Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පුත්‍රයාට බලය පැවරීමට මඟ සදන තජිකිස්ථානයේ ජනාධිපති

මෑතක දී ලංකාවේ ජනාධිපතිවරයා තජිකිස්ථානයේ සංචාරය කළ හෙයින් එම රට පිළිබඳ යම් අවධානයක් අප අතරේ ද ඇති වුණා. තජිකිස්ථානය යනු පැරණි සෝවියට් දේශයේ වූ සමූහාණ්ඩු 15න් එකක්. 1991 දී නිදහස ලද එම රට 1992 සිටම පාලනය කරන්නේ එමොමාලි රහ්මොන් විසින්. විපක්ෂ කණ්ඩායම් සඳහා ඉඩකඩ ලබා නොදෙන අයකු ලෙස ප්‍රකට රහ්මොන් මේ වන විට සිය පුත්‍රයාට බලයට පැමිණීමේ මාර්ගය විවර කරමින් සිටිනවා. මේ වෙද්දී තජිකිස්ථානය පිළිබඳ සාකච්ඡා වන ප්‍රධාන කරුණක් වන්නේ 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පියා ද පුතා ද යන ප්‍රශ්නය යි.

එමොමාලි ෂරිපොවිච් රහ්මනොෆ් උපත ලැබුවේ 1952 දී තජිකිස්ථානයේ ධන්ගාරා නම් ප්‍රදේශයේ යි. ඔහු සිය නම එමොමාලි රහ්මොන් ලෙස වෙනස් කළේ 2007 දී යි. එමෙන්ම එහිදී ඔහු සිය දෙවන නම​, එනම් පියාගේ නම හැඟවෙන නම ඉවත් කළා. ඔහු සඳහන් කළේ තජිකිස්ථාන සංස්කෘතියට ගැලපෙන ලෙස ඔහු මෙම වෙනස කළ බව යි. ඔහුගේ උපන් නාමය දී තිබුණේ රුසියානු නම් තැබීමේ ක්‍රමය අනුගමනය කරමින්.

දේශපාලන කටයුතු

රහ්මොන් තරුණ සමයේ කලක් සෝවියට් නාවික හමුදාවේ සේවය කළා. පසුව නැවත සිය ගම් පළාතට​ පැමිණි ඔහු කලක් විදුලි කාර්මික ශිල්පියෙකු ලෙස සේවය කළා. ප්‍රදේශයේ සමූහ ගොවිපලෙහි සේවය කිරීමට පටන් ගත් ඔහු කල් යාමේ දී ප්‍රදේශයේ වැදගත් නිලධාරියකු බවට පත් වුණා. ඔහු සමූහ ගොවිපලේ සභාපති බවට ද පත් වුණ අතර 1990 දී ඔහු තජික් සෝවියට් සමූහාණ්ඩුවේ උත්තරීතර සෝවියට් සභාවට තේරී පත් වුණා.

සෝවියට් දේශය බිඳ වැටුණ අවස්ථාවේ තජිකිස්ථානය අවුල් සහගත තත්ත්වයකට පත් වුණා. වසර කිහිපයක් යනතුරු එරට සිවිල් යුධ තත්ත්වයක් පැවතුණා. මුල් දිනවල මතුවූ අස්ථාවර තත්ත්වය අතරතුර 1992 නොවැම්බරයේ දී රහ්මොන් එරට ව්‍යවස්ථාදායකයේ සභාපති බවට පත් වුණා. ඒ අනුව​ එම අවස්ථාවේ රටේ වැඩබලන ජනාධිපති වූයේ ද ඔහු යි.

1994 දී නව ව්‍යවස්ථාවක් සම්මත කරගත් අතර ඒ අනුව රහ්මොන් ජනාධිපති තනතුරට පත් වුණා. ඔහුගේ පාලන සමය තුළ දිගටම විපක්ෂ කණ්ඩායම් මර්ධනය කිරීම සිදු වුණා. කලට වේලාවට මැතිවරණ පැවැත්වූ නමුත් එම මැතිවරණ නිදහස් හා ස්වාධීන මැතිවරණ ලෙස සැලකීමට හැකියාවක් නැහැ.

තජිකිස්ථාන ජනාධිපති නිල නිවස (Wikimedia Commons)

තජිකිස්ථාන ව්‍යවස්ථාව අනුව මුල දී ජනාධිපතිවරයාට ධුරය දැරීමට හැකියාව තිබුණේ වසර පහ බැගින් දෙවතාවක් පමණ යි. ඉන්පසු ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් ධූර කාලය වසර හත දක්වා දික් කරනු ලැබුණ අතර පසුව තවත් දෙවතාවක් ජනාධිපති ධුරය දැරීමට අවස්ථාව ලැබෙන ලෙස ව්‍යවස්ථාව වෙනස් කරනු ලැබුණා. ඒ ජනමත විචාරණයකින් ද පසුව යි.

