කුතුහලය කියන්නේ සතුන්ගේ පරිණාමයට ඉවහල් වූ දෙයක්. තමා නිරතුරුව සිටින, දකින පරිසරයේ තිබෙන කුඩා දේහි පටන් ඒවා සිදුවන ආකාරය පිළිබඳ අධ්‍යයනය කරමින් සිට ඉන්ද තෘප්තියකට පත්නොවී එපිට ප්‍රදේශ පිළිබඳවද සොයා බැලීම නිසා තමන්ගේ බල ප්‍රදේශය පුළුල් කරගනිමින් දැනුමද ඒ සමග වර්ධනය කරගන්නට අතීත මානවයාට මෙන් ම සතුන්ටද හැකිවුණා.
මෙය ඉතා පහසුවෙන් අත්දැකගන්න පුළුවන් අවස්ථාවක් තමයි කුඩා දරුවන්ගේ ගති පැවතුම්. ඇතැම් දරුවන් අතදරන අවධියේදී මවගෙන් කිරි උරා බොමින් ඇගේ මුහුණ දෙස එක එල්ලේ බලමින් දෙනෙතින් මහා පිළිසඳරක යෙදෙනවා. ඇවිදින්නට වෙර-දරන, බඩගාන අවධියේදී ඔවුන් බිම ඇති හැමදේ ගැනම සොයමින් ඒවා කටේ දමමින් ගනිමින් එය හඳුනාගන්නට උත්සාහ කරනවා.
බහ තෝරන්නට ගත්තාට පසු සෑම දෙයක්ම ගැන දෙමව්පියන්ගෙන් තොරතෝංචියක් නැතිව විමසනවා. හැබැයි තරුණ වියේදී නාහෙට නාහන එකනම් වෙනම කථාවක්.
මෙම ක්‍රියාවලියේදී දත්ත එක්රැස් කිරීම, තොරතුරු වශයෙන් සැකසීම සහ සන්නිවේදනය යන දේවල් සිදුවෙනවා. ලබාගන්නා ලද තොරතුරු අන් අය සමග බෙදාහදා ගැනීම සහ ඒවා භාවිතා කරමින් අළුතෙන් මුහුණ දෙන දේට අරුත් සපයාගැනීම සිදු වෙනවා. ඉතින් මුලින් ලබාගත් දත්ත මතින් ගොඩනැගූ තොරතුරු වැරදි නම් එය ඉදිරියටත් දිගටම බලපානවා.
ජාතක කථාවක තිබෙන කුඩා කල පටන් බමුණන් ආශ්‍රය කරමින් හොඳ වචන ආමන්ත්‍රණය කළ ගිරවාත්, සොරුන් ඇසුරු කර නරක වචන බිණූ ගිරවාත් අපට කියා දෙන්නේ අපිට දැනුම ලැබෙන හෝ ලබාගන්නා මාධ්‍යය අනුව අපේ ගතිපැවතුම්, විශ්වාස ආදීවූ සියළුම දේ සැකසෙන බවයි. ඔබ අද අදහන ආගම හෝ පසුහඹන දර්ශනය ඔබට ලැබුණේ කොහොමද? ඔබ සියළුම ඒවා අධ්‍යයනය කොට තෝරාගත්තා ද නැත්නම් උපතින් ලැබුණු දේ හිස් මුදුනින් ගත්තා ද?
පිළිගන්නට පෙර තර්කනය
ප්‍රජාතන්ත්‍රවාදයෙහි මූලික අඩිතාලමක් වන බහුතරයේ කැමැත්තට ඉඩදීම ඉතාම හොඳ දෙයක්. එමගින් බහුතරයේ කැමැත්ත නියෝජනය වෙන නිසා සමාජයක යහපැවැත්ම උනත් බෙහෙවින් රඳා පවතිනවා.
එහෙත් හැමවිටම බහුතරය කියන දෙයම නිවැරදි දෙය වෙන්නේත් නැහැ. මොකද, මුදලට හෝ කිසියම් වාසියක් බලාගෙන කියන දේකට හුරේ දාගෙන ඉන්නවා නම් එතන තිබෙන්නේ ඒකාධිපතීත්වයකට හිස නැමීමක්. බහුතරයේ අදහස පූර්ණව නිවැරදි වන්නට නම් යමක් තීරණය කිරීමේදී, නිගමනයකට එළඹීමේදී ඊට නැගෙන තර්ක බහුතරයකට පිළිතුරු ලැබෙමින් කිසිදු වාසියක් නොසලකා පැත්තක් නොගනිමින් බුද්ධියේ පැත්තම ගනිමින් බහුතර පිරිසකගේ තර්කනයට ගෝචර විය යුතු වෙනවා.
