Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රෝටීන බහුල ආහාරයක් වන හතු

අද කාලයේ බොහෝ දෙනා තමන්ගේ ශරීරයේ නිසි පැවැත්ම හා පෝෂණය පිළිබඳ උනන්දු වෙනවා. මේ නිසා තමන්ගේ ශරීරයට නිසියාකාරයෙන් ප්‍රෝටීන ලැබෙනවා ද කියා ඔවුන් නිතිපතා අවධානයෙන් සිටිනවා. එමෙන්ම වර්තමාන සමාජයේ සැළකිය යුතු කොටසක් සම්පූර්ණයෙන්ම පාහේ සත්ත්ව ආහාර වලින් වැලකී, නිර්මාංශික දිවි පෙවෙතකට හුරු වී තිබෙනවා. මේ නිසා නිර්මාංශික ප්‍රෝටීන ප්‍රභව වලට ඇත්තේ වැඩි ඉල්ලුමක්.

හොඳ ප්‍රෝටීන සැපයුමක් ශරීරයට ලබා දෙන නිර්මාංශික ප්‍රභව අතරින් හතු වලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. ප්‍රෝටීන සැපයුමත් සමඟ මේවා මඟින් ශරීරයට ලැබෙන තවත් වාසි බොහොමයක් තිබෙනවා. ඒවා සමහරක් පිළිබඳ බොහෝ දෙනාට ඇත්තේ සීමිත දැනුමක්. මේ නිසා හතු වල පෝෂණ ගුණය ගැන වැඩිදුර තොරතුරු ඔබට පවසන්නට අපි අදහස් කළා.

ආහාරය සඳහා සුදුසු හතු වර්ග -edibleplantsinvietnam.com

ආහාරයට ගන්නා හතු හඳුනාගනිමු

ලොව පුරා බහුල ලෙස බිම්මල් හෙවත් හතු හමුවුවත් ඒ සියල්ලම ආහාරයට ගැනීමට යාම කිසිසේත්ම නුවණට හුරු දෙයක් නොවෙයි. ලොව මෙතෙක් හඳුනාගෙන ඇති හතු විශේෂ වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මිනිස් සිරුරට ඉතාම දැඩි විෂ ගෙනදෙන සංඝටක සහිත ඒවා වෙනවා. මේ නිසා හරිහැටි වර්ගය නොදන්නා හතු වර්ග කෑමෙන් සම්පූර්ණයෙන්ම වැලකිය යුතු යි.

සුදු බිම්මල් livestrong.com

ආහාරයට ගත හැකි හතු වර්ග රාශියක් ද ලොව තිබෙනවා. සුදු බිම්මල් අහාරයක් ලෙස ලොව බහුලවම භාවිතා වන හතු වර්ගය වන අතර ඔයිස්ටර් හතු ඉන් ජනප්‍රියම එකක්. නිසි ලෙස පිළි‍යෙල කර ගැනීමෙන් ඒවා ශරීරයට අපත්‍ය වීමේ අවදානම පහව යන අතර ඒවායේ නිසි රසය හා ගුණය ද ආරක්ෂා වෙනවා.

ඔයිස්ටර් හතු-specialtyproduce.com

හතු වල පෝෂණ ගුණය

යම් යම් වෙනස්කම් තිබුණ ද සමස්ථයක් වශයෙන් හතු වර්ග සියල්ලම පාහේ පෝෂණ ගුණයෙන් අණූන වෙනවා. හතු වර්ග අතරින් ලොව ජනප්‍රියම හතු වර්ගය වන සුදු බිම්මල් ග්‍රෑම් 100 ක ප්‍රෝටීන ග්‍රෑම් 3.1ක් අන්තර්ගත අතර මේදය අන්තර්ගත වන්නේ ග්‍රෑම් 0.3ක් පමණ යි. සුදු බිම්මල් ග්‍රෑම් 100ක් ආහාරයට ගත් විට ශරීරයට ලැබෙන්නේ කැලරි 22ක ශක්තියක් පමණක් නිසා මේදය හා කැලරි අවම ප්‍රෝටීන ප්‍රභව සොයන අයට මාහැඟි ආහාරයක් වනවා. සුදු බිම්මල් ග්‍රෑම් 100ක කාබොහයිඩ්‍රේට අඩංගු වන්නේ ග්‍රෑම් 3.3ක් පමණක් වන අතර කෙඳි ග්‍රෑම් 1ක් අන්තර්ගත වනවා.

