Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චීනයේ යුදෙව් ජනතාව​

යුදෙව් ජනතාව ලෝකයේ විවිධ ප්‍රදේශයන් හි පැතිර සිටිනවා. රෝමන් පාලන සමයේ දී ඊශ්‍රායලයෙන් පිටුවහල් කළ පසු බොහෝ යුදෙව්වන් යුරෝපයේ විවිධ ප්‍රදේශයන්ට පැතිර ගියා. ඇමරිකාව වෙතත් පසුගිය ශතවර්ෂ කිහිපය තුළ යුදෙව්වන් විශාල පිරිසක් සංක්‍රමණය වුණා. මීට සාපේක්ෂ ව පෙරදිග රටවලට යුදෙව්වන් සංක්‍රමණය වුණේ අඩුවෙන්.

කෙසේ වෙතත් චීනයෙහි යුදෙව් ජනයාගේ ඉතිහාසය බොහෝ ඈත කාලයකට දිව යනවා. පැරණි සේද මාවත ඔස්සේ චීනයට පැමිණි යුදෙව්වන් සහ ඔවුනගෙන් පැවතෙන්නන් කාලයක් තිස්සේ චීනයෙහි ජීවත් වුණා. විසිවන සියවසෙහි එක්තරා කාලයක චීනයෙහි යුදෙව් ජනගහනය වේගයෙන් ඉහළ ගිය අතර, පසු ව බොහෝ දෙනෙක් රට අතැර ගියා. දැනට චීනයේ යුදෙව්වන් සිටින්නේ ඉතා සුළු ප්‍රමාණයක්.

චීන යුදෙව්වන්ගේ මුල​​

ඇල්ෆ්‍රඩ් එඩර්ෂයිම් විසින් 1856 දී ලියන ලද කෘතියට අනුව යුදෙව්වන් මුලින්ම චීනයට පැමිණ තිබෙන්නේ හන් රාජවංශ සමයේ දී යි (ක්‍රි. පූ. 206 – ක්‍රි. ව​. 220). සේද මාවත ඔස්සේ පැමිණි ඔවුන් කයිෆෙංග් නගරයේ පදිංචි වූ බව කියනු ලබනවා. නමුත් එම ජනාවාසය අඛණ්ඩ ව නොපැවති බව යි විශ්වාස කෙරෙන්නේ.

චීනයේ යුදෙව් ජනයා පිළිබඳ නිසැකව ම දැක්වෙන සාධක හමුවන්නේ ටැංග් රාජවංශ සමයෙහි (ක්‍රි. ව​. 618 – 906) මුල් කාලයේ දී යි. කයිෆෙංග් වැනි අභ්‍යන්තර වෙළෙඳ නගරවල මෙන්ම වරායයන් ආශ්‍රිත ව ද, යුදෙව්වන් වාසය කළේ ය යි විශ්වාස කළ හැකියි. 878 වසරේ දී හුවංග් චාඕ විසින් කැන්ටොන් නගරයට පහර දී, එහි වූ වෙළෙඳුන් ඝාතනය කළ අවස්ථාවේ යුදෙව්වන් ද මරා දමන ලද බව සඳහන් වනවා.

කයිෆෙංග් (Virtual Jerusalem)

මීට සමකාලීන ව ම කයිෆෙංග් නගරයෙහි තරමක යුදෙව් ජනගහනයක් ජීවත් වූ බව වාර්තා වනවා. ගොඩබිම් සේද මාවත ඔස්සේ අරාබිය, පර්සියාව ආදී ප්‍රදේශයන්ගෙන් වෙළෙඳුන් චීනය කරා පැමිණි අතර, ඒ සමග ම යුදෙව්වන් ද මෙසේ පැමිණියා. මේ ඇතමෙක් චීනයෙහි නවතින්නට තීරණය කළා. සොංග් රාජවංශ සමයෙහි (ක්‍රි. ව​. 960 – 1279) මුල් කාලයෙහි දී (960 සිට 1127 දක්වා) කයිෆෙංග් එහි අගනගරය වූ හෙයින් වෙළෙඳුන් ද වැඩියෙන් එහි ළඟා වුණා. එම නිසා මුස්ලිම් සහ යුදෙව් වෙළෙඳුන් එහි රැඳුණා.