අපි දෙමව්පිය ගුරුවරුන්ට ඇති ගෞරව භක්ත්‍යාදරය සහ කුඩා කල තර්ක කිරීමට වැඩි හැකියාවක් නොමැති නිසා ඔවුන් කියන දේ හිස් මුදුනින් පිළිගනු ලබනවා. ඔවුන් අපට මෛත්‍රී කිරීම හොඳයි කීවොත් අපි ඒ දේ කරනවා. ළඟ ඉන්න යහළුවා අභිබවා ලකුණු ගන්නැයි කීවොත් ඊර්ෂ්‍යාව ද පොදි බැඳගෙන ඊට අවනත වෙනවා.
එනමුත් කල් යාමේදී ඔවුන් කියන සෑම දේටම හිස නොනමා තමා කැමති දේ කරන්නට පෙළඹෙනවා. මේ දක්වන ලද්දේ අදහස් හෝ තොරතුරු පිළිගැනීමේ අවස්ථා දෙකක්. එකකදී අනෙක් අය කියන ඕනෑම දේකට හිස නමනවා. අනිකෙහිදී තමා විසින්ම සිත තුළ ගොඩනගාගන්නා ලද දෙයක් අනුව යමින් එය ඇදහීමට පටන් ගන්නවා. දෙගුරුන්ගේ ඇසින් ගත් කල මේ දෙවැනි අවස්ථාව ‘මුරණ්ඩුකම’ යි. ඒකාධිපතීත්වයේදී ද මෙම තත්වය සඳහා දඬුවම් පමුණුවමින් එය කොන් කරනු ලබනවා.
එසේම සිතැඟිය ඇදහීමේදී තමා වෙනමම ෆැන්ටසියක හිරවන නිසා රාවණා රජු වුවත් මේ කාලයේ ජීවත් කරවන්නට තරම් හැකියාවක් ඊට ලැබෙනවා.
තොරතුර ලැබෙන පාර්ශවය පිළිබඳ විශ්වාසය
තමාගේ සිතට පැමිණි අදහස් හෝ වෙනත් කෙනෙක් පවසන ලද දෙයක් හිස් මුදුනින් පිළිගෙන අදහන්නට පෙර එය වෙනත් මූලාශ්‍රද සමඟ සසඳමින් පර්යේෂණ කරමින් කිහිප වරක් සත්‍යාපනය කරගත යුතු වෙනවා.
ලෝකය ගෝලයක් නොව තැටියකැයි කවුරුන් හෝ කීවොත් එය එසේමැයි කියා පා සිපගන්නට පෙර එසේ වන්නේ කෙසේදැයි ප්‍රශ්ණ කිරීමට බියවිය යුතු වන්නේ නැහැ. බොහෝ විට අප කවුරුන් හෝ යමක් කී විට එය සත්‍යයක්ම දැයි අපේ සිතේ සැක තිබුණත් ඔවුන් පිළිබඳ අපේ සිතේ ඇති ගෞරවය, බිය සහ සමාජය විසින් ඔවුන් තබා ඇති ස්ථානය හෝ තනතුර ගැන සිතමින් පමණක් නොව වයස නිසාද ඊට අවනත වෙනවා.
ඔබ දෙමව්පියන්ට, ගුරුවරුන්ට ගරු කරන්නේ, වඳින්නේ ඇයි? එසේ කරන්නේ කුඩා කළ කටපාඩම් කරවීමෙන් හෝ නොවැන්දොත් බනින නිසා නම් ඔබ සතුව තිබෙන්නේ ගෞරවයක් නෙවෙයි භක්තියක් හෙවත් බියක්. කෙනෙක්ට ගෞරවයක් ලැබිය යුත්තේ ඔවුන්ගේ වයස නිසා හෝ ඔබේ නෑයෙකු වීම නිසා නොව, ඔවුන්ගේ ගති පැවතුම්, ඔබට සලකන ආකාරය සහ ඥානාන්විත භාවය අනුවයි.
ඔවුන් කිසියම් තොරතුරක් තර්කනයට ගෝචර වන අන්දමින් ඔබට ලබා දෙන්නේද, එය ලෝකයේ හිතසුව පිණිස වූවක් ද නම් එය ඔවුන් සමඟම ආදරයෙන් භාර ගැනීමට උචිතයි.
නූතන සමාජය
එකල ගම පුරා ‘තෙල බෙදන’ සහ ‘කෝප්ප හෝදන’ නැන්දලාගෙන් ඕපාදූප ව්‍යාප්ත වුණත් අද කාමරේ හෝ ඇඳේ ඉඳගෙනම ලෝකයේ එහා කෙළවර සිටින මිතුරෙක් මේ මොහොතේ ආහාරයට ගන්නේ කුමක්ද යන්නත් දැනගන්නට පුළුවන්. හැබැයි ඒ තාක්‍ෂණය නිසා දුර තිබෙන දේත් ළඟට ලැබෙන නිසාම නෙවෙයි.