හතු ආහාරයට ගැනීම තුලින් විටමින හා ඛණිජ ලවණත් ශරීරයට ලබාගත හැකි යි. සුදු බිම්මල් වල විටමින් බී සංකීර්ණයට අයත් සමහර විටමින, විටමින් සී හා ඩී මෙන්ම, පොස්ෆරස්, යකඩ, කැල්සියම්, සෙලනියම්, තඹ, පොටෑසියම්, මැග්නීසියම්, හා සින්ක් වැනි ඛණිජ ලවණත් සැලකිය යුතු ප්‍රමාණ වලින් අන්තර්ගත වෙනවා.

හතු වල සෞඛ්‍යමය ගුණ

හතු ආහාරයට ගැනීමෙන් සෞඛ්‍ය වාසි රැසක් අත්පත් කරගන්නට පිළිවන්. හතු වර්ගය අනුව එසේ ශරීරයට ලැබෙන සෞඛ්‍යමය වාසි වල යම් යම් වෙනස්කම් තිබුණත් සමස්ථයක් වශයෙන් ඕනෑම හතු වර්ගයකින් ලැබෙන ගුණ රාශියක් තිබෙනවා.

nation.lk

රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අවම කිරීම

හතු ශරීරයට වැඩි ප්‍රෝටීන සැපයුමක් සැපයුවත් ඒත් සමඟ ශරීරගත වන කාබොහයිඩ්‍රේට හා මේද ප්‍රමාණය ඉතාම අල්පයි. මීට අමතරව මෙහි අඩංගු කෙඳි හා තවත් එන්සයිම රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අවම කිරීමට දායක වෙනවා. හතු ප්‍රෝටීන බහුල ආහාරයක් නිසා ඒවා ශරීරගත වූ විට එම ප්‍රෝටීන ජීර්ණයට වැඩි ශක්තියක් වැය කළ යුතු අතර මෙහි දී කොලෙස්ටරෝල දහනය ද සිදු වෙනවා. ප්‍රතිඵලයක් ලෙස ශරීරයට අහිතකර LDL කොලෙස්ටරෝල් මට්ටම අඩු වී HDL කොලෙස්ටරෝල් මට්ටම ප්‍රශස්ථ අගයකට පැමිණෙනවා. මේ නිසා හෘදයාබාධ, ආඝාත වැනි රෝග සඳහා වූ අවදානම අඩු වෙනවා.

නීරක්තිය දුරලීම

නීරක්තිය ඇතිවීමට ප්‍රධාන හේතුවක් ලෙස රුධිරයෙහි යකඩ මඳ බව හැඳින්විය හැකියි. නීරක්තිය නිසා විඩාව, හිසරදය, ක්‍රියාකාරීත්වය අවම වීම, ආහාර ජීර්ණ ගැටළු වැනි රෝග ලක්ෂණ මතු වෙනවා. හතු යකඩ යහමින් අඩංගු ආහාරයක්. එමෙන්ම මෙහි අඩංගු යකඩ වලින් අති බහුතර ප්‍රමාණයක් ශරීරයට පහසුවෙන් අවශෝෂණය විය හැකි මට්ටමේ තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස රතු රුධිරණු නිෂ්පාදනය කාර්යයක්ෂ්ම වෙනවා.

පිළිකා මැඬලීම

හතු පියයුරු පිළිකා හා පුරස්ථි ග්‍රන්ථි පිළිකා ඇතිවීම වලක්වනවා. මීට හේතු වන්නේ හතු වල අඩංගු බීටා ග්ලූකන් හා ලිනොලෙයික් අම්ලය යි. මේ ද්විත්වයම පිළිකා මැඬලීමේ ගුණ ප්‍රකට කරනවා. විශේෂයෙන් ලිනොලෙයික් අම්ලය අතිරික්ත ඊස්ට්‍රජන් මඟින් වන බලපෑම අවම කරනවා. මේ නිසා කාන්තාවන්ගේ ආර්තවහරණයෙන් පසු ඇතිවිය හැකි පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරනවා. බීටා ග්ලූකන්  ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන අතර පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා සෛල ගුණනය වීම නිෂේධනය කරනවා. මීට අමතරව හතු පිළිකා බවට පත් විය හැකි ගැටිති ඇති වීමත් වළක්වනවා.

බීටා ග්ලූකන් වල ක්‍රියාකාරීත්වය-drjockers.com

දියවැඩියාව මැඬලීම

හතු දියවැඩියා රෝගීන්ට මාහැඟි ආහාරයක් වෙනවා. එහි අඩංගු අඩු ශක්තියත්, අඩු පිෂ්ඨ හා මේද ප්‍රමාණයත්, වැඩි ප්‍රෝටීන ප්‍රමාණයත්, විටමින හා ඛණිජ ලවණ යහමින් පැවතීමත්, කෙඳි බහුල වීමත් නිසා මේවා දියවැඩියා රෝගීන්ගේ ශරීරයට ඉතා හිතකර වෙනවා. විශේෂයෙන්ම මේවායේ යම් පමණකට ස්වභාවික ඉන්සියුලින් සහ තවත් හිතකර එන්සයිම අන්තර්ගත නිසා ශරීරයේ සීනි හෝ පිෂ්ඨය බිඳ හෙළීමේ යාන්ත්‍රණ කාර්යයක්ෂ්ම කරනවා.

