අගෝස්තු 29 වනදා උදෑසන උතුරු කොරියාව විසින් ජපන් දූපත්වලට ඉහළින් බැලිස්ටික් මිසයිලයක් එල්ල කිරීමත් සමඟ නැගෙනහිර ආසියාව බෙහෙවින් උණුසුම් තත්ත්වයකට පත් වුණා.
මෙම උණුසුම් තත්ත්වය තවත් වර්ධනය වුණේ අගෝස්තු 30 වනදා උතුරු කොරියාව විසින් කරන ලද ප්‍රකාශයකින්. ඇමරිකාව, ජපානය සහ දකුණු කොරියාව ආදී රටවල් ජපානයට ඉහළින් මිසයිලයක් යැවීමට එරෙහිව විවිධ ප්‍රතික්‍රියා දක්වන අතරවාරයේදී, උතුරු කොරියාව සඳහන් කළේ එම අත්හදා බැලීම ඇමරිකානු පාලන ප්‍රදේශයක් වන ගුවාම් දූපත අසළට මිසයිලයක් එල්ල කිරීම සඳහා කරන ලද පෙරහුරුවක් බවයි.
අගෝස්තු 29 වනදා අත්හදා බලන ලද මිසයිලය ජපානයේ උතුරුදිග හොක්කයිදෝ දූපතට ඉහළින් පියාසර කොට ජපන් වෙරළෙන් කිලෝමීටර 1,180 ක් පමණ ඈත මුහුදට පතිත වුණා. ඊට පෙර එම මිසයිලය කැබලි තුනකට කැඩී ගියා. එහෙයින් එය සාර්ථක ද අසාර්ථක ද යන්න පිළිබඳ පවතින්නේ විවාදයක්. උතුරු කොරියාවේ වේලාවෙන් උදෑසන 5.28 ට දියත් කෙරුණ මෙම මිසයිලය විනාඩි 15 ක් තිස්සේ පියාසර කර කිලෝ මීටර 2700 ක දුරක් ගමන් කර මුහුදට වැටුණා. එමෙන්ම මිසයිලය ළඟාවූ උපරිම උස කිලෝ මීටර 550ක් වුණා.
කිම් ජොංග්-අන් බලයට පත්වීමෙන් පසු විවිධ අවස්ථාවල මිසයිල අත්හදා බැලීම් උතුරු කොරියාව විසින් සිදු කරන ලද අතර මෑතකදී එවන් අත්හදා බැලීම් සංඛ්‍යාව බෙහෙවින් ඉහළ ගියා. නමුත් මින්පෙර කිසිදු අත්හදා බැලීමකදී ජපාන ගොඩබිමට ඉහළින් උතුරු කොරියානු බැලිස්ටික් මිසයිල පියාසර කෙරුණේ නැහැ.
මිසයිලයට පහර නොදුන්නේ ඇයි?
මෙම මිසයිලය ගුවන් ගත වූ සැණින්ම පාහේ එය ඇමරිකානුවන් විසින් ක්‍රියාත්මක කරන අධෝරක්ත අනතුරු ඇඟවීමේ චන්ද්‍රිකාවක් මගින් නිරීක්ෂණය කරන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. මේ සමඟම ජපානයේ ස්වයංක්‍රීය J-Alert ක්‍රමවේදය ඔස්සේ ජංගම දුරකථන, රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා හරහා මෙම මිසයිලය පිළිබඳ ජනතාවට අනතුරු අඟවනු ලැබුවා. තම රටට ඉහළ අභාවකාශයෙන් එය ඇදී යන අයුරු ජපානය විසින් නිරීක්ෂණය කළද ජපන් ස්ව ආරක්ෂක බලකා එයට පහර දුන්නේ නැහැ. මිසයිලයේ වේගය සහ එය ගමන් කළ උස මීට හේතු වුණා.
ජපන් ආරක්ෂක අමාත්‍ය ඉට්සුනෝරි ඔනොදෙරා සඳහන් කළේ ජපානයෙහි ඉලක්කයක් කරා මිසයිලය එල්ල නොවන බව පැහැදිලි වූ නිසා ඊට පහර නොදුන් බවයි.
