Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මල් පල ගත් රිචර්ඩ් බ්‍රැන්සන්ගේ අභ්‍යවකාශ සිහිනය

ධනය සමඟ බැඳුණු මිනිසුන්ගේ සිහින විවිධාකාර වේ. එහි උස පළළ ඔහු සතු ධනයේ ප්‍රමාණය හා ඔහු සතු ප්‍රියතා සමඟ එකිනෙක සමපාත වේ. කොතරම් ධන කුවේරයකු වුව ද , අභ්‍යවකාශයේ චාරිකාවක් වැනි සිහිනයක් දැකිම කොතරම් නම් අරුමයක් විය යුතුද ? එංගලන්තයේ  උපත ලබා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මුදුනතම ස්පර්ශ කළ අමෙරිකා ඩොලර් බිලියන් හයක වත්කමක් හිමි ශ්‍රීමත් රිචර්ඩ් බ්‍රැන්සන් ඔහුගේ දශක ගණනාවක් දලුලමින් තිබූ අභ්‍යවකාශ සිහිනය පසුගිය ජුලි 11 වන දා සපුරා ගැනීමට සමත් විය.  මෙම සිදුවීම් මාලාව සමඟ  අනාගත ලෝකයේ ප්‍රමුඛතම ධන කූවේරයන්ගේ නිවාඩු නිකේතනයක් අභ්‍යවකාශයේ ඉදිවුවහොත් එය ද පුදුමයට කරුණක් නොවනු ඇත.

බ්‍රැන්සන් සහ කණ්ඩායම
මෙහෙයුමට සම්බන්ධ වූ කණ්ඩායම  දකුණු පස පළමුවැන්න රිචර්ඩ් බ්‍රැන්සන් – images.app.goo.gl 

 

කුඩා දරුවකු සමයේ දුටු සිහිනය

Virgin  ව්‍යාපාර ක්ෂේත්‍රයේ අතිශය ලාභ ලබමින් දියුණුව ලබන විට රිචර්ඩ් බ්‍රැන්සන්ට නව මානයක් සඳහා සිය අවධානය යොමු කිරිමට අවශ්‍ය විය. ඔහු කුඩා දරුවකු සමයේ  සිට ආදරය කළ සහ මහත් කුතුහලයෙන් බලා සිටි අභ්‍යවකාශය ඔහු ඒ සඳහා නොපැකිළ ව තෝරා ගත්තේ ය. සිය Virgin Airlines ව්‍යාපාර ජාලය හරහා උඩු ගුවන ඔහු ඒවනවිටත් අතික්‍රමණය කර තිබූ නිසා එයින් පියවරක් ඉදිරියට යෑමට ඔහුට ධනය මෙන්ම දැනුමෙන් පරිපුර්ණ කණ්ඩායමක් ද අවශ්‍ය විය.

ඔහු එහි මුල් පියවර තබමින් 2004 වසරෙ Virgin Galactic සන්නාමයෙන් අභ්‍යවකාශය තරණය කිරිමේ ව්‍යාපෘතිය ආරම්භ කළ අතර එහි මුල්ම පියවර ක්‍රියාත්මක වූයේ Virgin Galactic ආරම්භයෙන් වසර 17ක් ගෙවුණු පසුගිය ජුලි 11 වන දිනයි.  එම වසර 17 ඇතුළත  ඔහුගේ ධනය වැයකොට තිබුණේ මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහායි.  රිචර්ඩ් බ්‍රැන්සන් සහ තවත් ප්‍රකට අමෙරිකා බිලියනපතියකු වන Amazon නිර්මාතෘ ජෙෆ් බේසෝස් ද සිය Blue Orgin සමඟ නුදුරු අනාගතයේම මේ හා සමාන අභ්‍යවකාශ අත්දැකීමක් ලැබිමට නියමිත බව  පුවත්පත් වාර්තා කොට තිබිණි. බ්‍රැන්සන්ගේ Virgin Galactic ව්‍යාපෘතිය වඩා කඩිනම් විමට හේතුවත් ජෙෆ් බේසොස්ගේ  ගමන බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කොට තිබිණි. කෙසේහෝ රිචර්ඩ් බ්‍රැන්සන්ගේ ගුවන් ගමන වෙනුවෙන්  Blue Orgin සමාගම පසුව සිය සුබ පැතුම් එක්කර තිබිණි.

Jef bezos සිය යානය සමඟ
Amazon නිර්මාතෘ ජෙෆ් බේසෝස් Blue Orgin හි සිය යානය සමඟ – images.app.goo.gl 

පෙර සැලසුම

Virgin Galactic සන්නාමයෙන් අභ්‍යවකාශය තරණය තළ VSS unity හි දිග මීටර 18.3ක් වන අතර පියාපත් (Wingspan) ද්විත්වයේ දිග ප්‍රමාණය මීටර 8.2 කි. ගුවන් නියමුවන් දෙදෙනකුට සහ මඟින් 6 දෙනකුට ගමන් කළ හැකි යානයේ නියමිත ගමනේ දී රිචර්ඩ් බ්‍රැන්සන් සමඟ අභ්‍යවකාශ ගත වූවේ තවත් තිදෙනෙකු පමණි.   

