Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක් සභා යන ලකුණු මැෂිම – ගෞතම් ගම්භීර්

ලෝකයේ විශාලම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය වන ඉන්දියානු මහ මැතිවරණය මාසයකට අධික කාලයක් තිස්සේ අදියර කිහිපයකින් පැවැත්වුනා. එහි අවසන් ප්‍රතිඵල නිකුත් වීම සිදු වූයේ මැයි 23 වන දින යි. මුළු ආසන 543න් 542ක ජන්දය පැවති අතර ඒ සියල්ලේම ප්‍රතිඵල පිට වී තිබෙනවා. ලෝක් සභා බලය ලබා ගැනීමට යම් පක්ෂයකට අවශ්‍ය වන්නේ ආසන 272ක් ජයග්‍රහණය කිරීම පමණයි.

සමස්ථ ප්‍රතිඵල දෙස බැලීමේ දී හිටපු අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ආසන 300කට වඩා දිනා ගනිමින් දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කර තිබෙනවා. රාහුල් ගාන්ධි ප්‍රමුඛ ඉන්දියානු ජාතික කොන්ග්‍රසයට හිමි වී තිබෙන්නේ ආසන පනස් ගණනක් පමණයි. ඒ අනුව තවත් වසර පහකට අගමැති ධුරයේ කටයුතු කිරීමට හිටපු අගමැති නරේන්ද්‍ර මෝදිට අවස්ථාව ලැබෙනවා.

ඉන්දියානු මහ මැතිවරණයෙන් ඉන්දියානු පාර්ලිමේන්තුවට (ලෝක් සභාවට) තේරී පත්වීමට ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ ක්‍රීඩකයෙක් සමත් වෙලා තිබෙනවා. ඒ භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් දිල්ලියේ නැගෙනහිර දිල්ලි ආසනයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත් ගෞතම් ගාම්භීර් නම් ප්‍රහාරාත්මක පිතිකරුවා යි. මෙම ලිපිය ලියැවෙන්නේ ගෞතම් ගම්භීර් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වීම හා දේශපාලන කේෂ්ත්‍රයට පැමිණ මැතිවරණ ජයග්‍රහණ කිරීම දක්වා වූ සිදුවීම් පෙළ යි.

පිටිය සැරසූ දක්ෂ පිතිකරුවා

ගෞතම් ගම්භීර් ක්‍රිකට් පිටියේ (Sports India Show)

ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වමත් පිතිකරුවෙක් ලෙස 2003 වසරේ සිට 2018 වසර දක්වා කටයුතු කරන ගෞතම් ගම්භීර් ඉන්දියානු කණ්ඩායමේ සිට ප්‍රබල පිතිකරුවෙක් ලෙස හඳුන්වනු ලබනවා. ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ සිටි දක්ෂ හා වාසනාවන්තම ක්‍රීඩකයන් අතරෙන් ගම්භීර්ට විශේෂ ස්ථානයක් හිමිවෙනවා.

ඒ 2007 T20 ලෝක කුසලාන අවසන් තරගයේ දී පාකිස්ථානු කණ්ඩායම පරාජය කර ලෝක කුසලානය ඉන්දියානුවන්ට හිමිකර දීමට වැඩි කාර්යයභාරයක් ඉටුකළ ක්‍රීඩකයා වෙමින්. ඔහු එම තරගයේ දී පන්දු 54කට ලකුණු 75ක් රැස්කරගන්නා අතර එම තරගයේ දී ක්‍රීඩකයෙක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව එය විය. එමෙන්ම 2011 එක් දින ලෝක කුසලාන අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 122ක දී ලකුණු 97ක් රැස්කරනවා. එම තරගයේ දී ඉන්දියානු ක්‍රීඩකයෙක් රැස්කළ ඉහළම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින් ලෝක කුසලානය ඉන්දියාව වෙත රැගෙන යාමට විශාල කාර්යයභාරයක් ඉටු කරනවා.

මීට අමතරව ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලි කිහිපයක්ම නියෝජනය කළ මේ වාසනාවන්ත ක්‍රීඩකයා කොල්කටා නයිට්‍රයිඩර්ස් හා දිල්ලි ඩෙයාඩේවිල්ස් කණ්ඩායම්හි නායකත්වය දරා තිබෙනවා. 2009 වසරේ දී ලොව අංක එක පිතිකරුවා ලෙස නම් කරන්නෙත් ගෞතම් ගම්භිර්ව යි. ඊට අමතරව ඉන්දියානු පිතිකරුවෙක් ලෙස ඔහු වාර්තා කිහිපයක් ද තබා තිබෙනවා.

