ලෙබනනයේ සති දෙකකට ආසන්න කාලයක් පුරා පවතින විරෝධතා හේතුවෙන් මේ වන විට එරට අගමැතිවරයා වන සාද් හරීරි (Saad Hariri) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. මීට පෙර ඇමතිවරුන් කිහිපදෙනෙක් ද ආණ්ඩුවෙන් ඉල්ලා අස් වී තිබෙන අතර, මේ පිළිබඳව විරෝධතාකරුවන් සමග සාකච්ඡා කර විසඳුමකට එළඹීමට අගමැතිවරයා උත්සාහ දැරුවත් විරෝධතාකරුවන් ඊට කැමැත්තක් පළ කරන්නේ නෑ.
අගමැතිවරයාගේ දේශපාලන දූෂණ හා රටේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පැන නැගී ඇති මෙම විරෝධතාව සමනය කිරීමට හැකියාවක් නොමැති බැවින් ඔහු ඉවත් වෙන බව, ඔහු විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ඉල්ලා අස් වීමේ ලිපියේ සඳහන් කර තිබෙනවා.
“මට මෙය ඔබෙන් සැඟවිය නොහැකි යි. මම අවසානයකට පැමිණ සිටිනවා. සියල්ලටම පෙර අංක එකේ තිබිය යුත්තේ රට යි. කවදාවත් නොමැතිව අප දරුණු ආර්ථික අර්බුදයකට රටක් වශයෙන් මුහුණ පා සිටිනවා. ඒ හේතුවෙන් මම රටේ සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කරන්නේ, අපේ රටේ ආර්ථිකය නැවත නගාසිටුවීමට හා රට ආරක්ෂා කිරීමට යි.
ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වෙමින් තවදුරටත් එලෙස ප්‍රකාශ කරනවා. අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමේ කතාවෙන් පසුව බොහෝ විරෝධතාකරුවන් ප්‍රමාණයක් වීදිවල සිටම එය ජයග්‍රහණයක් ලෙස සලකා සැමරීමට කටයුතු කරනවා. මෙම ඉල්ලා අස්වීමත් සමගම නිරන්තරයෙන් අර්බුද පවතින ලෙබනන දේශපාලනයේ යළිත් වරක් අවිනිශ්චිත වාතාවරණයක් මතු වී තිබෙනවා.
ලෙබනනයේ ක්‍රියාත්මක වන ඉරාන ආධාර ලබන හිස්බුල්ලා සංවිධානය දැඩිව විවේචනය කරමින් සුන්නි මුස්ලිම් ප්‍රජා නායකයෙකු හා ව්‍යාපාරිකයෙකු වන සාද් හරීරි විසින් දෙවන වරට ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවේ 2016 වසරේ දී යි. එය කණ්ඩායම් කිහිපයක එකතුවකින් නිර්මාණය වූ එක්සත් ආණ්ඩුවක් විය.
ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය වීම
2019 වසරේ ඔක්තෝම්බර් 17 වනදා රජය විසින් 2020 වසර සඳහා වන අයවැය ලේඛනය සඳහා ගත යුතු උපාය මාර්ග ප්‍රකාශයට පත් කිරීම සිදුකරනවා. මේ ඔස්සේ වට්ස්ඇප් දුරකථන ඇමතුම් සඳහා බදු මුදලක් අය කිරීම සඳහා කැබිනට් තීරණයක් නිකුත් වෙනවා. ඊට අමතරව බදු ඉහළ දැමීමේ යෝජනාවක් ද එරට රජය විසින් ගෙන එනවා.
මේ දිනයේම එරට ජනතාව විදී බසින්න පටන් ගත් අතර, රජයේ වංචා දූෂණ පිළිබඳවත් බදු ප්‍රතිපත්ති හකුලාගන්නා ලෙසත් බල කරමින් ඔවුන් තම විරෝධතාව ආරම්භ කරනවා. මෙම විරෝධතාකරුවන් එරට අගනුවර වන බේරූට් නගරයට රැස් ව, ක්‍රමක්‍රමයෙන් එය නගරයෙන් නැගෙනහිර හා බටහිර පැතිවලට ද ඇදී යන අතර, ඒ සෑම ප්‍රදේශයකම මහා මාර්ග අවහිර කරමින් පොදු දේපළවලට හානි කරමින් ටයර් පුළුස්සමින් ජනතාව විරෝධතාවල නිරත වෙනවා. මේ උද්ඝෝෂණ මෙහෙයවීම සඳහා විපක්ෂ කණ්ඩායම් කිහිපයක්ම සහභාගී වෙනවා. ඊට අමතරව ප්‍රජා සංවිධාන කිහිපයක්ම ඒ සඳහා නායකත්වය ලබාදෙනවා.
