අලංකාර හරිත පැහැයෙන් දිදුලන ‘හරිතමණී’ යොදා ගනිමින් සිදුකරන කැටයම්, සියවස් ගණනාවක් තිස්සේ චීන සංස්කෘතියේ අත්‍යවශ්‍ය අංගයක් ව පැවති බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. චීනය තුළ හරිතමණී (හෙවත් ජේඩ්) භාවිතා කිරීමේ ඉතිහාසය සහස්‍ර කිහිපයක් පසුපසට දිව යනවා. ඇතැම් විටෙක හුවමාරු මාධ්‍යයක් ලෙස භාවිතා කරන ලද හරිතමණී, පාරිශුද්ධත්වය සහ සදාචාරාත්මක අවංකත්වය විදහා දක්වන අතිශය වටිනා පාෂාණ විශේෂයක් බව යි පුරාණ චීන වැසියන්ගේ විශ්වාසය වුණේ. එසේ ම එය සතු කල් පැවැත්ම හේතුවෙන් ආභරණ සහ විසිතුරු පළඳනා වැනි සෑම ආකාරයේ ම භාණ්ඩ නිපදවීම සඳහා මැනවින් ඔප දමන ලද හරිතමණී භාවිතා කර තිබෙනවා. එයට අමතර ව චීන අධිරාජ්‍යය තුළ හරිතමණී වැඩි වශයෙන් යොදාගෙන ඇත්තේ කොන්ග් සහ බයි වැනි ආගමික භාණ්ඩ නිර්මාණය සඳහා යි.
‘ස්වර්ගයේ සහ පෘථිවියේ සාරය’ වූ හරිතමණී
‘නෙෆ්රයිට්’ සහ ‘ජේඩයිට්’ ලෙස හරිතමණී පාෂාණ ප්‍රධාන ආකාර ද්විත්වයකින් යුතු වෙනවා. පැරණි චීන වැසියන් විසින් හරිතමණී ලෙස හඳුන්වා දී ඇත්තේ ‘නෙෆ්රයිට්’ වන අතර, 18 වැනි සියවසේ දී පමණ බුරුමයෙන් ආනයනය කරන තුරු ම ඔවුන් ‘ජේඩයිට්’ පිළිබඳ ව දැන සිටි බවට සාක්ෂ්‍ය නැහැ. බොහෝ විට හරිත හෝ අළු පැහැයේ විවිධ ප්‍රභේදයන්ගෙන් යුතු වන ‘නෙෆ්රයිට්’ පාෂාණයන් හි වර්ණය තීරණය වන්නේ එහි අන්තර්ගත වන යකඩ ප්‍රතිශතය අනුව යි. ඓතිහාසික මූලාශ්‍රයන්ට අනුව පැරණි චීන වැසියන් හරිතමණී ලබා ගත් ප්‍රධාන මූලාශය වන්නේ ෂින්ජෑන් ප්‍රදේශයේ පිහිටි පතල් වන අතර, එයට අමතර ව මධ්‍යම ආසියාවේ කෝටාන් ප්‍රදේශයේ ද හරිතමණී ආකරයක් පැවති බවට තොරතුරු පවතිනවා. මුල් කාලයේ දී චීන සමාජය තුළ ජනප්‍රිය ව පැවතුණේ හරිත පැහැයෙන් යුතු හරිතමණී වුව ද, ක්‍රි. පූ. 1 වැනි සියවස වන විට බහුල වශයෙන් භාවිතයේ පැවතී ඇත්තේ දුඹුරු පැහැය යන්තමින් මුසු වූ සුදු පැහැ හරිතමණී යි.
ඇතැම් විටෙක ‘ස්වර්ගයේ සහ පෘථිවියේ සාරය’ ලෙස හඳුන්වන ලද හරිතමණී, වැඩි වශයෙන් පැවතී ඇත්තේ කඳුකර ප්‍රදේශ හෝ ගං ඉවුරු ආශ්‍රිත ව වන අතර, ලෝහ පිහි භාවිතා කරමින් කැපිය නොහැකි වූ එය, විදින කටුවක් ආධාරයෙන් කැටයම් කර ඔප් මට්ටම් කිරීමට පෙර රැහැනක් හෝ වැලි යොදා ගනිමින් හැඩ ගස්වා තිබෙනවා. දෘඩ පාෂාණයක් වූ හරිතමණී කැටයම් කිරීම සඳහා වැය වූ කාලය සහ ශ්‍රමය ඉහළ අගයක් ගැනීම එහි වටිනාකමට එක් වූ බවට සැකයක් නැහැ. අතීතයේ දී හරිතමණී භාණ්ඩ අලංකාර කිරීම සඳහා වැඩි වශයෙන් යොදා ගන්නා ලද්දේ රේඛාමය මෝස්තර වුව ද, පසුකාලීන භාණ්ඩ තුළින් ඉස්මතු වී ඇත්තේ විචිත්‍රවත් නිර්මාණ යි.
