Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නවසීලන්ත මහා මැතිවරණයෙන් කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක්

පසුගිය සෙනසුරාදා නවසීලන්තයේ 53 වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරා පත්කරගැනීමේ මහා මැතිවරණය පැවැත්වුණා. එම මැතිවරණයෙන් ජසින්ඩා ආර්ඩන්ගේ නායකත්වයෙන් යුත් කම්කරු පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තා. නවසීලන්තය තුළ වර්තමානයේ දී ක්‍රියාත්මක වන මිශ්‍ර සාමාජික සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නේ 1996 වසරේ දී යි. ඉන් පසුව ක්‍රියාත්මක වුණු මහා මැතිවරණයක දී යම් පක්ෂයක් පාර්ලිමේන්තුවේ සරල බහුතරය ඉක්මවා ගිය මුල්ම අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසගත වුණා.

කොරෝනා වසංගතයෙන් බාධා එල්ල වුණු මැතිවරණයක් 

2020 වසරේ සැප්තැම්බර් 19 වැනිදා නවසීලන්ත මහා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණත් අගෝස්තු මාසයේ දී එරට තුළ කොරෝනා දෙවන රැල්ලක් පැතිර යාම හේතුවෙන් මැතිවරණය කල් දැමීමට සිදු වුණා. නමුත් සැප්තැම්බර් මාසයේ අග භාගය වන විට එරට කොරෝනා තත්ත්වය ක්‍රමයෙන් අඩු වුණු නිසා මහා මැතිවරණය ඔක්තෝබර් 17 වැනිදා පැවැත්වුණා. එහි දී පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගැනීම සඳහා ප්‍රබල සටනක් පැවතුණේ ජෙසින්ඩා ආර්ඩන්ගේ කම්කරු පක්ෂය සහ ජූඩිත් කොලින්ස්ගේ ජාතික පක්ෂය අතර යි.

නවසීලන්ත මැතිවරණ ක්‍රමය ගැන කෙටියෙන් 

වර්තමානයේ දී නවසීලන්තය තුළ ක්‍රියාත්මක වන්නේ මිශ්‍ර සාමාජික සමානුපාතික ඡන්ද ක්‍රමය යි. 1996 වසරේ සිට එරට තුළ ක්‍රියාත්මක වන මෙම ඡන්දය ක්‍රමය තරමක් සංකීර්ණ එකක්. නවසීලන්ත මහා මැතිවරණයේ දී සෑම ඡන්ද දායකයෙකුටම පක්ෂයට සහ අපේක්ෂකයෙකුට ඡන්දය ලබාදීමට සිදුවනවා. එලෙස ලබාදෙන ඡන්දවලින් මන්ත්‍රී ධුර 120කින් සමන්විත නවසීලන්ත පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් 72ක් ආසන මට්ටමින් තෝරාගනු ලබනවා. නවසීලන්තය තුළ මැතිවරණ කොට්ඨාස 72ක් පිහිටුවා තිබෙන අතර ඉන් මැතිවරණ කොට්ඨාස 7ක් එරට ආදිවාසීන් වන මාඕරි ගෝත්‍රිකයන් වෙනුවෙන් වෙන් කර තිබීම විශේෂත්වයක්. 

මැතිවරණ කොට්ඨාස ජයග්‍රහණය කරන අපේක්ෂකයන් තෝරා පත්කරගැනීමෙන් පසුව ඉතිරි වන ආසන 48 සඳහා අපේක්ෂකයන් තෝරාගන්නේ පක්ෂයට ලැබෙන ඡන්ද අනුව යි. ඒ සඳහා සුදුසුකම් ලැබීමට යම් පක්ෂයක් 5%කට වඩා ඡන්ද ලබාගත යුතු යි. එහි දී ආසන 48 පක්ෂ අතර බෙදීම සඳහා Sainte-Lague නම් ගණිත මූලධර්මය භාවිතා කරනවා. පහත දැක්වෙන Link එකට පිවිස එහි අදාළ දත්තයන් ඇතුළත් කිරීම මඟින් ඔබටත් මෙවර නවසීලන්ත මහා මැතිවරණයේ දී එක් එක් පක්ෂය ලබාගත් ආසන ප්‍රමාණයන් ගණනය කළ හැකියි.  

*නවසීලන්ත මැතිවරණයේ ආසන ගණනය සඳහා- 

https://elections.nz/stats-and-research/mmp-seat-allocation-calculator/

වර්තමාන ඡන්ද ක්‍රමය යටතේ කිසිදු පක්ෂයකට බහුතරය හිමිව තිබුණේ නැහැ 

1996 වසරේ සිට 2017 වසර දක්වා නවසීලන්තය තුළ මිශ්‍ර සාමාජික සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති කිසිදු මහා මැතිවරණයක දී ජයග්‍රාහී පක්ෂයට පාර්ලිමේන්තුවේ සරල බහුතරය හිමි වුණේ නැහැ. පහත දක්වා තිබෙන්නේ එම මහා මැතිවරණවල දී ප්‍රධාන පක්ෂයන් දෙක අතර ආසන බෙදී ගිය ආකාරය යි.