නැවතත් විටින් විට ව්‍යවස්ථාව වෙනස් කරන ලද අතර ඒ අනුව රහ්මොන්ට කැමති වාර ගණනක් පත්වීමේ අවස්ථාව ලබා දීම​, ජනාධිපති ලෙස පත්වීමට අවම වයස් සීමාව වුරුදු 35 සිට 30 තෙක් අඩු කිරීම ආදී වෙනස්කම් සිදුකරනු ලැබුණා. මේ අවසන් වෙනස සිදුකරන ලද්දේ ජනාධිපතිවරයාගේ පුත්‍රයකු වන රස්තම් එමොමාලි වෙනුවෙන් බව යි සාමාන්‍යයෙන් ප්‍රකාශ කෙරෙන්නේ. මේ අතර, 2015 දී ඔහුට පාර්ලිමේන්තුව විසින් ජාතියේ නායකයා යන විරුදාවලිය ලබා දෙනු ලැබුණා.

රස්තම් එමොමාලි

එමොමාලි රහ්මොන්ට දරුවන් නව දෙනකු සිටින අතර ඉන් හත් දෙනෙකු දියණියන් වනවා. එක් දියණියක් සහ එක් පුතෙක් දේශපාලනයට පිවිස තිබෙනවා. එයින් රස්තම් එමොමාලි නම් පුත්‍රයා මීළඟ තජිකිස්ථාන ජනාධිපති ලෙස පත් වේයැ යි සාමන්‍යයෙන් විශ්වාස කෙරෙනවා.

1987 දෙසැම්බර් මස 19 වන දා උපන් රස්තම් එමොමාලි කලක් බෙහෙවින් ප්‍රකටව සිටියේ පාපන්දු ක්‍රීඩාව සහ මෝටර් රථ ධාවනය යන ඔහුගේ ප්‍රධාන විනෝදාංශ හේතුවෙන්. ඔහු 2007 දී නව පාපන්දු ක්‍රීඩා සමාජයක් පිහිටුවා ගත්තා. එහි කණ්ඩායම් නායකයා මෙන්ම ප්‍රහාරක ක්‍රීඩකයකු ලෙස 2011 තෙක් ඔහු ක්‍රීඩා කළා. එකල තජික් පාපන්දු ලීගය ඔවුන් විසින් කිහිප වතාවක් දිනාගත්තා. ඊට පක්ෂග්‍රාහී විනිසුරු තීරණ බොහෝ සේ උපකාර වූ බව සඳහන්. 2012 දී රස්තම් එමොමාලි තජික් පාපන්දු ෆෙඩරේශනයේ සභාපති ලෙස පත් වූ අතර ඔහු එවිට සිය ක්‍රීඩා කටයුතු නවතා දැමුවා.

රස්තම් එමොමාලි (RFE/RL)

රස්තම් එමොමාලි රජයේ විවිධ තනතුරුවලට ද පත් කරනු ලැබුණා. ලෝක වෙළෙඳ සංවිධානය සමග සහයෝගීතාව පැවැත්වීම සඳහා වන කමිටුවේ ප්‍රධාන විශේෂඥයකු ලෙස ද වෙනත් විවිධ කමිටුවල ද කටයුතු කළ ඔහු තජිකිස්ථාන රේගුවේ හොර බඩු සම්බන්ධ අංශ ප්‍රධානියා ලෙස ද පත් කෙරුණා. පසු කාලීනව රේගුවේ ප්‍රධානියා ලෙස ඔහුට උසස්වීමක් ලැබුණා. 2017 වසරේ දී රස්තම් එමොමාලි දූෂන්බේ අගනුවර නගරාධිපති ලෙස පත් කෙරුණා.

ඕනෑම වාර ගණනක් ජනාධිපති ලෙස පත්වීම සඳහා අවසරය ලැබී ඇත්තේ එමොමාලි රහ්මොන්ට පමණ යි. ඒ අනුව යම් ලෙසකින් ඔහුගේ පුත්‍රයා ජනාධිපතිවරණයට තරග කළහොත් ඔහුට දෙවතාවේ සීමාව වලංගු වනු ඇති. කෙසේ නමුත් එරට පාර්ලිමේන්තුවේ බලය රජය සතුවන හෙයින් ද විපක්ෂ දේශපාලන පක්ෂ දුර්වල හෙයින් ද අවශ්‍ය විටෙක මෙම නීතිය වෙනස් කරගැනීමට රස්තම් එමොමාලිට හැකියාව තිබෙනවා.

මෙම වසරේ මාර්තු මාසයේ දී විපක්ෂ ක්‍රියාකාරිකයකු වන ෂරොෆිදීන් ගදොයෙෆ් චෝදනා කළේ තමන් රඳවාගෙන ප්‍රශ්න කළ රජයේ නිලධාරීන් කිහිප දෙනකු, 2020 ජනාධිපතිවරණයේ දී රස්තම් එමොමාලිට සහය දක්වන ලෙස, තමන්ට බල කළ බව යි.

කෙසේ වෙතත්, රස්තම් එමොමාලි 2020 දී තරග කරන්නේද යන්න තීරණය වනු ඇත්තේ ඔහුගේ පියාගේ සිතැඟි අනුවයි. ඔහු නැවත ඉදිරිපත් වේ ද, නැතහොත් තම පුත්‍රයා ඉදිරිපත් කරනු ඇත්ද යන්න තවමත් පැහැදිලි නැහැ.

Cover Image: එමොමාලි රහ්මොන් (www.kremlin.ru)

Related Articles