ඉන්දියන් සාගරයේ තියෙන පුංචි දූපතක් වුණත් ශ්‍රී ලංකාව ලෝකය පුරා ප්‍රසිද්ධ වෙන්න හේතු වුණු කාරණා කිහිපයක්ම තියෙනවා. තේ, කුරුඳු, මැණික්, ලස්සන මුහුදු වෙරළවල්, ජෛව විවිධත්වය සහ ක්‍රිකට් එයින් වැදගත්ම කාරණා කිහිපයක්. පුංචි රටක් වුණත් මේ අංශ වලින් අපි ලෝකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දීලා තියෙනවා. (අපේ රට දේශපාලඥයන් ගැනත් හරිම ප්‍රසිද්ධයි, හැබැයි ඒවා බොහෝමයක් ආඩම්බර වෙන්න පුළුවන් කාරණා නෙවෙයි.)
එතකොට අපේ රටේ සිනමා කර්මාන්තය? කාලයක් තිස්සේ ලෝකයේ දියුණුම සිනමා කර්මාන්තයක් තිබුණා වුණත් දැන් නම් නමට විතරයි අපේ රටේ සිනමා කර්මාන්තයක් තියෙන්නේ. ඒත් වෙනත් රටවල් වලින් ඇවිත් අපේ රට තුල චිත්‍රපට රූ ගත කරපු අවස්ථා නම් ඕන තරම් තියෙනවා. ලෝක ප්‍රසිද්ධ වුණු හොලිවූඩ්, බොලිවුඩ් චිත්‍රපට ගණනාවක්ම අපේ රටේ දර්ශන තල වල රූ ගත කෙරුණා.
අපි මේ කියන්න හදන්නේ ඒ වගේ රූ ගත කෙරුණු චිත්‍රපට කිහිපයක් ගැනයි. පොඩි පොඩි කොටස් හරි, ගීත හරි රූ ගත කරන්න ලංකාවට ආපු අවස්ථා නම් ඕන තරම් තියෙනවා. ඒත් මේ කියන චිත්‍රපට බොහෝ දුරට මුළුමනින්ම වගේ ශ්‍රී ලංකාව ඇතුලේම රූ ගත කරපු ඒවා. මුලින්ම කියන්න යන තුන ලෝකය පුරාවට ප්‍රසිද්ධ වුණු වගේම විචාරක ප්‍රසාදයට පත් වුණු විශිෂ්ට නිර්මාණ තුනක්. ලංකාවේ රූ ගත කෙරුණු කිසිම තේරුමකට නැති චිත්‍රපටි තුනක් ගැනත් අපි මේ ලිපියට ඇතුලත් කළා. මේ චිත්‍රපටි තුන නම් බලනවට වඩා නිකන් ඉන්න එක වැඩිය හොඳයි කියන්න පුළුවන්.
මෙන්න එහෙනම් ලංකාවේ රූ ගත වුණු හොඳම චිත්‍රපට තුන..
1 – ක්වායි ගඟේ පාලම – Bridge on the River Kwai
ශ්‍රී ලංකාවේ රූ ගත කරපු මේ චිත්‍රපටිය ගැන වගේම ඒ අතරේ වුණු සිදුවීම් ගැනත් කතන්දර අපි කවුරුත් වගේ අහලා තියෙනවා. චිත්‍රපට විචාරකයන් ගණනාවක්ම කියලා තියෙන විදිහට මේ චිත්‍රපටිය ඉතාම උසස් ගණයේ නිර්මාණයක්. Rotten Tomatoes වෙබ් අඩවියට අනුව මේ චිත්‍රපටියට 94%ක rating එකක් හිමිවෙලා තියෙනවා. IMDb එකෙත් 8.3/10 ක rating එකක් තියෙනවා. සාමාන්‍යයෙන් 90%කට වඩා වැඩි rating එකක් තියෙනවා නම් ඒ චිත්‍රපටිය “විශ්ව ප්‍රශංසාවට” ලක් වුණු චිත්‍රපටියක් කියලයි සැලකෙන්නේ. (Universal Acclaim)
කිතුල්ගල නිවාඩු නිකේතනයට ගිහින් තියෙනවා නම් මේ චිත්‍රපටය හදන අතරේ ගත්තු ඡායාරූප ඔබත් දැකලා ඇති. මේ රූ ගත කිරීම සඳහා විශේෂයෙන්ම හදපු පාලම පුපුරවා හරින දර්ශනය තමයි කාගේත් කතා බහට ලක් වෙන්නේ.