*1996 මහා මැතිවරණය- ජාතික පක්ෂය- 44

                                   කම්කරු පක්ෂය- 37

*1999 මහා මැතිවරණය- කම්කරු පක්ෂය- 49

                                    ජාතික පක්ෂය- 39

*2002 මහා මැතිවරණය- කම්කරු පක්ෂය- 52

                                    ජාතික පක්ෂය- 27

*2005 මහා මැතිවරණය- කම්කරු පක්ෂය- 50

                                    ජාතික පක්ෂය- 48

*2008 මහා මැතිවරණය- ජාතික පක්ෂය- 58

                                   කම්කරු පක්ෂය- 43

*2011 මහා මැතිවරණය- ජාතික පක්ෂය- 59

                                   කම්කරු පක්ෂය- 34

*2014 මහා මැතිවරණය- ජාතික පක්ෂය- 60

                                   කම්කරු පක්ෂය- 32

*2017 මහා මැතිවරණය- ජාතික පක්ෂය- 56

                                   කම්කරු පක්ෂය- 46

*2020 මහා මැතිවරණය- කම්කරු පක්ෂය- 64

                                    ජාතික පක්ෂය- 35

1999-2008 කාලය තුළ අගමැතිවරිය ලෙස කටයුතු කළ හෙලන් ක්ලාක් (Brittanica) 

ඉතිහාසය වෙනස් කළ මහා මැතිවරණයක්

2017 වසරේ දී පැවති මහා මැතිවරණයේ දී වැඩි ආසන ප්‍රමාණයක් හිමි වුණේ බිල් ඉංග්ලිෂ්ගේ නායකත්වය යටතේ තරග කළ ජාතික පක්ෂයට යි. නමුත් කම්කරු පක්ෂ නායිකා ජසින්ඩා ආඩන් විසින් NZ First සහ Green යන පක්ෂවල සහාය ලබාගෙන රජයක් පිහිටවනු ලැබුවා. එලෙස නවසීලන්ත අගමැතිධුරයට පත් වුණු ආර්ඩන් පසුගිය කාල සමයේ දී කොරෝනා වසංගතය මර්ධනය කිරීම සඳහා අනුගමනය කළ වැඩපිළිවෙළ නිසා ජනතා ආකර්ෂණය දිනාගත්තා. එසේම ක්‍රයිස්චර්ච් ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණු අවස්ථාවේ දී ඇය ක්‍රියා කළ ආකාරයත් ජනතා ප්‍රසාදය හිමිවීමට හේතුවක් වුණා. එනිසා මෙවර මහා මැතිවරණයේ දී ජසින්ඩා ආර්ඩන් නායකත්වය ලබාදුන් කම්කරු පක්ෂයට ආසන 64ක් හිමි වුණා. එහි දී ඔවුන් මැතිවරණ කොට්ඨාස 43ක් ජයග්‍රහණය කර, පක්ෂ ලැයිස්තුවෙන් ආසන 21ක් හිමිකරගත්තා. පහත දක්වා තිබෙන්නේ ප්‍රධාන පක්ෂයන් කිහිපය ආසන ලබාගත් ආකාරය යි.

1) කම්කරු පක්ෂය- ඡන්ද- 1,171,544 (49.15%)-  ආසන 64

2) ජාතික පක්ෂය- ඡන්ද- 638,606 (26.79%)- ආසන 35

3) ACT පක්ෂය- ඡන්ද- 190,139 (7.98%)- ආසන 10

4) Green පක්ෂය- ඡන්ද 190,347 (7.58%)- ආසන 10

ජසින්ඩා ආර්ඩන් (Yahoo News)

