අලුත් අවුරුදු දවසට හැම ගෙදරකම වගේ කැවිලි මේසයක් තිබෙනවා. ඒ වගේම අසල්වැසි නිවෙස්වලට කැවිලි පිඟන් යවා කෑම හුවමාරු කර ගැනීමත් අවුරුදු දාට සුහදත්වයේ සංකේතයක් විදිහට සිදුකරනවා. මේ අතරේ, කිරිබත්, කැවුම්, කොකිස්, අලුවා වගේ කැවිලි බහුලව ආහාරයට ගැනීම ශරීරයට එතරම් හිතකර නොවන බවට මතයක් ද පැතිර තිබෙනවා. ඉතින් අපි අවුරුදු කෑමවල ගුණාගුණ සොයා බැලුවේ මේ අවුරුද්දට සැකෙන් තොරව අවුරුදු කන්න ඔබට අවස්ථාව ලබාදීමට යි.
කිරිබත් රතු කැකුළෙන් කමු
කිරිබත් අවුරුදු කෑම මේසේ විතරක් නෙවෙයි, ඕනෑම වැදගත් අවස්ථාවක චාරිත්‍රයක් විදිහට පිළියෙල කරන ආහාරයක් ලෙස ප්‍රකට යි. කිරිබත්වලින් කෑම මේසෙට අලංකාරයකුත් ලැබෙනවා. කිරිබත් කැට කැපීමත් කලාවක්. ඒ වගේම අවුරුදු නැකතට උයන්නෙත්, කුස පිරවීමට ප්‍රධාන මෙහෙයක් කරන්නෙත් කිරිබත් තමයි. ඇඟ සිසිල් කරන කිරිබත්වලින් ශක්තිය උපරිමව ශරීරයට ලැබෙනවා.
සුදු කැකුළෙන් උයන කිරිබත් වෙනුවට රතු කැකුළෙන් හදන කිරිබත් දියවැඩියාව, කොලෙස්ටරෝල් තියෙන කෙනකුට වඩාත් සුදුසුයි. පුරාණයේ නම් කිරිබත් හැදුවේ සුවඳැල් වැනි දේශීය සුදු සහලකින්. රතු කැකුලු, අපගේ ආහාර ජීර්ණ පද්ධතියට බෙහෙවින් වැදගත් වන හිතකර ක්ෂුද්‍රජීවි ක්‍රියාකාරිත්වය දියුණු කරන ආහාරමය තන්තු සහ සිරුරට අවැසි පෝෂ්‍ය පදාර්ථ රාශියකින් ඉතා පොහොසත් ආහාරයක් ලෙස සැලකෙනවා.
රතු කැකුළු සහලින් පිළියෙල කෙරෙන කිරිබත් කෑල්ලක් දෙකක් ආහාරයට ගැනීම රුධිරයේ සීනි මට්ටම කෙරෙහිලා සුදු සහලෙන් පිසූ කිරිබත් තරමට බලපෑමක් ඇති නොකරන බව පෙනී යනවා. කෙසේ වෙතත් කිරිබත් පිළියෙල කර ගැනීම සඳහා යොදා ගන්නා පොල් කිරි සහ සුවඳකාරක ලෙස එකතු කෙරෙන රම්පේ සහ එනසහල් නිසා මෙහි ගුණයන් ඉතා විශිෂ්ට තත්ත්වයට පත් කෙරෙනවා.
කිරිබත් පිසීමට අතීතයේ දී එළගිතෙල්, එළකිරි යනාදිය භාවිත කළත් දැන් සුලභව භාවිත කෙරෙනුයේ පොල් කිරියි. පොල් කිරි ඉතා පෝෂණීය ආහාරයක්. නමුත් එහි යම්කිසි මේද ප්‍රමාණයක් අන්තර්ගත යි.