තෝකියෝවේ නෙක්සියල් පර්යේෂණ සමාගමේ ප්‍රධානී ලාන්ස් ගැට්ලිං, ජර්මනියේ DW පුවත් සේවය හා සඳහන් කළේ ඒජිස් මිසයිල ආරක්ෂණ පද්ධතියේ SM-3 මිසයිලයකට ළඟා විය හැකි උපරිම උස සීමාවෙහි පමණ උතුරු කොරියානු මිසයිලය ගමන් කළ හෙයින් එසේ ප්‍රහාරයක් එල්ල කළ ද එය මග හැරීමට වූ අවදානම සැළකිය යුතු වන බවයි.
මේ අතර එම මිසයිලය ජපානයට ඉහළින් ඇදී ගියේ ජපන් ගුවන් ප්‍රදේශයට එපිට අභ්‍යාවකාශයෙන් බවත් එම නිසා එවැනි ප්‍රහාරයක් එල්ල කළ ද එහි නෛතිකභාවය පිළිබඳ ප්‍රශ්න කිරීමට හැකියාවක් ඇති බව ඔහු පෙන්වා දෙනවා.
රටක අනන්‍ය ගුවන් ප්‍රදේශය පොළෝ මට්ටමෙන් කෙතරම් උසකින් පවතීද යන කරුණ පිළිබඳ මෙතෙක් නිශ්චිත අන්තර්ජාතික එකඟතාවක් නැහැ. නමුත් එසේ කියැවෙන උපරිම උස වන්නේ කිලෝමීටර 160 ක්. ඇමරිකා එක්සත් ජනපදය විසින් කිලෝ මීටර 50 ක උස සළකනු ලබන අතර අන්තර්ජාතික ගුවන් ක්‍රීඩා ෆෙඩරේශනය කිලෝ මීටර 100 ක උසක් සළකනවා. මෙම උසට වඩා වැඩි උස අභ්‍යාවකාශය ලෙස සළකනු ලබන අතර එය කිසිදු රටකට අයත් වන්නේ නැහැ.
කලාපීය ප්‍රතික්‍රියා
මේ හේතුවෙන් ජපන් අගමැති ෂින්සෝ අබේ ඉතාම දැඩි ලෙස උතුරු කොරියාවේ මෙම ක්‍රියාව හෙළා දුටුවා. මෙය කලාපයේ ආරක්ෂාව අනතුරේ හෙලන, මින් පෙර නොවූ විරූ ආකාරයේ ක්‍රියාවක් බව ඔහු සඳහන් කළා. මේ අතර තමන් මේ පිළිබඳව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟද සාකච්ඡා කළ බවත් වඩා ප්‍රබල ලෙස මේ කරුණ පිළිබඳව ප්‍රතික්‍රියා දැක්විය යුතු බව ට්‍රම්ප්ගේ ද මතය වූ බව අබේ ප්‍රකාශ කළා.
මෙම මිසයිල අත්හදා බැලීම පිළිබඳ ජපන් සිවිල් වැසියන් සිටින්නේ යම් තැතිගැන්මක් ඇතිවයි. යම් හෙයකින් එම මිසයිලය කැඩී ගොඩබිමකට සුන්බුන් පතිත වී නම් සිදුවිය හැකිව තිබූ අනතුරු පිළිබඳ ඔවුන් බියව සිටිනවා. එමෙන්ම වරක් කළ දෙය යළි කරන්නට ද උතුරු කොරියාව පෙළඹෙනු ඇතැයි ඔවුන් සැක පළ කරනවා.
මේ අතර දකුණු කොරියානු බලධාරීන් මෙම මිසයිල අත් හදා බැලීමට පිළිතුරු දුන්නේ ගුවන් හමුදා බෝම්බ හෙළීමේ පෙරහුරුවක් පැවැත්වීමෙන්. මේ අනුව F-15K ප්‍රහාරක යානා හතරක් විසින් කිලෝග්‍රෑම් එකක් බරැති MK-84 බෝම්බ අටක් වෙඩි තැබීම් පුහුණු වන පිටියක වූ ඉලක්ක වෙත හෙලනු ලැබුවා. දකුණු කොරියාව කියා සිටියේ අවශ්‍ය නම් උතුරු කොරියානු නායකත්වය සිටින ස්ථානයන් හෝ වෙනත් ඉලක්කයන් නිවැරදිව ලබා ගැනීමට තමන්ට ඇති හැකියාව එයින් පෙන්නුම් කිරීමට අවශ්‍ය වූ බවයි.