කොලොම්බියා ස්ටුඩියෝ එකෙන් නිර්මාණය කෙරුණු මේ චිත්‍රපටියේ රූ ගත කිරීම් වැඩි හරියක් කෙරුණේ මස්කෙළිය ඔය දිගට සහ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ. ක්වායි පාලම පුපුරවා හරින දර්ශනය ලෝක සිනමා වංශ කතාවේ වඩාත්ම ප්‍රසිද්ධ දර්ශනයක් විදිහට සැලකෙනවා. මේ සඳහා විශේෂයෙන්ම ලී පාලමක් අලුතෙන්ම නිර්මාණය කෙරුණා. මේක පොඩි පාලමකුත් නෙවෙයි, දිග අඩි 425ක්! වතුර මට්ටමේ ඉඳන් අඩි 90ක් උසින් තමයි පාලම ඉදි කෙරුණේ. ඒ කාලයේ වුණත් මේ වැඩේට ඩොලර් ලක්ෂ දෙක හමාරක් ($250,000 ක්) වියදම් වෙලා තියෙනවා.
ඩේවිඩ් ලීන් කියන අසහාය නිර්මාණකරු තමයි මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කළේ. ප්‍රධාන නළුවා වුණේ ඇලෙක් ගිනස්. මේ කාරණා නිසා ලංකාවේ රූ ගත කෙරුණු හොඳම චිත්‍රපටිය මේක කියලා බය නැතිව කියන්න පුළුවන්. දෙවන ලෝක යුද්ධ සමයේ සත්‍ය කතාවක් පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වුණේ. තායිලන්තයේ තිබුණු සැබෑ පාලම කොන්ක්‍රීට් සහ වානේ වලින් හදපු එකක් වුණත් චිත්‍රපටිය සඳහා පාලම හැදුවේ ලී වලින්.
2 – වෝටර් – Water
අපේ ලැයිස්තුවේ දෙවැනි තැන ලැබෙන්නේ 2005 වර්ෂයේ නිර්මාණය වුණු වෝටර් චිත්‍රපටියට. බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂිකා දීපා මෙහෙතා මහත්මිය අතින් නිර්මාණය වෙන මේ චිත්‍රපටයට IMDb හි 7.8/10 rating එකකුත්, Rotten Tomatoes හි 91% ක rating එකකුත් හිමියි. ආසියාවේ වෙනත් තැන් වල රූ ගත කිරීම් කරන්න බාධාවක් ඇති වුණාම බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ රූ ගත කිරීම් වලට පෙළඹෙනවා. දීපා මෙහෙතා මහත්මියට මේ ප්රශ්නය දෙපාරක්ම ඇති වුණා. ඇයගේ “Midnight’s Children” කියන චිත්‍රපටියටත් මේ වගේම ගැටලුවකට මුහුණ දෙන්න වුණා.
වෝටර් කියන්නේ ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න වුණු චිත්‍රපටියක්. මේ ගැටළු මග හරින්න හිතාගෙන “Full Moon” කියලා බොරු නමක් දාල තමයි මුලින් රූ ගත කිරීම් කෙරුණේ. ඉන්දියාවේ වාරණාසි වල රූ ගත කරද්දී හින්දු අන්තවාදීන්ගේ කෝපයට පාත්‍ර වෙන්න සිදු වුණු නිසා අවසානයේ ශ්‍රී ලංකාවට එන්න මෙහෙතා මහත්මියට සිදු වුණා. මුලින් ප්‍රධාන චරිත වලට පෙනී හිටපු ෂබානා හස්මි සහ නන්දිතා දාස් කියන නිලියන් දෙන්නාටත් මේ අනුව ඉදිරි වැඩකටයුතු වලට දායක වෙන්න බැරි වුණා. පස්සේ චිත්‍රපටිය ගැන ගියපු වැරදි ප්‍රචාරයක් නිසා උද්ඝෝෂකයන් 2000ක් විතර දර්ශන තලයට බලෙන් ඇතුළු වෙලා හැම දෙයක්ම ගිනි බත් කරලා දැම්මා. අහු වෙන හැම දෙයක්ම ඔවුන් ගංගා නදියට විසි කරාලු. මේ කරදර ඉවසන්නම බැරි තැන තමයි මේ චිත්‍රපටිය ලංකාවේ නිර්මාණය කෙරුණේ.
