Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එකම ශරීරය බෙදාහදාගන්නා සොහොයුරියෝ – ඇබී හා බ්‍රිටනි

එක කුස උපන් සොහොයුරු සොහොයුරියන් කුඩා කල සිට ම විවිධාකාර දේ බෙදාහදාගෙන භාවිතා කරනවා. මේ නිසා ඒ එකිනෙකා අතර ඇති වන මානසික බැඳීම ද අතිමහත්. ඔවුන් විසින් මෙසේ සමහර දේවල් ජීවිත කාලය පුරාවට ම බෙදාහදාගන්නවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන නිවුන් සොයුරියන් වන ඇබී හා බ්‍රිටනි හෙන්සෙලුත් මෙලෙස බොහෝ දේ බෙදාහදාගන්නා දෙදෙනෙකු වෙනවා. කොටින්ම ඔවුන් දෙදෙනා හට මියයන තුරු ම ජීවත්වන්නට සිදු වී තිබෙන්නෙත් එකම ශරීරයක් තුළ යි.

ලොව ජනප්‍රියතම බද්ධ වූ නිවුන් දරුවන් දෙදෙනා

කුඩා කල – YouTube

1990 මාර්තු මස 7 වැනි දින ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ දී උපත ලද ඇබී හා බ්‍රිටනි හෙන්සෙල් තනි ශරීරයක්, අත් දෙකක්, හා පා දෙකක් සහිත ව බිහි වූ අතර ග්‍රීවයන් දෙකක් හා වෙන් වූ හිස් දෙකක් සහිත වුණා. බද්ධ වූ දරු උපත් ලොව දුර්ලභ අතර, මේ ආකාරයට හිස් දෙකක් පමණක් සහිත ව ඔවුන් උපත ලැබීම තවත් දුර්ලභ වුණා. වෛද්‍යවරුන් එක්වර ම ඔවුන්ගේ දෙමව්පියන් දැනුවත් කරමින් පැවසුවේ මේ ආකාරයට බද්ධ වී උපදින දරුවන් ජීවත් වන්නේ ඉතා කලාතුරකින් බවත්, එසේ ජීවත් වීමට නම් එක් හිසක් ශරීරයෙන් ඉවත් කළ යුතු බවත් යන කාරණාව යි. කෙසේ නමුත් දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවනු දුටු එම දෙමව්පියන් එම අදහසට විරුද්ධ වුණා. වෛද්‍යවරු විසින් ඔවුන් උපතේ සිට දිනක් ගතවන තුරුත් ජීවත් වීම පිළිබඳ ව සැක පහළ කළත් මේ වන විට ඔවුන් නිරුපද්‍රිත ව සිය 28 වන උපන්දිනය ද පසුකර තිබෙනවා. මේ කරුණු කාරණා නිසා අද වන විට ඔවුන් ලොව ජනප්‍රියතම බද්ධ වූ නිවුන් දරුවන් යුගල බවට පත් වී තිබෙනවා.

කායික සැකැස්මේ විශේෂතා

පිටතින් එක ශරීරයක් දරන්නා සේ පෙනුණ ද ඇත්තෙන් ම මේ දෙදෙනාට වෙන් වෙන් වශයෙන් හෘදවස්තුවක්, කොඳු ඇට පෙළක්, පෙනහළු, ආමාශයක්, වකුගඩු, හා පිත්තාශයක් පිහිටා තිබෙනවා. මොවුන් දෙදෙනා බිහිවීමට හේතු වී තිබෙන්නේ මවගේ ගර්භාෂයේ දී යුක්තානු දෙක නිසි ලෙස වෙන්වීමට සමත් නොවීම නිසා යි.

ඇබී හා බ්‍රිටනිගේ කායික සැකැස්ම- worldemand.com

 

ඇබී හා බ්‍රිටනි යන දෙදෙනාට ම පොදු වූ අවයව අතර ඉළඇට කූඩුව, මහාන්ත්‍රය, අක්මාව, ප්‍රජනක පද්ධතිය වැනි දේ වෙනවා. මේ අනුව මේ දෙදෙනාගේ බද්ධය ලෝකයා දුටු ඉතා ම සංකීර්ණ මානව බද්ධ වීමක් ලෙස සැලකෙනවා.

වයසෙන් වැඩීමේ දී ඇති වූ අභියෝග

ඇබී හා බ්‍රිටනි සෞඛ්‍ය අතින් යහපත් ව හැදී වැඩුණත්, වයසින් මුහුකුරා යාමත් සමග අභියෝග කිහිපයකට මුහුණ පෑවා. ශරීරයේ අවයව බොහොමයක් එකිනෙකා හා බෙදාහදාගත්තත් හිස් දෙකක් පිහිටීම නිසා එම ශරීරයේ ඒ ඒ පාර්ශවයන් පාලනය වූයේ ඒ ඒ සොයුරියගේ සිතැඟි අනුව යි. මේ අනුව දකුණු පස සිටින ඇබීට දකුණු අත හා පාදය හැසිරුවීමේ හැකියාව තිබූ අතර, බ්‍රිටනිට වම් අත හා පාදය හැසිරවීම කළ හැකි ව තිබුණා. මේ හේතුවෙන් අත් දෙක හෝ පාද දෙක යොදාගෙන යමක් කිරීමේ දී ඒවා සමායෝජනය කරගැනීම දෙදෙනාට ම අභියෝගාත්මක දෙයක් වුණා. මීට අමතර ව සොයුරියන්ගේ වම්පස පාදය, දකුණු පස පාදයට සාපේක්ෂ ව අඟල් දෙකක් දිගින් අඩු වීමත් ගැටලු ගෙන දෙන්නක් වුණා. මේ හේතූන් නිසා බොහෝ දෙනා පැවසුවේ මේ සොයුරියන් දෙදෙනාට කිසිදිනෙක ඇවිදීමේ හැකියාව නොලැබෙනු ඇති බව යි.

