Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අප්‍රිකාවෙන් පිටතදී හමු වූ පැරණිතම මිනිස් පොසිලය

මානව සම්භවය සැලකීමේ දී මිනිසා මුලින්ම සම්භවය වූයේ අප්‍රිකා මහාද්වීපයේ බවට සාක්ෂ්‍ය රාශියක් හමු වී තිබෙනවා. ඉන් යම් කාලයකට පසුව ඔවුන් අප්‍රිකා මහාද්වීපයෙන් ඉවතට පැතිරී ගොස් තිබෙනවා. මොවුන් එලෙස සංක්‍රමණය වී තිබෙන්නේ මීට වසට 70,000කට පමණ පෙර බව මෑතක් වන තුරුම සැලකුණා. කෙසේ නමුත් ග්‍රීසියෙන් හමු වූ ඉපැරණි මානව හිස්කබලක් නිසා, එම සංක්‍රමණය සැබවින්ම සිදුව ඇත්තේ ඊට බොහෝ කලකට පෙර බවට විවාදයක් ඇති වී තිබෙනවා.

ඉපැරණි මානව පොසිලයක්

මීට වසර 40කට පමණ පෙර ග්‍රීසියේ ඇපිඩිමා නම් හුණුගල් ගුහාවේ තිබී විද්‍යාඥයින්හට ඉපැරණි මානව පොසිලයක් හමුවුණා. මානව හිස්කබලක් වූ එය බැලූ බැල්මට අවම වශයෙන් වසර 50,000ක් වත් පැරණි වුණා. කෙසේ නමුත් විවිධාකාරයේ හේතු නිසා ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යයනයන් සිදු නොවූ අතර, එය ඇතන්ස් හි කෞතුකාගාරයක තැන්පත් කෙරුණා. පසුකාලීනව එහි වැදගත් කම වටහාගත් විද්‍යාඥයින් පිරිසක් එය සියුම් අධ්‍යයනයකට භාජනය කිරීමට කටයුතු කළ අතර, එම අධ්‍යයනයන් ඔස්සේ මේ වන විට හඳුනාගෙන තිබෙන්නේ මේ හිස්කබල ලොව එතෙක් මෙතෙක් අප්‍රිකා මහාද්වීපයෙන් පිටත දී සොයාගත් පැරණිතම මානව ශරීර කොටස බව යි.

හමු වූ හිස්කබල් කොටස- Katerina Harvati, Eberhard Karls University of Tübingen

පර්යේෂණවලට අනුව උක්ත හිස්කබල අවම වශයෙන් වසර 210,000ක් වත් පැරණි බැව් සොයාගෙන තිබෙනවා. මෙය නුදුරු අනාගතයේදී හරියාකාරවම තහවුරු වුවහොත් එය මානව ඉතිහාසය නැවත ලිවීමට සමත් වෙනවා. ‘ඇපිඩිමා 1’ යනුවෙන් හඳුන්වන මෙම පොසිලය ඇත්තෙන්ම වසර 210,000ට වඩා පැරණි නම් එය යුරෝපයට මානවයා මුලින්ම පැමිණියේයැ යි මෙතෙක් අනුමාන කර තිබූ කාලය තවත් වසර 150,000කින් පමණ අතීතයට ගෙනයන්නක් වෙනවා.

වෙනස් වන ඉතිහාසය

වර්තමානය වන විට පිළිගැනෙන මානව සම්භව ඉතිහාසයට අනුව, අප්‍රිකා මහාද්වීපයෙන් පිට සියළුම මානව කණ්ඩායම් පැවත එන්නේ මීට වසර 70,000කට පමණ පෙර අප්‍රිකාවෙන් පිටතට සංක්‍රමණය වූ මානව කණ්ඩායමකිනු යි. කෙසේ නමුත් දැන් පෙනී යන්නේ ඊට බොහෝ කලකට පෙර ද මානවයා අප්‍රිකාවෙන් පිටතට ගමන් කොට ඇති බව යි.