මේ විදිහට මේ චිත්‍රපටිය හැදෙන එක නවත්තන්න අන්තවාදීන් මොන තරම් උත්සාහ ගත්තත් අන්තිමේදී ඉතාම උසස් නිර්මාණයක් බිහි වෙන එක නවත්තන්න ඔවුන්ට හැකි වුණේ නැහැ. ඔස්කා නිර්දේශයක් ඇතුළුව සම්මාන 32කට නිර්දේශ වෙන්නත්, එයින් සම්මාන 18ක්ම දිනා ගන්නත් “වෝටර්” සමත් වුණා. දැන් මේ චිත්‍රපටිය කොටස් 3කින් යුක්ත කතාවක් බවට පත් වෙලා තියෙනවා.
3 – ඉන්ඩියානා ජෝන්ස් – ටෙම්පල් ඔෆ් ඩූම් – Indiana Jones and the Temple of Doom
හොලිවුඩ් වල හොඳම අධ්‍යක්ෂකවරයා කියන්න කිව්වොත් ලංකාවේ වැඩි දෙනෙක්ගේ කටට එන්නේ ස්ටීවන් ස්පිල්බර්ග්. ස්ටාර් වෝස් අධ්‍යක්ෂක ජෝර්ජ් ලූකාස් කියන්නේත් ඒ වගේම නමක් රන්දපු ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයෙක්. මේ දෙදෙනාගේ සම අධ්‍යක්ෂණයෙන් බිහි වුණු සුප්‍රකට ඉන්ඩියානා ජෝන්ස් කතා මාලාවේ ටෙම්පල් ඔෆ් ඩූම් කියන චිත්‍රපටයේ වැඩි කොටසක් රූ ගත කෙරුණේ ලංකාවේදී. හොලිවුඩ් වල ප්‍රබලම නළුවෙක් වන හැරිසන් ෆෝඩ් ඉන්ඩියානා ජෝන්ස් විදිහට රඟ පාන අතරේ දුෂ්ට ආසියානු රජ “මොගම්බෝ” විදිහට අමීෂ් පූරි රඟ පෑවා.
මේ කතාව රූ ගත වෙන අතරේ සිදු වුණු රසවත් සිදුවීම් නිමක් නැති තරම්. චිත්‍රපටය සඳහා නිර්මාණය කර තිබුණු ඇඳුම් වගයක් රූ ගත කිරීම් වලට ගෙනාපු අලි ආහාරයට අරන්! නිර්මාණ කණ්ඩායම සුපිරි වීරවරියකගේ ඇඳුමක් බාබරා ස්ට්රේසන්ට දීලා හැරිසන් ෆෝඩ්ට කසයෙන් තලන දර්ශනයකුත් අරගෙන තියෙනවා. ෆෝඩ් වුණත් මුලින් හිතලා තියෙන්නේ මේක ඇත්ත දර්ශනයක් කියලයි, පස්සේ තමයි විහිළුවක් කියලා දැනගෙන තියෙන්නේ. කොයි වෙලාවෙත් සුහදව හිටපු අමීෂ් පූරි මොගම්බෝ විදිහට වෙස්වලා ගත්තාම එයාගේ භයානක පෙනුම දැකලා කවුරුත් ඇත්තටම බය වෙලා. ඒ වගේම ස්පිල්බර්ග්ගේ අනාගත භාර්යාව වන කේට් කැප්ෂෝ ඔහුට හමු වෙන්නෙත් මේ රූ ගත කිරීම් අතරේ. ලංකාවේ පිඹුරන් හොරකම් කරා කියලාත් මේ අතරේ කතාවක් ගියා.
