Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටිව්ටර් හරහා නිදහස සොයා ගිය සෞදි තරුණිය – රහෆ් මොහොමඩ්

රහෆ් මොහොමඩ් නම් දහ අට හැවිරිදි සෞදි තරුණියක් සිය පවුලෙන් තමන්ට මරණ තර්ජන ඇතැ යි පවසමින් තායිලන්තය වෙත පැමිණ අනතුරුව ඔස්ට්‍රේලියාව වෙත යෑමට අවසර ඉල්ලා සිටියා.

පසුගිය දින කිහිපයේ දී ලෝකයේම අවධානය තමා වෙතට ලබාගත් මෙම තරුණියට අවසානයේ දී කැනඩාව සිය දෑත දිගු කරන අතර, මේ වන විට ඇය කැනඩාවේ සරණාගත රැකවරණය ලබාගෙන පදිංචි වී සිටිනවා.

මේ සඳහා වැදගත් මෙහෙයුමක් සමාජජාලා ඔස්සේ සිදු වූ බව ලියා තැබිය යුතු වෙනවා. ලෝකයේම අවධානය දිනා ගැනීම සඳහා මේ යෞවනිය විසින් උපයෝගී කරගන්නේ ට්විටර් සාමාජ මාධ්‍ය ජාලය යි. ඉතින් ඒ පිළිබඳව යි මේ ලිපිය ගෙන එන්නේ.

කුවේටයේ සිට තායිලන්තයට පැන ඒම

රහෆ් මොහොමඩ් (Sheik Yer’ Mami)

රහෆ් මොහොමඩ් අල්-කුනුන් නම් සෞදි ජාතික තරුණිය සිය පවුලේ සාමාජිකයින් සමග කුවේට්හි නිවාඩුවක් ගත කරමින් සිටිය දී තායිලන්තයට පැන එනවා. ඒ සිය පවුලේ සමාජිකයන්ට හොර රහසේ යි. 2019 වසරේ ජනවාරි 5 වන දා යි ඇය තායිලන්තයට පැමිණෙන්නේ. තායිලන්තයේ බැංකොක් හරහා සංචාරක වීසා ඔස්සේ  ඕස්ට්‍රේලියාව බලා යාමට ඇය සූදානම් වෙනවා.

ගුවන් තොටුපොලෙන් එළියට පැමිණීමේ දී ඇයගේ විදේශ ගුවන් බලපත්‍රය සෞදි තානාපති  සේවා නිලධාරියෙක් විසින් ලබා ගත් බව ඇය සඳහන් කරනවා. ඕස්ට්‍රේලියාවට යාමට තමන්ට අවශ්‍ය ලියකියවිලි තිබුණු බවත්, තායිලන්තයේ සෞදි අරාබි තානාපති කාර්යාලයේ නිලධාරීන් ඒවා ලබාගෙන තමන්ගේ ගමන නැවත් වූ බවත් ඇය පසුව ප්‍රකාශ කරනවා. අනතුරුව ඇයව තායිලන්තයේ  නවත්වා ගැනීමට සෞදී හා තායිලන්ත බලධාරීන් තීරණය කරනවා.

නැවතත් සෞදිය වෙත හරවා යැවීමේ උත්සාහයක්

තායිලන්ත නිලධාරීන් සමග (The Nation)

සෞදි බලධාරින් හා තායිලන්ත බලධාරින් මුල් අවස්ථාවේ සහයෝගයෙන් කටයුතු කළ අතර ඇය නැවතත් සෞදිය බලා යැවීමට ඔවුන් විසින් තීරණය කරනවා.