හතු වල අඩංගු සමහර සංඝටක වෘක්ක, අග්න්‍යාශය, හා අනෙකුත් අන්තරාසර්ග ග්‍රන්ථීන්ගේ ක්‍රියාකාරීත්වය ඉහළ නංවනවා. මේ නිසා ඉන්සියුලින් උත්පාදනයත් කාර්යක්ක්ෂ්ම වෙනවා. මීට අමතරව දියවැඩියා රෝගීන්ගේ තුවාල සුවවීමටත් හතු වල අඩංගු සංඝටක උපකාරී වෙනවා.

අස්ථි සෞඛ්‍ය නංවාලීම

හතු කැල්සියම් වලින් පොහොසත්, කැල්සියම් අස්ථි වල වල යහපැවැත්මට අත්‍යවශ්‍ය සංඝටකයක් වෙනවා. නිසියාකාර ලෙස දීර්ඝ කාලයක් මුළුල්ලේ ශරීරයට කැල්සියම් ලැබීම ජීවිතයේ සැඳෑ සමයෙහි ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග වැළඳීමේ අවදානම අවම කරනවා. මීට අමතරව අස්ථි හා සන්ධි වල ගෙවී යෑම ද අවම කරනවා

ශරීරයේ ප්‍රතිශක්තිය නංවාලීම

හතු වල අර්ගොතයනින් නම් ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් අන්තර්ගත වෙනවා. මේ නිසා හතු ආහාරයට ගැනීම ශරීරයේ ඇතිවන මුක්තඛණ්ඩක නිෂේධනයට හේතු වන අතර ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ද ශක්තිමත් කරනවා. මීට අමතරව මේවායේ අඩංගු විටමින් ඒ, සී, හා බී සංකීර්ණය ද ප්‍රතිශක්තිය වර්ධනය කිරීමෙහිලා උර දෙනවා.

අධික රුධිර පීඩනය වළක්වාලීම

හතු ආහාරයට ගැනීම හෘදයාබාධ වැනි රෝග අවදානම අඩු කරනවා- healthline.com

ආහාරයට සුදුසු සමහර හතු වර්ග වල ඉතා යහමින් පොටෑසියම් අන්තර්ගත වෙනවා. පොටෑසියම් රුධිර නාලවල ආතතිය අඩු කර ඒවායේ බිත්ති ඉහිල් කරන අතර මේ නිසා සමස්ථයක් වශයෙන් ශරීරයේ රුධිර පීඩනය අනවශ්‍ය ලෙස ඉහළ යාම වලක්වනවා. මේ නිසා හෘදයාබාධ වැනි මාරාන්තික තත්ත්වයන් ඇතිවීම වලකිනවා. මීට අමතරව පොටෑසියම් යහමින් ශරීරයේ තිබීම මොළයට යහපත් රුධිර සැපයුමක් ලැබීම තහවුරු කරන අතර එමඟින් ශරීරයේ සම්පූර්ණ ක්‍රියාකාරීතවයත් කාර්යයක්ෂ්ම වෙනවා.

යකඩ උරාගැනීම කාර්යයක්ෂ්ම කිරීම

හතු වල යහමින් තඹ අන්තර්ගත වන අතර මෙමගින් ශරීරයේ යකඩ උරාගැනීමේ යාන්ත්‍රණය උත්තේජනය කරනවා. හතු වල යකඩ ද යහමින් අන්තර්ගත අතර එමගින් ද ශරීරයේ යකඩ අවශ්‍යතා හොඳින් සපුරාලනවා.

ඉහත දැක්වූ සෞඛ්‍යමය වාසි හැරුණු කොට ව්විධ පෝෂක ශරීරයට උරාගැනීම කාර්යයක්ෂ්ම කිරීමත්, ශරීරයට ඉතා ප්‍රයෝජනවත් වන සෙලෙනියම් ලවණ ලබාගැනීමටත්, ශරීරයේ බර අඩු කර ගැනීමටත් හතු ආහාරයට ගැනීම මනා පිටිබලයක් වෙනවා. මේ නිසා නිතරම තමන්ගේ ආහාරයට හතු එක්කර ගැනීමට අමතක කරන්නට එපා.

කවරයේ පින්තූරය – draxe.com

Related Articles