ජීවන වියදම ඉහළ යාම, ආණ්ඩුව විසින් අධික බදු මුදලක් අය කිරීම හා අගමැතිවරයා ඇතුළු අමාත්‍යවරුන්ගේ වංචා දූෂණ මෙම විරෝධතාවයේ ප්‍රධාන සටන් පාඨ බවට පත් වෙනවා. පවතින ආණ්ඩුව ඉල්ලා අස් වී නව දේශපාලන ක්‍රමයක් රට තුළ ස්ථාපනය විය යුතු බව යි ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ.
නිමාවක් නොමැතිව දෙසතියක් පුරා
උද්ඝෝෂණ රැල්ල වේගයෙන් රට පුරා පැතිර යාමත් සමග එරට අගමැතිවරයා ඔක්තෝම්බර් 18 වන දින රාත්‍රියේ හදිසියේ කැබිනට් රැස්වීමක් කැඳවන අතර, එහි දී රජයේ හා පෞද්ගලික පාසල් මෙන්ම විශ්වවිද්‍යාල ද පසුදින වසා දැමීමටත්, පනවන ලද වට්සැප් බද්ද සම්පූර්ණයෙන් ම අවලංගු කිරීමටත් කටයුතු කරනවා. මෙම බද්ද අවලංගු කළ බව විදුලි සංදේශ අමාත්‍යවරයා විසින් එදින රාත්‍රියේම දන්වා සිටිනවා.
නමුත් මෙම තීරණය සමග ජනතාව විරෝධතාවලින් ඉවත්ව යන්නේ නෑ. පසු දා උදෑසන නගර කිහිපයකම දේශපාලන පක්ෂ කාර්යාලවලට පහර දෙන කැරලිකරුවන් එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වීමට ද උත්සාහ දරනවා. නමුත් එම උත්සාහය, හමුදාව විසින් කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් වළක්වනු ලබනවා. අගනුවර හා අනෙකුත් ප්‍රධාන නගරවල ප්‍රධාන මාර්ගයන් සම්පූරණයෙන් වසා දමන විරෝධතාකරුවන්, ටයර් පිළිස්සීම හා පොදු දේපොළට හානි කිරීම දිගින් දිගටම සිදුකරනවා.
එදින හවස කැබිනට් රැස්වීමක් කැඳවීමට තිබුණත් පසුව ආණ්ඩුවට සහාය දෙන පක්ෂවල ඇමතිවරුන් එය වර්ජනය කරන බව දන්වන අතර, ඔවුන් විසින්ම අගමැතිවරයා ඉල්ලා අස්වෙන ලෙසත් යෝජනා කර සිටිනවා. ඒ හේතුවෙන් 19 වන දා පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීම ද අවලංගු කර දැමීමට සිදුවෙනවා.
ඉන්පසුව පැවති විරෝධතාවලට ආරක්ෂක අංශවලට අමතරව හඳුනා නොගත් විවිධ කණ්ඩායම් විසින් විරෝධතාකරුවන්ට පහර දීම් සිදුකරන අතර, එම කණ්ඩායම් ආණ්ඩුවේ අනුග්‍රහය ලබන සංවිධානාත්මක කල්ලි බව විරෝධතාකරුවන් විසින් සඳහන් කරනවා.
ඔක්තෝබර් 27 වන දා 10,000කට අධික ප්‍රමාණයක් විසින් ට්‍රිපොලි නගරයේ සිට ලෙබනනය පුරා පැතිරී යන ලෙස මිනිස් දම්වැලක් නිර්මාණය කරනු ලබනවා. එය කි.මී. 170ක දුරක් දක්වා ව්‍යාප්ත කිරීමට විරෝධතාකරුවන් සමත් වෙනවා.
මේ වන විට විරෝධතා හේතුවෙන් 80කට ආසන්න විරෝධතාකරුවන් ප්‍රමාණයක් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.