එතැන් සිට යි ඇයගේ සටන ආරම්භ වන්නේ. බැංකොක්හි ස්වර්ණභූමි ගුවන් තොටුපොළේ  කාමරයේ සිට පළමු ට්විටර් පණිවුඩය නිකුත් කරන ඇය තමන් නැවතත් සෞදිය වෙත පිටුවහල් නොකරන ලෙසත් එසේ වුවහොත් ඉස්ලාම් ධර්මය අතහැර සිටින තමන්ගේ ජීවිතයට පවා අනතුරක් සිදු විය හැකි බවත් සදහන් කරමින් තම ප්‍රථම ට්විටර් පණිවුඩය අරාබි භාෂාවෙන් යවනු ලබනවා. ඒ ඇය විසින් අලුතෙන්ම සාදාගත් ට්විටර් ගිණුම උපයෝගී කරගෙන යි.

#SaveRahaf හෑෂ් ටැග් එක ලොව පුරා

ට්විටර් පණිවුඩ (Deskgram)

නවතම ට්විටර් ගිණුමක් වන මෙහි පළමුව සිටි ග්‍රාහකයන් ප්‍රමාණය 24ක් වැනි ඉතා අඩු ප්‍රමාණයක්.

පළමු ට්විටර් පණිවුඩයෙන් අනතුරුව නොනවත්වාම පැය පහක් පමණ එක දිගට ටිව්ටර් පණිවුඩ බෙදා හරිම සඳහා කටයුතු කළ ඇයගේ ග්‍රාහකයන් ප්‍රමාණය ඉතා සීඝ්‍රයෙන් ඉහළ යනවා. ඊජිප්තු සම්භවයක් සහිත ඇමෙරිකානු සමාජ ක්‍රියාකාරිනියක වන මොනා අල් ටවී, රහෆ් විසින් නිකුත් කරන සියලු පණිවුඩ ඉංග්‍රීසි භාෂාවට හැරවීමට සමත් වෙනවා.

මේ සමගින් ලොව පුරා ප්‍රසිද්ධ වෙන ඇය මේ ප්‍රශ්නය පිළිබඳව ලෝකයේම අවධානය දිනා ගන්නවා. #SaveRahaf හෑෂ් ටැග් එක සහිත පණිවුඩ ට්විටර් සමාජ ජාලය පුරා පැතිරී යනවා.

මේ වන විටත් මෙය ජාත්‍යන්තර අවධානය දිනාගත් ප්‍රශ්නයක් වූ බැවින් සෞදි බලධාරින්ගේ දැනුම් දීම මත ඇයව රැගෙන යාමේ අරමුණෙන් තායිලන්තය වෙත පැමිණි ඇයගේ පියාට හා සහෝදරයාට ඇයව මුණ ගැසීමට අවස්ථාව ලබා නොදීමට තායිලන්ත බලධාරීන් කටයුතු කරනවා.

ජාත්‍යන්තර අවධානය

බැංකොක් ගුවන්තොටුපොළේ (TODAYonline)

හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු කලාපය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ෆිල් රොබට්සන්ට මේ පණිවුඩ ඇස ගැටෙන අතර ඔහු මේ සම්බන්ධව ට්විටර් පණිවුඩයක් නිකුත් කරනවා. ඒ, ඇය පිළිබඳව සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ අවධානය වහා යොමු යුතු බව සඳහන් කරමින්. ඒ වන විට රහෆ් ට්විටර් පණිවුඩ නිකුත් කිරීමට පටන්ගෙන පැය අටක් ගත වී තිබුණා. අනතුරුව ඔහු හා රහෆ් අතර පෞද්ගලික පණිවුඩ හුවමාරුවක් ද සිද්ධ වෙනවා.

ෂරියා නීතිය අනුව ඉස්ලාම් ධර්මය ප්‍රතික්ෂේප කිරීම මරණීය දණ්ඩනය ලැබිය හැකි වරදක් බව ද, ඇය විශාල අවධානමකට මුහුණ පා ඇති බව ද ඔහු ජනමාධ්‍ය අමතමින් ප්‍රකාශ කරනවා. මෙම සිදුවීම එක්සත් ජාතීන්ගේ අවධානයට ලක් කිරීමට අමතරව තායිලන්ත බලධාරීන් හා තායිලන්තයේ සිටින විවිධ රටවල තානාපතිවරුන් දැනුවත් කිරීමට ද පියවර ගන්නවා.