පාෂාණ අතර සොඳුරු ම පාෂාණය
පුරාණ චීනය තුළ වඩාත් වටිනා ම සහ සුන්දර ම ස්වභාවික මූලද්‍රව්‍ය ලෙස සලකන ලද්දේ හරිතමණී යි. නව ශිලා යුගය (ක්‍රි. පූ. 3500 – 2000) තරම් ඈත කාලයේ දී පවා කැටයම් කරන ලද බවට සාක්ෂ්‍ය පවතින හරිතමණී, බහුල වශයෙන් භාවිතා කර ඇත්තේ ආගමික භාණ්ඩ නිර්මාණය සඳහා වන අතර, කොන්ෆියුසියස් දර්ශනය මඟින් පාරිශුද්ධත්වය සහ යහපත් බව එයට ආරෝපණය කිරීම හේතුවෙන් එය සියවස් ගණනාවක් ගත වන තෙක් චීනය තුළ වඩාත් ඉල්ලුමක් හිමි වූ මූලද්‍රව්‍ය ලෙස පැවති බවට විවාදයක් නැහැ.
මිල අධික වීම හේතුවෙන් චීන රදලයින් අතර ප්‍රකට වූ හරිතමණී බොහෝ විට ඔවුන්ගේ නිවෙස් සැරසීම සඳහා යොදා ගන්නා ලද අතර, විනාශ කළ නොහැකි වස්තුවක් ලෙස සලකන ලද එය, අයිතිකරුට යම් ආකාරයක අමරණීයත්වයක් රැගෙන එන බව යි පුරාණ චීන වැසියන්ගේ විශ්වාස වුණේ. මියගිය අය සමග හරිතමණී භූමදාන කිරීමට එය හේතු වන්නට ඇත. එසේ ම හරිතමණී සතු ව දෘඩ ස්වභාවය, පළිඟුවන් දිස්නය, අලංකාර පැහැය, සංයුක්ත හා විනිවිද පෙනෙන සැකැස්ම, සහ පැහැදිලි මෙන්ම කන්කලු රාවය ලෙස සුවිශේෂී ලක්ෂණ 5ක් පැවති බව චීන වැසියන් විශ්වාස කර තිබෙනවා.
සංකීර්ණ මෝස්තර බවට පත් වූ සරල කැටයම්
නව ශිලා යුගයේ දී හරිතමණී වැඩි වශයෙන් භාවිතා කර ඇත්තේ සොහොන් කොත් තුළ තැන්පත් කරන ලද චතුරස්‍රාකාර පුවරු කැටයම් කිරීම සඳහා යි. එයට අමතර ව චාරිත්‍රානුකූල කෙටේරි නිපදවීම සඳහා ද හරිතමණී යොදාගෙන ඇති බවට සාක්ෂ්‍ය පවතිනවා. ෂැන්ග් රාජ සමයේ දී හරිතමණී භාවිතා කර ඇත්තේ රේඛාමය මෝස්තර සහිත බයි (මධ්‍යම වෘත්තයක් සහිත තැටියක්) සහ කොන්ග් (කන්තු කපන ලද වෘත්තාකාර නළයක්) වැනි ආගමික භාණ්ඩ නිපදවීම සඳහා යි. එයට අමතර ව ෂැන්ග් රාජ සමයේ දී හරිතමණී යොදාගෙන වළලු, පිහි වැනි ආයුධ, කුඩා මිනිස් ප්‍රතිමා ආදිය නිපදවා තිබෙනවා.
හරිතමණී භාවිතා කරමින් වඩාත් සංකීර්ණ කැටයම් කිරීම ඇරඹී ඇත්තේ ක්‍රි. පූ. 8 වැනි සියවසේ දී යි. බස්සන්, ගිරවුන්, මසුන්, මුවන්, අශ්වයින්, සුනඛයින් වැනි සත්ත්ව රූප අන්තර්ගත වෘත්තාකාර හෝ පැතලි ඵලක කැටයම් කිරීම ද, ඒ සමයේ දී බහුල ව සිදු වී තිබෙනවා. ක්‍රි. පූ. 5 වැනි සියවසේ දී මකර හෝ කොටි රූප සහිත විසිතුරු භාණ්ඩ නිර්මාණය සඳහා වැඩි වශයෙන් යොදා ගන්නා ලද්දේ හරිත, දුඹුරු, සුදු, හෝ නිල්-දම් පැහැ හරිතමණී පාෂාණ යි.
වර්තමානයේ දී ආභරණ, මිනිස් ප්‍රතිමා, බත් කූරු, ගෘහ භාණ්ඩ වැනි සෑම ආකාරයේ ම භාණ්ඩ නිපදවීම සඳහා හරිතමණී යොදා ගන්නවා. දැනට සොයාගෙන ඇති විශාල ම හරිතමණී කැටයම් ලෙස සැලකෙන්නේ ‘ශ්‍රේෂ්ඨ යූ විසින් ජලය පාලනය කිරීම’ විදහා දක්වන 1787 වර්ෂයට අයත් කැටයම යි. අඩි 7ක පමණ උසින් යුතු එය නිර්මාණ කිරීම සඳහා වසර 7ක් ගත වී ඇති බව යි වාර්තා වන්නේ.