බොහෝ චීන ජාතිකයන් මේ දෙපිරිස අතර විශාල වෙනසක් දුටුවේ නැහැ. ඔවුනට සලකනු ලැබුණේ එක ම ආකාරයෙන්. මොංගොල් අධිරාජ්‍යයා වූ ජිංගිස් ඛාන් සිය පාලනය යටතේ දී මේ දෙපිරිස ම මත නව නීති රීති පැනවූවා. ඒ ඔවුනගේ චාරිත්‍ර තහනම් කිරීමෙන්.

පෙළපත් නාම​

මොංගොල් පාලන සමයේ දී යුදෙව් ජනයා මත පැනවුණ නීති 1368 දී එම පාලන තන්ත්‍රය බිඳ වැටීමෙන් පසු ලිහිල් වුණා. ඔවුන් බලයෙන් නෙරපා බලයට පැමිණි මිංග් රාජවංශයෙහි අධිරාජයා යුදෙව් ජනයා වෙත පෙළපත් නාම අටක් භාවිතා කිරීමට අවසර දුන්නා. මෙම පෙළපත් නාම වූයේ අයි (Ai), ෂ (Shi)​, ගාඕ (Gao), ගාන් (Gan), ජින් (Jin), ලී (Li), චෑංග් (Zhang), සහ චාඕ (Zhao) යන ඒවා යි.

මෙම පෙළපත් නාමයන් අතුරින් පිළිවෙලින් පාෂාණ සහ රත්‍රන් යන තේරුම් සහිත ෂ සහ ජින් යන නාමයන්, යුරෝපයේ භාවිතා වූ ෂ්ටයින් සහ ගෝල්ඩ් යන නම් සමග බැඳුණේ ය යි සිතිය හැකියි.

මාර්කෝ පෝලෝ, ඉබන් බතූතා ආදී 13 වන සහ 14 වන සියවස්වල ජීවත් වූ සංචාරකයන් ද චීනයේ යුදෙව් ජනයා පිළිබඳ සටහන් තබා තිබෙනවා.

මිෂනාරි කටයුතු

17 වන සියවසෙහි ආරම්භයේ දී චීනයේ ජීවත් වූ ප්‍රධාන ම මිෂනාරිවරයෙකු වූ මතෙයෝ රිච්චි සඳහන් කරන අන්දමට 1605 දී අයි ටියන් නම් කයිෆෙංග් යුදෙව්වෙකු බීජිං නුවරට පැමිණ ඔහු මුණගැසී තිබෙනවා. අයි ටියන් බීජිං පැමිණ තිබුණේ අධිරාජ්‍ය සිවිල් සේවා විභාගයට මුහුණ දීමට යි. ඔහු රිච්චි සොයාගෙන ආවේ ඔවුන් සහ රිච්චි එක ම දෙවියෙකු අදහන බවට ලැබුණ තොරතුරක් මත යි. අයි ටියන් විසින් රිච්චිට දැන්වූ පරිදි එකල කයිෆෙංග් හි යුදෙව් පවුල් දහයක් පමණ වාසය කර තිබෙනවා.

මෙම යුදෙව්වන් සිය ආගමට නම්මා ගැනීමට රිච්චි බලාපොරොත්තු වූ අතර, ඒ සඳහා වෙනත් මිෂනාරිවරයෙකු ඔහු විසින් කයිෆෙංග් වෙත තවනු ලැබුණා. එම මිෂනාරිවරයා රිච්චි වෙත දන්වා සිටියේ කයිෆෙංග් හි සිනගොගයේ යුදෙව් ආගමික කටයුතු හොඳින් සිදුවන බව යි.

