධතා

විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම (news4europe)

පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබා ගැනීමට වැඩි ඉඩ කඩක් තිබෙන්නේ වැඩ බලන ජනාධිපතිවරයාට බව බොහෝ විචාරකයන්ගේ මතය යි. මුළු ජන්ද ප්‍රමාණයෙන් 70%කට වඩා වැඩි ජන්ද ප්‍රතිශතයක් ඔහු විසින් හිමිකරනු ඇතැයි මත පල වෙනවා.

තවත් බොහෝ දේශපාලන විචාරකයන්ගේ මතය වී ඇත්තේ කසකස්ථානයේ පවතින රජය  ප්‍රජාතන්ත්‍රවාදයට එතරම් බර නැති බැවින් තාවකාලික ජනාධිපතිවරයා, මැතිවරණයෙන් අනිවාර්යයෙන්ම ජය ගනු ඇති බව යි.

ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව තමන් කිසිඳු ආකාරයට සෑහීමකට පත් නොවෙන බව ප්‍රකාශ කරමින් විපක්ෂයේ ක්‍රියාකාරිකයන් රැසක් නුර්සුල්තාන් නුවර (මෙය කසකස්ථානයේ අගනුවර වන අතර පෙරදී එය හදුන්වන ලද්දේ අස්ථානා නුවර නමින්) විරෝධතාවයක නිරත වෙනවා. ඔවුන් පවසන්නේ මැතිවරණ ක්‍රියාවලිය විවෘත හා ස්වාධීන නොවූ බව යි. එය හිටපු වැඩබලන ජනාධිපතිවරයාට පක්ෂග්‍රාහීව පැවැත්වෙන මැතිවරණයක් බව ඔවුන් විසින් වැඩි දුරටත් දක්වා සිටිනවා.

පොලීසිය හා විරෝධතාකරුවන් අතර ගැටුම් (news4europe)

ඔවුන් බොහෝ පිරිසක් මැතිවරණයට පෙර සිටම විරෝධතාවල නිරත වූ අතර අසාධාරණව පැවැත්වෙන මැතිවරණය තමන් විසින් වර්ජනය කරන බවත් ඔවුන් ප්‍රකාශ කරනවා. තව දුරටත් තමන්ට ඒකාධිපති පාලනයක් අවශ්‍ය නොවන බව පවසමින් කුඩා කණ්ඩායම් රැසක් නුර්සුල්තාන් නුවර විරෝධතාවල නිරතවෙන අයුරු ද දකින්න ලැබෙනවා. එසේ පවසන බොහෝ දෙනා 1990 වසරෙන් පසුව ඉපදුනු තරුණ තරුණියන් වීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකියි. තමන් තම ජීවිත කාලය පුරාවටම දැක තිබෙන්නේ එක් ජනාධිපතිවරයෙක් බවත් තවදුරටත් එසේ වීම අවශ්‍ය නොවන බවත් ඔවුන් පවසනවා.

මේ ආකාරයට විරෝධතාවල නිරත වූ කසකස්ථාන වැසියන් සිය ගණනක් මේ වන විට පොලිස් අත්අඩංගුවට පත් වී තිබෙනවා.

වැඩබලන ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය

අත්අඩංගුවට ගැනීම් (CBC.ca)

ජනාධිපතිවරණය විවෘතව හා විනිවිදභාවයකින් යුතුව පැවැත්වෙන බව මැතිවරණයට පෙර සිටම ප්‍රකාශ කරන වැඩබලන ජනාධිපතිවරයා මෙම මැතිවරණය කසකස්තානයේ නවමු ගමනක සන්ධිස්ථානයක් වනු ඇති බවත් ප්‍රකාශ කරනවා.

මැතිවරණයේ නිල ප්‍රතිඵල ජූනි 10 වන දා අවසන් වීමට ප්‍රථම ලබා දීමට ද කටයුතු සුදානම්ව ඇති බව ඔහු විසින් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

කවරයේ පින්තූරය - The Times

මූලාශ්‍රයයන් -

bbc.com

eurasianet.org

reuters.com

Related Articles