Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කුළුබඩුවක් පමණක්ම නොවන රස රහසකි කරාබු නැටි

අතීතයේ සිටම කුළු බඩුවක් වශයෙන් කරාබුනැටි ශ්‍රී ලංකාවේ මෙන්ම, අපනයන බෝගයක් ලෙස යුරෝපීය රටවලට පවා සංක්‍රමණය වෙමින් කුස්සියේ රස මවන්නා බවට පත්වුණා. ආසියාවේ කරාබු නැටි වවන රටවල් අතර කරාබු නැටි ආවේණික රට වන ඉන්දුනීසියාත්, බංග්ලාදේශය, මැඩගස්කරය, පකිස්ථානය, ටැන්සානියාව, හා ශ්‍රී ලංකාවත් සිටිනවා. කරාබු නැටි මෙතරම් ප්‍රසිද්ධ වන්නට හේතුව එය සතු නැවුම් සුවඳ, ආහාර රසකාරක හැකියාවන් වගේම පුදුමාකාර ගුණ මහිමයම යි.

කරාබු නැටි වල තන්තු, විටමින් සහ ඛනිජ ලවණ අඩංගු නිසා කැබලි හෝ කුඩු වශයෙන් ආහාරයට එක් කර ගැනීමෙන් ආහාරයේ පෝෂ්‍ය ගුණය වර්ධනය කරගන්නට පුළුවන්. කරාබුනැටි තේ හැන්දක (ග්‍රෑම් 2ක්) කැලරි 21ක්, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 1ක්, තන්තු ග්‍රෑම් 1ක්, මැංගනීස් RDI 30%ක්, විටමින් K RDI 4%ක්, විටමින් C RDI 3%ක් අඩංගු යි. RDI කියන්නේ දෛනික නිර්දේශිත පෝෂ්‍ය අගය යි. තන්තුවලට මල බද්ධය වලක්වන්නටත්, විටමින් C වලට ප්‍රතිශක්තීකරණ පද්ධතිය සවිමත් කරන්නටත් පුළුවන්. විටමින් K වලින් තුවාල සිදුවූ විට රුධිරය කැටි ගැසීමට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. මැංගනීස් ශක්තිමත් අස්ථි සඳහා ද දායක වන මොළයේ ක්‍රියාකාරීත්වයට අත්‍යාවශ්‍ය ඛනිජයක්. මේවාට අමතරව ඉතාම සුළු ප්‍රමාණයන්ගෙන් කැල්සියම්, මැග්නීසියම් සහ විටමින් E කරාබුනැටිවල අඩංගුයි.

කරාබුනැටි සහ සුදුළූණු භාවිතයෙන් තැනූ කුකුළු මස් (imgix.net)

පර්යේෂණ මඟින් පෙන්වා දෙන පරිදි කරාබු නැටි වලට අක්මාව සෞඛ්‍යමත්ව පවත්වා ගැනීමේ හැකියාවන් ද පවතිනවා. විශේෂයෙන් කරාබු නැටි සතු ඉයුජිනෝල් සංයෝගය අක්මාවට වාසි ගෙන දෙනවා. එක් පර්යේෂණයකදී අක්මාවේ තෙල් බැඳුණු මීයන්ට කරාබු නැට් තෙල් හෝ ඉයුජිනෝල් අඩංගු මිශ්‍රණයන් ලබා දුන්නා. ප්‍රතිඵල ලෙස දකින්නට ලැබුණේ අක්මාවේ ක්‍රියාකාරීත්වය යාමනය කරන්නට සහ ඔක්සිකාරක හැකියාවන් අඩු කරන්නට ඊට හැකිවන බව යි. තවෙකක දී, සතියක් පුරා ඉයුජිනෝල් අඩංගු සංයෝග ගැනීමෙන් අක්මා රෝග ඇති කරන GST නමැති ඔක්සිකරණ එන්සයිමයක් නිපැයීම අඩු කරලන බව යි. කරාබු නැටි ඉහළ ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් දරනවා.

කරාබු නැටි සාම්ප්‍රදායික අත් බෙහෙත් බොහොමයක් යොදාගන්නා අතර දියවැඩියාවට ද ගුණ දෙනවා. දියවැඩියා රෝගීන්ගේ සිරුර තුළ ඉන්සියුලීන් මට්ටම ඉතා අඩුයි හෝ ඇතැමුන්ගේ ඉන්සියුලින් නිපැයෙන්නේ ම නැහැ. එවන් අවස්ථාවල දී කරාබු නැටිවලට ඉන්සියුලින්වල කර්තව්‍යය ඉටු කර දෙමින් රුධිර සීනි මට්ටම අඩු කරලන්නට දායක විය හැකියි. එසේම ඉන්සියුලින් නිපදවන බීටා සෛල උත්තේජනය කරමින් ඉන්සියුලින් නිෂ්පාදනය යාමනය කරන්නටත් එයට හැකි බව පර්යේෂණ මඟින් ඔප්පු කර තිබෙනවා.