යතුරු පැදියක් ධාවනය කරමින් – (thugify.com)

කෙසේ නමුත් දුර්මත සියල්ල බොරු කරමින් ඉක්මණින් ම මේ සොයුරියන් දෙදෙනා එකිනෙකා හා සහයෝගයෙන් කටයුතු කිරීම ප්‍රගුණ කළා. වර්තමානය වන විට ඔවුනට ඇඳුම් ඇඳගැනීම, ඇවිදීම පමණක් නොව පාපැදි පැදීමට පවා හැකියාව තිබෙනවා. මීට අමතර ව ගැටවර වියට එළැඹෙන විට පියානෝ වාදනය, පිහිනීම වැනි සියුම් ක්‍රියාකාරකම් ද කිරීමට හැකි තරම් සියුම් ලෙස ඔවුන් සිය ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කරගෙන තිබුණා.

වෙනස් පෞරුෂයයන්

ඇබී හා බ්‍රිටනි යන දෙදෙනා සම්පූර්ණයෙන් වෙනස් පෞරුෂයයන් දරනවා. හිසකෙස් සැකැස්ම හා විවිධ දේ පිළිබඳ ව ඇති රුචිය ද එකිනෙකාට වෙනස් වෙනවා. ඇබී රෝස පැහැති වර්ණයට හා විවිධ විලාසිතාවලට ප්‍රිය කරන අතර, බ්‍රිටනි ක්‍රීඩා වැනි දේට ප්‍රියතාවක් දක්වනවා.

වෙනස් පෞරුෂයයන්ගෙන් හෙබි ඇබී හා බ්‍රිටනි – (travelfuntu.com)

මීට අමතර ව දෙදෙනාට ම වෙන් වූ ප්‍රතිශක්තීකරන පද්ධතියක් ද පිහිටා තිබෙනවා. බ්‍රිටනිට දෙවරක් ම නිව්මෝනියාව වැළඳී ඇතිමුත්, ඒ දෙවරම එය ඇබීට වැළඳුණේ නැහැ. කෙසේ නමුත් සොයුරියන් දෙදෙනෙකු වශයෙන් ඉතා දැඩි ලෙස සිතිනුත් එකිනෙකාට බැඳී තිබීම නිසා බ්‍රිටනි රෝගී වූ විට ඇබී මානසික වශයෙන් පහළට ඇදවැටුණු අතර, නිතිපතා හඬමින් බ්‍රිටනි සුව වන තුරු ඇයව අස්වසාලීමට උත්සාහ කර තිබෙනවා.

අධ්‍යාපනය

ඇබී හා බ්‍රිටනි සිය කායික අභියෝග සමග කෙසේ අධ්‍යාපන කටයුතු සිදුකරාවි දැ යි බොහෝ දෙනා බලා සිටි අතර, සියලු සැක සංකා දුරු කරමින් ඔවුන් ඉතා සාර්ථක ලෙස සිය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කළා. කෙසේ නමුත් ඔවුන් දෙදෙනා ප්‍රිය කළේ වෙනස් විෂයයන්ට වන අතර, ඇබී දකුණු අතිනුත්, බ්‍රිටනි වම් අතිනුත් වෙන් වෙන් වශයෙන් ලිවීම වැනි දේ සිදු කළා. විභාග කටයුතුවල දී වැනි තීරණාත්මක අවස්ථාවල දී ඔවුනට අවශ්‍ය විශේෂ පහසුකම් සැලසීමට ඔවුන්ගේ ගුරුවරුන් යුහුසුළු ව කටයුතු කළා.

ඇබී දකුණතින් ද, බ්‍රිටනි වමතින් ද ලිවීම් කටයුතු කරනවා- I-WebStreet

පවුල් හා සමාජ ජීවිතය

හෙදියක වන ඇබී හා බ්‍රිටනිගේ මවත්, වඩු කාර්මිකයෙකු හා බිම් සැකසුම් ශිල්පියෙකු වන පියාත් කුඩා කල සිට ම ඉතා ආදරයෙන් හා ඕනෑකමින් මේ දෙදෙනා ම ඇතිදැඩි කළා. ඔවුනට බාල සොයුරෙකු හා සොයුරියක ද සිටිනවා.

ඇබී හා බ්‍රිටනි නව යොවුන් වියට එළැඹීමත් සමග මාධ්‍යයේ අවධානය දැඩි ලෙස ඔවුන් වෙත යොමු වුණා. ඒ නව යොවුන් විය වන තුරු එතෙක් ඇමෙරිකාව තුළ විසූ, බද්ධ වූ නිවුන් දරුවන් දෙදෙනා ඔවුන් නිසාවෙන් හා ඔවුන් ගෙවන සාර්ථක ජීවිතයත් නිසාවෙනුයි. මේ අවධානය ද යහපත් එකක් සේ ගත් මොවුන් දෙදෙනා ඉතා ප්‍රීතියෙන් රූපවාහිනී වැඩසටහන් වැනි දේට පෙනී සිටිනවා දැකගත හැකියි.

ඇබී හා බ්‍රිටනි මිතුරියන් සමග- bbc.com

වසර 28ක් ගත වන තුරු ඇබී හා බ්‍රිටනි සාමාන්‍ය දරුවන් දෙදෙනෙකු සේ ම සාර්ථක ජීවිතයක් ගතකොට තිබෙනවා. අනාගතයේ විවාහය වැනි කටයුතුවලට ඔවුන් මොන ආකාරයෙන් මුහුණ දේවි දැ යි යන්න පිළිබඳ ව මුළු ලොව ම බලා සිටිනවා.

 

Related Articles