Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

උතුරු කොරියාව සිසිර ඔලිම්පික් උළෙලට සහභාගී වීම ස්ථිර කරයි

උතුරු කොරියාව පෙබරවාරි මාසයේ දී පැවැත්වෙන 2018 සිසිර ඔලිම්පික් උළෙලට සහභාගී වන බව ප්‍රකාශ කළා.

ඒ, ජනවාරි 9 වනදා උතුරු සහ දකුණු කොරියානු නියෝජිතයන් අතර පන්මුන්ජෝම් හිදී පවත්වන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසයි.

2015 දෙසැම්බරයෙන් පසු දෙරට අතර රාජ්‍ය මට්ටමේ සාකච්ඡා පවත්වන ලද්දේ පළමු වතාවටයි.

2018 සිසිර ඔලිම්පික් උළෙල​

2018 සිසිර ඔලිම්පික් උළෙල පවත්වනු ලබන්නේ දකුණු කොරියාවේ ප්‍යොංග්චෑංග් හිදී යි. මෙය පෙබරවාරි 9 වනදා සිට 25 වනදා තෙක් පැවැත්වෙනු ඇති. රටවල් 89 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. මින් රුසියානුවන්ට සිය ජාතික ධජය යටතේ තරඟ කිරීමේ අවස්ථාව අහිමි වූයේ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කරන ලද බව කියන තහනම් උත්තේජක භාවිතා කිරීමේ වැඩපිළිවෙලක් පිළිබඳ එරටට එරෙහිව ගන්නා ලද ක්‍රියාමාර්ග හේතුවෙන්.

PC2018.com

උතුරු කොරියාව විසින් සිදු කරන ලද න්‍යෂ්ඨික අත්හදාබැලීම් සහ බැලිස්ටික් මිසයිල අත්හදාබැලීම් හේතුවෙන් පසුගිය කාලයේ ඇමරිකාව​, ජපානය, සහ දකුණු කොරියාව වැනි රටවල් සහ උතුරු කොරියාව අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මේ හේතුව නිසා දකුණු කොරියාවේ පැවැත්වෙන සිසිර ඔලිම්පික් උළෙලට උතුරු කොරියාව සහභාගී වීම සැක සහිතව පැවතුණා.

මීට පෙර 1988 දී ගිම්හාන ඔලිම්පික් උළෙල දකුණු කොරියාවේ සියොල් අගනුවර පැවැත්වූ අවස්ථාවේ උතුරු කොරියාව එය වර්ජනය කළ අතර තවත් රටවල් කිහිපයක් ද එයට සහය දැක්වූවා. එය යම් කිසි රටක් ඔලිම්පික් උළෙලක් වර්ජනය කළ අවසන් අවස්ථාව ලෙස වාර්තා වනවා.

නමුත් මෙවර සිසිර ඔලිම්පික් උළෙල වර්ජනය කරන බවක් උතුරු කොරියාව විසින් ප්‍රකාශ කර තිබුණේ නැහැ. නමුත් ඊට සහභාගී වන බවක් තහවුරු කර තිබුණේ ද නැහැ. ප්‍යොංග්චෑංග් උළෙලේ සංවිධායකයන් ප්‍රකාශ කර තිබුණේ උතුරු කොරියානු ක්‍රීඩකයන්ට ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වනු පිණිස දකුණු කොරියාවට පැමිණීමේ අවසරය ලබා දෙනු ඇති බවයි. කෙසේ නමුත් උතුරු කොරියානු කණ්ඩායම ඊට සහභාගී කරවීමට සලකා බලන බව උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් විසින් මුලින්ම ප්‍රකාශ කරන ලද්දේ සිය අලුත් අවුරුදු පණිවිඩයෙනුයි.

කිම් ජොංග්-උන් (KCNA)

ඔලිම්පික් උළෙලේදී රටවල් දෙකේම ක්‍රීඩකයන් එකම ධජයක් යටතේ, එනම් කොරියානු එක්සත් ධජය යටතේ, ආචාර පෙළපාලිය සඳහා සහභාගී විය යුතු බව දකුණු කොරියාව යෝජනා කළ නමුත් ඒ පිළිබඳ උතුරු කොරියාවෙන් නිශ්චිත ප්‍රතිචාරයක් ලැබී නැති බවයි වාර්තා වුණේ.

උතුරු – දකුණු කොරියා සබඳතා

පන්මුන්ජෝම් හිදී පවත්වන සාකච්ඡාවල දී අවධානයට භාජනය කළ ප්‍රධාන කරුණක් ලෙස ඔලිම්පික් උළෙල සැළකිය හැකි නමුත්, උතුරු – දකුණු කොරියා සබඳතා පිළිබඳ වෙනත් කරුණු කෙරෙහි ද අවධානය කෙරුණා. විශේෂයෙන්ම කොරියානු යුද්ධයෙන් වෙන්වූ පවුල්වල සාමාජිකයන් අතර හමුවක් සංවිධානය කිරීමට ද දකුණු කොරියාව යෝජනා කළා. මෙහිදී දකුණු කොරියානුවන් යෝජනා කළේ සිසිර ඔලිම්පික් උළෙල අතරමැද එළඹෙන සාම්ප්‍රදායික නව වසරට සමගාමීව මෙවන් හමුවක් සංවිධානය කළ යුතු බවයි.මේ පිළිබඳවද උතුරු කොරියාව මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැහැ.

Cover Image: ජනවාරි 9 වනදා උතුරු – දකුණු කොරියා හමුව​ (Yonhap)

Related Articles