ජාතික පක්ෂ නායිකාවගේ ආසනයේ වැඩි ඡන්ද ප්‍රමාණය කම්කරු පක්ෂයට 

ජාතික පක්ෂයේ නායිකාව වන ජූඩිත් කොලින්ස් තරග වැදුණේ පැපකුරා ආසනය සඳහා යි. එහිදී මනාප 16,363ක් ලබාගත් ජූඩිත් සිය ආසනය ජයග්‍රහණය කළා. නමුත් එම ආසනය තුළ පක්ෂය වෙනුවෙන් ලබාදුන් ඡන්දවලින් වැඩි ප්‍රමාණයක් හිමිව තිබුණේ කම්කරු පක්ෂයට යි. ඒ අනුව පැපකුරා ආසනයේ කම්කරු පක්ෂය ඡන්ද 12,822ක් හිමිකරගන්නා විට ජාතික පක්ෂයට ලැබී තිබුණේ ඡන්ද 12,388ක් පමණ යි. ජාතික පක්ෂ නායිකාව එලෙස සිය ආසනය තුළ දී පසුබෑමකට ලක්වන විට ජසින්ඩා ආර්ඩන් පහසුවෙන්ම මවුන්ට් ඇල්බට් ආසනය ජයග්‍රහණය කළා. එසේම කම්කරු පක්ෂයට එම ආසනය තුළ දී විශාල වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමිව තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡන්ද ප්‍රතිඵල ද්විත්වය යි..

*ජසින්ඩා ආර්ඩන් (කම්කරු පක්ෂය)- ඡන්ද 23,198

 මෙලිසා ලී (ජාතික පක්ෂය)- ඡන්ද 6,621

*කම්කරු පක්ෂය- ඡන්ද 15,931

 Green පක්ෂය- ඡන්ද 6,503

 ජාතික පක්ෂය- ඡන්ද 6,386

ජූඩිත් කොලින්ස් (NBR)

ලාංකික කාන්තාවක් මුල්ම වරට නවසීලන්ත පාර්ලිමේන්තුවට 

‘අපර් හාබර්’ නම් මැතිවරණ කොට්ඨාසය පිහිටවනු ලැබුවේ 2014 වසරේ දී යි. 2014 සහ 2017 මහා මැතිවරණවල දී එම ආසනය ජයග්‍රහණය කළේ ජාතික පක්ෂයේ පෝලා බැනට් නම් අපේක්ෂිකාව යි. එම නිසා මෙවරත් ජාතික පක්ෂයෙන් අපර් හාබර් මැතිවරණ කොට්ඨාසය සඳහා ඉදිරිපත් වුණු අපේක්ෂිකාවට සිය අසුන ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථාවක් හිමිව තිබුණා. නමුත් කම්කරු පක්ෂයෙන් මැතිවරණ සටනට පිවිසි වනුෂි වෝල්ටර්ස් අපර් හාබර් මැතිවරණ කොට්ඨාසය ජයග්‍රහණය කළා. පහත දක්වා තිබෙන්නේ එම ඡන්ද ප්‍රතිඵලය යි. 

*වනුෂි වෝල්ටර්ස් (කම්කරු පක්ෂය)- ඡන්ද 14,142

 මෙලිසා ලී (ජාතික පක්ෂය)- ඡන්ද 12,727

*කම්කරු පක්ෂය- ඡන්ද 15,250

 ජාතික පක්ෂය- ඡන්ද 10,489

1981 වසරේ කොළඹ දී උපන් වනුෂි රාජනායගම් වෝල්ටර්ස් දේශපාලන පවුලකින් පැවත එනවා. ඇයගේ මුත්තා වුණු රත්නසෝති සරවනමුත්තු කොළඹ මහ නගර සභාවේ මුල්ම නගරාධිපතිවරයා ලෙසින් කටයුතු කළා. වයස අවුරුදු 5 දී දෙමාපියන් සමග නවසීලන්තයට සංක්‍රමණය වුණු වනුෂි වසර 34ක් ජීවත් වුණේ නවසීලන්තයේ යි. එම කාල සමය තුළ සාර්ථකව අධ්‍යාපන කටයුතුවල නිරත වුණු ඇය ඕක්ලන්ඩ් සරසවියෙන් නීතිය පිළිබඳව උපාධියක් ලබාගත්තා. එසේම ඇය ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳව ඔක්ෆර්ඩ් සරසවියෙන් ද උපාධියක් ලබාගෙන තිබෙනවා. 

වනුෂි වෝල්ටර්ස් (Labour Party)

මෙවර නවසීලන්ත මහා මැතිවරණයේ දී ජසින්ඩා ආර්ඩන්ගේ කම්කරු පක්ෂයට විශාල ජනවරමක් ලැබුණේ පසුගිය කාලයේ දී ආර්ඩන් ජනතා විශ්වාසය නොඅඩුව දිනාගත් නිසා යි. ඉදිරි වසර තුන ඇතුළත ඇය සිය වැඩ කොටස හොඳින් ඉටු කළොත් නවසීලන්ත ඉතිහාසය තුළ පිට පිටම තෙවන වරටත් අගමැති තනතුරට පත්වුණු ලබාලතම තැනැත්තිය ලෙසින් ඉතිහාසගත වනු ඇති.

කවරයේ ඡායාරූපය- ජසින්ඩා ආර්ඩන් මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව (gettyimages)

මූලාශ්‍රයයන්- interactives.stuff.co.nz

Related Articles