ඇත්තම කතාව නම් මේ චිත්‍රපටියත් ඉන්දියාවේ රූ ගත කරන්න හිතාගෙන හිටපු එකක්. නමුත් අවසර ගැනීම ගැන තිබුණු ප්‍රශ්න නිසා ලංකාවට එන්න සිද්ධ වුණා. ඔබත් මේ කතාව බලලා තියෙනවා නම් මතක ඇති කතාවට මූලික වුණු ගම්මානය. මේක චිත්‍රපටිය සඳහා හැටන් වල තේ වගා ප්‍රදේශයක විශේෂයෙන්ම ඉදි කරපු එකක්. අලින්ගේ පිටේ යන දර්ශනය අරගෙන තියෙන්නේ පින්නවල ඇත් අතුරු සෙවණේ. ඒ දවස් වල ඉදි කරමින් තිබුණු වික්ටෝරියා වේල්ලට ටිකක් දුරින් තමයි චිත්‍රපටියේ එන වැල් පාලම ඉදි කෙරුණේ. වික්ටෝරියා බැම්ම ඉදි කරන්න ආපු ඉංජිනේරුවන් පවා මේ වැල් පාලම හදන්න උදව් දීල තියෙනවා. කතාවේ විදිහට ඉන්දියානුවන් කියලා අදහස් කෙරුණත් ගමේ මිනිස්සු කතා කරන්නේ සිංහලෙන් කියලා හොඳට ඇහුම් කන් දුන්නා නම් තේරේවි. බලලා නැතිනම් බලන්නම වටින චිත්‍රපටියක් කියලා අපි ඔබට “ටෙම්පල් ඔෆ් ඩූම්” නිර්දේශ කරනවා.
ඉස්සර ඉඳන්ම ආසියානු හා අප්‍රිකා රටවල සිදුවීම් පාදක කරගෙන හොලිවුඩ් චිත්‍රපට ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා. ලංකාවේ දේශීය සිදුවීමක් ගැන ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට නැති වුණත් වෙනත් ආසියානු රටවල කතා පාදක කරගත්තු චිත්‍රපටි පවා වැඩි හරියක් රූ ගත කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ. මේකට උදාහරණ ගණනාවක් තියෙනවා:
- සුමාත්‍රා දූපත් – “සේද මාවත” (Paradise Road)
- බෝර්නියෝ දූපත් – “රජතුමාට සමු දීම” (Farewell to the King), “එක යහනේ ශබ්දකෝෂය” (The Sleeping Dictionary)
- බුරුමය/මියන්මාරය – “රැන්ගුන් නගරයෙන් එපිටට” (Beyond Rangoon), “කිසිදින ඉතිරි නොවූ තරම් සුළු පිරිසක්” (Never So Few)
- පැපුවා නිව් ගිනියාව – “මිලේච්ඡ දෙව්රජුගේ කඳුගැටය” (The Mountain of the Cannibal God), “පණපිටින් අහරක් වීම” (Eaten Alive!)
- තායිලන්තය – “ක්වායි ගඟේ පාලම” (Bridge on the River Kwai)
- අප්‍රිකාව – “වානර මිනිසා – ටාසන්” (Tarzan, the Ape Man), “සුවිසල් හැල කිඹුලා” (The Great Alligator)
- ඉන්දියාව – “ඉන්ඩියානා ජෝන්ස් සහ මරණයේ පන්සල” (Indiana Jones and the Temple of Doom), “වනාන්තරයේ කතා පොත – 2 – මෝග්ලි සහ බලූ” (Second Jungle Book: Mowgli & Baloo), “මැදියමේ දරුවන්” (Midnight’s Children)
මේකට හේතුව මොකක් කියලාද ඔබ හිතන්නේ? ප්‍රධානම දේ තමයි අපේ රටේ ගැමි ජනතාව බොහොම බුද්ධිමත් සහ සුහදශීලී පිරිසක් වුණු එක. භෞතික දියුණුව අතින් අඩු වුණත් චිත්‍රපට කණ්ඩායමකට රටේ ඕනෑම දුෂ්කර පරිසරයකට වෙලා කිසිම කරදරයක් නැතිව තමන්ගේ රූ ගත කිරීම් කර ගන්න පුළුවන්, ආරක්ෂිත රටක් විදිහට ලංකාව / සිලෝන් දිවයින (ඒ කාලේ කියපු විදිහට) හොලිවුඩ් වල ප්‍රසිද්ධ වෙලා තිබුණා. අනිත් දේ තමයි ඕනෑම ප්‍රදේශයක් ගත්තාම යම් තරමකට ඉංග්‍රීසි දන්නා කෙනෙක් ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් එක, ඉතින් චිත්‍රපට කණ්ඩායමට විශේෂයෙන් පරිවර්තකයන් ගෙනියන්න අවශ්‍ය වෙන්නේ නෑ. මේ කතාව ආසියානු චිත්‍රපට දර්ශන තල සේවා පුද්ගලික සමාගමේ (Asian Film Location Services (Pvt) Ltd) නිහාර ජයතිලක මහත්මයාත් තහවුරු කරනවා. මීට අමතරව ලංකාවේ දේශපාලන පරිසරය, අවසර ලබා ගැනීමේ පහසුව, පහසුවෙන් ඕනෑම තැනකට ලඟා වෙන්න පුළුවන් කම වගේ දේවල් නිසා අතීත ගෝත්‍රික කතා, වනාන්තර දර්ශන ඇතුලත් චිත්‍රපට ගණනාවකට ශ්‍රී ලංකාව හොඳම තෝ තැන්නක් කියලා ජනප්‍රියයි.