කැනඩාව රහෆ්ව පිළිගැනීම

කැනඩාවේ මාධ්‍ය හමුවක (Toronto Sun)

මේ අතර ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියක් වන මැක්නීල් ඉක්මනින් ඇය ව හමුවීමේ බලාපොරොත්තුවෙන් තයිලන්තය බලා පිටත් වෙනවා. මේ වන විටත් ගුවන් තොටුපොළ ආශ්‍රිත කාමරයක රදවා තිබු ඇයව සෞදි හා තායිලන්ත බලධාරීන් විසින් නැවතත් සෞදිය බලා පිටත් කරවීමට උත්සාහ දරන බව ඇය සමාජ මාධ්‍ය වලට වීඩියෝ පට එකතු කරමින් පවසා සිටිනවා.

මේ වන විට ඇය තමා රඳවා සිටි කාමරය ඇතුළතින් මෙට්ට හා අනෙකුත් ගෘහ භාණ්ඩ යොදා බාධක සකස් කර තිබූ අතර, කාමරයට පිටතින් සිටින පුද්ගලයන් කිහිපදෙනෙක් අරාබි භාෂාවෙන් තර්ජනය කරන බවටත් ඇය ප්‍රකාශ කරනවා. 7 වන දා උදෑසන Kuwait Airways ගුවන් සේවයට අයත් KU 412 යානාවෙන් කුවේටය බලා රහෆ්ව පිටත් කර හැරීමට සියලු කටයතු සුදානම් බව මාධ්‍ය විසින් වාර්තා කරනවා.

7 වන දා උදෑසන වන විට තම කාමරයෙන් එලියට ඒම ඇය විසින් ප්‍රතික්ෂේප කරනවා. ඒ හේතුවෙන් ඇයව කුවේටය වෙත යාමට සකස් කළ සැලසුම ක්‍රියාත්මක වන්නේ නෑ.

නීති විරෝධිව මෙලෙස තායිලන්තයේ රැදී සිටීම තහනම් බව පවසන තායිලන්ත ආගමන විගමන නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳව මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සමග එදිනම සකච්ජාවක් ආරම්භ කරනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතීන්ගේ අනුමැතිය යටතේ ඇයව රහස් ස්ථානයකට රැගෙන යන අතර, දින කිහිපයකට පසුව ජනවාරි 11 වන දා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කැනඩා අගමැතිවරයා ප්‍රකාශ කරන්නේ සෞදි තරුණිය වෙත තම රටේ සරණාගත රැකවරණය ලබාදෙන බව යි.

මේ ප්‍රකාශයත් සමග ඇයගේ නිදහස උදෙසා වන සටන අවසන් වෙන අතර අලුතෙන්ම ආරම්භ කළ ට්විටර් ගිණුමක දවසක් තුළ ග්‍රාහකයන් 45 000ක් එක් කර ගැනීමට තරම් ප්‍රබල වූ සාමාජ මාධ්‍ය ජාලය මේ සටනේ ප්‍රධානතම මෙහෙවර ඉටු කළ බව සඳහන් කළ යුතු යි.

කැනඩාව බලා පිටත් වීම (China Daily)

පසුව තායි බලධාරීන් හා සකච්ජාවක් පවත්වන සෞදි බලධාරීන් ප්‍රකාශ කරන්නේ ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අත්අඩංගුවට ගන්නවා වෙනුවට දුරකථනය අත්අඩංගුවට ලබා ගත්තා නම් ප්‍රතිඵලය වෙනස් වීමට ඉඩ තිබූ බව යි.

කවරයේ පින්තූරය - National Observer

මූලාශ්‍රයයන්:

aljazeera.com

bbc.com

twitter.com

theaustralian.com

Related Articles