Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මාලදිවයින් ජනාධිපති සහ ශ්‍රේෂ්ඨාධිකරණය ගැටෙති

මාලදිවයින් ජනාධිපති සහ එරට ශ්‍රේෂ්ඨාධිකරණය අතර මතු වූ ගැටුමත්, එරට යුධ හමුදාව විසින් පාර්ලිමේන්තුව වටලෑමත් මධ්‍යයේ පෙබරවාරි 4 වනදා වන විට මාලදිවයින හමුදා පාලනයක් බිහි වීමේ අවදානමට පත් වුණා.

මේ අතර ඉන්දියාවේ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කරන පරිදි මෙම ගැටුමේ දී තම ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට උපකාර කරන ලෙස මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉන්දියාවෙන් සහ වෙනත් විදෙස් රටවලින් ඉල්ලීමක් කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ ජනාධිපති අබ්දුල්ලා යමීන්  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ව සිය ධුරවලින් ඉවත් කිරීමට සූදානම් වන බවයි.

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම

දේශපාලන සිරකරුවන් නව දෙනෙකු නිදහස් කරන ලෙස පෙබරවාරි 2 වන සිකුරාදා මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමත් සමඟ මෙම අර්බුදය ඇති වුණා. මෙම නව දෙනා අතර හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ද සිටිනවා. ඔවුනට එරෙහිව ත්‍රස්තවාදයට අනුබල දීම​, බෝම්බ ප්‍රහාර​, වංචා සහ දූෂණ චෝදනා වනවා. නමුත් විපක්ෂය සඳහන් කරන්නේ මේවා රජය විසින් මවන ලද චෝදනා බවයි.

හිටපු ජනාධිපති නෂීඩ් මීට පෙර ත්‍රස්තවාදය සහ දූෂණ චෝදනා යටතේ දහතුන් වසරකට බන්ධනාගාර ගත කළ අතර, පසුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාලදිවයිනෙන් පිටවීම පිණිස ඔහුට අවසර දීමට යමීන් රජයට සිදු වුණා. ඒ, ජාත්‍යන්තරයෙන් එල්ල වූ දැඩි බලපෑම් හමුවේ යි. පසුගිය පෙබරවාරි 2 වනදා නෂීඩ්ට එරෙහිව වූ නඩු තීන්දු ද​ ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

අර්බුදය උත්සන්න වූයේ මාලදිවයින් රජය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාරව දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම මතයි.

ශ්‍රේෂ්ඨාධිකරණයට එරෙහිව නීතිපති

පෙබරවාරි 4 වනදා උදෑසන මාලදිවයින් නීතිපති මොහොමඩ් අනිල් රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ත්‍රස්තවාදී චෝදනාවලට වරදකරුවන් වූවන් නිදහස් කිරීම ගැටළුවක් බව ප්‍රකාශ කළා. ඔහු මෙම කතාව කරන ලද්දේ මාලදිවයින් සන්නද්ධ හමුදා ප්‍රධානීන් පිරිවරාගෙනයි.

මේ අතර යමීන් බලයෙන් පහ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් උත්සාහ කරන බවට ද නීතිපතිවරයා චෝදනා කළා.

හමුදාව විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටලෑම​ (Maldives Independent)

මේ අතර හමුදා ප්‍රධානී අහමඩ් ෂියාම් සඳහන් කළේ මාලදිවයින අස්ථාවර වීමට ඉඩ නොතබන බවත් තමන් නීතිපතිවරයාගේ නියෝග පිළිපදින බවත්. ඉන් සුළු වේලාවකට පසු යුධ හමුදාව විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටලනු ලැබුණා.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පසු යළි සිය රට බලා පැමිණි විපක්ෂ ක්‍රියාකාරීන් දෙදෙනකු අත් අඩංගුවට ගැනීමට ද රජය කටයුතු කළා.

විපක්ෂ මන්ත්‍රීන් 12 දෙනකු ධූරයෙන් පහ කිරීමට කළින් දී තිබූ අධිකරණ නියෝගයක් ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බල රහිත කරන ලද හෙයින් මේ වනවිට පාර්ලිමේන්තුවේ බහුතරය විපක්ෂයට හිමිව තිබෙනවා.

පෙබරවාරි 4 වනදා නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ දේශපාලන සිරකරුවන් නව දෙනා නිදහස් කිරීමට එරෙහි කිසිදු නෛතික හේතුවක් දිස් නොවන බව යි. නමුත් ජනාධිපති යමීන් බලයෙන් පහ කිරීමට තමන් උත්සාහ කරන බවට කරන ලද චෝදනාවට එය පිළිතුරු දුන්නේ නැහැ.

මාලදිවයිනේ දේශපාලන අර්බුදය දෙස මේ වනවිට කලාපීය රටවල් විමසිල්ලෙන් බලා සිටිනවා. ඉදිරියේදී එරට කුමක් සිදු වේද යන්න කලාපීය රටවල්වල ක්‍රියාකාරීත්වය මත ද වෙනස් විය හැකියි.

Cover Image: සිය ආරක්ෂකයින් පිරිවරාගත් මාලදිවයින් ජනාධිපති පෙබරවාරි 3 වනදා (AP)

Related Articles