කොහොම වුණත් මේ පහසුව නිසාම කිසිම වැදගැම්මකට නැති චිත්‍රපට වුණත් අඩු වියදමකින් කරන්න සමහරුන්ට පුළුවන් වුණා. වෙනත් රටක චිත්‍රපටයක් කරන්න විශාල මුදලක් අවශ්‍ය නිසා බොහෝ විට ඒ වගේ දේවල් කෙරෙන්නේ මහා පරිමාණයෙන් තමයි. හැබැයි අපි කලිනුත් කිව්වා වගේ ලංකාවේ තියෙන පහසුකම් නිසා ඕනෑම කෙනෙක්ට ඇවිත් අඩු ගානට ලංකාවේ චිත්‍රපටියක් හදාගෙන යන්න පහසුයි. වෙන කරන්න කිසිම දෙයක් නැතිනම්, ඩේටා වලට කරන්න දෙයක් නැතිනම් විතරක් බලන්න සුදුසු චිත්‍රපට තුනක් ගැනයි අපි ඔබට මේ කියන්න යන්නේ. ලංකාවේ රූ ගත කෙරුණා කියන කාරණාව ඇරෙන්න මේ චිත්‍රපට කිසිම එකක් බලන්න කිසිම හේතුවක් නෑ කියලයි අපිට නම් හිතෙන්නේ. මේ සල්ලි වෙන දේකට වියදම් කරා නම් මොන තරම් දෙයක්ද…
4 – ද මේටින් අර්ජ් – The Mating Urge
සංසර්ගය කරන්න තියෙන උවමනාව වගේ අදහසක් තියෙන මේ චිත්‍රපටිය පර්යේෂණ වාර්තා චිත්‍රපට නැතිනම් රිසර්ච් ඩොකියුමෙන්ටරි (Research Documentary) කියන වර්ගයට අයත් එකක් කියලා තමයි කියන්නේ. හැබැයි ඇත්තටම බැලුවොත් නම් මේක කිසිම පර්යේෂණයක් නොකරපු විකාරයක්. නමෙන් ටිකක් කාම සූත්‍ර චිත්‍රපටි වලට සමාන අදහසක් ආවත් මේකේ ඇත්තටම ශ්‍රී ලංකාව, ඉන්දියාව, බාලි දූපත් සහ අප්‍රිකාව වගේ “දුරබැහැර” රටවල් වල මිනිස්සු ගැහැණු සංසර්ගයේ යෙදෙන අමුතු ක්‍රම ගැන තමයි කියවෙන්නේ. මේක විකාරයක් කියන්නේ ඇයි කියලා අහනවා නම් කරන්න තියෙන හොඳම දේ මේක යූ ටියුබ් එකේ සර්ච් කරලා හොයාගෙන ලංකාවේ සංසර්ග ක්‍රම ගැන තියෙන කොටසට ෆාස් ෆෝවඩ් කරන එකයි.
මේකේ තියන විදිහට ශ්‍රී ලංකාවේ මිනිස්සු කවදාවත් කිස් කරන්නේ නැහැ. එයාල කරන්නේ පඳුරු අස්සට ගිහින් නහයවල් එකට අතුල්ලන එක. ලංකාවේ කාන්තාවෝ විවාහ වෙන්න කලින් ඔක්කොම ඇඳුම් ඇඳගෙන ගඟට ගිහින් නා ගන්නවාලු. ඊට පස්සේ සේරම වැහෙන්න “බෑග් එකක්” ඇඳලා ඒක ඇතුලෙදි තමයි හැට්ටය ඇඳ ගන්නේ. සාරිය අඳින්නේ හැමෝටම පේන තැනකට ගිහින්. “අඩුවෙන් දකින තරමට සිතින් මවා ගන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා”, “පිරිමි ළමයි යාළු වුණු ගෑනු ළමයා බලන්න අලියෙක් පිටේ එන එක සාමාන්‍ය දෙයක්” වගේ අමුතු “ප්‍රකාශ” එහෙමත් මේකේ අඩංගුයි.