සමාන්‍ය ප්‍රමාණයේ කිරිබත් කැටයක ශක්ති ප්‍රමාණය කිලෝ කැලරි 240ක් පමණ වෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 6.3ක් සහ මේදය ග්‍රෑම් 6.5කුත් එක කිරිබත් කැටයක තිබෙනවා. කිරිබත් උයනකොට මුං ඇට එකතුකරල මුං කිරිබත් හැදුවොත් කිරිබත්වල රස වගේම ගුණයත් තව ඉහළ යනවා. මුංඇට කියන්නේ රනිල කුලයේ ඇට වර්ගයක්. රනිල කුලයේ ඇටවල ප්‍රෝටීන් සහ තන්තු බහුල යි. ආයුර්වේදයට අනුව කිරිබත් සීත ගුණය සහ ගුරු ගුණයෙන් යුක්ත යි. ගුරු ගුණය නිසා දිරවීම තරමක් අපහසු බව පැවසෙනවා.
කිරිබත්වලට දාන රම්පේ පිළිබඳ සිදු කර තිබෙන පර්යේෂණවලට අනුව රම්පේ පත්‍ර ඇල්ෆා ග්ලූකොසයිඩේස් නිශේධක ගුණ යහමින් පෙන්නුම් කරන බව සොයා ගෙන තිබෙනවා. රම්පේ සතු ක්‍රියාකාරි සංඝටක මඟින් අග්න්‍යාශයික සෛලවල ඉන්සියුලින් නිෂ්පාදනය වැඩි කෙරෙන බවත් සොයාගෙන තිබෙන කාරණයක්. රම්පේ පත්‍ර සතු මෙම හැකියාව ද රුධිරගත සීනි පාලනය කර ගැනීමට වෙහෙසෙන උදවියගේ බලාපොරොත්තු ඉහළ නංවාලන බව කිව යුතු යි.
පොල් පැණිවලින් කැවුම් හදමු
අතිරස, කොණ්ඩ කැවුම්, සහ මුංකැවුම් ලෙස කැවුම් වර්ග කළ හැකියි. මුං කැවුම් හැරුණාම අනෙක් වර්ග දෙකටම එකම අමුද්‍රව්‍ය තමයි යොදාගන්නේ. පුරාණයේ පටන් කැවුම් අපේ ප්‍රධාන කැවිලි වර්ගයක්. දුටුගැමුණු මහ රජු කරවූ රුවන්මැලි සෑයේ වැඩ කළ සේවකයන්ට සංග්‍රහය සඳහා අතුරු පසට කැවුම් තිබුණු බව ථූපවංසය සඳහන් කරනවා.
උම්මග්ග ජාතකයේ මහෞෂධයන් අමරාදේවීය පිරික්සුවේ කැවුම් ඉවීමට අණකිරීමෙනුයි. එහිම එන කාලගෝල කථාවේ දික්‌තලාගේ මවුපියන් බැලීමට ඔවුන් දෙපළ යන්නේ කැවුම් කදක් අරගෙන යි. කුස ජාතකයේ කියැවෙන කුස රජුගේ මුහුණ කැවුමකට උපමාකර තිබෙනවා.
නුවර යුගය වනවිට, සිංහලයන්ගේ කැවිලිවලින් ඉතා මිහිරි ආහාරය කැවුම්යැ යි 17 වැනි සියවසේ මහනුවර සිරකරුවකු වශයෙන් සිටි රොබට් නොක්‌ස් සඳහන් කරනවා.
“ඔවුන්ගේ රස කැවිලි විවිධ ය. ඒ රස කැවිලි අතර ප්‍රධානත්වයක් ගන්නා කැවුම් සහල් පිටියෙන් හා පැණියෙන් සාදාගනු ලැබේ. සහල්පිටි අනා ගුළි ගසා, කොළපතක තබා ඇඟිල්ලෙන් පැතලිකොට පැහෙන තෙල් ඇතිළියේ බහා පදමට කරවූ පසු තෙලෙන් එළියට ගනිති.”