නමුත් මින් වසර තුනකට පසු අයි ටියන්ගේ බෑණා කෙනෙකු ඇතුළු තිදෙනෙක් රිච්චි වෙත ගොස් බෞතිස්ම වූ බව සඳහන් වනවා. කයිෆෙංග් හි හිටපු රබයිවරයා (යුදෙව් පූජකයා) මියගිය බවත් නව රබයිවරයා ධර්මය පිළිබඳ එතරම් දැනුමක් නොමැත්තෙකු බවත්, ඔවුන් රිච්චි සමග පවසා තිබෙනවා. චීන යුදෙව්වන් කෙමෙන් අභාවයට යන ජන කොටසක් බව මේ සිද්ධිය ඇතුළු තොරතුරු සලකා බැලීමෙන් පසු රිච්චි අනුමාන කළා.

චාඕ යින්ග්චෙන්

1616 දී කයිෆෙංග් හි යුදෙව් පවුලක උපන් චාඕ යින් ග්චෙන් චීන යුදෙව් ජාතිකයකු ළඟා වූ ඉහළ ම ස්ථානයට ළඟා වූවෙකු වනවා. චාඕ චීන සහ හීබෲ භාෂා දෙක ම ප්‍රගුණ කළා. ඔහු තරුණ වියේ දී අධිරාජ්‍ය සිවිල් සේවා විභාගයෙහි ඉහළ ම අවස්ථාව වූ ජින්ෂ උපාධියෙන් චීනයේ ම පළමු ස්ථානය ලබා ගත්තා. චීනයේ අධිකරණ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ බවට ඔහු පත් කෙරුණා.

මේ සමය මිංග් රාජවංශයෙහි අවසාන කාලය යි. චීනය බෙහෙවින් අස්ථාවර වෙමින් පැවතුණා. 1642 දී මිංග් හමුදා විසින් කයිෆෙංග් ප්‍රදේශය ජල ගැල්මකට ලක් කළේ කැරලිකාර ලී සර්චංග් විසින් නගරය අල්ලා ගැනීම වැළැක්වීමට යි. කයිෆෙංග් යුදෙව්වන් උතුරු දෙසට පළා ගියේ ඔවුනගේ ආගමික ග්‍රන්ථ ද රැගෙන යි. එයින් සමහරක් ඔවුන් පළා යද්දී විනාශ වූ නමුත් කොටසක් ආරක්ෂා කරගන්නට ඔවුනට හැකි වුණා.

මෙයින් වසර දහයකට පමණ පසු චාඕ යින්ග්චෙන් මූලිකත්වය ගෙන කයිෆෙංග් යුදෙව්වන් නැවත නගරය වෙත ගෙන්වා ගත්තා. ඔවුන් විනාශ වී තිබුණු සිනගොගය ද ප්‍රතිසංස්කරණය කර 1663 දී එය විවෘත කළා.

කයිෆෙංග් සිනගොගයේ ආකෘතියක්, ටෙල් අවිව් හි යුදෙව් ඩයස්පෝරා කෞතුකාගාරයේ (Wikimedia Commons)

කයිෆෙංග් යුදෙව් ප්‍රජාවගේ අවනතිය​​

චින් (Qing) රාජවංශ සමයේ දී කයිෆෙංග් යුදෙව් ප්‍රජාව කෙමෙන් අභාවයට යන්නට වුණා. 1810 දී අවසාන රබයිවරයා මිය ගියේ අනුප්‍රාප්තිකයෙකු නොමැති ව යි. හීබෲ භාෂාව ද භාවිතා වීම මේ වෙද්දී සීමා වී තිබුණා. 1853 වෙද්දී සිනගොගය ගරා වැටුණ අතර, 1866 ගං වතුරින් එය සම්පූර්ණයෙන් විනාශ වුණා.

1867 දී ඔස්ට්‍රියානු යුදෙව්වන් දෙදෙනකු කයිෆෙංග් වෙත පැමිණි අතර, ඔවුන් වාර්තා කළේ තවමත් කයිෆෙංග් හි යුදෙව් ජනයා සතු ව ඔවුනගේ සුසාන භූමියක් ඇති බවත්, ඔවුන් ඇතැම් යුදෙව් චාරිත්‍ර තවමත් ඉටු කරන බවත්. නමුත් තවත් කල් යාමේ දී කයිෆෙංග් යුදෙව් ප්‍රජාව බොහෝ දුරට අභාවයට ගියා.