මෑතකදී විද්‍යාඥයින් විසින් ඊශ්‍රායලය ඇතුළු යුරෝපයේ තවත් ස්ථාන කිහිපයකින් සොයාගත් ඉපැරණි මානව ශරීර කොටස් කිහිපයක්ම වසර 70,000කට වඩා බොහෝ සෙයින් පැරණි බව සොයාගෙන තිබෙනවා. මේ අතර වසර 180,000ක් පමණ පැරණියැ යි සැක කෙරෙන හකු අස්ථියක් ද තිබෙනවා. මේ අනුව විද්‍යාඥයින් අනුමාන කරන්නේ මානවයින්ගේ පළමු සාර්ථක යුරෝපා සංක්‍රමණය මීට වසර 70,000කට පෙර සිදු වුව ද ඊට බොහෝ කාලයකට පෙර සිටම ඔවුන් යුරෝපා භූමියේ ජනාවාස පිහිටුවාගන්නට උත්සාහ දරා ඇති බව යි. ස්වභාවික ව්‍යසන නිසා හෝ නියැන්ඩතාල් මානවයින්ගේ ප්‍රහාරවලට ලක් වී මිය යාම නිසා ඒවා අසාර්ථක වන්නට ඇති බැව් විද්‍යාඥයින් වැඩිදුරටත් අනුමාන කරනවා.

වසර 70,000කට පෙර මානවයින් යුරෝපයට පැමිණි බවට සාක්ෂ්‍ය තිබුණ ද මෙතෙක් වයස තහවුරු කර ඇති පැරණිතම යුරෝපීය මානව පොසිලය පැරණි වන්නේ වසර 45,000ක් පමණ යි. මේ නිසා යම් හෙයකින් උක්ත හිස්කබලෙහි වයස නිසියාකාරවම තහවුරු කරගතහොත් එය පෙර පොසිලයට වඩා සිවු ගුණයක් පැරණි පොසිලයක් බවට පත් වෙනවා. මේ වන විට මේ සම්බන්ධයෙන් වැඩිදුර පර්යේෂණ කරන විද්‍යාඥයින් හිස්කබල හමුවූ ස්ථානය සමීපයේ ගවේෂණ අරඹා ඇත්තේ තවත් සාක්ෂ්‍ය සොයාගෙන නව මතවාදයක් ගොඩනංවන්න්ට යි. ඉන් අනතුරුව ඔවුනට ඉතිහාසය නැවත ලියන්නට හැකි වෙනු ඇති.

නව මතවාදකට ඇති බධා

ඉපැරණි ඉස්කබල පිළිබඳ ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව ලොව පුරා විද්‍යාඥයින්ගෙන් හා ඉතිහාසඥයින්ගෙන් ඊට විවිධාකාරයේ ප්‍රතිචාර ලැබුණා. සමහරෙක් මෙහි වයස නිර්ණය කිරීමේ ක්‍රමවේද පිළිබඳ සැක පහළ කරද්දි තවත් සමහරෙක් පවසන්නට වූයේ මෙය කිසි ලෙසකින් හෝමෝ සේපියන්ස් මානවයාට අයත් හිස් කබලක් විය නොහැකි බව යි. මෙය බොහෝ විට නියැන්ඩතාල් මානවයාට අයත් හිස් කබලක් විය යුතු බවට ඔවුන් තර්ක කරනවා. කෙසේ නමුත් මේ වන විට සොයාගෙන ඇත්තේ මෙය හෝමො සේපියන්ස් මානවයාටම අයත් හිස් කබලක් බව යි.

ඇපිඩිමා 2 නියැන්ඩතාල් හිස්කබල- Katerina Harvati, Eberhard Karls University of Tübingen

මෙම මානව හිස්කබල ඇපිඩිමා ගුහාව තුළිින් සොයාගෙන ඇත්තේ 1978 වසරේ දී යි. එය ඇතැන්ස් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති අතර, එහි වැදගත්කම පිළිබඳව එතරම් අවබෝධයක් නොතිබුණු නිසා දෝ එය එතරම් හොඳින් රක්ෂණය කර නැහැ. මේ නිසා දූවිලි වැනි දේ වැදී එහි වැදගත් සාක්ෂ්‍ය රාශියක් වියැකී ගොස් තිබීමේ අවදානමක් ද මතු වී තිබෙනවා.

මෙමෙ හිස්කබල සමගම තවත් හිස්කබලක් හමු වී ඇති අතර, ඇපිඩිමා 2 නම් වූ එය අතීතයේ පටන් පර්යේෂණ රාශියකට බඳුන් කර තිබෙනවා. එය ද ඇපිඩිමා 1 තරමට පැරණි වන නමුදු, පසුකාලීනව සොයාගෙන ඇත්තේ එය නියැන්ඩතාල් මානවයෙකු හට අයත් හිස් කබලක් බව යි.