ඉස්සර තවත් කෙනෙක්ගෙන් අපි ඕපදූප ඇහගන්නට සිදුවුණත් දැන් කාලයේ නම් කන බොන දේවල්, කරන කියන දේවල්, ආදරය කරන හැටි, විරහව විඳින හැටි ආදී සියල්ලක්ම අපිට දැනගන්නට පුළුවන් වන්නේ ඒ අය විසින්ම සමාජ මාධ්‍ය ආදිය ආශ්‍රිතව පළ කරන දේවල් නිසාවෙනුයි.
නිවැරදිව කිසියම් පුවතක් එසැණින් දැනගැනීමට සමාජ ජාල අඩවි හරහා මහත් පහසුවක් ලැබුණත්, මෙකල ගොසිප් වෙබ් අඩවි විසින් පුවත්පත්, ගුවන් විදුලිය, රූපවාහිනිය හරහා පවත්වාගෙන ආ නිවැරදි සහ සත්‍යවත් ප්‍රවෘත්ති ගෙන ඒමේ සංස්කෘතිය සම්පූර්ණයෙන් බිඳලමින් වෙළඳ දැන්වීම් සඳහාම අරමුණු කරගනිමින් මුදලට බොරු ප්‍රවෘත්ති සමාජගත කරනවා.
ඔවුන්ට එහිදී බාලවයස්කාර දැරියන්, මව් වරුන්, නිළියන් ආදී කිසිදු කෙනෙක් අදාල නොවන අතර ඡායාරූප හෝ වීඩියෝ සහිතයි කියමින් තම වෙබ් අඩවියට පැමිණෙන ප්‍රමාණය වැඩි කරගනු ලබනවා. මේවා බොහොමයක අන්තර්ගතයෙහි ඔබ සමාජජාල අඩවියක් හරහා දකින ලද සබැඳියේ තිබූ කිසිවක් නොතිබිය හැකි අතර එකින් එකට යමින් ඔබට බොරු පුවත් රැසක් හිසේ පුරවා ඔවුන්ගේ මඩිය තරකර ගැනීම පමණක්ම සිදුවෙනවා. කනගාටුවට කරුණ නම්, ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකා විසින්ද වෙනමම ඕපාදූප වෙබ් අඩවි පවත්වාගෙන යාම යි.
Quartz වෙබ් අඩවිය විසින් කළ සමීක්‍ෂණයක් අනුව ඉන්දියාවේ සියයට 58ක් ම පමණ ඔබ වැඩිපුර භාවිතා කරන්නේ අන්තර්ජාලයද? ෆේස්බුක්ද? ලෙස ඇසූවිට පවසා ඇත්තේ ෆේස්බුක් බවයි.
ඉතින් මෙවන් අඩු සාක්‍ෂරතාවයක් ඇති සමයක ෆේස්බුක් හරහා අසත්‍ය පුවත් පැතිරවීමෙන් ජනතාව නොමග යන අතර තවත් පිරිසකගේ චරිතයට හානි එල්ලවීමද සිදු වෙනවා. මේ නිසාම පසුගිය දිනවල පැවති ඇමරිකානු ජනපතිවරණයත් සමග පැතිරුණු කටකතා නිසා ෆේස්බුක් සහ ගූගල් අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කරන වෙබ් අඩවි සහ පිටු ඉවතලූ අතර දැන් ඉන් බොහොමයකට වෙළඳ දැන්වීම් වශයෙන් ඔවුන්ගේ ප්‍රවෘත්ති බෙදාගන්නට බැහැ.
කිසියම් ආයතනයක් හෝ කෙනෙක් පුවතක් ඉදිරිපත් කරනවා නම් ඒ තොරතුරු ලබාගත් මූලාශ්‍ර, ඒවාට සබැඳි, ඡායාරූප පළ කරනවා නම් ඒවා ඔවුන්ට ලැබුණු මාර්ගය ආදී සියල්ල සහිතව තර්කානුකූලව පුවත ඉදිරිපත් කළ යුතු වෙනවා. එසේ නැතිව අහවලා මෙහෙම කළාය කියූ පලියටම එය පිළිගන්නට අවශ්‍ය නැහැ.
අන්තර්ජාලයේ තිබෙන හැමදේම විශ්වාස කරන්න එපා – ශ්‍රී වික්‍රම රාජසිංහ රජු, පත්තිරිප්පුවේ සිට
මූලාශ්‍ර: Quartz, Dailymail
කවරයේ පින්තූරය: danoah.com