මේ වගේ විකාර “තොරතුරු” දීපු ඉතිහාසඥයෝ එක්කෝ දැන් කොහෙට හරි වෙලා හිනා වෙනවා ඇති, එහෙමත් නැත්තන් කියපු බොරු වලට අපායේ ගිහින් ඇති. කොහොම වුණත් පර්යේෂණාත්මක වාර්තාවක් කියලා මේ වගේ හිතුණු හිතුණු විකාර චිත්‍රපට වලට නගපු එක නම් ගෙවන්න බැරි පාපයක්!
5 – ගෝස්ට්ස් කෑන්ට් ඩූ ඉට් – Ghosts Can’t Do It
“මේ වැඩේ භූතයන්ට කරන්න බෑ” වගේ අදහසක් තමයි මේකේ තියන්නේ. “මේ වැඩේ” කියලා කිව්වාම ගොඩක් දෙනා එක එක දේවල් ගැන හිතනවා වෙන්න පුළුවන්, හැබැයි අපිටත් තවම තේරුම් ගන්න බැහැ මේ භූතයන්ට කරන්න බැරි දේ මොකක්ද කියන එක. කේට් කියලා කාන්තාවකගේ සැමියා වුණු ස්කොට් මිය ගිහින්. ඒත් ස්කොට්ට මළවුන්ගේ ලෝකය ඉක්මනටම එපා වෙන නිසා ආපහු මිනිස් ලෝකයට එන්න ඕන වෙනවා. වාසනාවකට වගේ ස්කොට්ට පුළුවන් එක එක ක්‍රම වලට කේට් එක්ක සන්නිවේදනය කරන්න. ඉතින් ස්කොට්ව ආපහු ගෙන්වා ගන්න කේට් කරන්නේ හොඳට ඉන්න තරුණ මනුස්සයෙක්ව වතුරේ ගිල්ලලා මරලා එයාගේ සිරුරුට ස්කොට්ගේ ආත්මය ඇතුල් කරගන්න සැලසුම් කරන එකයි.
මේ චිත්‍රපටිය සම්මාන ගණනාවක් දිනා ගන්න සමත් වුණා, හැබැයි ඒ එකක්වත් ආඩම්බර වෙන්න පුළුවන් ඒවා නම් නෙවෙයි. නරකම චිත්‍රපටය (Adventures of Ford Fairlane කියන චිත්‍රපටිය සම හිමිකරුවන් වුණා) සම්මානයත්, Bo Derek ට නරකම ප්‍රධාන නිළිය සම්මානයත්, John Derek ට නරකම අධ්‍යක්ෂණය සම්මානයත් හිමි වුණා. මේ අවුරුද්දේ ඇමරිකාවේ ජනාධිපතිවරණයට ඉල්ලන ඩොනල්ඩ් ට්‍රම්ප් මේ චිත්‍රපටියේ තමන් ගැනම රඟපාලා නරකම සහය නළුවා විදිහට සම්මාන දිනා ගත්ත එක විශේෂ සිද්ධියක් කියලා හඳුන්වන්න පුළුවන්. මීට අමතරව නරකම සහය නිළිය, නරකම තිර රචනය, නරකම නැගී එන නළුවා (ආයෙමත් ඩොනල්ඩ් ට්‍රම්ප්) කියන සම්මාන වලටත් නිර්දේශ වුණා. මේ සේරම සම්මාන 1991 Golden Raspberry සම්මාන උළෙලේදී තමයි ඔවුන්ට හිමි වුණේ. ඒ වගේම 1990 අවුරුද්දේදී Stinkers Bad Movie උළෙලේදීත් මේක නරකම චිත්‍රපටය විදිහට සම්මාන ලැබුවා. ඉතින් මේක හදන්න සල්ලි වියදම් කරපු අයට හරි සතුටු ඇති නේද? කණගාටුවට කාරණාව මේකත් ලංකාවේ රූ ගත කෙරුණු හොලිවුඩ් චිත්‍රපටයක්.