ක්‍රියාකාරී දේශපාලනයට

භාරතීය ජනතා පක්ෂය හා එකතු වෙමින් (gg2.net)

2018 වසරේ දී තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ගෞතම් ගම්භීර් පවසනවා. 2019 දී ඔහුට ඉන්දියානු පද්ම ශ්‍රී සම්මානය හිමිවෙන අතර එම වසරේම ඔහු ක්‍රියාකාරී දේශපානය ප්‍රවාහයට එකතු වෙනවා. ඒ මෝදීගේ පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය හා එකතු වෙමින්.

තම උපන් ප්‍රදේශය වන දිල්ලියේ නැගෙනහිර දිල්ලි ආසනය නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණය සඳහා ගෞතම් ගම්භිර් ඉදිරිපත් වෙන්නේ භාරතීය ජනතා පක්ෂය හරහා යි. ඔහු විසින් 2019 මාර්තු මාසයේ දී ඒ බව ප්‍රකාශ කර සිටිනවා.

ගම්භිර්ගේ මැතිවරණ ප්‍රතිවාදියෝ

තමාගේ චරිතයට මඩ ගසා ඇති බව පවසන ආතිෂි මලීනා සිං (Deccan Herald)

ගම්භිර් සමග නැගෙනහිර දිල්ලි ආසනය සඳහා තරග කළ ප්‍රධාන ප්‍රතිවාදීන් දෙදෙනා වන්නේ ජාතික කොන්ග්‍රසයේ අර්වින්දර් සිං හා  ආම් ආද්මි පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට පැමිණි ආතිෂි මලීනා සිං ය.

ආතිෂි මලීනා සිං දිල්ලි හි උප ප්‍රධාන ඇමතිවරයාගේ උපදේශිකාවක් ලෙස කටයුතු කරන අතර, ඇය එම පක්ෂයේ දේශපාලන කමිටුවේ සාමාජිකාවක් ද වෙනවා. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා සිටින ඇය දිල්ලිය පුරා ප්‍රසිද්ධ වන්නේ දේශපාලනය පිළිබඳව මනා දැනුමකින් හෙබි කාන්තාවක් ලෙස යි.

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අතරතුර දී තම චරිතය ඝාතනය කරමින් සදාචාරාත්මක නොවන ප්‍රකාශ ගම්භිර්ගේ පාර්ශවය විසින් සිදු කර ඇති බව ආතිෂි මලීනා සිං පවසනවා. තව ද, තමන්ට අපහාස කරමින් අත්පත්‍රිකා තොගයක් ද ඔහුගේ පාර්ශවය විසින් බෙදා ඇති බව මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඇය පවසනවා. කාන්තා හිංසනයට උඩගෙඩි දෙන මෙවැනි පුද්ගලයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත් වීම නැගෙනහිර දිල්ලි ආසනයේ සියලු කාන්තාවන්ට අවමානයක් බවත් ඇය වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ආම් ආද්මි පක්ෂයට අභියෝග කරන ගම්භීර් (twitter.com)

 

ගෞතම් ගම්භීර් මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ මේ චෝදනා නිවැරදි නොවන බවත්, එය ඔප්පු කළ හැකි නම් තමන් දේශපාලනයෙන් සමුගන්නා බවත් ය. එසේම මෙම චෝදනා ඔප්පු කළ නොහැකි නම් චෝදනා එල්ල කරන අයගේ පක්ෂයේ නායකයා හා අය ද දේශපාලනයෙන් සමුගත යුතු බව ගෞතම් ගම්භීර් ට්විටර් පණිවුඩ කිහිපයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.

ජයග්‍රහණය

ගම්භීර් හා බිරිඳ (Hindustan Times)

පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵල මැයි 23 වන දා නිකුත් වූ අතර ප්‍රතිඵල අනුව ගම්භීර් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබෙන බව සඳහන් කළ හැකියි. ඔහු ලබාගත් ජන්ද ප්‍රතිශතය 55%ක් වන අතර පාරජිත අපේක්ෂකයන් වන අර්වින්දර් සිං හා ආතිෂි මලීනා සිං ලබාගත් ජන්ද ප්‍රතිශත පිළිවෙලින් 24.2%ක් හා 17.4%ක් විය.

මෙවර මෙන්ම 2014 වසරේ දී ද නැගෙනහිර දිල්ලි ආසනයේ ජය හිමි වන්නේ භාරතීය ජනතා පක්ෂයට යි.

කවරයේ පින්තූරය - DNA India

මූලාශ්‍රයයන් -

ndtv.com

twitter.com

economictimes.com

indiatoday.in

Related Articles