(එදා හෙළදිව- නොක්ස්)
අතීතයේ පිසින ලද කැවුම් වර්තමානයේ මෙන් නොව ඖෂධීය ගුණයකින් ද යුක්ත වුණුබව කියනවා. ඉපැරණි සිංහල සහල් වර්ග භාවිතයෙන් තමයි මේවා හැදුවේ. පැණි වශයෙන් භාවිත කළේ කිතුල් හෝ පොල් පැණි යි. බැදීමට ගත්තෙත් ගෙදරම හදන පිරිසිදු පොල්තෙල්. එනිසා කැවිලි වර්ගයකට වඩා වැඩි ගුණයක් අතීත ශ්‍රී ලංකාවේ තිබූ කැවුම් සතුවුණා. බැදීමෙන් පසු මේ කැවිලිවල වැඩි තෙල් ඉවත්වන ආකාරයට (පතුලෙන්ම පැතලි පීරිසියක් මුනින් නවලා) මැටි මුට්ටිවල ගබඩාකර දින කිහිපයක් තැබුවා. මේ නිසා සෞඛ්‍ය හිතකරබව වැඩි වුණා. නමුත් අද කැවුම් හදන්නේ සීනි භාවිතයෙන්. යොදාගන්නා තෙල් ගැනත් සහතිකයක් නැහැ.
මුං කැවුම් ශක්තිජනක යි
මුං කැවුම් අවුරුදු කෑම මේසයේ තියන ඉතා රසවත්ම කැවිලි වර්ගයක්. සමාන්‍ය ප්‍රමාණයේ මුං කැවුමක ශක්තිය කිලෝ කැලරි 187ක් පමණ අඩංගු වෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 3.6ක් සහ මේදය ග්‍රෑම් 1.7ක් පමණ එක මුං කැවුමක අඩංගු යි. ක්‍රියාශීලී ජීවිතයක් ගතකරන අය සඳහා අවශ්‍ය වන අධික ශක්‌ති ප්‍රමාණයක් ද මේවායේ අඩංගු යි. එසේ අධික ශක්‌ති ප්‍රමාණය ලබාදීම සඳහා මේවායේ අඩංගු සහල් පිටි, මුංඇට, පැණි, පොල්කිරි, පොල්තෙල් යන අමුද්‍රව්‍ය සියල්ලම දායක වෙනවා.
මුං කැවුම්වල ශරීරයට අත්‍යවශ්‍ය විටමින් වර්ග බොහොමයක් ද අඩංගු යි. මුං කැවුම් බී කාණ්‌ඩයේ විටමින්වලින් පොහොසත් වන්නේ සහල්වල මෙන්ම මුං ඇටවල ද ඒවා යහමින් අඩංගු වන නිසා යි. මුං කැවුම් කැල්සියම් සහ යකඩ ආදී ඛනිජ ලබාගැනීම සඳහා ද හොඳ උල්පතක් සපයනවා. ආයුර්වේදයට අනුව මුංඇට පිටි යොදාගැනීමෙන් ශරීරය සිසිල් කරනවා.
කොකිස්
විවිධ හැඩතලවලට හදන සමාන්‍ය ප්‍රමාණයේ එක කොකිසක ශක්තිය කිලෝ කැලරි 56ක් පමණ අඩංගු වෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 1.2ක් සහ මේදය ග්‍රෑම් 1.8ක් පමණත් එක කොකිසක තිබෙනවා. ඒ අනුව ගත්තාම කොකිස් අනිත් රසකැවිලිවලට වඩා අඩු ශක්ති ප්‍රමාණයක් සහිත කැවිලි වර්ගයක්.
අලුවා
අලුවා කියන්නේ සෑම නිවසකම වගේ අලුත් අවුරුද්දට හදන කැවිලි වර්ගයක්. සමාන්‍ය ප්‍රමාණයේ අලුවා කෑල්ලක ශක්තිය කිලෝ කැලරි 145ක් පමණ අඩංගු වෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 1.5ක් සහ මේදය ග්‍රෑම් 3.4ක් පමණත් එක අලුවා කෑල්ලක අඩංගු යි. අලුවා හදනකොට වියළි කජු එකතුකළාම රස වගේම ගුණයත් වැඩිවෙනවා. කජුවල තියන අසංතෘප්ත මේද අම්ල කියන විශේෂ මේද වර්ගයට පුලුවන් අපේ ශරීරයේ තියන නරක කොලෙස්ටරෝල් අඩු කරලා හොඳ කොලෙස්ටරෝල් වැඩිකරන්න.