කරාබු නැටි තේ එකක් සකසමු (ytimg.com)

කරාබුනැටි තේ එකක් හදාගන්නේ මෙහෙමයි: තේ හැන්දකට කරාබු නැටි කැබලි අරගෙන වංගෙඩියක හෝ මිරිස් ගලකින් තලාගන්න. තලාගත් කරාබු නැටි කෝප්පයකට දමා විනාඩි 8ක් – 10ක් බුබුළු දමන තෙක් උණුකරගන්න. ඊට තේ කුඩු හැඳි බාගයක් පමණ එක් කර තවත් විනාඩි කිහිපයක් තිබෙන්නට හැර, පෙරාගෙන, අවශ්‍ය පමණට සිසිල් වන්නට තබා පානය කරන්න.

කුරුලෑ සහ කැළැල් වලටත් කරාබු නැටි අත් බෙහෙත් පාවිච්චි කරන්නට පුළුවන්. කරාබු නැටි තලාගෙන, මී පැණි සමග කලවම් කර තලයක් මෙන් සකසා, ඊට දෙහි බිංදු කීපයක් එක් කරන්න. මුහුණේ ආලේප කර, විනාඩි 15ක් පමණ තිබෙන්නට හැර සෝදා හැරීමෙන් දිදුලන සමක් ලබා ගන්නට පුළුවන්.

කරාබු නැටි (bp.blogspot.com)

අස්ථිවල බර අඩු වීම හරහා අස්ථි දුර්වල වීමෙන් අස්ථි බිඳීයාම් හා පළුදුවීම් ඇතිවන අතර පසුකාලීනව ඔස්ටියෝපොරෝසිස් රෝග තත්ත්ව පවා ඇති වෙනවා. සතුන් යොදාගෙන කරන ලද පර්යේෂණවල දී කරාබු නැටිවල අඩංගු සංයෝග මේ ගැටළුවට ද විසඳුම් ගෙන එන බව තහවුරු වුණා. කරාබු නැටිවල තිබෙන ඉහළ ප්‍රමාණිත ඉයුජිනෝල්වලින් මීයන්ගේ අස්ථි දුර්වලවීම් අඩු කර අස්ථිවල ඝනකම සහ ශක්තිමත් බව වැඩි කරන්නට දායක වූවා. කරාබුනැටි වල තිබෙන ඛනිජයක් වන මැංගනීස්වලින් ද අස්ථි සෞඛ්‍යය වෙනුවෙන් ඉහළ දායකත්වයක් ලබා දෙනවා. පර්යේෂණයක් මඟින් තහවුරු වූයේ මැංගනීස් අඩංගු ආහාර ගැනීමෙන් සති 12ක් තුළ අස්ථි වර්ධනය සහ අස්ථිවල ඛනිජ ඝනත්වය වැඩි කරන්නට හැකි බවයි.

දිලීර මර්දනයට මෙන්ම මීයන් වැනි ගෘහාශ්‍රිත කරදරකාරී සතුන් පලවා හැරීමට ද කරාබුනැටි පාවිච්චි කරන්නට පුළුවන්. සිදුරු සහිත රෙදි කඩක කරාබු නැටි අහුරක් ඔතා එය මීයන් පැමිණෙන කවුළුවල තැබූ විට ජීවිත නොනසා ම ඔවුන්ව පළවා හරින්නට පුළුවන්. කූඹින් පළවා හැරීමට ද කරාබු නැටි යොදා ගත හැකියි.

කරාබු නැටි තෙල්වල ඉයුජිනෝල් අඩංගුයි (extrachai.com)

අතීතයේ ඉන්දියාවේ මෙන්ම චීනයේ ඖෂධ සඳහා කරාබු නැටි තෙල් භාවිතයට ගෙන තිබෙනවා. දත්වල ඇතිවන වේදනාවන් වළකන්නට කරාබු නැටි තෙල් භාවිතා කර ඇති අතර පුරාවිද්‍යාඥයන්ට සිරියාවේ පැරණි සෙරමික් බඳුනක තිබී කරාබු නැටි හමුව තිබෙනවා. 19වන සියවසේ සිට දත්මුල් චිකිත්සාවන්ට මෙන්ම මුඛයේ ඇතිවන සැරව ගෙඩි වලට ද ඖෂධයක් වශයෙන් කරාබු නැටි තෙල්වල ඇති ඉයුජිනෝල් භාවිතා කරනවා. විෂබීජ නාශකයක් මෙන්ම වේදනා නාශකයක් ද වන ඉයුජිනෝල් මඟින් දත්වල ඇතිවන වේදනාවන් සමනය කර දෙනවා. මේ නිසාම Clogard වැනි දන්තාලේපවල ස්වාභාවික කරාබු නැටි තෙල්වල ඉයුජිනෝල් සංයෝගය අඩංගු කරනවා. මුඛය නැවුම්ව තබන්නට මෙන්ම කතා කරද්දී ඇතිවන දුගඳ නැති කරලන්නට ද කරාබු නැටි සුසංයෝගයට පුළුවන්.

කවරය: thermofisher.com

Related Articles