2012 වසරෙදි VSS unity යානයේ නිෂ්පාදන ක්‍රියාවලිය ඇරඹු අතර 2015 වසරේ සැප්තැම්බරය වන විට එහි සැකැස්මේ නිමාවෙන් 95% අවසන් කිරිමට ගගන ඉංජිනේරුවන්ට හැකි විය.  2016 වසර වන විට යානයේ පරීක්ෂණ ගුවන් ගත වීම් ( Flight Testing  ) ආරම්භ කිරිමට Virgin Galactic සමාගම බලාපොරොත්තු වු අතර ඔවුන් එම වසරේ සැප්තැම්බර් මස 08 වන දින සිය මුල්ම ධාවනය සිදු කළේ ය.  2017 වසරේ දී යානයේ එංජිමේ දෝෂ සියල්ල නිවැරදි කළ අතර 2018 වසරේ සැප්තැම්බර් 13 වන දින ඔවුන්ගේ වසර දෙකක ව්‍යාපෘතියේ මුල් අදිරය වූ යානයේ ගොඩනැංවීමේ කටයුතු සහ දෝෂ නිවැරදි කිරිම් අවසන් විය. එදින ඔවුන් Mark p. Stucky සහ Fedric Wilford සමඟ සාර්ථක ලෙස සැතපුම් 50 සීමාව ඉක්මවා ගුවන්ගත විය.  එම පරීක්ෂණයෙන් පසුව රිචර්ඩ් බ්‍රැන්සන්ගේ දායකත්වය අභ්‍යවකාශ ගමනට ලැබෙන තෙක් ඔවුන් පරීක්ෂණ ගමන්වාර 20 ට වඩා ගුවන් ගත කොට නියමිත තත්ව පරීක්ෂාවට යානය බඳුන් කොට තිබිණි.

උඩුගුවනේදි මිනිත්තු පහක පමණ ස්කන්ධශුන්‍යයත්වය අත්විඳින කණ්ඩායම
පොළවෙන් සැතපුම් 50 පමණ ඉක්මවූ පසු ස්කන්ධශුන්‍යත්වය අත්විඳින VSS unity කණ්ඩායම – images.app.goo.gl 

ජුලි 11 වැනි දා උඩුගුවනේ ක්‍රියාවලිය

Virgin නිර්මාතෘ සමඟ තවත් තිදෙනකු මෙම සුවිශේෂී මොහොත හා සම්බන්ධ විය. එයින් පළමුවැන්නිය නමින් බෙත් මෝසෙස් (Beth Moses.) ය. ඇය  Virgin Galactic හි ප්‍රධාන අජටාකාශගාමී උපදේශකවරියයි. අනාගතයේ Virgin Galactic හරහා සිදුවන පාරිභෝගික සේවා සැපයිමේ ප්‍රධාන සම්බන්ධීකරණය සිදුවන්නෙ ඇය හරහායි. ගුවන් යානා ඉංජිනේරුවරියක්වන ඇය VSS unity යානයේ ඇතුළත සැකැස්ම නිර්මාණයේදී ද දායකත්වය ලබාදී තිබේ. මෙම ගමනට පෙරාතුව 2019 වසරේ පෙබරවාරි මස 22 සිදු වූ VSS unity හි දෙවන පරීක්ෂණ ධාවනයට ද ඇය සාර්ථකත්ව සහභාගි විය. එම නිසා මෙම ගමනේ අත්දැකීම් බහුල ම පුද්ගලයා වුවේ ඇයයි.

දෙවැන්නා කොලින් බෙනට් ය (Colin bennet). ඔහු යානයේ  ඉංජිනේරු අංශය භාර ව සිටි අතර 2016 වසරේ සිට VSS unity  ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ වී සිටි ප්‍රධාන ඉංජිනේරුවෙකි. ඔහුගේ ප්‍රධාන වගකීම වූයේ යානය තුළ වූ උපකරණ උපරිම ක්‍රියාකාරී තත්ත්වයෙන් තබාගැනිමයි. 

සාර්ථක ගොඩබැසමෙන් පසුව සතුට සමරන Virgin Galactic කණ්ඩායම
 සාර්ථක ගොඩබැසමෙන් පසු සතුට සමරන කණ්ඩායම. රිචර්ඩ් බ්‍රැන්සන්ගේ කරමත සිටින්නේ සිරිෂා බන්ඩ්ලාය – images.app.goo.gl  

තෙවැන්නියද කාන්තා ඉංජිනේරුවරියක වන අතර ඇය ඉන්දියාවේ උපත ලබා Virgin Galactic හි සේවය කරන සිරිෂා බන්ඩ්ලා නම් ගගන ඉංජිනේරුවරියයි. ඇය Virgin Galactic ආයතනයේ  උප සභාපති ධූරයක් ද හොබවන අතර ඈ ඉතිහාසගත වූවේ ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ උපත ලබා උපත ලබා උඩු ගුවන තරණය කළ තෙවැනි කාන්තාව ලෙසයි.