ගුවාම්වලට ඇති තර්ජනය
අගෝස්තු මාසය මුලදී උතුරු කොරියාව ප්‍රකාශ කළේ ඇමරිකාවට අයත් පැසිෆික් සාගර දිවයිනක් වන ගුවාම් ප්‍රදේශය අසළට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව තමන් සොයා බලමින් සිටින බවයි. අගෝස්තු 29 වනදා අත්හදා බැලීමට දින කිහිපයකට පෙර ඔවුන් කෙටි දුර මිසයිල තුනක් අත් හදා බලන ලද නමුත් එහි අරමුණ පැහැදිලි වූයේ නැහැ. ගුවාම් දූපත පිළිබඳ යළි ඔවුන් සඳහන් කළේ අගෝස්තු 30 වනදා යි.
ගුවාම් දූපත වැදගත් වන්නේ එහි ඇමරිකානු ගුවන් සහ නාවික කඳවුරු දෙකක් පිහිටා ඇති හෙයින්. උතුරු කොරියාවේ සිට සැතපුම් 2,200 ක් ගිණිකොණ දෙසින් පිහිටි ගුවාම් දූපතෙහි ඇන්ඩර්සන් ගුවන් හමුදා කඳවුරේ සිට උතුරු කොරියාවට පහර දීම සඳහා ගුවන් යානා එවීමට හැකියාව තිබෙනවා. ඇන්ඩර්සන් ගුවන් කඳවුරේ (Andersen Air Force Base) සහ ගුවාම් නාවික කඳවුරේ (Naval Base Guam) සිටින සමස්ථ ඇමරිකානු සෙබලුන් සංඛ්‍යාව 6,000 ක් වනවා. ගුවාම් හි ජනගහනය 163,000 ක් වනවා.
16 වන සියවසෙහි සිට ස්පාඤ්ඤ පාලනයට යටත්ව තිබූ ගුවාම් දූපත 1898 ස්පාඤ්ඤ-ඇමරිකන් යුද්ධයෙන් පසු ඇමරිකානුවන් විසින් අත් කරගනු ලැබුණා. දෙවන ලෝක යුධ සමයේ වසර දෙකහමාරක් එය ජපන් පාලනය යටතේ පැවතුණා. ගුවාම් ඇමරිකා එක්සත් ජනපදයට අයත් පාලන ප්‍රදේශයක් වන අතර එහි වැසියන් ඇමරිකානු පුරවැසියන් වනවා. මේ හේතුවෙන් ගුවාම්වලට පහර දීම යනු ඇමරිකාවට පහර දීමක් වනවා.
අගෝස්තු 29 වනදා මිසයිල අත්හදා බැලීම පිළිබඳ අදහස් දක්වමින් ජපන් ආරක්ෂක ඇමති ඉට්සුනෝරි ඔනොදෙරා ප්‍රකාශ කළේ එම මිසයිලයේ විදුම් පරාසය කිලෝමීටර 5000 ක් හෙවත් සැතපුම් 3,107 ක් ලෙස දිස්වන බවයි. එනම් පහසුවෙන්ම එයට ගුවාම් වෙත ළඟා වීමේ හැකියාව තිබෙනවා.
එදින අත්හදා බලන ලද හ්වසොං-12 (Hwasong-12) වර්ගයේ මිසයිලයක සම්පූර්ණ විදුම් පරාසය කිලෝමීටර 4,500 ක් වන බව විශ්වාස කෙරෙනවා. මෙම පරාසය අනුව එයට පහසුවෙන්ම ගුවාම් කරා ළඟා විය හැකියි. කෙසේ නමුත් බැලිස්ටික් මිසයිලයක් බලාපොරොත්තු වන ඉලක්කය වෙතම නිවැරදිව එල්ල කිරීමට උතුරු කොරියානුවන් සතු හැකියාව පිළිබඳ තවම ප්‍රමාණවත් ලෙස පැහැදිලි වී නැහැ.
මීට පෙර 2013 දී උතුරු කොරියාව විසින් ගුවාම් වෙත පහර දෙන බවට තර්ජනය කෙරුණා. නමුත් එම සමයෙහි ඔවුනගේ මිසයිල පද්ධතිය මෙතරම් දියුණු තත්ත්වයක පැවතුණේ නැති බවත් මෙහිදී සළකා බැලීම වැදගත් වනවා.
මේ අතර අගෝස්තු 29 වනදා කළ අත්හදා බැලීම පිළිබඳ උතුරු කොරියානු නායක කිම් ජොංග්-අන් බෙහෙවින් පැහැදී සිටින බවයි.
Cover Image: අගෝස්තු 29 වනදා දියත් කරන ලද උතුරු කොරියානු මිසයිලය (Rodong Sinmun)