යුදෙව් සංක්‍රමණ

19 වන සියවසේ දී චීනයේ විවිධ වෙළෙඳ නගරවල බටහිර පාලනය යටතේ වූ ප්‍රදේශයන් ඇති වූ බව අපි මීට පෙර අබිං යුද්ධය පිළිබඳ ලිපි මඟින් විස්තර කළා.

වැඩිදුර කියවන්න​:

පළමු අබිං යුද්ධය

දෙවන අබිං යුද්ධය​

මෙයින් පසු ෂැංහයි, ටියැන්ජින් ආදී ප්‍රදේශයන් වෙත යුදෙව් වෙළෙඳ ප්‍රජාව සංක්‍රමණය වුණා. මීට අමතරව හොං කොං ප්‍රදේශයටත් ඔවුන් පැමිණියා.

1930 දශකයේ යුරෝපයේ රටවල යුදෙව් විරෝධය වර්ධනය වීමත් සමග සමහර යුදෙව්වන් චීනයට සංක්‍රමණය වුණා. 1940 වන විට 36,000ක් පමණ වූ යුදෙව් ජනගහනයක් චීනයෙහි සහ හොං කොං හි වාසය කළා. මේ අයගෙන් යුරෝපයේ සිට පැමිණි අය ෂැංහයි සහ හොං කොං ප්‍රදේශයන්වලත් රුසියාව හරහා පැමිණි අය හාර්බින් ප්‍රදේශයේත් පදිංචි වුණා.

හාර්බින් හි ප්‍රධාන සිනගොගය (Jerusalem Post)

1931 සිට මැන්චූරියාව ජපන් පාලනයේ පැවතුණ අතර, 1937 දී චීන – ජපන් යුද්ධය අතරතුර ෂැංහයි ප්‍රදේශය ජපනුන් අතට පත් වුණා. නමුත් ෂැංහයි හි යුරෝපා සහ ජාත්‍යන්තර ප්‍රදේශවලට හානියක් වූයේ නැහැ. 1941 දී ජපානය දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වූ පසු මෙම ප්‍රදේශ වගේ ම හොං කොං ද ඔවුන් අතට පත් වුණා. ජර්මනියෙන් පැමිණි පීඩනය හේතුවෙන් ජපනුන් ෂැංහයි හි යුදෙව්වන් වෙන ම ප්‍රදේශයක රැඳවීමට කටයුතු කළා.

නමුත් චීනයෙන් යුදෙව්වන් විශාල වශයෙන් පිට වූයේ 1949 දී එරට කොමියුනිස්ට් පාලනයට යටත් වූ පසු ව යි. කොමියුනිස්ට් පාලනය අදටත් යුදෙව් ධර්මය චීන ජාතිකයන් අතර පවතින ඇදහිල්ලක් ලෙස පිළිගන්නේ නැහැ.

ෂැංහයි හි යුදෙව් සරණාගතයින් පිරිසක් දෙවන ලෝක යුද්ධ සමයේ දී (HongKongHeritage / Youtube)

1978 න් පසු චීනය ආර්ථික ප්‍රතිසංස්කරණයන්ට නැඹුරු වෙද්දී යළිත් චීන යුදෙව්වන් එරටට පැමිණියා. 21 වන සියවස මුල් කාලයේ ඔවුනගේ පැහැදිලි පුනරුදයක් විශේෂයෙන් ම ෂැංහයි සහ කයිෆෙංග් හි දකින්නට තිබුණා. නමුත් ජනාධිපති ෂී ජින්පිං යටතේ ඔවුනගේ නිදහස නැවතත් බෙහෙවින් සීමා වී තිබෙනවා. මේ අනුව බොහෝ යුදෙව්වන් දැන් ඊශ්‍රායලයට සහ වෙනත් රටවලට සංක්‍රමණය වීමට පටන් ගෙන තිබෙනවා.

 

Related Articles