ආස්මී හදන දවුල් කුරුඳු
ආස්මිවල පිටි මිශ්‍රණයේ නානු ගතිය ලබාගැනීමට ගන්නේ ඔසු ශාකයක් වන දවුල් කුරුඳු ගසේ පත්‍ර යි. මේ පත්‍ර කැබලිවලට කඩා ජලය මිශ්‍ර කර කලවම් කළ විට ඇලෙනසුළු යුෂ ලැබෙනවා. දවුල් කුරුඳු බඩවැලේ රෝග, දෝෂ සමහන් කරලා බඩවැල් සක්‍රීය කරනවා. ආහාර දිරවීම පහසු කරනවා. බඩගින්න වැඩි කරනවා.
ස්වභාවික පරිසරයේ දායාදයක්, පලතුරක් වන අන්තිමයා තමයි කෙසෙල්. හැබැයි ඉතින් ඒ අරමුණ සඵල වෙන්න නම් අවුරුදු මේසයට ගෙන ආ යුත්තේ ඇඹුල් වර්ගයේ කෙසෙල් ඇවරියක්. මොකද තමන්ගේ පවුලේ වත්කම හෝ ආඩම්බරය පෙන්වන්නට කෝලිකුට්ටු හෝ රත්කෙහෙල් වගේ දේවල් මේසයට එක් කළාට ඒවායෙන් සිද්ධවෙන්නේ ඇඹුල්වලින් සිද්ධ වෙන යහපත් ජීරණ ක්‍රියාවලිය නොවෙයි.
ඉස්සර කාලෙ මෙච්චර කැවිලි කෑවේ කොහාමද?
පුරාණයේ හැමෝම ගතකළේ ක්‍රියාශීලී ජීවිතයක්. නිතරම සිරුරට ව්‍යායාමයක් ලැබුණා. ගොවිතැන්බත් කළා. ක්‍රීඩා පවා සිරුර මහන්සි කරන ඒවා වුණා. නෑ ගමන් ගියෙත් පයින්. අතීතයේ සිට සිංහල අවුරුදු කාලෙට ඔන්චිලි, පොරපොල්, ජවන හා පිටිය සමූහ තරග පැවැත්වුණේ අවුරුදු කෑම දිරවන්න අවශ්‍ය සහයෝගය දීමට බව යි පෙනෙන්නේ. අවුරුදු කැවිලි විතරක් නෙවෙයි අනෙක් ආහාර වුණත් ගත යුත්තේ තමන්ගේ මහන්සියේ තරම ගැන හිතලා යි.
මූලික අමුද්‍රව්‍ය යොදාගෙන, නියම පදමට අනාගෙන පොල්, කජු, ශාක යුෂ යොදාගෙන තනන සෑම කැවිල්ලක්ම පිෂ්ඨය, මේදය සහිත ආහාර යි. ඒක නිසා දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ රෝග තත්ත්වවලින් පෙළෙන කෙනකු නම්, මේවා ආහාරයට ගතයුත්තේ වරකට ගන්නා ප්‍රමාණය හා ආහාරයට ගන්නා කාල පරාසය ගැන වෛද්‍යවරුන් දෙන උපදෙස් පිළිපදිමින්.
පැරණි සමාජයේ විසූ අය අතිරස, කොණ්ඩ කැවුම්, මුංගුලි, උඳුවැල්, කොකිස් කොපමණ ආහාරයට ගත්තත් ඔවුන් සෞඛ්‍ය සම්පන්න ජීවිත ගත කළේ ඒ කාලේ ජීවන රටාව සහ ආහාර රටාව නිසා යි. ශරීරයේ විෂ නසන කළු හීනටි හාල්, කරපිංචා, මුරුංගා කොළ, කෝවක්කා, තෙබු වැනි කොළ වර්ග ඔවුන්ගේ එදිනෙදා ආහාර වේලට එකතු වීම නිසා බොහෝ අහිතකර දේවල් විනාශ වී ගියා.
අසනීප තත්ත්වයන් ඇති අය අවුරුදු කෑමබීම ගැනීමේ දී මේ ලිපියේ කරුණුවලින් උපදෙස් ලබා නොගන්නා ලෙසත්, වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසත්, මේ ලිපිය සාමාන්‍ය නියමුවක් පමණක් වන බවත් Roar නිර්දේශය යි.