6 – ද ග්‍රේට් ඇලිගේටර් – The Great Alligator
ශ්‍රී ලංකාවේ රූ ගත කෙරුණු නරක චිත්‍රපට ගණනාවක් තිබුණත් නරකම එක විදිහට අපි තෝරා ගන්නේ මේ චිත්‍රපටය. නම ඇහුවාම නම් හිතෙන්නේ හොඳ ඇක්ෂන් ෆිල්ම් එකක් කියලා, හැබැයි නිකමට මේ නම සර්ච් කරලා බලන්න. චිත්‍රපටයේ ප්රචාරක පෝස්ටරයේ තියෙන්නේ ලොකු හැල කිඹුලෙක්ගේ කටේ ඉන්න කාන්තාවකගේ පින්තුරයක්. කිඹුලෙක්ගේ කට ඇතුළේ ඉන්න කෙනෙක් බය වෙන්න ඕන නේ? හැබැයි මේ කාන්තාව ඇඟේ කිසිම ඇඳුමක් නැතිව සරාගී ඉරියව්වකින් ඉන්නේ බය වෙන එක පැත්තකින් තියලා සරාගී වෙන්න හිතිලා වගේ.
ලෝකේ මෙතෙක් කාලෙකට හදපු නරකම චිත්‍රපට ලැයිස්තුවේ මුල් ස්ථාන 50 අතරට එකතු වෙන්න මේ චිත්‍රපටයට පුළුවන් වුණා. කලින් එක වගේම “නරකම” කියන සම්මාන ගණනාවක් දිනා ගන්නත් පුළුවන් කම ලැබුණා. ඒ හැම එකටම වඩා හිනා යන කාරණාව තමයි මේ චිත්‍රපටියෙන් අපිට ලැබෙන ආදර්ශය. ඒ තමයි දුර ඈත තියෙන ගෝත්‍රික රටකට ගිහිල්ලා මොකක් හරි පිස්සු වැඩක් කරලා ගෝත්රිකයන්වයි ඔවුන්ගේ දෙවියන්වයි කෝප කළොත් ඒ දෙවියා ලොකු හැල කිඹුලෙක් වෙලා ඇවිත් තමන් එක්ක ඉන්න කාන්තාවෝ සේරම ටික පණ පිටින් (සහ නිරුවතින්) ගිලලා දානවා කියන එක. අන්තිමට ගං ඉවුරු වල ගෝත්‍රිකයෝ ටික තමන්ව මරන්න බලන් ඉද්දී බෝට්ටුවක නැගලා කිඹුලා ඉන්න ගඟ දිගේ යාත්‍රා කරලා බේරෙන්න පුළුවන් කියන එක. අනේ අපොයි කියලා තමයි කියන්න තියෙන්නේ.
ඉතින් කලිනුත් කිව්වා වගේ මේ චිත්‍රපට තුන නම් බලන්න ඕනේ වෙන කරන්න කිසිම වැඩක් නැති අය තමයි. (කැමති නම් ඊළඟට ඇමරිකාවේ ජනාධිපති වෙන්න ඉන්න කෙනෙක්ගේ හැටි බලා ගන්නත් හොඳ අවස්ථාවක්) අපේ රටේ මේ වගේ විකාර රූ ගත කෙරුණු එක ඇත්තටම ලැජ්ජාවට කාරණාවක්. හැබැයි මේ හොඳ චිත්‍රපට සහ නරක චිත්‍රපට හැම එකේම බොහොම වැදගත් දෙයක් තියෙනවා, ඒ තමයි දර්ශන තල වල තියෙන සුන්දරත්වය. ශ්‍රී ලංකාව කියන්නේ මොන තරම් ලස්සන තැන් තියෙන රටක්ද කියන එක නම් මේ මොන චිත්‍රපටය බැලුවත් පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්.
අපිට සමහර විට මගහැරුණු හොඳ චිත්‍රපට ලංකාවේ රූ ගත කරලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ ගැන ඔබ දන්නවා නම් ඒ ගැන සඳහන් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපි මුලින් කියපු චිත්‍රපට තුන මේ වන තුරු නරඹලා නැතිනම් අනිවාර්යයෙන්ම ඒවා බලන්න කියලත් ඔබට ආරාධනා කරනවා. (වෙන වැඩක් නැතිනම් ඉතින් අන්තිමට කියපු තුනත් බලන්න)