නවීන පර්යේෂණ

ඇපිඩිමා 1 පිළිබඳව පර්යේෂණ කරන පර්යේෂක කණ්ඩායම වර්තමාන පර්යේෂණ සඳහා ඇපිඩිමා 2 හිස්කබලත් යොදාගෙන තිබෙනවා. මේ හිස් කබල් දෙකෙහිම සී.ටී ස්කෑන් පරීක්ෂණ දෙකක් සිදුකොට ඒවායේ ත්‍රිමාන සැකසුම් ලබාගෙන තිබෙනවා. ඒ අනුව නියැන්ඩතාල් හා හෝමෝ සේපියන්ස් හිස්කබල් දෙකෙහි වෙනස්කම් අධ්‍යයනය කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙන අතර මේ දෙකම වර්තමාන යුගයේ හිස්කබලක් සමග ද සසඳා බැලීමට අදහස් කර තිබෙනවා.

එපිඩිමා 1 හිස්කබලෙහි පසුපස වඩාත් හොඳින් සංරක්ෂණය වී ඇති අතර, එය නියැන්ඩතාල් හිස්කබල මෙන් පසුපසට නෙරා නොගොස්, වර්තමාන මානව හිස්කබල් මෙන් සැකසී තිබෙනවා. මේ අනුව මෙය හෝමෝ සේපියන්ස් හිස්කබලක් බැව් වඩාත් තහවුරු වෙනවා.

මේවායේ වයස නිර්ණය කරන්නට පර්යේෂකයින් යොදාගෙන ඇත්තේ විකිරණශීලී යුරේනියම් ක්ෂය වීම අධ්‍යයනය කිරීම යි. මේ අනුව හෝමෝ සේපියන් හිස්කබල වසර 210,000ක් පමණ ද නියැන්ඩතාල් හිස්කබල වසර 170,000ක් පමණ ද පැරණි බැව් සොයාගෙන තිබෙනවා. කෙසේ නමුත් මේ හිස්කබල් ද්විත්වය සම්බන්ධ වී තිබූ පාෂාණ ස්ථරය නම් මීට වසර 150,000කට පමණ පෙර ඇති වූ එකක් බැව් පෙනී ගොස් තිබෙනවා. මේ අනුව හිස් කබල් දෙකම පසුකාලීනව මඩ ප්‍රවාහයක ගිලී පසුව ඝණීභවනය වන්නට ඇති බවට අනුමාන කෙරෙනවා.

සී.ටී ස්කෑන් පරීක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය කරන ලද ඇපිඩිමා 1 හිස්කබල- Katerina Harvati, Eberhard Karls University of Tübingen

පසුවදන

උක්ත විද්‍යාඥයින්ගේ සොයාගැනීම් පිළිගන්නට තවමත් බොහෝ විද්‍යාඥයින් සූදානම් නැහැ. ඔවුන්ගේ තර්කය සාක්ෂ්‍යවල මඳකම යි. කුඩා හිස් කබල් කොටසකින් විශාල නිර්ණයන්වලට යා නොහැකි බැව් ඔවුන් පවසනවා. කෙසේ නමුත් මේ පර්යේෂණයට සම්බන්ධ විද්වතුන් පවසන්නේ එම හිස්කබල හමු වූ ස්ථානය අවට ඩී.එන්.ඒ ලබාගත හැකි මට්ටමක පවතින ශරීර කොටස් තිබිය හැකි බව යි. එමෙන්ම පර්යේෂණ සිදුවන සීග්‍රතාවය බිඳකදු අඩු කරන්නට ඔවුන්ගේ සූදානමක් නැහැ. මේ නියැන්ඩතාල් හා හෝමෝ සේපියන්ස් හිසබල් එකම තැනකට පැමිණියේ කෙසේ ද? ඒවායේ වයස පරතරය වසර 40,000ක් පමණ වූයේ කෙසේ ද? ඒවා ඊටත් දහස් ගණනකට පසු මඩ ප්‍රවාහයකට හසු වූයේ කෙසේ ද? වැනි පැනයන්ට පිළිතුරු ලඟදීම ලැබෙනු ඇතැ යි මේ පිළිබඳව උනන්දුව දක්වන අයවළුන් විශ්වාස කරනවා.

Related Articles