VSS unity යානයේ ඉදිරිපෙළ අසුන් දෙක පිළිවෙළින් රිචර්ඩ් බ්‍රැන්සන් සහ බෙත් මෝසෙස්ට වෙන් කර තිබු අතර පිටුපස ආසන දෙක අනෙක් අජටාකාශගාමී දෙදෙනා සඳහා වෙන් වී තිබිණි.

අදියර පහක ගමන් මාර්ගය 

VSS unity හි ගමන් මාර්ගය ඔවුන්ගේ ඉංජිනේරුවන් අදියර පහකට වෙන්කොට තිබු අතර එහි පළමු කොටසේදි එනම් මීටර 15000ක උසක දී මවු යානයෙන් ඉවත්වන අතර ඉන්පසු රොකට්ටුව තත්පර 70ක් පුරාවට පැයට කිලෝමීටර් 4000 ආසන්න වේගයකින් දහනය වෙමින් යානයට අවශ්‍යය ජවය ලබා දිණි. ඔවුන් එම කොටස හැඳින්වූවේ Boost යන නමිනි. අනතුරුව දෙවන පියවරේ සිට තෙවන පියවර දක්වා යානයේ පියාපත් යුගළෙහි මන්දගාමී හැකිළිමක්  සිදුවන අතර තුන්වන අදිරයේ දී මඟින්ට මිනිත්තු පහක පමණ ස්කන්ධ ශුන්‍ය වීමේ තත්ත්වයකට මුහුණදිමට සිදු වේ. ඔබ මේ වීඩීයෝ පටයේ දකින්නේ ඔවුන් සිව්දෙනා ස්කන්ධය ශුන්‍ය වීමකට හසු වූ දර්ශන පෙළයි.

මිනිත්තු පහ අවසන් විමත් සමඟ සිවු වන අදිරයේදි යානයේ පියාපත් නැවත පෙර පැවති ආකාරයට ස්ථානගත විය. ඒ සමඟ මෙහෙයුමේ අවසන් අදිරය වන මෙක්සිකෝහි Virgin Galactic’s අභ්‍යවකාශ යානා නැවතුම්පොළට නැවත ආරක්ෂිතව ගොඩ බැසිම සිදුවූ අතර මානව ඉතිහාසයේ නැවුම් වූ අත්දැකීමකට මුහුණදුන් බිලියනපතියා සිනහමුසු මුහුණෙන් යානයෙන් ඉවතට පැමිණියේ ය.

ගුවන්ගත වී පැයකට පමණ පසු සාර්ථකව පෘථිවියට පැමිණි රිචඩ් බ්‍රැන්සන් 

“මම මේ අවස්ථාව ගැන කුඩා දරුවකු සමයේ සිට සිහින මවමින් සිටියේ. අභ්‍යවකාශයේ සිට පෘථිවිය ලෙස බලන විට දැනෙන හැඟීම හරියට “මැජික් එකක්” වගෙයි.”

 මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ය.

ගමනට පෙරාතුව එලෝන් මස්ක් හමුවිම
සිය සුවිශේෂීම ගමනට පෙරාතුව Space-x නිර්මාතෘ එලන් මස්ක් හමුවිම – images.app.goo.gl 

ඔහු මෙම ගමන මෙලෙසින් අවසන් කළ ද  මෙම ව්‍යාපෘතිය තුළ පවා යම් තරමක  අවදානමක්  තිබිණි. පසුගිය අඩ සියවස පුරාවට ආසන්න වශයෙන් අජටාකාශගාමීන් 31 දෙනකු පමණ රොකට් අනතුරුවලින් මියගොස් තිබිණි.එය ප්‍රතිශතයක් ලෙස 5.5% පමණ ප්‍රමාණයකි.

බිලියන හතක් පමණ ඉක්මවන ලෝක ජනගහනයෙන් මේවනතෙක් අභ්‍යවකාශය තරණයකොට ඇත්තේ මිනිසුන් 570 පමණි. පසුගිය 11 වන දිනෙන් පසුව එම නාමාවලියට Virgin නිර්මාතෘ සර් රිචර්ඩ් බ්‍රැන්සන්ගේ නම ද එක් විය. අනාගත ලෝකයේ බිලියනපතියන් රැසක් මේවනවිටත් විවිධ අභ්‍යවකාශ යානා නිපදවන ආයතන සමඟ කඩිනමින් ලියාපදිංචි වී ඇති අතර එමනිසාවෙන්ම Space Travel නොහොත්  අභ්‍යවකාශයේ විනෝද චාරිකාවක් යෑමේ සිහිනය අනාගත ලෝකයේදි  තවදුරටත් සිහිනයක්ම නොවනු ඇත.

කවරයේ ඡායාරූපය : සර් රිචර්ඩ් බ්‍රැන්සන් ඇතුළු පිරිස උඩුගුවනට ගෙන ගිය යානය - images.app.goo.gl 

 wsj.com

 space.com

Related Articles